ගෝඨාභය රාජපක්ෂ හුවා දැක්වීමට හමුදාපති හවුල්වෙයි

කේ. රත්නායක විසිනි, 2019 ඔක්තෝබර් 18

යුද හමුදාපති ලු‍තිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරන උද්ඝෝෂනය පිම්බීමට හවුල්වී ඇත. ඒ පිලිබඳව විවේචන එල්ල වන තතු තුල මැතිවරන කොමසාරිස් මහින්ද දේශප්‍රිය බදාදා පැවති පුවත්පත් සාකච්චාවකදී උත්සුකතා පල කලේය.

ගිය ඉරිදා අරුණ පුවත්පතේ පිටුවක් පුරා පලකෙරුනු ප්‍රචාරක දැන්වීමක මුල, සිය මැතිවරන උද්ඝෝෂනය අරඹමින් ඔක්තෝබර් 9 දා පැවැත්වූ රැස්වීමේ දී ගෝඨාභය රාජපක්ෂ කල කතාවකින් මෙසේ උපුටා දක්වා තිබුනි:

“තමුන්නාන්සේලාගේ යුතුකම 16 වැනිදාට ඉටු කරන්න. මගේ යුතුකම තමයි මේ රට නැවත සුරක්ෂිත රටක් කරන එක. එය ඉටුකරන බව මගේ ප්‍රතිඥාවයි.”‍

ඊට යටින් හිටපු ත්‍රිවිධ හමුදාපතියන් ගෝඨාභය යුද්ධය දිනීමට සහ මිලිටරිය තරකිරීමට මූලිකත්වය ගත්බව හුවා දැක්වීමට කල ප්‍රකාශ කිහිපයක් සමග ලු‍තිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2009 දෙසැම්බර් මාසයේ දී කල ප්‍රකාශයක් උපුටා දක්වා ඇත. එහි කියවුනේ ගෝඨාභය “‍කාර්යක්ෂමව”‍ යුද්ධය දිනීමට සොල්දාදුවන්ට “‍අවශ්‍ය දේ වහා සම්පාදනය කරමින්”‍ කැපවූ බවයි.

වැස්සේ තෙමිතෙමී සොල්දාදුවන් “‍ක්‍රියාන්විතය කරගෙන යනබව ද ‍ඇඟේ තියෙන රස්නෙට ඒ ඇඳුම් වේලෙන”‍ බවද ආරක්ෂක ලේකම්ට තමන් දන්වා පැය 48කින් ඇඳුම් වේලීමට හීටර් සවිකල කන්ටේනර් එවූබව කියූ සිල්වා “මෙරටේ ආරක්ෂක ලේකම් අපේ සොල්දාදුවා වෙනුවෙන් innovation (ඉනෝවේෂන්- සොයාගැනීම්) කරලා තියෙනවා”‍ යයි ද සඳහන් කර ඇත.

මෙම ප්‍රකාශ මගින් “‍සේවය කරන හමුදා නිලධාරියෙකු මැතිවරන නීති උල්ලංඝනය කරමින් දේශපාලන කටයුතුවල යෙදී ඇත”‍ යි සඳහන් කල මැතිවරන කොමසාරිස් තමන් ඒ පිලිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බව කිවේය. එවන් මැතිවරන නීති උල්ලංඝනයකට අවුරුදු තුනක් දක්වා සිර දඬුවම් ද දඩයක් ද නියම කල හැක.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) එම දැන්වීමට තමන්ගේ සම්බන්ධයක් නැති බව ප්‍රකාශ කල ද අරුණ පුවත්පත එම පක්ෂයට හා ගෝඨාභයට විවෘතව සහාය දෙයි. එය පලකරන්නේ ජනමාධ්‍ය අධිපතියෙකු ලෙස ප්‍රකට දෙරණ රූපවාහිනි නාලිකාවේ සභාපති දිලිත් ජයවීර නමැති ධනපතියා විසිනි. ඔහු ගෝඨාභයගේ උද්ඝෝෂනයේ ප්‍රමුඛ මුදල් සම්පාදකයෙකු බවද වාර්තාවේ.

ශවේන්ද්‍ර සිල්වාට අමතරව හිටපු හමුදාපති ආර්.ආර්.එම්. දයා රත්නායක, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුනතිලක විසින් ගෝඨාභය හුවා දක්වමින් කල ප්‍රකාශ එම දැන්වීමේ උපුටා දක්වා තිබේ.

ශවේන්ද්‍ර සිල්වා ප්‍රමුඛ හිටපු ත්‍රිවිධ හමුදාපතියන් හවුල් කරගෙන ගෝඨාභය රාජපක්ෂගේ උද්ඝෝෂනය පිටුපසින් මිලිටරිය පෙලගැස්වීමේ ක්‍රියාන්විතයක් ධනපතියන් කන්ඩායමක් විසින් අරඹා ඇතිබව මින් සලකුනු කෙරෙයි. එය මැතිවරන නීති උල්ලංඝනයට එහා ගිය, කම්කරු පන්තිය තලා දමන ආඥාදායක පාලනයකට සූදානම් වීමක් ප්‍රකාශයට පත් කරයි. සමස්තයක් ලෙස ධනපති පන්තියේ භීතියට තුඩුදී ඇත්තේ කම්කරු අරගල වැඩෙමින් ඒම හා දුගීන්ගේ හා තරුනයන්ගේ නොසන්සුන් තාවයයි.

මෙහි විෂඝෝර ඇඟවීම් කම්කරු පන්තියේ සැලකිල්ලට වහා ලක්විය යුතුය.

දුම්රිය වැඩ වර්ජනය යද්දී ශවේන්ද්‍ර සිල්වා ඉදිරිපත්වී ප්‍රකාශ කලේ “පවතින වර්ජන හේතුවෙන් අඩාල වී ඇති මහජන සේවාවන් කෙටි කාලීන පදනමක පවත්වාගෙන යාම පිනිස හමුදාවට විවිධ අංශවලට මැදිහත්විය හැකි”‍ බවයි. “‍රට තුල අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට තම සේවය ලබා ගැනීම සඳහා ආරාධනය කලොත් හමුදාව එය උපරිම ආකාරයෙන් ඉටු කරනවා”‍ යයි ඔහු කීවේය.

දුම්රිය රියදුරු කාර්යය සඳහා සොල්දාදුවන් පුහුනු කිරීමට අවස්තාවක් දෙන ලෙස හමුදාපති තමාගෙන් ඉල්ලා සිටි බවත් තමන් ඊට ඉඩදුන් බවත් වර්ජකයින්ට සේවයට යන ලෙස තර්ජනය කරමින් ප්‍රවාහන රාජ්‍ය ඇමති අශෝක් අබේසිංහ හෙලි කලේය.

වත්මන් හමුදාපති ඇතුලු‍ මිලිටරි ප්‍රධානීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආරක්ෂක ලේකම් හා සහෝදර ගෝඨාභය යුද්ධයේ අවසන් මාසවල යුද අපරාධ පිලිබඳව වගකිව යුතුය. මේ අවසන් මාසවල පමනක් 40,000ක් පමන සිවිල් වැසියන් ඉවබව නැතිව එල්ල කෙරුනු වෙඩි වර්ෂා වලින් මරා දැමුනු බවට ද කලින් දෙපාර්ශ්වය අතර පනිවුඩ හුවමාරුවකින් පසු යටත්වීමට පැමිනි එල්ටීටීඊ නායකයින් කිහිප දෙනෙක් ඝාතනය කෙරුනු බවට ද චෝදනා එල්ල වී ඇත. මෙම හමුදා ඛන්ඩය මෙහෙයවා ඇත්තේ වත්මන් හමුදාපති විසිනි.

1983 යුද්ධය ඇරඹු තැන් පටන් යුද අපරාධ වලට සම්බන්ධ දේශපාලන හා මිලිටරි නායකයින් පාලක පන්තිය විසින් කොක්කෙන් ගලවා යවා ඇත. යුද අපරාධ පිලිබඳව විමසීමට දේශීය යාන්ත්‍රනයක් පිහිටුවන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කෙරුනු සීමිත යෝජනාව තමන් බලයට ආවිට අහෝසි කරන්නේ යයි ගෝඨාභය බදාදා පැවති පුවත්පත් සාකච්චාවකදී ප්‍රකාශ කලේය.

යථාර්ථයේ දී නම් එම යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇමරිකානු තන්ත්‍ර මෙහෙයුමකින් බලයට ගෙන ඒමෙන් පසු යුද අපරාධ යට ගැසීම සඳහා සූත්‍ර ගත කෙරුනකි. එය සම්මත කෙරුනු 2015 ඔක්තෝබර් මාසයේ පටන් ගතවූ අවුරුදු හතර තුල එම අපරාධවලට දඬුවම් කිරීමක් තබා ඊනියා දේශීය යාන්ත්‍රනය පිහිටුවීමක් වත් සිදුවී නැත. මිලිටරියට හිරිහැර කිරීම පිලිබඳව ගෝඨාභය හා මහින්ද රාජපක්ෂලාගේ බොරු මැසිවිලි හමුදාව පෙලගස්වා මුක්තිය ප්‍රදානය කොට මෙහෙයවා ගැනීමේ ඉලක්කය ඇතිව ගෙනයන උද්ඝෝෂනයේ කොටසකි.

සිරිසේන හා වික්‍රමසිංහ ලංකාවේ යුද අපරාධ සිදුවී නැතැයි පුනපුනා කියා සිටිති. පාලක පන්තිය සියලු‍ කන්ඩායම් මිලිටරිය ඔජවඩවයි . දේශපාලන කටයුතු තීන්දු කරන ස්වාධීන තීරනාත්මක බලයක් ලෙස එය හිස ඔසවාගෙන සිටියි.

පාලක ශ්‍රීලංපොපෙ මිලිටරිය පෙලගැස්වීමේ ව්‍යාපාරයට තකටතක සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ අප්ක්ෂක සජිත් ප්‍රේමදාස, එලෙසම යුද අපරාධ පිලිබඳව චෝදනා එල්ලවී ඇති සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ලෙස පත්කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. ජාත්‍යන්තරව සෑම රටකම පාලක පන්තීන්, පන්ති අරගල නැගෙන තත්වය තුල ආඥාදායකත්වයන් හා ෆැසිස්ට්වාදය වෙත නැඹුරුවීම අනුව යමින් හා ඉන් ධෛර්ය ගනිමින් ලංකාවේ පාලක පන්තියේ සියලු‍ කොටස් පෙරනොවූවිරු ආර්ථික හා දේශපාලන අර්බුදයක් මධ්‍යයේ මිලිටරිය මත වාරුවී සිටිති.

Share this article: