වර්ජන පවතින ආයතනවල “සේවාවන් පවත්වාගෙන යාම සඳහා”‍ හමුදාව සූදානම් බව හමුදාපති කියයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 ඔක්තෝබර් 05

වර්ජන පවතින ආයතනවල “‍මහජනයාගේ යහපත සඳහා”‍ එම සේවාවන් පවත්වාගෙන යාමට හමුදාව සූදානම් බව ඔක්තෝබර් 01 වෙනිදා අනුරාධපුරයේ පැවති යුද හමුදාවේ වාර්ෂික ආශිර්වාද කිරීමේ උත්සවයක දී හමුදාපති ලු‍තිනන් ජනරාල් සවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර ඇත. ”‍කැඳවනු ලැබුවොත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමට සහ රාජ්‍ය සේවාවන් තුල නීතිය පවත්වාගෙන යාම සඳහා ඉල්ලා සිටිනු ලබන ඕනෑම දෙයක් කිරීමට හමුදා නිලධාරීන් සූදානම්”‍ බව ඔහු එහි දී සඳහන් කර තිබේ.

“පවතින වර්ජන හේතුවෙන් අඩාල වී ඇති මහජන සේවාවන් කෙටි කාලීන පදනමක පවත්වාගෙන යාම පිනිස හමුදාවට විවිධ අංශවලට මැදිහත්විය හැකියි. රට තුල අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට එහි සේවය ලබා ගැනීම සඳහා ආරාධනය කලොත් හමුදාව එය හැකි ඉහලම ආකාරයෙන් ඉටු කරනවා”‍ යයි හමුදාපති සිල්වා වැඩි දුරටත් පවසා ඇත.

හමුදාපතිගේ ප්‍රකාශය කිසිවෙකුත් සැහැල්ලු‍වෙන් නො ගත යුතුය. එය වැඩකරන ජනයාට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමකි. ඔහු සඳහන් කරන්නේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට අභියෝග කරමින් වැඩෙන පන්ති සටන් රැල්ල නිර්දයව මර්දනය කිරීමේ අවශ්‍යතාවය ගැන ය.

මෙතක් සිදුවී ඇත්තේ හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවා නියෝග පනවා ආන්ඩුව කැඳවූ විට මිලිටරියේ කන්ඩායම් එම සේවාවල යෙදවීමයි. දැන් ප්‍රකාශවී ඇත්තේ හමුදාපති වර්ජන බිඳීමට ද අඩාලවූ සේවා පවත්වා ගෙන යාමටද තමන් ම ඉදිරිපත්වීමයි. මෙය වනාහි කම්කරුවන් අරගලවලට එලඹීමත් සමග ආන්ඩුව හා සමස්තයක් ලෙස පාලක පන්තිය ම අර්බුදයට පත්ව සිටින තත්වය තුල මිලිටරිය පැත්තෙන් මැදිහත්වීමකට සූදානම් බව ප්‍රකාශ කිරීමකි; සරල භාෂාවෙන් ගතහොත්, මෙය ආඥාදායක පාලනයක් සඳහා සූදානම ප්‍රකාශ කිරීමකි.

මෑත සතිවල 17,000 ක් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්, 200,000 අධික රජයේ ගුරුවරු, රජයේ පරිපාලන නිලධාරීන්, දුම්රිය, සෞඛ්‍ය හා ජලසම්පාදන සේවකයන් වැටුප් හා යහපත් සේවා කොන්දේසි පිලිබඳ ඉල්ලීම් මත අරගලවලට එලඹුනහ. මසකට ආසන්නව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් ද සතිකයකට වැඩි කාලයක් 2000 පමන දුම්රිය සේවකයෝ ද ආන්ඩුවේ තර්ජන හා වෘත්තීය සමිතිවල කකුලෙන් ඇදීම් තිබිය දී අරගලයේ යෙදී සිටිති.

මෙම අරගල සමස්ත කම්කරු පන්තිය අලලා ගනිමින් ධනපති පන්ති පාලනය අභියෝගයට ලක්වන කොන්දේසි වර්ධනය වෙතැයි සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලු‍ ශ්‍රී ලංකාවේ මුලු‍මහත් දේශපාලන සංස්තාපිතයම භීතියට පත්ව ඇත. ජාත්‍යන්තර පන්ති අරගල මධ්‍යයේ ලංකාව තුල නැගෙන අරගල රැල්ල පවතින පාලන ක්‍රමය යටතේ පාලනය කර ගැනීමේ නො හැකියාව සම්බන්ධයෙන් පාලක පන්තියේ සෑම කොටසක්ම තිගැස්සි සිටියි. ගෝලීය අර්බුදයේ කොටසක් ලෙස ගැඹුරුවී ඇති ආර්ථික අර්බුදය හා කඳුගැසී ඇති නය බර මධ්‍යයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාවට දැමීමට එරෙහිව කම්කරුවන්ගේ මෙම අරගල වර්ධනය වෙමින් තිබේ.

පාලක එක්සත් ජාතික පක්ෂය ජනාධිපති සිරිසේන නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කන්ඩායම, මහින්ද රාජපක්ෂ ගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ඇතුලු‍ ධනපති පන්තියේ කන්ඩායම් අතර ගිය අවුරුද්දේ මුල පටන්ම දේශපාලන කාකොටා ගැනීමක් වර්ධනය වී ඇත. ඊට මූලිකවම හේතුවී ඇත්තේ කලක් තිස්සේ තමන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ලවන ප්‍රහාර නිසා ගොනුවන සමාජ විරෝධය යලි පුපුරා එන තත්වය තුල, කුමන කන්ඩායමට එය තලා දැමීමට හැකිවේද යන්න ගැන පවතින මතභේදයන් ය.

පසුගිය වසරේ සිරිසේන-වික්‍රමසිංහ සන්ධානය බිඳ වැටීම සහ ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත් කිරීම රට තුල දේශපාලන අර්බුදය සහ පාලක පන්තිය අතර කාකොටා ගැනීම තියුනුවීමේ ප්‍රකාශනයකි. ජනාධිපති මැතිවරන ව්‍යාපාරය තුල මෙම පාලක පන්තියේ ප්‍රතිමල්ල කොටස් අතර පොරය ඉහල නැගෙමින් ඇත.

රට “අරාජකවීම”‍ “‍විනය පිරිහීම”‍ “ජාතික ආරක්ෂාව බිඳවැටීම”‍ හා “ශක්තිමත් ආන්ඩුවක”‍ අවශ්‍යකම සම්බන්ධයෙන් පාලක පන්තියේ කන්ඩායම් අතර යන දුෂ්ට වාදයේ පතුලෙහි ඇත්තේ පන්ති අරගල හා වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් නිර්දය ලෙස මැඩලිය හැකි ආඥායක පාලනයක් තහවුරු කිරීම සඳහා සූදානම් වීමය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ හදිසිනීති බලාත්මක කිරීමට සහය දුන් සියලු‍ ධනපති පක්ෂ ඒ යටතේ දිගේලි කෙරුන හමුදා මර්දනයට එකහෙලා එක්වූයේ පොලිස් පාලනයකට මාරුවීමේ කොන්දේසි හදා ගැනීමටයි.

පොලිස් පාලනයක අවශ්‍යතාවය මෙලෙස ධනපති පන්තිය ඉදිරියේ වෙන කවරදාටත් ව වඩා තියුනු ලෙස මතු කරනු ලැබ ඇත. හමුදාපති සිල්වාගේ ප්‍රකාශය එවන් ආඥාදායක පාලනයක් සඳහා තමන්ගේ සූදානම ඇඟවීමකි. ලු‍තිනන් ජෙනරාල් සවේන්ද්‍ර සිල්වා බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි වාර්ගික යුද්ධය තුල දී රුදුරු ලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට වාර්තාවක් ඇත්තෙකි.

හමුදාපති සිල්වාගේ ප්‍රකාශය ගැන වර්ජනය කරන කම්කරුවන්ගේ සංවිධාන ද ඇතුලු‍ සියලු‍ වෘත්තීය සමිති නිහඬ ය. නව සම සමාජ පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය ඇතුලු‍ ව්‍යාජ වාම පක්ෂ, වෘත්තීය සමිති සහ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම ගැන කතාකරන ඊනියා සිවිල් සංවිධාන හමුදාපතිගේ ප්‍රකාශය ගැන කටපියා ගෙන සිටිති. කම්කරු පන්තිය ධනපති පන්තියෙන් ස්වාධීනව ජාත්‍යන්තර සමජවාදී වැඩපිලිවෙලක් මත බලමුලු‍ ගැන්වීමට එරෙහිවෙමින් වෘත්තීය සමිති හා ව්‍යාජ වම්මු ඇත්තෙන්ම කරන්නේ ආඥාදායක පාලනයකට පාර කැපීමයි.

මෙම තීරනාත්මක තත්වය තුල, සමාජවාදී සමානතා පක්ෂය එහි ප්‍රමුඛ සාමාජිකයෙකු වන පානි විජේසිරිවර්ධන ජනාධිපතිවරනයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කොට කම්කරුවන්, දුගීන් හා තරුනයින් වෙත තබා ඇති ඉදිරිදර්ශනය වටා රැලිවන ලෙස අපි ඉල්ලමු.

Share this article: