ජනාධිපතිවරනයේදී සසප ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට
කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව සහාය පලකරයි

කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව විසිනි, 2019 ඔක්තෝබර් 29

එලැඹෙන ජනාධිපතිවරනය හමුවේ කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුලු‍ව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කලාකරුවන් ගත යුතු මඟ කවරේද යන්න සාකච්චා කිරීම පිනිස සඳුදා (28) සවස කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක) කොලඹ ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන ලදී. එහිදී කමිටුවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) කන්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව විවාදයට ගැනුනු අතර එම යෝජනාව සභාව විසින් ඒකමතික සම්මත කරනු ලැබීය. කප්‍රනිආක විසින් සසප ඉදිරිපත් කර ඇති අධිරාජ්‍යවාදී යුද්ධය, කප්පාදුව හා අඥාදායකත්වයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට සහාය පලකරන එම යෝජනාව පහත පල කෙරේ:

1. 2019 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනය පැවැත්වෙන්නේ ගෝලීය ධනේශ්වර ක්‍රමයේ පරිහානිය සහ අර්බුදය විසින් කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ ජීවන තත්වයන් සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල වන ප්‍රහාරය තියුනු කෙරෙන ආර්ථික සහ දේශපාලන සන්දර්භයක ය. ගෝලීය ආර්ථික බිඳවැටීම මධ්‍යයේ ලෝක ආධිපත්‍යය සඳහා වන තම ස්ථානය රැකගැනීම සඳහා මංමුලා සහගතව වැඩ කරන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ක්‍රියාකලාපය තුන්වන ලෝක යුද්ධයක තර්ජනය මතු කර තිබේ. ඊට විපරිතව ලොව පුරා වැඩෙන කම්කරු පන්තික වර්ජන හා අරගල ජාත්‍යන්තර කම්කරු පන්තියෙහි පුනර්ජීවනයක් ප්‍රකාශ කරනු ලබයි. පන්ති අරගලයේ මෙම යලි ඉස්මතු වීමට ජාත්‍යන්තරව පාලක පන්තියේ ප්‍රතිචාරය වන්නේ, අන්ත දක්ෂිනාංශය, ෆැසිස්ට්වාදය හා ආඥාදායකත්වය කරා වේගවත් හැරීමයි.

2. ලංකාවේ පාලක පන්තිය මුහුන දී සිටින ගැඹුරු දේශපාලන අර්බුදයත් වැඩෙන සමාජ අතෘප්තියත් බැඳී පවතින්නේ සමස්ත ධනේශ්වර ආර්ථික පර්යාය බිඳ වැටීමේ ප්‍රකාශනය තුල ය. තීව්‍ර වන භූදේශපාලනික ආතතියක හා දේශපාලන අවිනිශ්චිත භාවයක ගිලී සිටින ලංකාවේ පාලක පන්තිය ජනාධිපතිවරනයේ දී විවිධ වර්නයන්ට බෙදී දූෂිතභාවය පිලිබඳ කටුක චෝදනා එකිනෙකාට විරුද්ධව එල්ල කරගන්නා අතර ම මහජන දේපොල මංකොල්ල කෑමෙන් උකහා ගත් ධනයෙන් කොටසක් අති දැවැන්ත විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරන සඳහා යොදවමින් එකිනෙකා පරයා ජනතාවට සහන සැලසීමේ ඡන්ද පොරොන්දු හෙවත් සුරංගනා කතා ගොතමින් සිටීම අතිශයින් ම ජුගුප්සාජනක ය. රාජ්‍ය මිලිටරියේ සහාය උඩ තමන් පත්වූ පසු පොලිස් පාලන තන්ත්‍රයන් අටවා ගැනීමේ සූදානම ප්‍රධාන ධනපති අපේක්ෂකයන් දෙදෙනාම එකිනෙකා පරයමින් ප්‍රකාශ කරමින් සිටී. මේ අතර “ප්‍රජාතන්ත්‍රවාදය” සහ “ජාතික ආරක්ෂාව” සාක්ෂාත් කර ගැනීම උදෙසා පෙනී සිටින්නේය යන්න කියාපාමින් ආයතනික විද්වතුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ වරප්‍රසාද ලත් මධ්‍යම පංතික සිවිල් සංවිධාන නියෝජිතයන් සැලකිය යුතු ස්ථරයක් ජනාධිපතිවරනයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන ධනපති පක්ෂ අපේක්ෂකයන්ට සහ ව්‍යාජ වාම අපේක්ෂකයන්ට සහය දීමට ඉදිරිපත් ව සිටිති.

3. මෙවර ජනාධිපතිවරනය පුරවැසි නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය යන දෙකෙහිම ඉරනම තීරනය කරන අවස්ථාවක් බවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වටා රොක් වී සිටින මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, ගාමිනී වියන්ගොඩ, ධර්මසිරි බන්ඩාරනායක සහ ‍නීතිඥ කේ. ජනරංජන වැනි වරප්‍රසාදිත කලාකරුවන් සහ මාධ්‍යවේදීන් රොත්තක් කියා පාති. මෙම කන්ඩායම 2015 ජනාධිපතිවරනයේ දී “පුරවැසි බලය” නම් සංවිධානය අටවා ගනිමින් මෛත්‍රීපාල සිරිසේන දිනවීමේ ව්‍යාපාරය තුල දී තොරොම්බල් කරන ලද්දේ “‍ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය”‍ ස්ථාපිත කිරීම ය. පසුගිය වසර හතරකට වැඩි කාලය තුල වික්‍රමසිංහ සිරිසේන ඊනියා යහපාලන ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ වාර්තාව සටහන් කර ඇත්තේ ශක්තික සත්කුමාර වැනි සම්මානලාභී ලේඛකයන් ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම සහ සිව් මසකට වැඩි කාලයක් ඇප නො දී රඳවා තබා ගැනීම ද සිනමා සහ අන් කලාකෘතිවලට වාරන පනවමින් ද සිංහල වර්ගෝත්තමවාදී නඩවල ප්‍රකෝපකාරීත්වයන්ට ඉඩහසර දෙන අතර ම කම්කරු පීඩිත ශිෂ්‍ය අරගල මර්දනය කිරීම සදහා මිලිටරිය මත වඩවඩාත් වාරු වෙමින් පොලිස්-මිලිටරි ආඥාදායකත්වයක් කරා පියවර තැබීම දෙසට ය. මෙම මැතිවරනය තුලදීද “අඩු නපුර” තෝරා ගැනීමේ දේශපාලන මර උගුල තුල තවදුරටත් මහජනතාව සිරකිරීමට ඔවුන් වලිකමින් සිටී.

4. ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට සහය දක්වන සුමිත්‍රා පීරිස්, ජයන්ත චන්ද්‍රසිරි වැනි කලාකරුවන් ද ඇතුලු‍ව ඔහු වටා රොද බැඳ සිටින කලා සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් කියා සිටින්නේ ‘ජාතික ආරක්ෂාව තහවුරු වන ස්ථාවර රටක්’ වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බව ය‍. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ ආරක්ෂක ලේකම්වරයා මෙන්ම සහෝදරයෙක් ද වූ ගෝඨාභය සමග එක්ව ගෙන ගිය 2005 වර්ෂයේ සිට 2014 දක්වා පාලන සමය තුල ජාතික ආරක්ෂාව සහ දේශපාලන ස්ථාවරත්වයේ භයානකත්වය මෙරට කම්කරු පීඩිත ජනතාව, කලාකරුවන්, සිසුන් සහ මාධ්‍යවේදීන් අත්දැක තිබේ‍. උතුරු නැගෙනහිර වර්ගවාදී යුද්ධය උත්සන්න කරන අතර ම මිලිටරියේ අනුග‍්‍රහය ලබන ඝාතක කල්ලි මෙහෙයවා උතුරේ මෙන් ම දකුනේ ද සිය ගනන් ‘අතුරුදහන්’ කිරීම හෝ මරා දමනු ලැබීමට ද යුද්ධයේ අවසන් මාසවල දී පමනක් සිවිල් වැසියන් 40,000ක් පමන ඉවබව නැතිව ඝාතනය කිරීමට මෙන් ම දකුනේ කම්කරුවන්ගේ හා පීඩිතයින්ගේ අරගල ලේවැකි ලෙස මර්දනය කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් වගකිව යුතුව තිබේ.

5. ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් බවට පත් වී සිටින ජනතා විමුක්ති පෙරමුන අටවාගෙන සිටින ‘ජාතික ජනබල බලවේගයේ‘ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහයෝගය දක්වන අයිරාංගනී සේරසිංහ, ජයතිලත කම්මැල්ලවීර, නදීක ගුරුගේ, කෞෂල්‍යා ප්‍රනාන්දු වැනි කලාකරුවන් සමග ආචාර්ය හරිනි අමරසූරිය, මහාචාර්ය ලියනගේ අමරකීර්ති වැනි ධනේශ්වර ශාස්ත්‍රාලිකයන් සහ අපේක්ෂාභංගත්වයට පත් මධ්‍යම පන්තියේ විවිධ වෘත්තිකයන් කියා සිටින්නේ තමන් ‘පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා විකල්පයක්’ සොයන බව ය. 1965 දී බිහි වු ජවිපෙ සුලු‍ ධනේශ්වර ජාතිකවාදී සංවිධානයක සිට ධනපති දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්තනය වූ සමස්ත වකවානුව තුල කම්කරු පන්තිය කෙරෙහි දක්වා ඇති නරුම විරුද්ධත්වය මගින් ලංකාවේ ධනපති පාලක පන්තියට කම්කරු පන්ති නැගිටීම්වලට එරෙහිව සිය පන්ති මූලෝපායන් වර්ධනය කිරීමට වක්‍රව සහය දුන් අතර 2004 වර්ෂයේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ සිට මහින්ද රාජපක්ෂ හරහා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පිටුබලය ලැබ ජනාධිපතිත්වයට පත් මෛත්‍රීපාල සිරිසේන දක්වා පාලන තන්ත්‍රයන්ට ඍජුව සහය දුන් අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙලඳපොල-ගැති න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීමට සහයෝගය දුන්නේය. සිංහල ස්වෝත්තමවාදී දෙමල-විරෝධී යුද්ධයෙහි පෙරමුනේ සිටීමෙන් සහ උතුර හා නැගෙනහිර මිලිටරි වාඩිලාගැනීමට සහයෝගය දීමෙන් පසු ජාතික සමගිය සඳහා ආයාචනා කිරීම මගින් දෙමල හා මුස්ලිම් මහජනතාවගේ සහයෝගය දිනාගැනීමට එය දැන් අරඅදිමින් සිටී.

6. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ජනාධිපති අපේක්ෂකයා වන දුමින්ද නාගමුව තමාව හඳුන්වා ගන්නේ සමාජවාදී අපේක්ෂකයා හැටියට ය. ජනතා විමුක්ති පෙරමුනෙන් භේද වී 2012 වර්ෂයේ දී අටවා ගන්නා ලද පෙසප කම්කරු පන්තියේ ප‍්‍රමුඛ විප්ලවවාදී ක්‍රියා කලාපයට එරෙහි “වාම”‍ සහ “අනන්‍යතා”‍ දේශපාලනයෙන් යුක්ත පෙරමුනකින් සමාජ සාධාරනත්වය ඉටු කල හැකි යයි කියන ව්‍යාජ වාම සංවිධානයකි‍. පසුගිය සතියේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති පෙසප 3 වන මහා සම්මේලනය තුල පෙසප නායකයින් ජවිපෙ නිර්මාතෘ රෝහන විජේවීරගේ අරගලය වර්තමාන ජවිපෙ විසින් පාවා දෙනු ලැබුවේ යැයි අවධාරනය කිරීමෙන් පෙසප අඟවා සිටින්නේ තමන් ජවිපෙ දේශපාලනයේ ප්‍රතිගාමී ප්‍රවේශය හෝ ක්‍රියාමාර්ගය කිසි විටෙකත් ප්‍රතික්ෂේප නොකරන බව ය.

7. මෙම ජනාධිපතිවරනයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 35 දෙනා අතුරින් ධනේශ්වරයේ සියලූ නියෝජිතයන්ට හා ක්ෂමාලාපකයන්ට එරෙහිව කම්කරු පන්තිය සමාජවාදී ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය මත බලමුලූ ගැන්වීම සඳහා වැඩපිලිවෙලක් ඉදිරිපත් කර ඇත්තේ කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කර ගැනීමට සටන්වදින මෙම ක්‍රියාකාරී කමිටුව ගොඩ නැගීම සදහා කැඳවුම් කල සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අපේක්ෂක පානි විජේසිරිවර්ධන පමනි.

8. සසප ජනාධිපතිවරනයට තරග වැදීම නිවේදනය කල ප්‍රකාශනයේ සදහන් වන පරිදි ”‍සසප හා එහි පූර්වගාමියා වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සතුව ඇත්තේ, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය හා මූලධර්ම සඳහා සටන් වැදීමේ නො කැලැල් වාර්තාවකි. සිවිල් යුද්ධයට එකදිගටම විරුද්ධ වුනු, ශ්‍රී ලංකාවේ මිලිටරිය උතුරින් හා නැගෙනහිරින් ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටි, වාර්ගික රේඛා නොතකා කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා සටන් කරමින් මෙම අරගලයට ගොවීන් රැලි කරගැනීම වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලංකාවේ එකම පක්ෂය එය යි. සසප දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපය ගන්නා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරයි. මෙම සටන ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසකි. කම්කරු පන්තියේ කර්තව්‍යය වන්නේ පාලක ප්‍රභුවේ කුමන පාර්ශවයක් සමග හෝ පෙලගැසීම නොවේ”‍.

9. ප්‍රජාතන්ත්‍රවාදය සදහා කරන අරගලය, ධනවාදයට එරෙහි අරගලයෙන් වෙන් කල නො හැක: ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල වන ප්‍රහාරය ධාවනය කරනු ලබන්නේ ගෝලීය ධනේශ්වර ක්‍රමයේ පරිහානිය සහ අර්බුදය මගිනි. ඔක්ස්ෆෑම් ආයතනය පසුගිය වර්ෂයේ දී දැක්වූ පරිදි ලොව ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය, කෝටි තුන්සිය හැටක්වන ලොව ජනගහනයෙන් අඩක් වූ වඩාත් දුගී ජනතාව සතු ධනයට සමාන අගයක් ගනු ලබයි. සුපිරි ධනපතියන් අතලොස්සක් අත මහා ධනයක් සංකෙන්ද්‍රනය වීමත් අනෙක් පස ඉමහත් ජනකායක් දූගී භාවයට ඇද වැටීමත් තුල අසමානතාවය ම පදනම් කරගත් ආර්ථික පර්යායකට තවදුරටත් ප්‍රජාතන්තුවාදය ශක්‍ය සමාජ ප්‍රපංචයක් බවට පත් කල නොහැක.

10. සසප ජනාධිපතිවරන ප්‍රකාශය මගින් අධිරාජ්‍යවාදී යුද්ධයට, කප්පාදුවට, ආඥාදායකත්වයට හා ෆැසිස්ට්වාදයට එරෙහි ව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ වැඩපිලිවෙල ඉදිරිපත් කර ඇත. ලංකාවේ හා ජාත්‍යන්තර ව කම්කරුවන් මුහුන දෙන එකී ඉමහත් අන්තරායන්ට, ධනවාදයේ හා එහි යල්පිනූ ජාතික රාජ්‍ය පද්ධතියේ රාමුව ඇතුලත විසඳුමක් නැති බව ප්‍රකාශය අවධාරනය කරයි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අපරාධ පිලිබඳ සත්‍යය ලොවට ප්‍රකාශ කිරීම හේතුවෙන් දඩයමට ලක්ව සිටින විකිලීක්ස් ආරම්භක, මාධ්‍යවේදී ජූලියන් අසාන්ජ් සහ ඔහුට විරුද්ධ ව සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම නිසා සිරගත කර සිටින රහස් තොරතුරු හෙලිකරන්නියක වන චෙල්සී මැනිංගේ නිදහස සඳහා සසප ජාත්‍යන්තරව සටන් වදී. ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ සටන, මූලික සමාජ අයිතීන් රැකීම හා සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත ධනවාදයට එරෙහි අරගලය සමග මුලු‍‍මනින් ම බැඳී ඇති බව සසප කියා සිටී. රටෙහි ප්‍රජාතන්ත්‍ර-විරෝධී, වාර්ගික ව්‍යවස්ථාව හා සියලු‍‍ මර්දන නීති අහෝසි කල යුතු බවටත්, ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත්කර ගත් ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් හරහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කල යුතු බවටත් සසප මැතිවරන ප්‍රකාශය පෙන්වා දෙයි.

11. කප්‍රනිආක පිහිටුවා ගැනීමේ දී සම්මත කරගත් පරිදි අප ක්‍රියාකාරි කමිටුවේ අරමුන සහ භාවිතාව නිර්නය කර ගැනුනේත් කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුලු‍‍ සෑම ප්‍රජාතන්ත්‍රීය අයිතියක්ම ආරක්ෂා කරගත හැක්කේත්, එම අයිතීන් වලට එරෙහි ප්‍රහාරයේ මූලය වන ධනපති ක්‍රමය හා එහි ප්‍රතිගාමී මර්දක නීති ද අහෝසි කිරීමේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත සටන් වැදීම ලෙස ය. මෙම පිලිවෙත මත සටන් වදින හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂක පානි විජේසිරිවර්ධනට සහාය පල කිරීමත් ඔවුන්ගේ මැතිවරන උද්ඝෝෂනයට සහභාගි වෙමින් පාලක පන්තියේ සියලු‍ පක්ෂවලට සහ ව්‍යාජ වමට විරුද්ධව, ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත කම්කරුවන්, පීඩිතයන්, තරුනයන්, සිසුන් සහ කලාකරුවන් උගන්වා ගැනීමට සහ බලමුලු‍ගැන්වීමට මෙයින් යෝජනා කර සිටී.

12. යුද්ධය හා ස්ටැලින්වාදී ප්‍රතිවිප්ලවය හමුවේ කලාවේ ආරක්ෂාව වෙනුවෙන් 1938 දී ලියොන් ට්‍රොට්ස්කි, අන්ද්‍රේ බ්‍රෙටන් හා ඩියෝගෝ රිවේරා විසින් “ස්වාධීන විප්ලවවාදී කලාවක් සඳහා ජාත්‍යන්තර ෆෙඩරේෂනයක්”‍ කැඳවුම් කරමින් කල ප්‍රකාශය තුල කලාකරුවාගේ කාර්යභාරය සම්බන්ධව කල සඳහන සිහි කැඳවීම අද අතිශයින් වැදගත්ය: ”‍කලාවේ කාර්යභාරය පිලිබඳ අපගේ සංකල්පය සමාජයේ ඉරනම කෙරෙහි එයට ඇති බලපෑම ප්‍රතික්ෂේප නොකිරීමට තරම් ඉහලය. අප විශ්වාස කරන්නේ අපගේ යුගයේ කලාවේ ශ්‍රේෂ්ඨම කර්තව්‍ය ලෙස පවතින්නේ (සමාජවාදී) විප්ලවය සූදානම් කිරීම සඳහා ක්‍රියාකාරීව හා සවිඤ්ඤානිකව දායක වීමයි.”‍ විප්ලවය සඳහා කලාවේ නිදහසත්, කලාවේ පූර්න නිදහස සඳහා සමාජවාදී විප්ලවයත් කැඳවුම් කරමු!

Share this article: