මියගිය සොල්දාදුවන්ගේ පවුල්වල සම්මේලනය: ගෝඨාභය රාජපක්ෂගේ සහායට දක්ෂිනාංශික ව්‍යාපාරයක් ඉස්මත්තට ගැනීමේ ව්‍යායාමයක්

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2019 ඔක්තෝබර් 13

ලංකාවේ සිවිල් යුද්ධයේදී මියගිය සොල්දාදුවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් සම්බන්ධ සංවිධානවල ජාතික සම්මේලනයක් සැප්තැම්බර් 25 වෙනිදා කොලඹ බන්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේ දී පැවැත්වුනි. ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට මියගිය සොල්දාදුවන්ගේ ඥාතීන් හා ආබාධිතයින් ස්වෝත්තමවාදී උද්ගතයක් මගින් පෙලගස්වා ගැනීම සඳහා සම්මේලනය සංවිධානය කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) ට පක්ෂපාත හිටපු හමුදා නිලධාරීන් කන්ඩායමක් විසිනි.

සේවාමුක්ත හමුදා නිලධාරීන්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි වාර්ගික යුද්ධය තුල දී මියගිය හා ආබාධිත සෙබලුන්ගේ පවුල් වල සාමාජිකයෝ ඇතුලු 8,000 ක් පමන සම්මේලනයට සහභාගී වී සිටියහ. පාලක පන්තියේ සියලු කොටස් හා වර්ගවාදී සංවිධාන විසින් යුද්ධයේදී මියගිය හා ආබාධිත සොල්දාදුවන් ද, පොදුවේ මිලිටරියේ සාමාජිකයින් ද ”රනවිරු” නමින් කුහක ලෙස හුවා දැක්වෙයි.

බෙදුම්වාදී දෙමල ඊලම් කොටි සංවිධානයට එරෙහි යුද්ධය “ත්‍රස්තවාදයෙන්” රට නිදහස් කර ගැනීමේ ”මානුෂික මෙහෙයුමක්” ලෙස හැඳින් වූ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ කථිකයෝ බුද්ධි අංශ හා ආරක්ෂක හමුදා “දුර්වල” කර රටේ ආරක්ෂාව “අනතුරේ හෙලීම” සහ ”රනවිරුවන්ට” නොසැලකීම ගැන සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට දොස් පවරමින් මිලිටරිය ශක්තිමත් කරගැනීමේ අවශ්‍යතාව අවධාරනය කලහ.

ප්‍රමුඛ කථිකයා වූ ගෝඨාභය රාජපක්ෂ සම්මේලනය අමතමින් මෙසේ කිවේය: “අවුරුදු දහයක් තුල මේ රටේ කිසිම ත්‍රස්තවාදී සිද්ධියක් ඇති නොවන ආකාරයට ආරක්ෂාව තහවුරු කරගැනීමට හැකිවුනා. තමුන්නාන්සේලා විශාල කැපවීමක් කරලා ගලවා ගත් රට ත්‍රස්තවාදයට යටවෙන්න දෙන්න පුලුවන්කමක් නැහැ”.

ඔහු එලෙස සඳහන් කලේ අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාර ගැනයි. එහෙත් හමුදා බුද්ධි අංශ, පොලිස් ලොක්කන් හා ආන්ඩුවේ හා විපක්ෂයේ මුදුන් නායකයින් ප්‍රහාරය ගැන කල්තියා දැන සිටියත් එය සිදුවන්නට ඉඩදී බලා සිටියේ ඇයි ද යන කාරනය ගැන කිසිත් නොකීවේය. ඔහු ද ඇතුලු විපක්ෂ නායකයෝ කිසිදු භේදයක් නැතිව හදිසි නීතිය බල ගන්වා හමුදා මුදා හැරීමට ද මුස්ලිම් විරෝධී උත්සන්නියක් පෙරට ගැනිමට ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ සමග පෙල ගැසුනාහ.

ගෝඨාභය හා මහින්ද රාජපක්ෂ ඇතුලු නඩය දැන් එය තමන්ගේ නායකත්වයෙන් පොලිස් පාලනයක් ඇටවීමේ අරමුනින් යහමින් ගසාකති.

මිලිටරිය උත්කර්ෂයට නංවමින් ඔහු මෙලෙස සපථ කලේය: “අපි රනවිරුවෙක් රනවිරුවෙක් ලෙස රැක ගන්නවා.....පසුගිය දවස්වල අභූත චෝදනා ගෙනල්ල අපේ බුද්ධි සේවාව සම්පුර්යෙන් ම විනාශ කලා. බුද්ධි නිලධාරීන් හිරේට දැම්ම ..විවිධ විදේශීය බලපෑම් වලට අපව යටත් කලා.... මගේ රජයක් යටතේ කිසිම දෙයක් වෙන්න ඉඩතියන්නේ නැහැ.” ඔහුගේ ප්‍රකාශ ඇනවුම් කලේ ජනාධිපති වුවහොත් සිය පාලනය මිලිටරිය මත සපුරාම පදනම් කරන බවයි.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මිලිටරිය දඬු ගැසූ බවට ඔහු කරන ප්‍රකාශ පචයකි. එහෙන් මෙහෙන් මිලිටරියේ ලොක්කන් හා සොක්කන් කිහිපදෙනෙකුට නඩු පැවරුවේ අස්බැන්දුමක් ලෙස ය. ඔවුන්ගෙන් ඇතැමෙකු දැනටමත් නිදහස් කර ඇත, අනෙකුන් නිදහස් කිරීමට නියමිත ය. ඔහු ද ඇතුලු ඉහල පෙලේ මිලිටරි හා සිවිල් නිලධාරින්ද දේශපාලන නායකයින් ද යුද අපරාධ ගැන චෝදනා එල්ලවී ඇතත් යහතින් කල් ගෙවති.

ඔහුගේ යුද වන්දනයට උඩගෙඩි දෙමින් ගෝඨාභය වටේ රොද බැඳගෙන හිටපු හමුදා නිලධාරීන් රොත්තක් වැඩට බැස ගෙන ඇත. හිටපු මේජර් ජනරාල් කමල් ගුනරත්න ඉන් එක් අයෙකි. සම්මේලනය අමතමින් යුද්ධය තුල හමුදාවේ කෙරුවාව ගැන වගවර්නනා කල ඔහු “ත්‍රස්තවාදය අතුගා දමන්න පුලුවන්වීම ගැන සතුටට පත් වුනේ අපි. වසර තිහක යුද්ධය අවසන් කරලා සාමය ඇති කලෙත් අපි. රටට නය නැති මුලු රටම නය ගැති හමුදා සාමාජිකයන් අපි” යයි සඳහන් කලේ මිලිටරිය සියල්ලන්ට උඩින් සිටිය යුතුබවට අයිතිවාසිකමක් කියමිනි.

ගුනරත්න, ගෝඨාභය ගේ ප්‍රතිරූපය ඔසවා තැබීමේ ව්‍යාපෘතියක් වන “වියත්මග” සංවිධාන යේ සාමාජිකයෙකි. 2017 ඔක්තෝබර් මාසයේ ගම්පහ පැවති එම සංවිධානයේ රැස්වීමක දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් යෝජිත නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට “සහයෝගය දෙන උන් මරා දැමිය යුතු” බව පැවසීය. ”රට බෙදන්න හදන උන් දේශද්‍රෝහීන් ලෙස සලකා 1986-1989 කාලයේ ‘දේශප්‍රේමී ව්‍යාපාරය‘ කල ආකාරයට ඔවුන් මරා දැමිය යුතු” බවත් ඔවුන්ගේ “මිනිය පොලොවෙන් අඟල් 6 වඩා උඩින් ඔසවාගෙන යාමට ඉඩ නොදිය යුතු” බවත් සඳහන් කලේ ය.

ජවිපෙ මෙහෙයවූ “දේශප්‍රේමී ව්‍යාපාරය” දේශපාලන විරුද්ධවාදීන්, කම්කරුවන් මරාදැමූ ෆැසිස්ට් ව්‍යාපාරයකි.

රාජපක්ෂලා ඇතුලු ධනපති පාලක පන්තිය, හමුදා නිලධරය හෝ සංඝ ප්‍රභුව ඇතුලු සිංහල ස්වෝත්තමවාදී ප්‍රතිගාමී බලවේග ඔජ වඩවන ආකාරයට 26 වසරක යුද්ධය කවර හෝ අර්ථයකින් “විමුක්ති යුද්ධයක්” නොවේ. එය වනාහි ධනපති පන්ති පාලනය රැක ගැනීමට 1948 පටන් කම්කරු පන්තිය බෙදීම සඳහා කොලඹ පාලකයින් බෞද්ධ සංස්තාපිතය ද හවුල් කරගෙන දෙමල විරෝධී වර්ගවාදී කා කොටාගැනීම් ඇවිස්සීමට ගෙනගිය වැඩකටයුතුවල කුලු ගැන්වීමකි. ඉන් දෙමල, සිංහල මුස්ලිම් කම්කරුවන්ට දුගීන්ට හා තරුනයින්ට අත්කරදුන්නේ අති මහත් විනාශයකි. එල්ටීටීඊය සිය ධනපති බෙදුම්වාදී දේශපාලනය සඳහා වාර්ගික ත්‍රස්තවාදී විධික්‍රම භාවිතා කිරීම පාලක පන්තිය මේ ව්‍යසනයන් යුක්තියුක්ත කිරීමට යොදා ගත්තේය.

යුද්ධය සිංහල, දෙමල, මුස්ලුම් ජනයා මත ඇතිකල ව්‍යසනය හා ජීවිත හානිය අති මහත් ය. පවතින වාර්තාවලට යුද්ධය තුල දී ලක්ෂයකට අධික ශ්‍රී ලාංකික සිවිල් ජනයා මරනයට පත් වී ඇත. ආරක්ෂක අංශවල ගනන් බැලීම් අනුව එල්ටීටීඊ සාමාජිකයන් 23,700 ට වැඩි සංඛ්‍යාවකි. ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ මිය ගිය හා අතුරුදහන් වූ ගනන 30,000 ට අධිකවේ. ආබාධිත තත්වයට පත්ව වූවන් 60,000 ඉක්මවා ඇත. මිය ගිය හා ආබාධිතයන් ගෙන් යැපුන පවුල්වල සාමාජික සංඛ්‍යාව ලක්ෂ ගනනකි. දේපොළ විනාශය අති මහත් ය.

යුද්ධය ගෙන යාමට 1983 පටන් 100,000 පමන අලුතෙන් හමුදාවට බඳවා ගැනුනි. ඔවුන්ගෙන් අති බහුතරය ගම්බද දුගී ගොවි පවුල් වල තරුන ජනයාය. ඔවුන් හමුදාවට බැඳුනේ ධනවාදය විසින් නිර්මිත විරැකියාවෙන් සහ ආන්තික දරිද්‍රතාවයෙන් ගැලවීමේ ජීවනෝපායක් ලෙසය. දෙමල ජනයාට විරුද්ධ යුද්ධයට මෙන් ම, 1989-1990 කාලපරිච්චේදය තුල 60,000 අධික දකුනේ ගම්බද තරුනයින් ඝාතනයට මෙහෙයවනු ලැබුවේ ද මෙම කොටස් ය.

යුද්ධයෙන් මියගිය සොල්දාදුවන්ගේ පවුල්වලින් බහුතරය ප්‍රියතමයින් නැතිවීමේ සොවින් මෙන්ම දරිද්‍රතාවයෙන් පෙලෙති. එහෙත්, ඔවුන් ගැන විටින්විට රනවිරු ස්තෝත්‍ර ගායනය කරමින් පාලකයින් සූදානම් වෙන්නේ වෙනත් ම කාර්යයකට ය.

සැප්තැම්බර් 26 රැස්වීම සංවිධානය කිරීම ගැන රනවිරු සංකල්ප සංවිධානයේ මේජර් ජෙනරාල් එච්. එම්. එච්. ඒ. හේරත් අයිලන්ඞ් පුවත්පතට සඳහන් කල මේ කරුනු බරපතල ඇඟවීම් සහිත ය: “යුද ප්‍රවීනයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ලක්ෂ හතලිහක් පමන සිටිති. ඔවුන් මනාව සංවිධානය කලවිට සැලකිය යුතු දේශපාලන බලයක් බවට පත්විය හැකි ය.”

ආසන්න වසයෙන්, මිලිටරියේ ඉහලින් සිටියවුන්ගේ ද සහභාගිත්වයෙන් ශ්‍රීලංපොප ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට මෙම පවුල්වල චන්දය ගසාකෑමේත් ඉන් පසුව ප්‍රතිගාමී ප්‍රතිබලයක් ලෙස ඔවුන් මෙහෙයවා ගැනීමේත් අරමුනෙන් ඊනියා රනවිරු ව්‍යාපාරය ක්‍රියාත්මක වෙයි.

තිස් අවුරුදු යුද්ධයකින් දෙමල ජනයා මඩිමින් කම්කරු-දුගී ජනයාගේ අයිතීන් දඬුගැසූ ධනපති පන්තියේ සෑම කන්ඩායමක්ම දැන් බරපතල අර්බුදයක් මධ්‍යයේ සූදානම් වන්නේ දෙමල හා මුස්ලිම් විරෝධී වර්ගවාදී ප්‍රචාරයන් ද අවුලුවමින් පන්ති යුද්ධයක් සඳහා ය.

ධනවාදයේ අර්බුදය පැටවීමට එරෙහිව රටක් රටක් පාසා දැන් නැගෙන පන්ති අරගල මධ්‍යයේ සෑම රටකම පාලක පන්ති හා ආන්ඩු සංක්‍රමනිකයන්ට එරෙහි පර-භීතිකාව සහ වර්ගොත්තමවාදය අවුලුවමින් ඒකාධිපති හා ෆැසිස්ට් පාලනයන් කරා මරුවීමට සුදානම් වෙති. ලංකාවේ පාලක පන්තියේ සූදානම ද එයයි.

රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව නැගී ආ විශාල සමාජ විරෝධයක් නොමග යවා බලයට ආ සිරිසේනගේ හා වික්‍රමසිංහගේ ප්‍රතිගාමී පාලනය අපකීර්තියට හා කෝපයට බඳුන්වී තත්වය උපයෝගී කරගනිමින් ආඥාදායක පාලනයකට රාජපක්ෂලා ඇතුලු ශ්‍රීලංපොප නායකයෝ තමන්ගේ පැත්තෙන් සූදනම්වෙති.

Share this article: