පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වංචනික “සමාජවාදී සිහිනය”‍ හා සමාජවාදය සඳහා සටන

විලානි පීරිස් විසිනි, 2019 ඔක්තෝබර් 9

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ( පෙසප) නායකයන් මේ දිනවල තමන් “‍සමාජවාදය”‍ සඳහා සටන් කරන බව සහතික කිරීමට ඉමහත් උත්සාහයක් දරයි. එම පක්ෂය මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත් කර ඇති අපේක්ෂකයා වන දුමින්ද නවගමුව හඳුන්වා දී ඇත්තේ ද “සමාජවාදී අපේක්ෂකයා”‍ නමිනි.

පෙසප සමාජවාදය සඳහා සටන් කරන බව පුනපුනා කීමට පටන්ගෙන ඇත්තේ මක්නිසාද යන්නත් එම පක්ෂය “සමාජවාදය”‍ නමින් අදහස් කරන්නේ කුමක්ද යන්නත් තේරුම ගැනීම අවශ්‍ය ය. ඒ සම්බන්ධයෙන් ගත්කල මෑතකදී පෙසප පලමුපෙලේ නායකයෙක් වන පුබුදු ජයගොඩ “සදාකාලික වර්තමානය ද අනාගත සමාජවාදී සිහිනයද?”‍ මාතෘකාවෙන් පැවැත්වූ දේශනයෙන් හොඳ පිලිතුරක් සොයාගත හැකිය.

ජයගොඩ එම දේශනයේදී සිය පක්ෂය මින් ඉදිරියට “සමාජවාදයට සටන් කරන්නේ”‍ මන්දැයි පැහැදිලි කලේය. පසුගිය අවුරුදු හතක කාලය තුල “සමාජය තිබුනෙ කොහෙද?”‍ යි ප්‍රශ්න කල ඔහු ඊට මෙලෙස පිලිතුරු දුන්නේය. “සමාජය නිෂ්ක්‍රියයි. ඒ ගොල්ලෝ (මහජනතාව) ප්‍රජාතන්ත්‍රවාදය අරවමේව කියකියා හිටියෙ, තමන්ගේ ප්‍රශ්නේ දකින්නේ නැති තැනක. ඒ වෙලාවෙ සමාජයේ හැම කෙනාම මේකට [ආන්ඩුවේ නව ලිබරල් ප්‍රතිපත්තිවලට] අනුගතවෙද්දී අපි හිතුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපි ඇවිල්ල හයියෙන් ‘නෝ”‍ කියන්න ඕන කියල. ගෙවුනු අවුරුදු හතක කාලය තුල හැමකෙනාම අනුගතවෙද්දී අපි ‘නෑ‘ කිව්වා.

“දැන් සමාජය ‘නෝ‘ කියන්න පටන් අරන්. දැන් ඉතින් අපිත් ‘නෑ‘ කියන තැන නොසිට මේ තියන විරෝධය ධනවාදය වෙනස් කරන තැනට වෙනස් කරන්න ඕන. ඒ නිසා 2019න් පස්සේ අපේ වැඩපිලිවෙල හදන්නේ සමාජවාදය ගොඩ නැගීම සඳහා. ඒක අපේ පක්ෂයේ ඉදිරි පියවරක්.”‍

කොටින් කියතොත් ජයගොඩ පවසන්නේ “නිෂ්ක්‍රියව”‍ සිටි සමාජය දැන් ක්‍රියාශිලිවන නිසා ඔවුන් මෙතෙක් ගෙනගිය නිෂ්ක්‍රියත්වයට ගැලපෙන විරෝධතා දේශපාලනය අත්හැර “2019න් පසු (?) සමාජවාදය මත පදනම්ව”‍ පක්ෂයේ වැඩපිලිවෙල හැදීමට තීන්දු කල බවයි. ඔහුට අනුව 2012 පක්ෂය බිහි කලදා පටන්ම අවුරුදු හතක් පෙසප යෙදී සිට ඇත්තේ රාජපක්ෂ ආන්ඩුව හා වත්මන් පාලනය ලිබරල් ධනවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දමන විට ඒවා “එපා”‍ කියමින් කනිපින්දම් කීමේ විරෝධතා දේශපාලනයක ය.

පසුගිය සත් වසරේ මහජනතාව නිහඬව නිෂ්ක්‍රියව සිටි බවට කරන ප්‍රකාශය ජාත්‍යන්තරව පැවති පන්ති තත්වය කනපිට හරවා තමන් ගෙනගිය විරෝධතා දේශපාලනය යුක්තියුක්ත කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයකි.

මේ කාලය තුල ඇත්තෙන්ම සිදුවෙමින් පැවතියේ කුමක්ද? 2011 ඊජිප්තුවේ කම්කරු පන්තිය වීදි බැසි විප්ලවවාදී නැගිටීමක් සිදුවිනි. අවුරුදු ගනනාවක් කම්කරු අරගලවලින් ඇලලී ගිය ග්‍රීසියේ --පෙසප තම මොඩලය ලෙස ඔජවැඩු -- සිරිසා එම අරගල යටපත් කිරීමට බොරු පොරොන්දුදී බලයට ආවේය.

ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග මත නව ලිබරල් වැඩපිලිවෙල ක්‍රියාවට දමන විට කම්කරුවන් ඒවාට අභියෝග කලේ වරක් දෙවරක් නොවේ. විශාල සමාජ පිපිරීමක් ගැන භීත වූ ජනාධිපති රාජපක්ෂ 2015 ජනාධිපතිවරනයක් කැඳවූ විට වෘත්තීය සමිති, ශාස්ත්‍රාලික කන්ඩායම් සහ ව්‍යජ වාම සංවිධාන මහජන පෙරලිකාරිත්වය මෛත්‍රිපාල සිරිසේනගේ දක්ෂිනාංශික ව්‍යාපාරය තුල කොටුකර ඔහු බලයට ගෙන ඒමට ක්‍රියා කලහ.

අප මෙහි සඳහන් කර ඇත්තේ සිදුවූ වර්ධනයන් පිලිබඳව කෙටි සටහනකි. ජයගොඩ ගේ ජාතික අවස්ථාවාදී දැක්ම කෙතරම් ද යත් ඔහු ලංකාවේ වර්ධනයන් එම ජාත්‍යන්තර ප්‍රවනතාවන්ගේ කොටසක් ලෙස දකින්නේ නැත. සිදුවූයේ කම්කරුවන් නිෂ්ක්‍රියව සිටීම නොව අරගලවලට පිවිසීම හා පිවිසීමට තැත්කිරීමත් වෘත්තීය සමිති හා පෙසප වැනි විවිධ අවස්ථාවාදී ව්‍යාජ වාම සංවිධාන ඒවා පාවාදීමත් ය.

පෙසප මෙහෙයවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය ආන්ඩුවලට බලකිරීමේ සිසුන්ගේ උද්ඝෝෂන සංවිධානය කලේය. මීතොටමුල්ලේදී කසලකන්දට එරෙහිව පැනනැගුන ප්‍රදේශයේ ජනයාගේ අරගල සම්බන්ධයෙන් පෙසප කලේ ඒවා පොලිස් ප්‍රහාර මධ්‍යයේ ආන්ඩුවට බලකිරීමේ සීමාවේ රැඳවීම යි. පසුගිය වසරේ අග මාසවල වතුකම්කරු අරගල පැන නැගුනු කල ඔවුන් ක්‍රියාකලේ ආන්ඩුවට හා සමාගම්වලට බලපෑම් දැමීම සඳහා කම්කරුවන් කොටු කිරීමට හා ඔවුන් වෘත්තීය සමිතිවල ග්‍රහනය යටතේ පවත්වා ගැනීමට උදවු කිරීමයි. මේ උද්ඝෝෂන සියල්ල පදනම් කෙරුනේ ධනපති ආන්ඩුවලට හා මහා ව්‍යාපාරිකයින්ට බලපෑම්දමා යමක් දිනාගත හැකිය යන ධනපති ක්‍රමය පිරියම්කර පවත්වා ගැනීමේ ව්‍යාජ ක්‍රියාමාර්ගයක් මතයි.

හදිසියේ පිම්මක් ගත්තාක් මෙන් පෙසප නායකයෝ දැන් සමාජවාදයට සටන් කරන බවක් කියා සිටිනවිට කම්කරුවන් හා තරුනයන් ප්‍රවේශම් විය යුතුය.

සපුරා ඉරකින් වෙන්කල නොහැකිවුවත්, 2018 වසරේ පටන් සලකුනුවී ඇත්තේ ජාත්‍යන්තර පන්ති අරගලයේ පුනර්ජීවනයේ නව කාල පරිච්චේදයක් ආරම්භවීමයි. 2008 මුල්‍ය බිඳවැටීමෙන් පසුව එක්සත් ජනපදය, යුරෝපය ඇතුලු‍ මහා ධනපති රටවල් බැංකු හා සංගතවලට මුදල් පොම්පකරමින් ගෙනගිය වැඩපිලිවෙල රුදුරු සූරාකෑමක් උසිගන්වා, සමාජ අයිතීන් උදුරාගැනීම් වේගවත්කර, දැවැන්ත සමාජ අසමානතාවක් ලොව පුරා සෑම රටකම උද්ගතකර ඇත. මේ අර්බුදයේ කේන්ද්‍රයේ සිටින්නේ එක්සත් ජනපදය යි.

2018 ජනවාරියේ ඉරානයෙන් ඇරඹී ඊස්රායලය, ප්‍රන්සය, එක්සත් ජනපදය හරහා ඉන්දියාව, ලංකාව, බංග්ලාදේශය හා චීනය අලලා ගත් පන්ති අරගල අවුලු‍වා ඇත්තේ මෙම වෛෂයික වර්ධනයන් විසිනි. මෙම අරගලයන්ගේ විශේෂ ලක්ෂනයක් වන්නේ තමන් සිරකරගෙන සිටින වෘත්තීය සමිති ඇතුලු‍ සංවිධානවලට එරෙහිව කම්කරුවන් කැරලිකාරිවීම හා ඒවායින් ස්වාධීනව අරගල කිරීමට දරන ප්‍රයත්නයයි.

හරියටම මේ අවස්ථාවේ අන් රටවල ව්‍යාජවාම සංවිධාන කම්කරුවන් ධනපති ක්‍රමය තුල හිරකර තැබීම සඳහා ක්‍රියාවට බැස සිටින්නාක් මෙන්ම පෙසප ද අලු‍ත් වෙස්මුහුනක් දමාගෙන තමන් සමාජවාදය සඳහා සටන් කිරීමට තීන්දු කලේයැයි ප්‍රකාශයට පත්කොට ඇත්තේ සමාජවාදය වෙත ආකර්ශනය වන කම්කරුවන්, තරුනයන් හා අවශේෂ හිතනමතන කොටස් නොමග යැවීමට හා ව්‍යාකුල කිරීමට ය.

“‍තම පක්ෂය 2020දී ප්‍රතිසංස්කරන සදහා නොව ධනේශ්වර ක්‍රමයම අවසාන කර ‘සමාජවාදී සිහිනය’ සාක්ෂාත් කිරීම සදහා සටන් වදින බවට ජයගොඩ දිවුරයි. එහෙත් ඔහුට අනුව මේ සමාජවාදය සදහා ”‍අනුරාගය”‍ වර්ධනය වන්නේ සමාජය තුල උද්ගතව ඇති “ඛේදවාචක්යන් ගෙන් ය.”‍ සියදිවි හානි කර ගැනීම්, මානසික රෝග, සිහිය විකල් වනතුරු මත්පැන් පානය සමාජය තුල බහුලවීම ආදී ව්‍යසන ඔහු උදාහරන ලෙස දක්වයි.

මෙම සමාජ ව්‍යසන පිලිබඳ පරිකල්පනයේදී සමාජවාදය සදහා උවමනාව පැනනැගෙන්නේයයි නැතහොත් සමාජවාදය සඳහා “‍අනුරාගයක්”‍ ඇතිවන්නේයැයි යන්න පෙසප ගොතන විඥානවාදී අලාමුලාවකි. මෙම විඥානවාදී මුලාවෙන් ප්‍රතික්ෂේප කෙරෙන්නේ සමාජවාදය ඓතිහාසික අවශ්‍යතාවක් බව ද සමාජවාදය වෙත වෛෂයික ප්‍රවනතාවක් පවතින බවද පෙන්වා දෙන එය සාක්ෂාත් කිරීම සඳහා සටනේ භෞතිකවාදී පදනම් ය.

පවත්නා නිෂ්පාදන සම්බන්ධතා තුල තවදුරටත් ගෙනයා නොහැකි මට්ටමට නිෂ්පාදන බලවේග වර්ධනය වූ කල්හි නිෂ්පාදන සබදතා හා නිෂ්පාදන බලවේග අතර ගැටීම සමාජ විප්ලවය සඳහා කොන්දේසි සකස් කරන බව මාක්ස් පෙන්වා දුන්නේ ය. වත්මන් ධනවාදී ක්‍රමය තුල නිෂ්පාදන බලවේගවල කොටසක් වන හා ඒවා වෛෂයිකව හසුරුවන්නා වන කම්කරු පන්තිය නිෂ්පාදන බලවේග, ලාභය සඳහා නිෂ්පාදනය කරන ධනපති පන්තිය අතින් පැහැරගෙන සමාජවාදී ආකාරයට ප්‍රතිසංවිධානය කලහැකි විප්ලවවාදී බලවේගයයි.

ධනේශ්වර ක්‍රමය තුල ලාභය සඳහා නිෂ්පාදනය කරන ධනපතියාගේ ප්‍රාග්ධනය හා වැටුප් ශ්‍රමය අතර ගැටුම පන්ති අරගලයේ පදනමයි. ලාභ බිඳවැටෙන (ලාභ අනුපාතිකය පහත වැටෙන) තතුතුල ධනපති පන්තිය එය රැක ගැනීම සඳහා සූරාකෑම උග්‍රකරමින් සමාජ හා ජීවන කොන්දේසි අතුගා දමමින් අනවරත අරගලයක යෙදෙයි. දැන් රටක්රටක් පාසා ධනපති පන්තිය හා එහි පාලකයින් මුදාහැර ඇත්තේ මේ ප්‍රහාරයයි. කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලවලට කොන්දේසි සකසමින් ඇත්තේ මෙම වර්ධනයන් විසිනි. ජයගොඩ දක්වන ඛේදවාචකයන් වනාහි ධනවාදයේ කුනුවීම ප්‍රකාශයට පත්වන ලක්ෂනයන් ය. සාරාර්ථය නම් ලෝක ධනවාදයේ වෛෂයික අර්බුදය යි.

වෛෂයික වර්ධනයන් මගින් සමාජවාදී විප්ලවය සදහා කොන්දේසි වැඩෙන්නේය යන්න ප්‍රතික්ෂේප කල එක්සත් ජනපදයේ ව්‍යාජ වම්මුන් දෙදෙනෙකු වන ඇලෙක්ස් ස්ටයිනර් හා ෆ්‍රැන්ක් බ්‍රෙනර්ට පිලිතුරු දෙමින් ලෝසවෙඅහි ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඬේවිඩ් නෝර්ත් කල මෙම පැහැදිලි කිරීමෙන් ජයගොඩට ද පිලිතුරු සැපයෙයි: “‍එහෙත් ධනවාදය විසින්ම නිර්මිත වෛෂික සාධක තුල සමාජවාදයට පදනමක් දැක නොගන්නාවූ ද පරාජයන් හා පසු බෑම්වල අත්දැකීම්වලින් දිරිසුන් වූවාවූ ද ධනේශ්වර අර්බූදයේ ස්වභාවය වටහා ගන්නේ නැති කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය තේරුම් ගන්නේද නැති අයට නම් විඥානය ප්‍රතිවර්තනය කිරීම පිලිබද ප්‍රශ්නය පෙනීයන්නේ සාරභූත වසයෙන්ම මනස්කාරවාදී පමනක් නොව මනෝවිද්‍යාත්මක ප්‍රශ්නයක් ලෙස ය.”

පෙසප නායකයා කම්කරු පන්තියෙන් වසන් කිරීමට ප්‍රයත්න දරන නමුත් ගෝලීය ධනවාදයේ අර්බුදය කෙරෙහි අධිරාජ්‍යවාදී බලයන්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ තමතමන්ගේ ආධිපත්‍යය අන් රටවල් මත්තේ පිහිටුවා ගැනීමට දරන ප්‍රයත්නය සහ කම්කරු පන්තිය තලා දැමීම සඳහා ඒකාධිපති සහ ෆැසිස්ට් පාලනයන් පිහිටුවීමයි. එහි කේන්ද්‍රයේ සිටින්නේ එක්සත් ජනපදය යි.

මෙම වර්ධනයන් විසින් අන්තර්-අධිරාජ්‍යවාදී ප්‍රතිඝතිතා තියුනු කරමින් ලෝක යුද්ධයක අන්තරාය මතුකර ඇත. එක්සත් ජනපදය චීනය, රුසියාව සහ ඉරානය ඉලක්ක කර ගෙනයන මිලිටරි ධාවනය විසින් ලෝක මහජනතාවන් යුද්ධයක් තුලට වේගයෙන් ඇද දැමෙමින් පවතී. බරක් ඔබාමා යටතේ අරඹන ලද ”‍ආසියාවට හැරීම”‍ දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උත්සන්න කරමින් ඉන්දියාව තම ප්‍රධාන මුලෝපායික සහකරුවෙකු ලෙස සහ ලංකාව ඇතුලු‍ කලාපයේ අනෙකුත් රටවල් චීනයට එරෙහි වොෂින්ටනයේ යුද මූලෝපායට වඩවඩාත් ඒකාග්‍ර කරගැනීමට ක්‍රියාකරයි. තවත් විනාශකාරී ලෝක යුද්ධයක් නතර කල හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපායෙන් බලමුලු‍ ගන්වා ධනවාදය පෙරලා දැමීමෙන් පමනකි.

පෙසප සමාජවාදය මාක්ස් හා එංගල්ස් පෙන්නුම් කල හා මාක්ස්වාදී ව්‍යාපාරය එලෙස සටන් කර සාක්ෂාත් කරගතයුතු විද්‍යාත්මක සමාජවාදය නොවේ. එය ධනවාදය තුල කිසියම් වෙනස්කම් ඇතිකරගැනීම යෝජනා කරන ජාතිකවාදී ක්‍රියාමාර්ගයකි.

ජයගොඩ “සමාජවාදය සඳහා සටන් කරන බව”‍ පෙන්වීමට ඊලඟට ප්‍රකාශ කලේ මාක්ස්, එංගල්ස් හා ලෙනින් ගේ උරුමය මත පදනම් වන බවය. ඔහු එසේ සඳහන් කරන්නේ ලෙනින්ගෙන් පසු මාක්ස්වාදයේ වර්ධනය නැවතී තිබී ඔවුන් පටන් ගත්තා සේ ය. මෙතෙක් විරෝධතා දේශපාලනයේ යෙදෙමින් සිට සමාජවාදයට පිම්ම ගත්තේ කෙසේද යන්න ද ඔහු පැහැදිලි කලේ නැත. මාක්ස්වාදයට එසේ උරුමකම් කියන බොහෝ අය සිටිති. මෙය වංචාවකි.

ලෙනින්, මාක්ස්වාදය සඳහා අඛන්ඩ අරගලය ගැන සඳහන් කරමින් ”‍...මාක්ස්වාදී ධර්මතාවට එහි ජීවන මගෙහි සෑම ඉදිරි පියවරක් තුලදීම සටනක යෙදී”‍ එය වර්ධනය කෙරුනු බව පැවසිය.

ඓතිහාසික අඛන්ඩතාවය සඳහා සටනකින් තොරව මාක්ස්වාදයේ වර්ධනයක් ගැන හෝ සමාජවාදය සඳහා සටනක් ගැන කතා කල නොහැක. “‍මාක්ස්වාදය වියුක්තයක් ලෙස, හෝ ශත වර්ෂයකට ද වැඩි කාලයකට ඉහත සූත්‍රගත කෙරුනු නිගමන කට්ටලයක් ලෙස හෝ පවතින්නේ නැත. ඒ වෙනුවට එය පවතින්නේ ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල, ඉදිරි දර්ශනය හා භාවිතය වර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල කෙරෙන දැනුවත් අරගලයක අඛන්ඩතාව නියෝජනය කරන සැබෑ ව්‍යාපාරයක් ලෙසය.”‍ ( 2018 මැයි දිනය හා කාල් මාක්ස්ගේ උපතේ ද්වී-ශතසංවත්සරය 2018 මැයි 6 ඬේවිඞ් නොර්ත්).

මෙම අඛන්ඩතාව අද පවතින්නේ 1917 ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහනය සදහා ලෙනින් සමග සම නායකත්වය දුන් ට්‍රොට්ස්කි මාක්ස්වාදය ආරක්ෂා කිරීමට ස්ටලින්වාදය ඇතුලු‍ ධනේශ්වර පීඩනයන්ට එරහිව කල අරගලය හා එය ගැබ්කරගත් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කොමිටිය තුල ය.

දේශපාලන තත්වයේ තීරනාත්මක වර්ධනයන් තුල කම්කරුවන්, තරුනයන් හා ප්‍රගතිශීලී බුද්ධිමතුන් හැරිය යුත්තේ මෙම අරගලය වෙත ය. ලංකාව තුල මෙම අරගලය ගෙන යන්නේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයයි.

Share this article: