හැටන් ෆෝඩයිස් වත්තේ කම්කරුවන් ගින්නෙන් විනාශ වූ නිවාස සඳහා නව නිවාස ඉල්ලා උද්ඝෝෂනය කරයි

කේ. කාන්තීපන් සහ ඒ. සුරේශ් විසිනි, 2019 ඔක්තෝබර් 10

ගින්නෙන් විනාශ වූ නිවාසයක පවුලේ සාමාජිකයින්

ගින්නෙන් විනාශ වූ නිවාස සඳහා නව නිවාස ලබා දෙන ලෙස ඉල්ලා හැටන් ෆෝඩයිස් වත්තේ කම්කරුවන් ඔක්තෝබර් 7 වෙනිදා උද්ඝෝෂනයක යෙදුනි. පසු ගිය දෙසැම්බර් මාසයේ ඇති වූ ගින්නකින් විනාශ වී ගිය නිවාස 20 ක පවුල් වල සාමාජිකයෝ 100 ක් පමන ඊට සහභාගී වුහ. හැටන් ෆෝඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උදේ 10 සිට පැය දෙකක පමන කාලයක් ඔවුන් උද්ඝෝෂනයේ යෙදුන අතර ඒ හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනා ගමනය මුලුමනින් ම ඇන හිටියේ ය. වතු පාලකයන් සමග සාකච්චා කර කඩිනමින් විසඳුමක් ලබා දෙන බවට පොලීසිය පොරොන්දු වීමෙන් පසු උද්ඝෝෂනය අවසන් කෙරුනි.

වසරකට ආසන්න කාලයක් මෙම කම්කරු පවුල් ජීවත් වන්නේ ජලය, විදුලිය හා සනීප ආරක්ෂාව පිලිබඳ මුලික පහසුකම් පවා නැතිව වත්තේ ක්‍රීඩා පිටියේ ඉදිකර තිබෙන තාවකාලික කුඩාරම් තුලය. වැසි දිනවල කුඩාරම් තුලට ජලය ගලා ඒම හා විෂ සර්පයින් ගෙන් සිදුවන අන්තරායන් ට ඔවුහු මුහුන දෙති. තම දෛනික ජීවනෝපායන් ට හා දරුවන්ගේ අධ්‍යාපනයට මෙම අනාරක්ෂිත තත්වයන් බෙහෙවින් ම බලපාන බව ඔව්හු කීහ. එහෙත් වතු පාලකයන්, ආන්ඩුව හෝ වතු වෘත්තීය සමිති ඒ ගැන කිසිදු තැකීමක් නැත.

තත්වය එසේ තිබිය දී මේ වන විට වතුකරයේ සිව්වන නිවාස ගින්න ද වාර්තා වී ඇත. සැප්තැම්බර් 2 දා කොටගල ප්‍රදේශයේ ක්‍රයිස්ලර්ස් වත්තේ ඇතිවූ ගින්නකින් ලැයිම් කාමර දහයක් විනාශ විය. එයින් කුඩා දරුවන්ද ඇතුලත්ව හතලිහකට ආසන්න පිරිසකට නිවාස අහිමි විය. ඇසින් දුටුවන්ගේ ප්‍රකාශ වලට අනුව එක් නිවසක් ගිනිගැනීමෙන් පසු අනෙක් නිවෙස් දක්වා එය පැතිරී ගොස් ඇත.

අඳුරු කුටි තුලට වී කරන ලමයින්ගේ අධ්‍යාපන කටයුතු

ගින්නෙන් කම්කරුවන්ගේ භාන්ඩ ද ඇතුලත්ව නිවාස සම්පූර්නයෙන් විනාශ විය. කම්කරුවන්ට උප්පැන්න සහතික, හැඳුනුම්පත්, විවාහ සහතික වැනි අත්‍යවශ්‍ය ලියකියවිලිද පාසල් ලමුන්ගේ සටහන් පොත්, ඇඳුම් සහ පාසල් නිලඇඳුම්, මුලුතැන්ගෙයි උපකරන අහිමි වී ඇත.

අනෙක් ගිනි ගැනීමට ලක්වූ වතු නිවාස වල මෙන්ම, ක්‍රයිස්ලර්ස් සිදුවීම සම්බන්ධයෙන්ද විධිමත් පරීක්ෂනයක් සිදුකර නොමැත. මෙම වතු ප්‍රදේශ වල ගිනි නිවීමේ ඒකකයක් නැත. තිබුන ද ඒවාට ලැයිම් කාමර වලට ඉක්මනින් ලඟාවීම පහසු නැත. ගින්නකදී භාවිතා කිරීමට ගිනි නිවන උපකරන, ජල භාජන හෝ ජල ප්‍රභව නිසියාකාරව සූදානම් කර නැත.

ගින්න හටගත් ආකාරය සහ ඉන් ඇති වූ පීඩාව එයට ගොදුරු වූ කම්කරුවෙකු වන අර්. රාමනායගම් මෙලෙස විස්තර කලේ ය: “ගින්න හවස 4.30 ට විතර පටන් ගත්තෙ. අනෙක් කම්කරුවන්ගේ සහයෝගයෙන් මිනිස්සු බේරගන්න පුලු‍වන් වුනා. මේක රෑක වුනා නම් හානිය මීට වඩා දරුනු වෙන්න ඉඩ තිබ්බා. අපි අමාරුවෙන් රැස් කරගත්තු රූපවාහිනිය, ඇඳුම්, ආහාර පිසින උපකරන සහ ඉතිරි කරපු හැමදේම නැති වුනා”.

“අපේ වැටුප කෑම වියදම පිරිමහ ගන්නත් මදි. ඉතින් අපි කොහොමද නැති වෙච්ච දේවල් ආපහු ගන්නෙ?” ඔහු තවදුරටත් පැවසීය.

පී. සිවරාජා ව්‍යසනයට හසු වූ තවත් කම්කරුවෙකි. ඔහු මෙසේ පැවසීය: “සමහරු අපිට කෑම දුන්නා. නිදාගන්න මෙට්ට සපයලා උදව් කලා. ඒ වුනාට හැම පවුලකටම ලක්ෂ තුනකට ආසන්න දේවල් නැති වෙලා තියෙනවා. අපි ඒවා සෑහෙන කාලයක් තිස්සෙ හරි හම්බ කරගත්ත දේවල්. විශාල පාඩුවක්. ආන්ඩුව හරි වෘත්තීය සමිති හරි අපිට උදවු කරයි කියලා විශ්වාස කරන්නෙ නැහැ. වතු කිහිපයකම මේ වගේ ගිනි ගැනීම් ඇති වුනා. ඒවාට ප්‍රධාන හේතුව මේ ලැයිම් කාමර ක්‍රමය. නමුත් කවුරුවත් ඒ ගැන අවධානය යොදන්නෙ නැහැ”.

මෙම නිරන්තර ගිනි ගැනීම් වලින් තහවුරු වන්නේ වතු සමාගම් කම්කරුවන්ගේ ජීවිත ගැන තුට්ටුවකට මායිම් නොකරන බවය. වතු කම්කරුවන් ගෙන් බහුතරයක් තවමත් ජීවත් වන්නේ සියවසකටත් වඩා පැරනි හා අබලන් වූ නිවාස වලය. ප්‍රධාන වශයෙන්ම මෙම ගිනි ගැනීම් වලට හේතුවී ඇත්තේ ලැයිම් කාමර වල විදුලි රැහැන් ව්‍යාප්ත වී ඇති අවිධිමත් ආකාරයයි. වතු හිමියන් විධිමත් විදුලි රැහැන් පද්ධතියක් ලැයිම් කාමර සඳහා ලබා දීමට උත්සුක නොවන නිසා ඒවා පිලිසකර කිරීමට සිදු වී ඇත්තේ කම්කරුවන්ට ය.

අබලන් ලැයිම් කාමරවල වහලයට බොහෝවිට යොදා ඇත්තේ පොහොර මලු වැනි ගිනි ඇවිලෙන සුලු ද්‍රව්‍යයන් ය. ඉඩකඩෙහි සීමිත බව නිසා ඔවුන්ට දර ගබඩා කිරීමට සිදුව ඇත්තේ ද නිවෙස් තුලම ආහාර පිසින ස්ථානයෙහි ය. එමෙන්ම වැසි සහ සීත කාලගුනික තත්වයන්හි දී දර එලිමහනේ ගබඩා කිරීම සිදු කල නොහැක. ගෑස් සිලින්ඩර භාවිතා කිරීම වඩාත් අනතුරුදායකය. මෙම ලැයිම් කාමර වලින් සමහර ඒවා තැනීමට යොදාගෙන ඇති දැව වර්ග වහා ගිනි ඇවිලෙන සුලුය. ගිනි පුලිඟු‍වක් ඇතිවන අවස්ථාවල එමදැව වලට ගිනි ඇවිලීමෙන් ගින්න පැතිරීම සිදුවෙයි.

ගිනිගැනීමෙන් පසු ලබා දී ඇති තාවකාලික කූඩාරම්

ගින්නෙන් අවතැන්වූ කුඩා ලමුන්ද ඇතුලු‍ව හතලිස් ගනනකට ආසන්න පිරිසක් පැරනි කාර්ය මන්ඩල ගොඩනැගිල්ලක රඳවා සිටිති. වතුවල නව නිවාස ගොඩනැගීම වතු පාලකයන් අත් හැර දමා ඇති නිසා මෙම කම්කරුවන් තැනින් තැනට මාරු කිරීමේ තත්වයට මුහුන දී ඇත.

* දෙසැම්බර් මාසයේ ෆෝඩයිස් වත්තේ ගින්නෙන් විනාශ වූ ලැයිම් කාමරවල ජීවත් වූ පවුල් 24 කට අයත් පුද්ගලයින් 108 දෙනෙක් අවතැන් වූහ. ඔවුන්ට දින කිහිපයකට වතු බෙහෙත් ශාලාව තුල නවාතැන් දුනි. ඉන් පසුව ඔවුන් වතු ක්‍රීඩා පිටියේ වූ තුනී වහලවල් වලින් සෙවිලි කල තාවකාලික මඩු වලට මාරු කෙරිනි. එම ස්ථානය ගංගා දෙකකින් වටවී ඇති අතර ඔවුන් ජීවත් වන්නේ අසීරු කොන්දේසි වලය. මෙම අඩි 10x10 මඩු වැසි කාල වලදී වැහි වතුරෙන් යටවේ. එම කම්කරුවන් සහ පවුල් පසුගිය මාස දහය තුලම ජීවත් වූයේ මෙම තාවකාලික මඩු තුලය.

* ජනවාරි 29 වන දින රොබ්ගිල් වතුයායේ වනාකාඩු කොටසෙහි වූ ලයිම් කාමර 12 ක් ගිනි ගැනීමෙන් විනාශ විය. කුඩා ලමුන් 21 ක් ඇතුලුව 66 දෙනෙක් අවතැන් වුහ. ඔවුන් හින්දු කෝවිලකට තල්ලු‍ කලේ ය. පසුව කුඩා විවාහ උත්සව ශාලාවකට මාරු කෙරිනි. එහි ඇත්තේ වැසිකිලි දෙකක් පමනකි. ඔවුන් තවමන් ජීවත් වන්නේ එම ශාලාවෙහිය.

* හැටන් සිට කි.මි 19 දුරින් පිහිටි හොලිරූඞ් වත්තෙහි මැයි 29 වනදා පවුල් 24 ක නිවාස ගින්නෙන් විනාශ විය. ඉන් ලමුන් ඇතුලු‍ සියයකට ආසන්න පිරිසක් අවතැන් වූහ. ඔවුන් පලමුව කුඩා සංස්කෘතික මධ්‍යස්ථානයකටත් පසුව ප්‍රදේශයේ වූ විවාහ උත්සව ශාලාවක ටත් දමා ඇත.

තමන් මුහුන දී සිටින අසීරු කොන්දේසි ෆෝඩයිස් වත්තෙහි කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට විස්තර කලහ. “හැමදාම ලමයි ලෙඩ වෙනවා. ඒක හින්දා ඉගෙන ගන්න විදිහක් නැහැ. කාමරේ පොලොවට සිමෙන්ති දාලා නැති හින්දා බිම නිදාගන්න එක අමාරුයි. අපිට නිදාගන්න අවශ්‍ය කිසිම පහසුකම් නැහැ. පුද්ගලික කුලී නිවාසයකට උදේ හයේ සිට හවස හය දක්වා එක පවුලකින් මාසිකව රුපියල් අටසීයක් ගෙවන්න ඕන. ඒ ගනන වැඩියි. ඒක අපි ගින්නට කලින් විදුලි බිලට ගෙවපු ගානවගේ දෙගුනයක්”

“‍ජල සැපයුම හදලා දුන්නෙ මේ පැත්තේ ඉන්න ත්‍රිරෝද රථ රියදුරන්. ලංකා කම්කරු කොංග්‍රසය සහ ජාතික සේවක සංගමය එකිනෙකා සමඟ තරඟ වදිමින් අපේ නිවාස යෝජනා ක්‍රමයට සුදුසු ඉඩම් වෙන් කිරීම අවහිර කරනවා. මේ වන විට වතු කලමනාකාරීත්වයෙන් නිවාස සඳහා වෙනත් දුර ප්‍රදේශයක් වෙන් කරලා තියෙන්නෙ. එතන ඉඳන් ඉස්කෝලේටයි අනිත් තැන් වලටයි යන්න අමාරුයි. එතන ලගින් ගඟක් ගලාගෙන යනවා. ඒකෙ සද්දෙ අකූනු ගහනවා වගේ. ඒවාට පොඩි ලමයි බය වෙනවා. එතන ගෙවල් හදනවට අපි එකඟ නැහැ. වත්තෙ ගෙවල් හදන්න සුදුසු තැන් හුඟක් තියෙනවා. ඒ වුනාට පාලකයෝ ඒවා දෙන්නෙ නැහැ. හැම වෘත්තීය සමිතියක්ම තමන්ගෙ සාමාජික ගාස්තු වැඩි කරනවා. ඒ වුනාට ඒවා අපි වෙනුවෙන් සටන් කරන්නෙ නැහැ. සමිති වැඩ කරන්නෙ කම්කරුන්ව බෙදන්න” යැයි කම්කරුවෙක් පැවසීය.

තරුන මවක් වන එම්. සංගීතා මෙසේ පැවසුවාය: ”අපේ දෙමාපියන්, මුතුන් මිත්තන් වැඩ කලෙත් මේ වතු වල. කොම්පැනි අපෙන් රුපියල් බිලියන ගනනින් ලාභය ලබා ගන්නවා නමුත් අපිට නිවාස හදාගන්න සුදුසු භූමියක් වත් දෙන්න සූදානම් නැහැ. අපේ හැමදේම ගින්නෙන් විනාශ වුනා. ආන්ඩුව, වතු පාලකයො සහ සියලු වෘත්තීය සමිති අපිව අත හැරල තියෙන්නෙ”

Share this article: