“අපි සීරුවෙන්”: තරුනයන් සහ ශිෂ්‍යයන් ධනේශ්වර උගුලකට යටකරන ව්‍යාපාරයක්

ප්‍රදීප් රාමනායක විසිනි, 2019 නොවැම්බර් 13

ඉහවහා යන දේශපාලන අර්බුදයක් මධ්‍යයේ ඒ හෝ මේ ධනපති නියෝජිතයෙකු මෙවර ජනාධිපතිවරනයෙන් බලයට ගෙන ඒම සඳහා දරදිය ඇදීමට විවිධ සංවිධාන කල එලි බැස තිබේ. ඒ අතරින් ශිෂ්‍යයන් සහ තරුනයන් අතර ව්‍යාකුලත්වයක් නිර්මානය කිරීමේ එල්ලය ඇතිව “අපි සීරුවෙන්”යන නමින් අවස්ථාවාදී සංවිධානයක් පිහිටුවනු ලැබ ඇත.

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) හිටපු කැඳවුම්කරු වන මහීල් බන්ඩාර දෙහිදෙනිය “අපි සීරුවෙන්” සංවිධානයට මූලික නායකත්වය සපයයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් අවිශිබමය දේශපාලන අතකොලු‍වක් බවට පත්කර ඇති බවට චෝදනා කරමින් මාස දෙකකට පමන ඉහතදී දෙහිදෙනිය අවිශිබම නායකත්වයෙන් ඉවත් වූ අතර ඉන් අනතුරුව ඔහු ඇතුලු‍ කන්ඩායමක් ස්වාධීන ව්‍යාපාරයක් ලෙස නම් කරගනිමින් “අපි සීරුවෙන්” සංවිධානය පිහිටුවා ගන්නා ලදී.

පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක රැස්වීම් සංවිධානය කරමින් ඒවාට තරුන කන්ඩායම් ගොනුකර ගැනීමට උත්සාහ කල “අපි සීරුවෙන්”‍ සංවිධානය අවස්ථාවාදී පිම්මක් පැනීම සඳහා හොරගල් අහුලමින් සිටියේය. අවසානයේදී දෙහිදෙනිය ඇතුලු‍ නායකයින් නොවැම්බර් 3දා එක්සත් ජාතික පක්ෂයේ (එජාප) තරුන සමුලු‍වක වේදිකාවට ගොඩවී සිය සංවිධානය එජාප ජනාධිපතිවරන අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය පලකරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කලේය.

තරුනයින් සහ ශිෂ්‍යයින් අතර ධනපති දේශපාලන සංස්ථාපිතයට එරෙහිව වර්ධනය වන විරුද්ධත්වය අවමංගත කරමින් ඔවුන් ප්‍රධාන ධනපති අපේක්ෂකයෙකුගේ ජනාධිපතිවරන උද්ඝෝෂනයට යටකිරීමේ අතිශය වංචනික කටයුත්තකට “අපි සීරුවෙන්” සංවිධානය මෙලෙස අතගසා ඇත.

ධනපති පාලක පන්තිය පැත්තෙන් ගත්කල මෙම ජනාධිපතිවරනය කම්කරු-පීඩිත මහජනතාවන් මතට පොලාපැන පහරදීම සඳහා පොලිස් රාජ්‍ය පාලනයක් සූදානම් කිරීමේ පිනුම් පිත්තකි. බලයට පත්වන කවර ජනාධිපති කෙනෙක් වුවත් තමන් විසින් ලබාදුන් පොරොන්දු රොත්ත ඉටුකරනවා වෙනුවට අනිවාර්යයෙන්ම දියත්කරනු ඇත්තේ දැවැන්ත කප්පාදුවකි. එම කප්පාදුවට එරෙහිව පෙරලිකාරී වෙමින් සටනට අවතීර්න වන කම්කරුවන්, ශිෂ්‍යයන් ඇතුලු‍ අවශේෂ පීඩිතයන්ගේ අරගලය මැඩපැවත්වීමට ධනපති ආන්ඩුවට දක්ෂිනාංශික ව්‍යාපාරයක් වර්ධනය කරගැනීම අවශ්‍ය කෙරෙනු ඇති අතර “අපි සීරුවෙන්” වැනි සංවිධාන එවැනි මොහොතක ක්‍රියාකරනු ඇත්තේ ශිෂ්‍යයන් සහ තරුනයන් අතර ආන්ඩුවේ එම දක්ෂිනාංශික වැඩකටයුතුවල අත්ගෙඩි ලෙසයි.

එජාප තරුන සමුලු‍වේ වේදිකාවේදී දෙහිදෙනිය විසින් පැවසුවේ “තරුනයන්ගේ හිතේ හැංගිලා තියෙන ප්‍රශ්නය කියන්න අවශ්‍ය නිදහස මෙම කඳවුරේ තහවුරු වන” නිසා තමන් ප්‍රේමදාසට සහයෝගය පලකරන බවයි. ධනපති ක්‍රමයේ ජාත්‍යන්තර වශයෙන් දිගහැරී ඇති පරිහානියේ කොටසක් ලෙස ආන්තික අර්බුදයක ගිලී සිටින ලංකාවේ පාලක ප්‍රභූවේ කවර කන්ඩායමකට වුවද කම්කරුවන්, ශිෂ්‍යයන්, තරුනයන් ඇතුලු‍ කවර හෝ පීඩිත කන්ඩායමක ප්‍රශ්නවලට ඇහුම්කන්දීමට සූදානම්ක් පවතී යැයි පැවසීම අමු මුසාවකි. එජාපයේ අතීත ලේවැකි වාර්තාව මඳකට පසෙක තැබුවද, ප්‍රේමදාස ද ප්‍රධාන ඇමතියෙකු වන වත්මන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පසුගිය මාස කිහිපය පුරා වර්ධනය වූ පන්ති අරගල රැල්ලට දැක්වූ ප්‍රතිචාරයෙන්ම ඒ බව පැහැදිලි කරගැනීම අපහසු නැත.

වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ඉල්ලා අරගලයට අවතීර්න වූ දුම්‍‍‍රිය සේවක වර්ජනය මැඩීමට දුම්‍‍‍රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කල ආන්ඩුව වර්ජනය නවතා සේවයට වාර්තා නොකරන කම්කරුවන් සේවයෙන් පහකරන බවට තර්ජනය කලේය. ආන්ඩුව විසින් ගුරුවරුන්ගේ සහ ශිෂ්‍යයන්ගේ විරෝධතාවයන්ට පොලිසිය යොදවා මෘග ලෙස පහර දුන් අතර මහපොල ශිෂ්‍යාධාර කප්පාදුවට එරෙහිව මෑතකදීම පැවත්වූ ශිෂ්‍ය විරෝධතාවයකට දරුනු ලෙස පහරදීමෙන් අනතුරුව 53ක් අත්අඩංගුවට ගනු ලැබුනි.

දෙහිදෙනිය විසින් “තරුනයන්ගේ ප්‍රශ්න කතා කිරීමට නිදහසක්” ලබාදෙනු අතැයි කියමින් ව්‍යාජව ඔජවඩවන්නේ මෙවැනි ආන්ඩුවක් සහ එහි අපේක්ෂකයාවයි. දෙහිදෙනියගේ මෙම ප්‍රකාශයන් 2015දී ජනාධිපතිවරනයේදී ජනතා විමුක්ති පෙරමුන සහ තවත් ව්‍යාජ වම්මුන් පිරිවරාගත් ඊනියා බුද්ධිමතුන් මෛත්‍රිපාල සිරිසේනට ප්‍රජාතන්ත්‍රවාදී සලු‍පිලි අන්දමින් ඔහු බලයට ගෙන ඒම සඳහා සෘජුව හෝ වක්‍රව ඉෂ්ට කල ක්‍රියාකලාපය සිහිගන්වයි.

තරුනයන්ට මෙලෙස ලනු ගිල්ලීමට දරන උත්සාහයේදී “අපි සීරුවෙන්” හි නායකයන් විසින් තමන් ප්‍රේමදාසට දක්වන සහයෝගය සාධාරනීකරනය කිරීම සඳහා එකදිගටම ප්‍රේමදාසගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (පොජපෙ) අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ “වැඩි නපුර” ලෙස හුවාදැක්වීමේ උද්ඝෝෂනයක් ගෙන යයි. පසු ගිය සතියේ රූපවාහිනි වැඩසටහනකට සම්බන්ධ වෙමින් දෙහිදෙනිය ප්‍රකාශ කලේ “මේ මැතිවරනයේදී අපිට තෝරා ගැනීමට ඇත්තේ කැඳවුරු දෙකයි. ඉන් එකක් නැවත මේ රට ගෝත්‍රික සහ වහල් සමජයක් කරා ආපස්සට ගෙනියන කඳවුරක්, අනෙක නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අගයන කඳවුරක්.” බවයි.

පොජපෙ අපේක්ෂක රාජපක්ෂ කම්කරු පන්තියට සහ පීඩිතයන්ට එරෙහි ප්‍රහාරයන් දියත් කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට වාර්තාවකට හිමිකම් කියන බව සැබෑවක් වන නමුත් ප්‍රේමදාස සහ ඔහු නියෝජනය කරන එජාපය ඊට අඩුවශයෙන් දක්ශිනාංශික වෙතැයි කීම දෙහිදෙනිය තරුනයන් රැවටීමට ගොතාගත් බොරුවකි.

“‍මම 2015දී වැඩ කලෙත් ප්‍රජාතන්ත්‍රවාදය අගයපු කඳවුර දිනවන්න. අපි ඒ කඳවුර දිනවලා විශ්වවිද්‍යාලයට ගියාම අපිට ඒ ආන්ඩුවටම අභියෝග කරන්න ඉඩක් තිබුන. පාරට බැහැල අරගල කරන්න අවස්ථාවක් තිබුන. අපිව පැහැරගෙන ගිහිල්ල, ඇන ගහපු ඉතිහාසයකට මුහුන දෙන්න වුනේ නැහැ”‍යි කියමින් දෙහිදෙනිය එම රූපවාහිනී සාකච්ඡාවේදී මැරී උපන්නෙකු මෙන් බේගල් ඇදබෑවේය.

සැබැවින්ම නම් රාජපක්ෂ සිය පාලන කාලය තුල ශිෂ්‍යයන්ගේ අරගලවලට එල්ල කල ප්‍රහාරය 2015 දී බලයට පත් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව වඩ වඩා තීව්‍ර කරමින් පෙරට ගෙන ගියේය. එමෙන්ම 88-89 ජවිපෙ සන්නද්ධ අරගල සමයේ 60,000ක් දකුනේ තරුන තරුනියන් කුරිරු වධහිංසා වල යටත් කර මරාදැමීමේ ලේවැකි වාර්තාවක් එජාපය සතුය.

තම සංවිධානය “නොවැම්බර් 16 දක්වා සජිත් සමඟ සීරුවෙන් සිට ඉන් පසු සජිත් ගැනත් සීරුවෙන් සිටින”‍ බව දෙහිදෙනිය සෑම සකච්ඡාවකදීම පාහේ වංචනිකව කියයි. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ප්‍රේමදාස තම එකඟතාවලට එරෙහිව වැරදිපාරේ ගියහොත් බලපෑම් දැමීමෙන් ඔහුව හරිපාරට ගතහැකි බවට ඔහු දෙන මේ සහතිකය ව්‍යාජයකි. ඒවෙනුවට හොඳටම ඉඩකඩ ඇත්තේ, ඔහු ඇතුලු‍ “අපි සීරුවෙන්”‍ සිසුන්ට හා තරුනයන්ට එරෙහිව ආන්ඩුවේ අත්ගෙඩියක් වීමටයි.

“අපි සීරුවෙන්”‍ වැනි සංවිධාන නිර්ලජ්ජිත ලෙස පාලක පන්තියේ ඒ හෝ මේ කන්ඩායමක එල්ලීගැනීමට දරන මෙම උත්සහය හරහා පෙන්නුම් කෙරෙන්නේ ඔවුන්ට ධනපති ක්‍රමය හා පවතින තදබල බැඳීමයි. ලෝකය පුරා මතු වී ඇති අරගල වලදී තරුනයන් විශාල පරිමානයෙන් ඉදිරියට එමින් ධනපති ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් සිටින තත්වයකදී පවා මෙම ප්‍රතිගාමී සංවිධාන තදින්ම ධනපති ක්‍රමය වැලඳගෙන සිටියි.

“‍අපි සීරුවෙන්”‍ ෆෙස් බුක් පිටුවේ “‍විශේෂ නිවේදනයයි”‍ යනුවෙන් පලකල සටහනක මෙම ධනපති ගැති ස්වභාවය එලිපිටම ප්‍රකාශ කෙරුනේ මෙසේය: “‍ප්‍රායෝගිකව අපි කල යුතු වන්නේ සිස්ටම් එක චේන්ජ් කරන්නට දත කමින් වයසට යැම නොව, තියෙන සිස්ටම් එකෙන් වැඩ ගෙන මේ රට හදන්නට දායක වීම බව අපේ තක්සේරුවයි.”‍

සිසුන් සහ තරුනයන් අතර මෙවැනි ව්‍යාකුලත්වයන් ඇතිකිරීමේ චෝදනාව සෘජුවම එල්ල වන්නේ අවිශිබමට සහ එහි න්‍යායාචාර්යයන් වන පෙසපයටයි. තමන් මුහුනදෙන දහසකුත් එකක් අධ්‍යයන සුභසාධන ගැටලු‍වල මූලය පවතින්නේ ජරාජීර්න ධනපති ක්‍රමය තුලය යන සත්‍යයය ඔවුන්ගෙන් වසං කරගෙන සිටින්නේ මෙම ව්‍යාජ වම්මුය. ධනපති ක්‍රමය පෙරලාදැමීමේ හැකියාව පවතින්නේ කම්කරු පන්තියට බවත් ශිෂ්‍යයන්ට සහ තරුනයන්ට තමන්ගේ අයිතීන් දිනාගැනීමට හැකිවන්නේ කම්කරු පන්තියේ නායකත්වය යටතේ සමාජවාදය සඳහා සටන් වැදීමෙන් පමනක්‍ බවත් ව්‍යාජ වම්මුන්ට වහකදුරු වැනි ඓතිහාසික සත්‍යයන්ය.

මෙම ව්‍යාජ වාම සංවිධාන අධ්‍යාපන පෞද්ගලීකරනයට එරෙහිව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතරින් මතුවූ දීර්ඝතම අරගලයක් වූ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධතාවයේදී ශිෂ්‍යයන් මෙහෙයවූයේ “සයිටම් විරෝධී සිසු-ජන බලවේගය”‍ ලෙස නම් කරගත් ධනපති සන්ධානයක් වෙතටයි. එහිදී අවිශිබම සහ පෙසප ධනපති පාලක පන්තියේ දක්ෂිනාංශික කල්ලි කන්ඩායම් සමඟම කරේ අත දමාගත්හ. අවිශිබමයේ හිටපු කැඳවුම්කරු මේ වනවිට “අපි සීරුවෙන්”‍ වැනි ධනපති සංවිධානයක් අටවාගෙන දක්ෂිනාංශික දේශපාලන ව්‍යාපාරයක වේදිකාවට ගොඩවීමේ මූලයන් පවතින්නේ පෙසපය ප්‍රමුඛ ව්‍යාජ වමේ දේශපාලන තුලය.

අවිශිබමය විසින් ශිෂ්‍යයන් සහ තරුනයන්ට ශක්‍ය දේශපාලන වැඩපිලිවෙලක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඔවුන් අතර පැතිර පවතින්නේ බරපතල ව්‍යාකුලත්වයකි. එම ව්‍යාකුලත්වය ගසා කෑම සඳහා ඇතැම් දක්ෂිනාංශික ව්‍යාපාරද ඉස්මත්තට පැමින ඇත. උදාහරනයක් ලෙස පොජපෙ ශිෂ්‍ය අංශය හැටියට ක්‍රියාකරන සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල තුල වඩා දක්ෂිනාංශික ආස්ථානයන් ආරක්ෂා කරන ව්‍යාපාරයක් හැටියට මතු වෙමින් පවතියි.

ශිෂ්‍යයන් සහ තරුනයන් තමන්ගේ නායකත්වයේ සිටින ව්‍යාපාර වඩා පරිහානිගත අන්තයන් කරා පල්ලම් බැසීමත්, අලු‍ත් දක්ශිනාංශික ව්‍යාපරවල නැගීමත් මධ්‍යයේ බරපතල දේශපාලන ප්‍රශ්න වලට මුහුනදී සිටියි. තමන්ගේ රැකියා, අධ්‍යයන, සුභසාධන හෝ වෙනත් කවර අයිතියක් වුව ඔවුන්ට දිනාගත හැක්කේ කවර ව්‍යාපාරයක නායකත්වය යටතේද?

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන හා ශිෂ්‍ය අංශය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය (සසජාතශි) ලෙස අප එක දිගටම මේ ප්‍රශ්නයට පිලිතුර අවධාරනය කර ඇත. එනම් ශිෂ්‍යයන්ට සහ තරුනයන්ට ඇති එකම නිවැරදි නායකත්වය කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරය පමනක් බවයි.

මේ වනවිට ලෝකය පුරාම වර්ධනය වන්නේ කම්කරු පන්තියේ නව අරගල මාලාවකි. ශිෂ්‍යයන් සහ තරුනයන් තමන්ගේ උද්‍යෝගිමත් අවධානය යොමුකල යුත්තේ ඒ දෙසටයි. ශිෂ්‍යයන් සහ තරුනයන් ඇතුලු‍ ඕනෑම පීඩිත කන්ඩායමක අයිතීන් දිනාගත හැක්කේ කම්කරු පන්තියේ මෙම අරගල ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාරයක් බවට වර්ධනය කරමින්, ධනපති ක්‍රමය පෙරලා දමා, සමාජවාදී ආර්ථිකයක් ගොඩනැගීමෙන් පමනකි. මෙය ජාත්‍යන්තර සටනක කොටසකි. එවැනි ආර්ථිකයක් යටතේ විදේශීය හා දේශීය මහා සමාගම්, විශාල වතු හා බැංකු කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කරමින් හා විදේශ නය අහෝසි කොට සමස්ත නිෂ්පාදනය හා බෙදාහැරීම සමාජමය අවශ්‍යතාවය සපුරාලන පරිදි ප්‍රතිසංවිධානය කෙරෙනු ඇත.

සසප සහ සසජාතශි ඉතා ඕනෑකමින් තරුනයින් සහ ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සමාජවාදී වැඩපිලිවෙල සාක්ෂාත් කරගැනීම සඳහා සියලු‍ ධනපති සංවිධාන ප්‍රතික්ෂේප කරමින් විශ්ව විද්‍යාල සහ අනෙකුත් අධ්‍යාපන ආයතන කේන්ද්‍රකරගෙන සසජාතශි ශාඛා ගොඩනැගීම සඳහා පෙරට එන ලෙසයි.

Share this article: