ලංකා කම්කරු කොංග්‍රසය ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දෙයි

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2019 ඔක්තෝබර් 23

මෙවර ජනාධිපතිවරනයේ දි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දීමට ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) නායකත්වය තීන්දු කල බව ඔක්තෝබර් 13 දා පැවති සීඩබ්ලිව්සී ජාතික සභාවේ දී එහි නායක ආරුමුගම් තොන්ඩමන් නිවේදනය කලේය.

තමන් ජනාධිපතිවරනයේ දී සහාය දෙන්නේ කරුනු 31කින් සමන්විත සිය යෝජනාවලියට එකඟ වන අපේක්ෂකයාට පමනක් යැයි කියමින් සති ගනනාවක් තිස්සේ එක්සත් ජාතික පක්ෂ (එජාප) අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රීලංපොපෙ අපේක්ෂක ගෝඨාභය අතර පැද්දෙමින් ගනන් බැලූ තොන්ඩමන් ප්‍රමුඛ සීඩබ්ලිව්සී නායකයන් අවසානයේ ගෝඨාභය වැලඳ ගැනීම තමන්ට වඩා වාසිදායක වනු ඇතැයි තීන්දු කර ඇත.

එජාපයේ ප්‍රේමදාස හෝ ශ්‍රීලංපොපයේ ගෝඨාභය අතර මොනම තෝරා ගැනීමක් වත් වතු කම්කරුවන්ට හා පොදුවේ සමස්ත කම්කරු පන්තියට හා දුගීන්ට නැත. දෙපාර්ශවය ම දක්ෂිනාංශික ධනපති කල්ලිවල නායකයින් මෙන්ම ධනපති අර්බුදයේ බර කම්කරු දුගී ජනයා මත පැටවීමට පොලිස් රාජ්‍ය පාලනයක් ගෙන ඒම න්‍යාය පත්‍රය කරගෙන සිටිති.

පක්ෂයක් හා වෘත්තීය සමිතියක් වන සීඩබ්ලිව්සී උපතේ පටන්ම ධනේශ්වරයේ සෘජු උපකරනයක් ලෙස ක්‍රියා කරන සංවිධානයකි. එය මෙම තීන්දුව ගෙන ඇත්තේ මොනම අයුරකින් වත් කම්කරුවන් ගැන තකා නොවේ. පසුගිය අවුරුද්දේ මෙම සංවිධානය වතු වැටුප් අරගලය පාවාදුන්නේ ධනපති කොම්පැනිවල හා ආන්ඩුවේ තීන්දු කම්කරුවන් මත පටවමිනි.

කම්කරු පන්තියේ වැඩෙන අරගල ගැන අනෙකුත් ධනපති පක්ෂ සේම භීතියට පත්ව සිටින සීඩබ්ලිව්සීය ඒවා තලා දැමීම සඳහා ආඥාදායක පාලනයක් තහවුරු කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය සහ ශ්‍රීලංපොපෙ වඩා සුදුසු වනු ඇතැයි ද තීන්දු කර තිබේ.

ගෝඨාභයට සහයෝගය දීමට සීඩබ්ලිව්සී පාලක සභාව සහ ජාතික සභාව “‍ඒකමතික තීරනයකට”‍ පැමින ඇති බව 13 දා පැවති රැස්වීමේ සදහන් කල තොන්ඩමන් රැස්ව සිටි නිලධාරි කල්ලියට” ‍සම්පූර්නයෙන් කැපවී දිස්ත්‍රික්කයේ ජයග්‍රහනය ගෝඨාභය මහතාට ලබා දෙන ලෙස”‍ ආයාචනා කලේ එම තුච්ච ක්‍රියාවෙන් ඔවුන්ට “ගෞරවයක් හිමි වන”‍ බව සඳහන් කරමිනි. ඔවුන්ට ලැබෙන “ගෞරවය”‍ නම් ආන්ඩුවේ අන්ඩක් ලෙස ක්‍රියා කිරීම සඳහා සීඩබ්ලිව්සී නායකයන්ට ලැබෙන ඇමති, නියෝජ්‍ය ඇමති තනතුරු ඇතුලු‍ වරප්‍රසාදයන් ය.

ලංකාවේ ජනාධිපතිවරනය පැවැත් වෙන්නේ අතිශය බරපතල ආර්ථික දේශපාලන අර්බුදයක් මධ්‍යයෙහිය. කාකොටා ගන්නා ලංකාවේ ධනපති පක්ෂ හා කල්ලි අතර උපායාත්මක මතබේද පවතින නමුදු ගෝලීය පන්ති අරගලයේ කොටසක් ලෙස වර්ධනය වන පන්ති අරගලය කුඩුකර වැඩකරන ජනයා මත අර්බුදයේ බර පැටවීමට සමත් ආඥාදායක පාලනයක් කරා මාරුවීම සම්බන්ධයෙන් මේ සෑම කොටසක් ම ඒකමතික ය.

දැන් චිලී රටේ අරගලයට ඇදෙන කම්කරුවන්ට එරෙහිව එරට දක්ෂිනාංශික ආන්ඩුව මිලිටරිය ප්‍රචන්ඩත්වයක් සඳහා මුදා හැර ඇත. ඊට පෙර, ඉක්වදෝරය තුල අරගලයට ඇදුන කම්කරුවන්ට එරෙහිව එරට දක්ෂිනාංශික ආන්ඩුව මෙවැනිම ප්‍රහාරයක් එල්ල කලේය. ලංකාව තුල ද ඉස්මත්තට එමින් පවතින්නේ මෙම ජාත්‍යන්තර ප්‍රවනතාවය යි.

ජනාධිපතිවරන උද්ඝෝෂනය තුල එජාපයේ, ශ්‍රීලංපොපෙ සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) මූලික උද්ඝෝෂන පාඨය වී ඇත්තේ ආරක්ෂක හමුදාවන් බල ගන්වා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ “ශක්තිමත්”‍ ආන්ඩුවක් ස්ථාපිත කිරීම ය. මෙම සියලු‍ පක්ෂ මෙන්ම සීඩබ්ලිව්සීය ද අප්‍රේල් 21 ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය යොදාගෙන හදිසි නීති රෙගුලාසි වලින් බලගන්වා මිලිටරිය මුදා හැරීමට සහ මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩත්වය උසිගැන්වීමට එක්වූහ.

සීඩබ්ලිව්සීය විසින් ජනාධිපති අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කල ඉල්ලීම් 31 ට නුවර එලිය දිස්ත්‍රික්කයේ විශ්ව විද්‍යාලයක් පිහිටුවීම, ඌව පලාතට තවත් ගුරු පුහුනු විද්‍යාලයක්, හැටන් ප්‍රදේශයට විවෘත විශ්වවිද්‍යාලයේ ශාඛාවක්, උසස් පෙල සඳහා වානිජ සහා විද්‍යා අංශවල පහසුකම් සහිතව වතු දිස්ත්‍රික්ක 14 තුල ප්‍රමානවත් තරම් පාසල් පිහිටුවීම සහ ඉන්දියානු සම්භවයක් සහිත ජනයාගේ රැකියා පහසුකම් වැඩි දියුනු කිරීම සඳහා සෑම 10 වසරකට වරක් විශේෂ වැඩ පිලිවෙලවල් ක්‍රියාවට දැමීම ඇතුලත් වෙයි.

මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ඇත්තේ වතු කම්කරුවන්ට යහපත් ජීවන තත්වයන් සහතික කිරීම සඳහා යයි සිතීම මුලාවකි. බලයේ පැවති ධනපති ආන්ඩුවලට මුක්කු ගැසීම නිසා හා කම්කරු ඉල්ලීම් පාගා දැමීම නිසා සීඩබලිව්සී බරපතල ලෙස අපකීර්තියට පත්වී ඇති තතු තුල කම්කරුවන්ගේ සහයෝගයක් දිනා ගැනීම හා පාලක පන්තියේ ඒ හෝ මේ කන්ඩායම පිටුපස වතු කම්කරුවන් ගාල් කිරීම මෙම ඉල්ලීම්වල ඉලක්කයයි.

සීඩබ්ලිව්සී හා ශ්‍රීලංපොපෙ අතර “‍අවබෝධතා ගිවිසුමක්”‍ ද පසුගිය සතියේ අත්සන් කෙරුනි. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට ගෝඨාභය එහිදී පොරොන්දු වූ බව ශ්‍රීලංපොපෙ සභාපති ජි.එල්. පීරිස් සඳහන් කර ඇත. “‍වැටුප් වැඩි කිරීම ප්‍රායෝගිකව කල හැකි කාර්යයක්. එය කිරීම පිනිස ගෝඨාභය රාජපක්ෂට යාන්ත්‍රනයක් තියෙනවා”‍ යයි පීරිස් කියා ඇත.

මෙම “‍පොරොන්දුව”‍ ගෝඨාභයට වතු කම්කරුවන්ගේ චන්ද කඩා දීම සඳහා ගෙතූ අතේ පත්තුවන බේගලකි. රුපියල් දහස දක්වා වැටුප් දෙගුනයක් කිරීමට නොහැකි අර්බුදයක් ඇති බවට වතු සමාගම් කල කියාපෑම පුනරුච්චාරනය කරමින් සීඩබ්ලිව්සී හා අනෙකුත් සමිති නායකයින් පාවා දීම සිදුකලේ පසුගිය ජනවාරි මාසයේ ය.

පීරිස් පවසා ඇති පරිදි “‍නිෂ්පාදන පලදායිතාවය සහ තේවල ගුනාත්මකභාවය වැඩිකල විට ආදායම් ඉහලයන බැවින් සමාගම්වලට වැටුප් වැඩි කිරීමට හැකි වෙයි.” මෙහි තේරුම නම් ශ්‍රීලංපොප ආන්ඩුවක් යටතේ දරුනු සූරාකෑමේ වැඩපිලිවෙලක් උසිගැන්වීමට යන බවයි.

සීඩබ්ලිව්සී ජාතික සභාව යනු මෙම සංවිධානයේ ශාඛා සමිතිවල නිලධරයන්ගෙන් සමන්විත එකක් මිස එහි සාමාන්‍ය සාමාජිකයන්ගේ නියෝජනයක් නොවේ. සීඩබ්ලිව්සී සාමාජිකයන් මෙන් ම වතු කම්කරුවන් බහුතරයක් අතර පවතින්නේ ධනේශ්වර දේශපාලන සංස්තාපිතය කෙරෙහි මෙන් ම සීඩබ්ලිව්සී ඇතුලු වතු වෘත්තීය සමිති කෙරෙහි පුලුල්ව පැතිරුනු විරුද්ධත්වයකි. කිසිදු ධනපති ආන්ඩුවක් යටතේ තම නිවාස, සෞඛ්‍ය සහ අධ්‍යාපනය ඇතුලු මූලික අවශ්‍යතාවයන් පිලිබඳ ගැටලු පවා නොවිසඳී ඇති බව ඔව්හු දනිති.

තම සමිතිය හා ශ්‍රීලංපොපෙ අතර ගිවිසුම යුක්ති සහගත කිරීමට සීඩබ්ලිව්සී නායකයෙකු සහ ඌව පලාත් සභාවේ හිටපු ඇමතියෙකු වන සෙන්දිල් තොන්ඩමන් වීරකේසරී පුවත්පතට මෙසේ කියා ඇත: “රාජපක්ෂ ආන්ඩුව කාලයේ හමුදා සොල්දාදුවන් දහස් ගනනක් උතුරේ දී මිය ගියා. නමුත් දකුනේ කිසිම ප්‍රචන්ඩ බවක් ඇති වුනේ නැහැ.”‍

මෙය මුසාවකි. 1977 පටන් යුඇන්පී-ශ්‍රීලංනිප ආන්ඩුවල ඇමතිකම් දරාගෙන, උතුරු නැගෙනහිර යුද්ධය ගෙනයාමට හවුල්වී එම පලාත්වල දෙමල ජනයාගේ ලේ වැගිරීමට සහයෝගය දුන් සීඩබ්ලිව්සී නිලධරය වතුකරයේ පෙරලිකාරී වූ කම්කරුවන් හා තරුනයින් මැඩීමට පොලිසියට උදවු දුන්නේය. සීඩබ්ලිව්සී සහයෝගය දුන් යුද්ධයේ දී සිදු කරන ලද අපරාධ පිලිබඳව පොදුවේ ගෝඨාභයට හා ආරක්ෂක ලේකම් තනතුර දැරූ මහින්ද රාජපක්ෂ ආන්ඩුවටත් චෝදනා එල්ල වී ඇත.

සීඩබ්ලිව්සීය යනු එක්සත් ජනපදය ඇතුලු‍ බටහිර අධිරාජ්‍යවාදී බලයන් සහ ඔවුන්ගේ කලාපීය ඒජන්තයන් වන ඉන්දියානු ධනේශ්වර පාලක පන්තිය සමග සමීප සබදතා පවත්වා ගෙන යන සංවිධානයකි. ඇමරිකා එක්සත් ජනපදයේ කොලඹ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මාර්ටින් ටී කෙලී සීඩබ්ලිව්සී නායක තොන්ඩමන් මුන ගැසී නුවර එලියේ දී කල සාකච්ඡාව ඒ පිලිබද මෑතම නිදසුන ය. තමන් හා ඇමරිකානු නිලධාරියා සාකච්ඡා කලේ කුමක් දැයි තොන්ඩමන් හෙලි කර නැත.

වතු කම්කරුවන් ගැන මොනම කැක්කුමක් වත් එක්සත් ජනපදයට නැත. නිශ්චිතවම කෙලී සීඩබ්ලිව්සී නායකයාට අවධාරනය කරන්නට ඇත්තේ කලාපය තුල එක්සත් ජනපදයේ භූ-දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කම ය.

සීඩබ්ලිව්සී ගෝඨාභයට සහයෝගය දෙන අතර රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ පාර්ශවකරුවන් වන ජාතික කම්කරු සංගමය, කඳුරට ජනතා පෙරමුන, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය සහ එජාප නායකත්වය දරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුන සජිත් ප්‍රේමදාසට සහාය දෙති.

කම්කරුවන් භේදකර, ධනපති පක්ෂ පිටුපස ඔවුන් මෙහයවමින් මෙම වෘත්තීය සමිති කම්කරුවන්ගේ පන්ති ස්වාධීනත්වය පාවාදී ඇත. මෙම සමිති ක්‍රියා කරන්නේ කම්කරුවන්ට එරෙහි පොලිසියක් ලෙස ය. ඔවුන් නියෝජනය කරන්නේ මහා වතු සමාගම්වල හා ධනපති රාජ්‍යයේ උවමනාකම් ය. වතු කම්කරුවන් මුහුන දෙන අන්ත දරිද්‍රතාවයේ ප්‍රශ්නවලට මේ සමිති වග කිව යුතුය. සමිති නිලධරය මෙම පාවාදීම් වලට අල්ලස ලෙස ඉහලින්ම වරප්‍රසාද ලබාගෙන සිටිති.

ධනපති පක්ෂවල සෘජු උපකරන ලෙස ක්‍රියාකරන මෙම සමිතිවලින් බිඳී වතු කම්කරුවන් තමන්ගේ අයිතීන් සඳහා සටන් කිරීමට ඒවායින් මුලු‍මනින්ම වෙන්වූ සංවිධාන ගොඩනගා ගැනීම හදිසි ප්‍රශ්නයක් ලෙස මතුවී ඇත. එම සංවිධාන නම්, කම්කරු ක්‍රියාකාරී කමිටු ය. පසුගිය වතු වැඩ වර්ජනයේදී සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ට මේ සඳහා කැඳවුමක් කලේය. අබෝට්ස්ලී වත්තේ කම්කරුවන් සෑහෙන පිරිසක් ඒවටා එක්වී කම්කරු ක්‍රියාකාරී කමිටුවක් ගොඩනගා ගත්හ. දැන් සෑම වත්තකම එවන් කමිටු ගොඩනැගීම අවශ්‍ය ය.

එය වතුවල පමනක් නොව කම්කරු පන්තියේ සෑම කොටසක් ම ගතයුතු පියවරක් බව පසුගිය විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ, දුම්රිය කම්කරුවන්ගේ, ගුරුවරුන්ගේ අරගලවලදී පැහැදිලි විය.

අවශේෂ කම්කරුවන්ට මෙන්ම, වතු කම්කරුවන් ද මුහුන දෙන ප්‍රශ්නවලට හා ප්‍රහාරවලට ධනපති ක්‍රමය තුල විසඳුම් සොයාගත නොහැක. එකම විසඳුම වන්නේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම හා එම අරගලය තුලදී විශාල වතු. ධනපති කොම්පැනි හා බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කිරීමයි. ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම වැඩපිලිවෙලට සටන් වදියි.

සසප මෙම වැඩපිලිවෙලට සටන් කරමින් සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස පානි විජේසිරිවර්ධන ඉදිරිපත්කර ඇත. ඔහුට චන්දය දෙන ලෙසත්, සසප ක්‍රියාමාර්ගය හදාරමින් එය කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනැගීමට එක්වන ලෙසත් කම්කරුවන් සහ තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

මෙම වැඩපිලිවෙල සාකච්චා කිරීම සඳහා නොවැම්බර් 3 දින සවස 2ට සසප හැටන් නගර ශාලාවේ ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි. ඊට සහභාගිවන ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයින් ගෙන් අපි ඉල්ලමු.

Share this article: