ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනයේ දී සසප අපේක්ෂක පානි විජේසිරිවර්ධනට ඡන්දය දෙන්න!

අධිරාජ්‍යවාදී යුද්ධයට, කප්පාදුවට හා ආඥාදායකත්වයට එරෙහි ව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට එක්වන්න!

සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ප්‍රකාශය, 2019 ඔක්තෝබර් 24

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), නොවැම්බර් 16දා පැවැත්වෙන ජනාධිපතිවරනයේ දී සිය අපේක්ෂකයා වන පානි විජේසිරිවර්ධනට සහයෝගය දෙන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, ගම්බද දුගීන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටී.

මැතිවරනයේ දී තරඟ වදින එකම සමාජවාදී අපේක්ෂකයා විජේසිරිවර්ධන යි. ඔහු සසප දේශපාලන කමිටුවේ ද ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කොලඹ කර්තෘ මන්ඩලයේ ද සාමාජිකයෙකි. සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා ගම්බද දුගීන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් වැදීමේ 40 වසරක වාර්තාවක් ඔහුට තිබේ.

එක්සත් ජාතික පක්ෂය (එජාප), ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු‍ සියලු‍ ධනේශ්වර පක්ෂ වලට ද ඒවායේ ආවතේවකාරයන් වන ව්‍යාජ-වාම නව සම සමාජ පක්ෂයට (නසසප), එක්සත් සමාජවාදී පක්ෂයට (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙසප) ද විරුද්ධ ව සසප සමාජවාදී ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරයි.

කම්කරුවන්ට හා තරුනයන්ට සත්‍යය ප්‍රකාශ කරන එකම පක්ෂය සසප යි. ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර ව කම්කරුවන් මුහුන දෙන යුද්ධයේ, කප්පාදුවේ සහ ආඥාදායකත්වයේ හා ෆැසිස්ට්වාදයේ ඉමහත් අන්තරායන්ට, ධනවාදයේ හා එහි යල්පිනූ ජාතික රාජ්‍ය පද්ධතියේ රාමුව ඇතුලත විසඳුමක් නැත.

විසඳුම පවත්නේ, සුපිරි ධනවත් සුලු‍තරයකගේ ලාභ සඳහා නොව, අතිමහත් බහුතර මානව වර්ගයාගේ දැවෙන අවශ්‍යතා ඉටුකරන පරිදි, සමාජය යලි හැඩගැස්වීම පිනිස දකුනු ආසියාවේ හා ලොව පුරා කම්කරුවන් අර්බුද ග්‍රස්ත ලාභ පද්ධතිය අහෝසි කිරීම සඳහා ඒකාබද්ධ කිරීම තුල පමනි.

ලොවපුරා කම්කරු පන්ති අරගලයේ පුනර්ජීවනය සමගින් අපගේ ඉදිරිදර්ශනය සමපාත වෙමින් තිබේ. එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ වර්ජනවලින් පසුව, මෙක්සිකෝවේ, කැනඩාවේ හා දකුනු කොරියාවේ සහෝදර කම්කරුවන්ගේ සහයෝගය දිනාගනිමින් ජෙනරල් මෝටර්ස් කම්කරුවන් 48,000කගේ වර්ජනය දියත් වේ.

මැක්රොන් ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ලකරන ප්‍රහාරයන්ට එරෙහි කම්කරුවන්ගේ හා තරුනයන්ගේ “කහ කබා” ව්‍යාපාරය විසින් ප්‍රන්සය සොලවාලමින් තිබේ. මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඉල්ලමින් මිලියන ගනන් නිරත වන හොංකොං මහජන විරෝධතා මාස ගනනක් තිස්සේ පැවතී ඇත.

ජනවාරියේ ඉන්දියාවේ පැවති කම්කරුවන් මිලියන 180ක් සහභාගි වූ යෝධ දෙදින මහා වැඩ වර්ජනය පලල් වර්ජන ව්‍යාපාරයක කොටසකි. එම මාසයේ ම තමිල්නාඩුවේ ගුරුවරුන් දසදහස් ගනනක් වර්ජනයේ නිරත වූ අතර, මරුති සුසුකි හා මදර්සන් මෝටර් රථ කම්කරුවෝ රැකියා, වැටුප් හා සේවා කොන්දේසිවලට එරෙහි ප්‍රහාරයන්ට විරුද්ධ ව අරගලයේ යෙදෙති.

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අරගලය ගෝලීය ව්‍යාපාරයක කොටසකි. පසුගිය වසරේ පටන්, විවිධ කම්කරු කොටස් ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව පන්ති ක්‍රියාවන්ට එලැඹ ඇත. පසුගිය දෙසැම්බරයේ, වෘත්තීය සමිතිවල විරෝධය නො තකා දසදහස් සංඛ්‍යාත වතු කම්කරුවන් වර්ජනයේ යෙදුනේ ශිෂ්ට සම්පන්න ජීවිතයක් සඳහා අවශ්‍ය වැටුපක් දිනා ගැනීමට සටන් කිරීමට යි. ගෙවීගිය මාස දෙක පුරා පමනක්, ගුරුවරුන් ලක්ෂ ගනනකගේ වැඩ වැරුමක්, විශ්ව විද්‍යාල අනධ්‍යයන කම්කරුවන්ගේ අඛන්ඩ වැඩ වර්ජනයක් සහ දුම්රිය හා අනෙකුත් සේවකයන්ගේ අරගල පුපුරා ගිය අතර, ඒවා වෘත්තීය සමිති විසින් පාවාදෙන ලදි.

සසප ජනාධිපතිවරන උද්ඝෝෂනයේ කේන්ද්‍රීය අක්ෂය වන්නේ, හජාජාක අපගේ සහෝදර පක්ෂවල ද සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ ද දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව ද ඉදිරියේ එන අරගලවලට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය, ගොඩනැගීම යි.

යුද ධාවනය නතර කරනු!

ගැඹුරු වන මූල්‍ය අර්බුදයට හා ආර්ථික පිරිහීමට ලොව පුරා පාලක පන්තීන් සතුව ඇති එකම විසඳුම වන්නේ ඔවුන්ගේ ප්‍රතිමල්ලවයන්ට එරෙහි ව වෙලඳ යුද්ධයට හා යුද්ධයටත් කම්කරු පන්තිය මත නව බර පටවමින් පන්ති යුද්ධයටත් යොමු වීම පමනක්ම ය.

ලෝක දේශපාලනයේ ප්‍රධාන අස්ථාවරකාරී සාධකය වන්නේ පිරිහෙන ගෝලීය ආධිපත්‍යය තරකර ගැනීම සඳහා ජනාධිපති ට්‍රම්ප් යටතේ මංමුලා සහගත ප්‍රයත්නයක යෙදෙමින් වඩා ආක්‍රමනකාරී හා වඩ වඩාත් ඉවක්බවක් නැතිව ක්‍රියා කරන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යි.

ජනාධිපති ඔබාමා යටතේ ඇරඹුනු චීනයට එරෙහි අභිමුඛනය ට්‍රම්ප් විසින් තීව්‍ර කරනු ලැබ ඇත්තේ 1930 ගනන්වල මෙන් ආසියාව හා මුලු‍ ලෝකය ම මෙවර න්‍යෂ්ටික බලවතුන් ද සහභාගි වන පූර්න-පරිමාන ලෝක යුද්ධයක් තුල ගිල්වා දැමීමේ තර්ජනය මතු කරමිනි. එක්සත් ජනපදයේ ආර්ථික හා මූලෝපායික අවශ්‍යතාවන්ට තර්ජනය කරන ඊනියා යුරෝපීය සගයන් ඇතුලු‍ ඕනෑම රටක් ඔහුගේ ඉලක්කය වේ.

යුද්ධයට සූදානම් වීමේ දී වොෂින්ටනය මෙම කලාපය පුරා සන්ධාන, මූලෝපායික හවුල්කාරීත්වයන් හා කඳවුරු ගිවිසුම් ශක්තිමත් කරමින් සිටී. 2019 පෙන්ටගනයේ ඉන්දු-පැසිෆික් මූලෝපාය නම්වූ ලියවිල්ල මෙසේ සඳහන් කලේ ය: “දකුනු ආසියාව තුල අපි, ඉන්දියාව සමග අපගේ ප්‍රධාන ආරක්ෂක හවුල්කාරීත්වය ක්‍රියාත්මක කිරීමට වැඩ කරමින් සිටින්නේ, ශ්‍රී ලංකාව, මාල දිවයින, බංග්ලාදේශය හා නේපාලය සමග මතු වන හවුල්කාරීත්වයන් හඹා යමිනි.”

ඉන්දියාවේ අන්ත-දක්ෂිනාංශික හින්දු ස්වෝත්තමවාදී ආන්ඩුව, පෙර පැවති කොංග්‍රස් පක්ෂය නායකත්වය දුන් ආන්ඩුව යටතේ වාත්තු කරගත් “ගෝලීය ඉන්දු-එක්සත් ජනපද මූලෝපායික හවුල්කාරීත්වය” වර්ධනය කරමින් සිටී. පසුගිය වසරේ, ඉන්දියාවේ වරායවල් හා මිලිටරි කඳවුරු එක්සත් ජනපද මිලිටරියට විවෘත කිරීමේ ගිවිසුම් නව දිල්ලිය විසින් අත්සන් කර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහගේ සහයෝගය සහිත ව 2015 දී එක්සත් ජනපදය මෙහෙයවූ තන්ත්‍ර-මාරු මෙහෙයුමකින් බලයට පැමිනි ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජනපදයට හා ඉන්දියාවට ගැති වන පරිදි විදෙස් පිලිවෙත ක්ෂනික ව වෙනස් කලේ ය. රටෙහි සන්නද්ධ හමුදා එක්සත් ජනපද මිලිටරිය සමග සමීප ව ඒකාග්‍ර කර ඇති කොලඹ ආන්ඩුව, මහින්ද රාජපක්ෂගේ පරිපාලනය විසින් අත්සන් තැබූ ප්‍රවේශ හා හරස් සේවා ගිවිසුම අලු‍ත් කලේ ය.

න්‍යෂ්ටික යුද්ධයේ ම්ලේච්ඡත්වය තුල පමනක් අවසන් විය හැකි භූ-දේශපාලනික ආතතීන්හි ප්‍රතිමල්ලතාවන්ගේ වාසුලිය තුලට රට ඇද දැමීමට ඉඩ දීම ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියට කල නො හැක. යුද්ධය කරා ධාවනය නැවැත්විය හැකි එකම ක්‍රමය වන්නේ, ධනවාදය හා ගැටුමේ මූලික හේතුව වන යල්පිනූ ප්‍රතිමල්ලව ජාතික රාජ්‍ය පද්ධතිය පෙරලා දැමීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම යි. එවන් ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සසප හා හජාජාක ගෙන යන සටනට එක්වන ලෙස අපි කම්කරුවන්ට හා තරුනයන්ට කැඳවුම් කරමු.

ෆැසිස්ට්වාදයට හා ආඥාදායකත්වයට එරෙහි වනු!

පන්ති අරගලයේ යලි ඉස්මතු වීමට ජාත්‍යන්තර ව පාලක පන්තියේ ප්‍රතිචාරය වන්නේ, අන්ත දක්ෂිනාංශය, ෆැසිස්ට්වාදය හා ආඥාදායකත්වය කරා වේගවත් හැරීමකි. එක්සත් ජනපදය තුල, ප්‍රජාතන්ත්‍රීය අයිතීන් හා ව්‍යවස්ථාමය සම්මතයන් කෙරෙහි ට්‍රම්ප්ගේ අවඥාව, ඔහුගේ “පලමුව ඇමරිකාව”‍ නමැති දේශානුරාගය සහ විෂකුරු සංක්‍රමන-විරෝධී භීතිකාව හා වර්ගවාදය ඇමරිකාව තුල ෆැසිස්ට්වාදයේ අන්තරාය වඩ වඩා ඉහල දමයි.

යුරෝපයේ පාලක ප්‍රභූන් කම්කරු පන්තියට එරෙහි ව පොලිස්-රාජ්‍ය පියවරයන් ක්‍රියාවට දැමීම සඳහා අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී පක්ෂ වෙත හැරෙමින් සිටී. ජර්මනිය සඳහා විකල්පය නම්වූ ෆැසිස්ට්වාදී සංවිධානය ප්‍රධාන විරුද්ධ පක්ෂය ලෙස හිතාමතා ම ප්‍රමුඛත්වයට ඔසවනු ලැබ ඇත්තේ, නව-නාසිවාදී කන්ඩායම් සංක්‍රමනිකයන්ට හා අනෙකුත් අයට එරෙහි ව ත්‍රස්තවාදී ප්‍රහාර සිදුකරද්දී ය. මෙම අන්ත-දක්ෂිනාංශික පක්ෂවලට මහජන පදනමක් නැතත් ඒවා කම්කරු පන්තියට සැබෑ අන්තරායක් මතුකරයි.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඉන්දියානු ආන්ඩුව, ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ජම්මු සහ කාෂ්මීරයට පැවති සුවිශේෂී තත්ත්වය අහෝසි කර තිබේ. ලක්ෂ සංඛ්‍යාත යුද භටයන් යොදවා එම ප්‍රාන්තය අගෝස්තු 5දා සිට දඬුගසනු ලැබ පිටස්තර ලෝකය සමග සන්නිවේදනය කිරීමෙන් වලකා තිබීම, සමස්තයක් ලෙස කම්කරු පන්තියට එරෙහි ව සූදානම් කරනු ලැබෙමින් පවත්නේ කුමන ප්‍රහාරයක් ද යන්න ගැන අනතුරු ඇඟවීමකි.

ශ්‍රී ලංකාව මීට වෙනස් නැත. දූෂනය අවසන් කිරීම, ජීවන කොන්දේසි ඉහල දැමීම, ප්‍රජාතන්ත්‍ර අයිතීන් ප්‍රතිස්ථාපනය කිරීම හා “යහපාලනය” සම්පාදනය කිරීම ආදිය පිලිබඳව ප්‍රෝඩාකාරී උද්ඝෝෂනයකට ව්‍යාජ-වාම කන්ඩායම්, වෘත්තීය සමිති හා රාජ්‍ය නො වන සංවිධානවල පිටුබලය ද ලබාගෙන 2015 දී සිරිසේන හා වික්‍රමසිංහ බලයට පැමිනියහ.

කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා ගම්බද දුගීන්ගේ අරගල මැඩීමට පොලීසිය හා මිලිටරිය යොදාගනිමින් ද ආඥාදායක පාලන ක්‍රම සූදානම් කරමින් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු න්‍යාය පත්‍රය පෙරට දමමින් ද ආන්ඩුව ක්‍රියාවට දමා ඇත්තේ එම පොරොන්දුවල ප්‍රතිවිරුද්ධය යි.

කඳු ගැසෙන මහජන විරෝධයකට මුහුන දෙන තත්වය තුල ජනාධිපති සිරිසේන, වික්‍රමසිංහ සමග අටවාගෙන සිටි “සමගි ආන්ඩුවෙන්” බිඳී පසු ගිය ඔක්තෝබරයේ දේශපාලන කුමන්ත්‍රනයක් මගින් ව්‍යවස්ථා-විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කලේ ය. එක්සත් ජනපදය රාජපක්ෂ බෙයිජිං-හිතවාදී යයි සැලකීම හා ශ්‍රේෂ්ඨාධිකරනය ඔහුගේ පාර්ලිමේන්තුව විසිරවීම අවලංගු කිරීම නිසා සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රනය වැරදී ගියේ ය. සසප විස්තර කල පරිදි, එම කුමන්ත්‍රනය කම්කරුවන්ට එරෙහි ව යොදාගනු ඇති පොලිස්-රාජ්‍ය විධික්‍රම පිලිබඳ අනතුරු ඇඟවීමක් විය.

අප්‍රේල් මාසයේ දී ඉස්ලාමීය සටන්කාමීන් විසින් එල්ල කල ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට හා විෂඝෝර ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් පැටවීමට ආන්ඩුව විසින් ගසාකෑවේ ය. පාලක එජාපය, විපක්ෂයේ ශ්‍රීලපොපෙ හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මෙන්ම විවිධ දෙමල හා මුස්ලිම් පක්ෂ සහ වෘත්තීය සමිති ඇතුලු‍ සමස්ත දේශපාලන සංස්ථාපිතය සිරිසේන සිදුකල දැවැන්ත පරිමාන මිලිටරි මෙහෙයුමට සහ හදිසි නීති යොදා ගැනීමට පිටුබලය දුන්හ.

ආන්ඩුවේ හා විපක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයන් මෙන් ම ආරක්ෂක නිලධාරීන් ද එල්ල වීමට නියමිත ප්‍රහාරය පිලිබඳ ව දැන සිට කිසිවක් නො කිරීම මගින් පෙන්නුම් කෙරුනේ ඔවුන් සියල්ලන්ගේ නරුම දුෂ්ටත්වය යි. සියගනනක් අහිංසක ජනයා සංහාරයට ලක්කිරීමට ඔවුන් ඉඩදුන්නේ, සිය ප්‍රතිගාමී දේශපාලන උවමනාවන් සඳහා ඛේදවාචකය ගසාකෑමට යි. පොලිස්-රාජ්‍ය පියවරයන්ගේ ද ඒ හා අත්වැල් බැඳගත් මුස්ලිම්-විරෝධී භීතිකා උද්ඝෝෂනයේ ද සැබෑ ඉලක්කය වන්නේ ත්‍රස්තවාදය නො ව කම්කරු පන්තිය යි.

කම්කරු පන්ති-විරෝධී අපේක්ෂකයන්ගේ පෙලගැසීම

සංස්ථාපිතයේ සියලු‍ පක්ෂ ජනාධිපතිවරනයේ දී උද්ඝෝෂනයේ යෙදෙන්නේ, ආඥාදායක පාලනය සඳහා සමාන පදයක් වන “ශක්තිමත් ආන්ඩුවක්” සඳහා ය.

ශ්‍රීලපොපෙ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරයා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එහි අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරයි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධයේ දී සිදුකරන ලද යුද අපරාධ හා ම්ලේච්ඡ ක්‍රියාවන් සම්බන්ධයෙන් දෙදෙනා ම මූලික ව වගකිව යුතු ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, අවසන් මාස කිහිපයේ දී පමනක් සිවිල් වැසියන් 40,000ක් ඝාතනය කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් (ශ්‍රීලනිප) බිඳී ගිය කොටසක් වන ශ්‍රීලංපොපෙ, හිටපු ආරක්ෂක ලේකම් වරයා ඉදිරිපත් කරන්නේ එහි උද්ඝෝෂනයට මිලිටරිවාදී ප්‍රතිරූපයක් ලබා දීමට සහ බොදු බල සේනා හා සිහල රාවය වැනි සිංහල ස්වෝත්තමවාදී සංවිධාන රැලි කරගැනීමට ය. අනුරාධපුරයේ පැවති ඔහුගේ පලමු මැතිවරන රැලියේ දී, යුද්ධයට සම්බන්ධ චෝදනා මත බන්ධනාගාරගත කර සිටින සියලු‍ මිලිටරි භටයන් නිදහස් කරන බවත්, මිලිටරිය හා ඔත්තු සේවා යාන්ත්‍රනය වැඩිදුර ශක්තිමත් කරන බවත් ඔහු ප්‍රකාශ කලේ ය.

එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ලෙස පත් කරන බවත්, “ඕනෑම ආකාරයක ත්‍රස්තවාදයක් මැඩීමට ඔහුගේ අත්දැකීම් යොදාගන්නා” බවත් නිවේදනය කරමින් ශ්‍රීලංපොපෙ සමග තරඟයට පැනගෙන ඇත. යුද්ධයේ අවසන් වසරවල මිලිටරියට නායකත්වය දුන් ෆොන්සේකා, රාජපක්ෂ සහෝදරයන් ද සමග යුද අපරාධ සඳහා සෘජු ව වගකිව යුතු ය.

බෞද්ධ සංස්ථාපිතය බලමුලු‍ගන්වාගැනීමේ උත්සාහයක යෙදෙමින් සජිත් ප්‍රේමදාස ඊට නොයෙකුත් පොරොන්දු දෙමින් සිටී. ඔහු සපත කරමින් සිටින්නේ, තරුනයන් 60,000ක් ඝාතනය කරමින් 1988-1990 සමයේ ගම්බද පෙරලිකාරිත්වය තලාදැමීමට රාජ්‍ය ත්‍රස්තය සඳහා මිලිටරියට සම්බන්ධ ඝාතක කල්ලි මුදාහරිමින් සිය පියාවන හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ගිය අඩිපාරේ යාමටයි.

එජාපය හා ශ්‍රීලනිපය යන ප්‍රධාන පක්ෂවලට වසර 20ක් තිස්සේ සහයෝගය දීමෙන් පසු, ජවිපෙ මෙවර ප්‍රථම වරට ජනාධිපතිවරනයකට තරඟ කරයි. ධනවාදය කෙරෙහි වැඩෙන මහජන විරෝධය පාර්ලිමේන්තු මාවතකට අපසරනය කිරීම පිනිස, 2015 දී ව්‍යාජ “යහපාලන” උද්ඝෝෂනයට පිටුබලය දුන් ශාස්ත්‍රාලිකයෝ හා රාජ්‍ය නො වන සංවිධාන දැන් ජවිපෙ ප්‍රගතිශීලී විකල්පයක් ලෙස සැරසීමට උත්සාහ දරති.

ජවිපෙ අපේක්ෂක අනුර කුමාර දිසානායක ඡන්ද දායකයන් රැවටීමට උත්සාහ කරමින් සිටින්නේ, 2015 දූෂනයට එරෙහි උද්ඝෝෂනය යලි රඟදක්වමින් හා ආඥාදායක පාලනයේ මුර පදයන් වන නීතියේ පාලනය හා විනය සඳහා ද කැඳවුම් කරමිනි. කම්කරුවන් හා තරුනයන් එහි වාර්තාව යලි මතකයට ගත යුතු ය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ 2004 සභාග ආන්ඩුවේ කොටස්කරුවෙකු වූ ජවිපෙ, ජාමූඅහි වෙලඳපොල-ගැති න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීමට සහයෝගය දුන්නේ ය. ස්වෝත්තමවාදී දෙමල-විරෝධී යුද්ධයෙහි පෙරමුනේ සිටීමෙන් සහ උතුර හා නැගෙනහිර මිලිටරි වාඩිලාගැනීමට සහයෝගය දීමෙන් පසු ජාතික සමගිය සඳහා ආයාචනා කිරීම මගින් දෙමල හා මුස්ලිම් වැසියන්ගේ සහයෝගය දිනාගැනීමට එය දැන් වලිකයි.

මුස්ලිම් කොංග්‍රසය, දෙමල ජාතික සන්ධානය (දෙජාස) හා ඒවායින් කැඩී ගිය විවිධ කන්ඩායම්, කම්කරු පන්තිය බෙදීමට පමනක් තුඩුදෙන වර්ගවාදී දේශපාලන උද්ඝෝෂනයක යෙදෙති. ඔවුන් සියලු‍ දෙනා 2015 තන්ත්‍ර-මාරු මෙහෙයුමට පිටුබලය දුන්නේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ඔවුන්ගේ සහයෝගය ප්‍රදර්ශනය කරමිනි. දෙජාසහි ඉදිරිදර්ශනය වන්නේ, දෙමල ප්‍රභූවේ වරප්‍රසාද හා දෙමල කම්කරුවන් සූරාකෑමට ඔවුන්ට ඇති “අයිතිය” සුරක්ෂිත කරගැනීම සඳහා වන බලය බෙදීමේ වැඩපිලිවෙලකට වොෂින්ටනයේ පිටුබලය ලබාගැනීම යි.

කප්පාදුවේ හා පන්ති යුද්ධයේ න්‍යාය පත්‍රයක්

සැමදෙනට සෞභාග්‍යමත් අනාගතයක් සඳහා සජිත් ප්‍රේමදාස දෙන පොරොන්දුවලින් හෝ ගොවියන්ට නො මිලේ පිටි හා පොහොර දෙන බවට ගෝඨාභය රාජපක්ෂ දෙන පොරොන්දුවලින් කිසිවකු නො රැවටිය යුතු ය. මින් කවරෙක් මීලඟ ජනාධිපති වුව ද ඔහු කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන කොන්දේසි තවදුරටත් කාබාසිනියා කිරීමට නියමිත ය.

ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය යෝධ නයකට යටවී 2021 දක්වා නය ආපසු ගෙවීමට එක්සත් ජනපද ඩොලර් බිලියන 15ක් අවශ්‍යව සිටී. ශ්‍රී ලංකාව පසුවන්නේ නය පැහැර හැරීම අද්දර බව ජාත්‍යන්තර ඇගයුම් ඒජන්සියක් වන මූඩිස් මෑත දී අනතුරු ඇඟවී ය. මේ වසරේ ආර්ථික වර්ධනය යන්තම් සියයට 2.7කට පල්ලම් බැස ඇත.

දල දේශීය නිෂ්පාදිතයේ (දදේනි) ප්‍රතිශතයක් ලෙස පසුගිය වසරේ සියයට 5.3ක් වූ අයවැය පරතරය, 2020 දී සියයට 3.5කට අඩුකරන ලෙස ජාමූඅ අනවමින් සිටී. මෙම කප්පාදු ක්‍රියාවට දැමීමේ දී, රජයට අයත් ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීම, සහනාධාර කැපීම, විදුලි හා ජල ගාස්තු ඉහල දැමීම සහ වැඩකරන ජනයා මත පලල් බදු පැනවීම ජාමූඅ අවධාරනය කරයි. මෙම පියවරයන් ක්‍රියාවට දැමීම සඳහා අනිවාර්යයෙන් ම පුපුරා යනු ඇති විරෝධය මැඩීමට ධනපති පන්තියට ආඥාදායක පාලන ක්‍රමයක් අවශ්‍ය කරයි.

මෙම ප්‍රතිවිප්ලවවාදී සූදානම්වීම්වලට විරුද්ධ වීමට කම්කරු පන්තියට තමන්ගේ ම මූලෝපායක් තිබිය යුතු ය: එනම්, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දැමීමට ගම්බද දුගීන්ගේ ද සහාය ලත් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදීම යි.

මෙම මැතිවරනයේ දී සසප පහත දැක්වෙන සමාජවාදී ක්‍රියාමාර්ගය ඉදිරිපත් කරයි:

කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා

ජාත්‍යන්තර පන්ති අරගලයේ පුනර්ජීවනය කම්කරු පන්තියේ වෛෂයික එකමුතුව ප්‍රදර්ශනය කරයි. ගෝලීය ව සංවිධිත අන්තර්ජාතික සංගත කිසිදා අවසන් නො වන යටිකුරු සර්පිලයක් සේ තීව්‍ර වන්නාවූ සූරාකෑම සඳහා එක් කම්කරුවෙකුට එරෙහි ව තවත් කම්කරුවෙක් පිහිටුවයි. කම්කරු පන්තියට එහි අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ සමාජවාදී පදනමක් මත-එනම්, සංගත ලාබ වෙනුවට දැවෙන සමාජ අවශ්‍යතා ඉටුකිරීමට- ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමට සටන් වැදීමෙන් පමනි.

කම්කරු පන්තියේ ඒකාබද්ධතාව සඳහා සියලු‍ ආකාරවල වර්ගවාදයන්ට හා ජාතිකවාදයන්ට විරුද්ධ වන ලෙස සසප කම්කරුවන්ට කැඳවුම් කර සිටී. 1948 රූපික නිදහසේ පටන් එදාමෙදා තුර සැමදා ශ්‍රී ලංකාවේ පාලක පන්තිය වැඩකරන ජනයා බෙදීමටත් එහි පාලනයට මුක්කුව දීමටත් දෙමල-විරෝධී හා මුස්ලිම්-විරෝධී ස්වෝත්තමවාදය අවුලු‍වා ඇත. දශක තුනක සිවිල් යුද්ධයට තුඩු දුන් වාර්ගික දේශපාලනය සිංහල, දෙමල හා මුස්ලිම් යන සියල්ලන්ට එක හා සමාන විනාශයක් ජනනය කර තිබේ.

සමාජ සමානතාව සඳහා

ගෝලීය ව පෙර නුවූ විරූ මට්ටම්වල සමාජ අසමානතාවක් ධනවාදය විසින් නිෂ්පන්න කරනු ලැබ ඇත. ඔක්ස්ෆෑම් ආයතනයට අනුව, බිලියනපතියන් 26 දෙනෙක් ලෝකයේ ජනගහනයෙන් බාගයක් වන බිලියන 3.8ක් වන ජනයාගේ ධනයට වැඩි ධනයක් ගොඩගසාගෙන ඇත. ශ්‍රී ලංකාව තුල ආන්ඩුවෙන් හසුරුවනු ලබන සංඛ්‍යාලේඛනවලට අනුව පවා, ධනවත් ම සියයට 20 සමස්ත කුටුම්බ ආදායමෙන් සියයට 51ක් ලබන අතර, දුප්පත් ම සියයට 20ට ලැබෙන්නේ යන්තම් සියයට 5ක් පමනි.

කම්කරුවෝ ඔවුන්ගේ ජීවන හා වැඩ කොන්දේසි අනවරත ව ඛාදනය වීමකට මුහුන දෙමින් සිටිති. 2017 දී හා 2018 දී රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ මූර්ත වැටුප් පිලිවෙලින් සියයට 7.2කින් හා සියයට 2කින් ඇද වැටුනේ, පුද්ගලික අංශයේ වැටුප් සියයට 5.9කින් හා 3.5කින් ඛාදනය වෙද්දී ය. විරැකියාව හා ඌන රැකියා නියුක්තිය ඉහල යමින් තිබෙන අතරම කම්කරුවන් කුලියට දෙන ආයතන මගින් සම්පාදනය කරන තාවකාලික හා කොන්ත්‍රාත් රැකියා ප්‍රමානය ඉහල යයි.

ගම්බද ජනගහනය විශාල ලෙස දිවි රැක ගන්නේ යැපුම් කෘෂිකර්මාන්තයෙනි. කෘමිනාශක, පොහොර හා නිපැවුම සදහා මිල නියම කරන කෘෂි සමාගම්වල ගොදුරු බවට ගොවියන් පත්ව ඇත. සමස්ත ජීවිත කාලය පුරා නය බරින් මිරිකී ජීවත් වන ඔවුහු, නය බර දරාගත නො හැකි වූ තැන දිවි නසා ගනිති. ජාමූඅහි නියෝග යටතේ අනුප්‍රාප්තික ආන්ඩු පොහොර සහනාධාර කපා දමා ඇත.

පහත සඳහන් වැඩපිලිවෙලට අරමුදල් සම්පාදනය කිරීම පිනිස ධනවතුන්ගේ සිට දුප්පතුන් දක්වා ධනය මහා පරිමානයෙන් යලි බෙදාහැරීම සඳහා මහා ව්‍යාපාර අස්වාමික කරන ලෙස සසප යෝජනා කරයි:

ප්‍රජාතන්ත්‍ර අයිතීන් රකිනු

සෑම රටක් තුල ම ප්‍රජාතන්ත්‍ර අයිතීන් ප්‍රහාරයට ලක්ව පවතී. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අපරාධ පිලිබඳ සත්‍යය ලොවට ප්‍රකාශ කිරීම හේතුවෙන් විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ්ට එරෙහි පලිගැනීම තුල මෙය තියුනු ලෙස ප්‍රකාශයට පත් වේ. එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ හා ඕස්ටේ්‍රලියාවේ ආන්ඩු, ඔහු බි්‍රතාන්‍යයේ සිරගත කිරීමට කුමන්ත්‍රනය කොට තිබෙන්නේ එක්සත් ජනපදයට උදර්පනය කොට වසර 175ක් බන්ධනාගාරගත කිරීමට ලක්කිරීම සඳහා ය. ජූලියන් අසාන්ජ් හා ඔහුට විරුද්ධ ව සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම නිසා සිරගත කර සිටින රහස් තොරතුරු හෙලිකරන්නියක වන චෙල්සී මැනිංගේ නිදහස සඳහා සටන් වදින ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලයි.

ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩුවලට හදිසි නීතිය පැනවීමේ හා මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය කිරීමේ දිගු ඉතිහාසයක් තිබේ. උතුර හා නැගෙනහිර මිලිටරි වාඩිලාගැනීමත් දෙමල ජනයාගේ අයිතීන් පාගා දැමීමත් වත්මන් ආන්ඩුව දිගට ම කරගෙන යයි. දේවස්ථාන හා හෝටල් එල්ල කර ගැනුනු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර යොදාගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ විෂඝෝර පනත යලි බලාත්මක කිරීම හා ගනන් නැති අත්අඩංගුවට ගැනීම් යුක්ති සහගත කිරීම සඳහා ය. වැඩ වර්ජන හා විරෝධතා නීති-විරෝධී කිරීමට ආන්ඩුව නිරන්තරයෙන් අත්‍යවශ්‍ය සේවා නියෝග යොදාගනී.

බෞද්ධ භික්ෂුවක් විසින් කරන ලද ව්‍යාජ පැමිනිල්ලක් මත සම්මානලාභී ලේඛක ශක්තික සත්කුමාර අප්‍රේල් 1දා පටන් මාස හතරක් රඳවාගෙන සිටීමෙන් පෙන්නුම් කර ඇත්තේ පාලක පන්තියේ කිසිදු කොටසක් ප්‍රජාතන්ත්‍ර අයිතීන් රැකීම සඳහා සූදානම් නැතිබවයි. ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ සටන, මූලික සමාජ අයිතීන් රැකීම හා සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත ධනවාදයට එරෙහි අරගලය සමග මුලු‍මනින් ම බැඳී තිබේ.

රටෙහි ප්‍රජාතන්ත්‍ර-විරෝධී, වාර්ගික ව්‍යවස්ථාව හා සියලු‍ මර්දන නීති අහෝසි කරනු! දෙමල හා මුස්ලිම් වැසියන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් රකිනු! ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත්කර ගත් ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් හරහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු! ගම්බද දුගීන්ගේ හා පීඩිතයන්ගේ සහයෝගය රැලි කරගනිමින් ප්‍රජාතන්ත්‍ර අයිතීන් ස්ථාපනය කිරීම සඳහා අව්‍යාජ අරගලයකට මූලිකත්වය ගෙන නායකත්වය දිය හැක්කේ කම්කරු පන්තියට පමනි.

කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන් වදිනු

ධනපති ආන්ඩුවලට හා පක්ෂවලට නිෂ්ඵල ආයාචනා කිරීම මගින් වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍ර හා සමාජ අයිතීන් කිසිවක් ආරක්ෂා කරගත නො හැක. කම්කරු පන්තිය, විශේෂයෙන් ම බංකොලොත් ලාබ පද්ධතියේ අවසන් මුරකාවල් ලෙස ක්‍රියාකරන නව සම සමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම පක්ෂ ඇතුලු‍ පාලක පන්තියේ සියලු‍ කන්ඩායම්වලින් වෙන්ව සිය දේශපාලන ස්වාධීනත්වය ස්ථාපනය කරගත යුතු ය.

එජාපයට වසර ගනනක් සහයෝගය දුන්නා වූ හා 2015 තන්ත්‍ර මාරුවට සෘජු ව උදවු දුන්නා වූ නසසපය, මහ ව්‍යාපාරික ආන්ඩුවට “වාම” මුහුනක් දීම සඳහා නීච ලෙස උත්සාහ දරා ඇත. කම්කරුවන්ගේ අරගල දක්ෂිනාංශික කුමන්ත්‍රන ලෙස හංවඩු ගසා ඇති එය, ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල “ආර්ථික සංවර්ධනය” සඳහා වන ක්‍රමයක් ලෙස යුක්තිසහගත කොට තිබේ. නසසප ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රධාන කර්තව්‍යය වන්නේ එජාපය සඳහා උද්ඝෝෂනය කිරීම යි!

එසපය ද නසසපය සමග එජාපයට සහයෝගය දෙන පෙරමුනේ මෑතක් වන තුරු ම රැඳී සිටියේ ය. 2015 ජනාධිපතිවරනයේ දී එසපය හා පෙසපය, “රාජපක්ෂගේ ආඥාදායකත්වයට” එරෙහි ව ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමට හඬ තැලු‍ අතර, යන්තම් මාස කිහිපයකට පෙර සිරිසේන ද එම ආඥාදායකත්වයේ ම ජ්‍යෙෂ්ට ඇමතියෙකු ව සිටියේ ය යන්න ගැන මුලු‍මනින් ම නිහඬ වූ හ.

වැඩෙන වර්ජන හා විරෝධතා මධ්‍යයේ, එසපය හා පෙසපය මුලු‍ වැර යොදා ප්‍රකාශ කරන්නේ ආන්ඩුව බලපෑම්වලට හිස නමනු ඇති බවත් වෘත්තීය සමිති ඔවුන්ගේ අයිතීන් සඳහා සටන් කරනු ඇති බවත් කම්කරුවන්ට හා තරුනයන්ට ඒත්තු ගැන්වීමට ය.

යථාර්ථයේ දී බොහෝ වෘත්තීය සමිති, සංස්ථාපිතයේ පක්ෂ හා “වාම” කන්ඩායම් විසින් සෘජු ව පාලනය කරනු ලබන අතර, ඒවා කම්කරුවන්ගේ සියලු‍ පන්ති ක්‍රියාවන්ට සතුරු ය. වැඩ වර්ජන කැඳවීමට බලකෙරුනු විට, හිතාමතා කම්කරුවන් හුදකලා කොට, පන්ති ක්‍රියාවලට සීමා දමා ක්‍රියා කරන වෘත්තීය සමිති අවසානයේ ආන්ඩුවේ ඇමතිවරුන් හා සංගත නිලධාරීන් ලබාදෙන ව්‍යාජ පොරොන්දු ඩැහගෙන අරගල හකුලා දමති.

කම්කරුවෝ වෘත්තීය සමිතිවල යකඩ සැට්ටයෙන් බිඳීම සඳහා තීන්දු ගැනීම තමන්ගේ ම අතට ගත යුතු ය. කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරාගන්නා ස්වාධීන ක්‍රියාකාරී කමිටු වැඩපොල හා නිවහන් ප්‍රදේශවල පිහිටුවා ගන්නා ලෙස සසප කැඳවුම් කරයි. ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර ව අනෙකුත් කර්මාන්තවල කම්කරුවන් වෙත ප්‍රවේශ විය යුතු එම කමිටු තරුනයන් හා දුගීන් බලමුලු‍ගන්වා ගැනීමට සටන් කල යුතු ය.

ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා සසප තරයේ උද්ඝෝෂනය කරයි. පසුගිය දෙසැම්බරයේ 100,000කට අධික වතු කම්කරුවන් වැඩ නැවැත්වූ විට ඇබොට්ස්ලී වත්තේ කම්කරුවෝ සසප කැඳවුමට ඇහුම්කන් දුන් හ. ඔවුන්ගේ ක්‍රියාකාරී කමිටුව සෑමතැනක ම කම්කරු පන්තියට ආදර්ශයක් විය යුතු ය.

එවන් ක්‍රියාකාරී කමිටුවලට, ගම්බද ජනයාගේ නායකත්වයේ පිහිටා ධනවාදය පෙරලා දමා, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දැමීම පිනිස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලනික බලමුලු‍ගැනීමට පදනම සැකසිය හැක.

දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් තැනීමට සසප කැඳවුම් කරයි. විදේශීය හා දේශීය මහා සමාගම්, විශාල වතු හා බැංකු කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කරනු ඇති එවන් ආන්ඩුවක්, විදේශ නය අහෝසි කොට නිෂ්පාදනය හා බෙදාහැරීම සමාජවාදී පිලිවෙත් ඔස්සේ ප්‍රතිසංවිධානය කරනු ඇත.

මහජන විප්ලවවාදී පක්ෂයක් ලෙස සසප ගොඩනගනු

පන්ති අරගලයේ පුනර්ජීවනය ප්‍රදර්ශනය කරන පරිදි විප්ලවවාදී අරගල න්‍යාය පත්‍රයට ඇතුලත් ව ඇත. එහෙත්, පසුගිය ශතවර්ෂයේ කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම් එක් මූලික දේශපාලනික කරුනක් අවධාරනය කරයි: එනම්, මාක්ස්වාදී විද්‍යාවේ පදනම මත හා අරගලයෙන් පන්නරය ගන්වා කල් තබා ගොඩනැගූ විප්ලවවාදී පක්ෂයකින් තොර ව, විප්ලවවාදී ව බලය ගැනීම කල නො හැකි බව යි.

මිහිතලය මත පවතින මෙම කර්තව්‍යය ඉටු කල හැකි දේශපාලන සංවිධාන ඇත්තේ එකක් පමනි; එනම්, ස්ටැලින්වාදයට එරෙහි ලියොන් ට්‍රොට්ස්කිගේ දේශපාලන අරගලයේ අඛන්ඩතාව නියෝජනය කරන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) යි.

හජාජාක ශ්‍රී ලංකා ශාඛාව වන සසප, වසර 51කට පෙර විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ලෙස ආරම්භ කරන ලද්දේ ලංකා සම සමාජ පක්ෂයේ පාවාදීමට එරෙහි හජාජාක අරගලයේ පදනම මත ය. 1964 දී ලසසපය, සිරිමාවෝ බන්ඩාරනායකගේ ධනපති ආන්ඩුවට එක්වීම මගින් සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම පාවාදුන්නේ ය.

ශ්‍රී ලංකාව වැනි කල්පසු වූ ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවල ධනපති පන්තිය මූලික ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් ඉටු කිරීමට අපොහොසත් ය යන්න ප්‍රදර්ශනය කරන ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යායය සසපහි ඉදිරිදර්ශනය තුල මුල් බැස තිබේ. එම කර්තව්‍යයන් ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා අරගල කරන කම්කරු පන්තියට පැවරේ.

අධිරාජ්‍යවාදී කූටෝපායන් හෙලිදරවු කිරීමේ, දෙමල වැසියන්ට එරෙහි වාර්ගික යුද්ධයට විරුද්ධ වීමේ සහ උතුරින් හා නැගෙනහිරින් කොන්දේසි විරහිත ව මිලිටරිය ඉවත් කරගැනීම සඳහා කැඳවීමේ දීර්ඝ වාර්තාවක් සසප සතු ය. රාජ්‍ය ත්‍රස්තයෙන් ගම්බද ජනයා ආරක්ෂා කර ඇති එය සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන් වැදී තිබේ. එහි තරුන ව්‍යාපාරය වන්නේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය යි.

1991 සෝවියට් සංගමය බිඳ විසිරවීම, වෙලඳපොලේ ජයග්‍රහනය හා සමාජවාදයේ අවසානය පිලිබඳ ව ධනපති පන්තීන් විසින් ජාත්‍යන්තර ව ගෙන ගිය විජයග්‍රාහිතාවාදයේ උන්මාදයක් ජනිත කලේය. අසාර්ථක වූයේ සමාජවාදය නො ව ස්ටැලින්වාදය බව තනි අතින් ස්ථාපිත කලේ හජාජාක පමනි. දශක තුනකට ආසන්න කාලයකට පසුව, සාමයේ හා සමෘද්ධියේ නව කාලපරිච්ඡේදයක් පිලිබඳ පොරොන්දුව මායාවක් බව සනාථ වී ඇත. ධනවාදය එක් අර්බුදයකින් ඊලඟ අර්බුදයට ලු‍හුටා යද්දී, පන්ති අරගලය යලිත් පුපුරා යමින් නව පරම්පරාවක් විසඳුම් සඳහා සමාජවාදය වෙතට හැරෙමින් සිටී.

හැකි සෑම ආකාරයකින් ම අපගේ මැතිවරන උද්ඝෝෂනයට සහයෝගය දෙන ලෙස ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර කම්කරුවන්, තරුනයන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලමු. ඔබ ඡන්දය දීමට සුදුසු නම් අපගේ අපේක්ෂක පානි විජේසිරිවර්ධනට ඡන්දය දෙන්න, අපගේ උද්ඝෝෂනයට සහභාගි වී අපේ මැතිවරන අරමුදලට ආධාර කරන්න. සියල්ලට වඩා, අපගේ ද හජාජාකහි ද ක්‍රියාමාර්ගය හා ඉතිහාසය අධ්‍යයනය කොට, ඉදිරියේ එන විප්ලවවාදී අරගලවලට අවශ්‍ය නායකත්වය ලෙස අපගේ පක්ෂය ගොඩනැගීමට එක්වීම සඳහා අයදුම් කරන්න.

Share this article: