පොලීසිය සම්මානලාභී කලාකරු මාලක දේවප්‍රියගෙන් ප්‍රශ්න කරයි

විමුක්ති විදර්ශන විසිනි, 2019 ඔක්තෝබර් 19

ශ්‍රී ලංකා පොලීස් සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාශය (සඅනිකො) විසින් සම්මානලාභී තරුන චිත්‍රපටි හා නාට්‍ය අධ්‍යක්ෂ, ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචක සහ නිෂ්පාදකයෙක් ද වන මාලක දේවප්‍රිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ කැඳවන ලදී. දේවප්‍රිය මුදා හැර ඇත්තේ පැය හතරක පමන කාලයක් තිස්සේ ඔහුගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුවයි.

දේවප්‍රිය කැඳවා තිබුනේ ඔහු නිෂ්පාදනය හා අධ්‍යක්ෂනය කර පසුගිය වසරේ ජුලි මස සිට රජයේ ගුවන්විදුලි සේවයක් ඔස්සේ ප්‍රචාරනය කෙ⁣රෙමින් තිබූ “‍කනට පාරක් (Earful of Visuals)”‍ නම් රේඩියෝ කථා මාලාව සම්බන්ධයෙන් පොලීසිය වසරක් තිස්සේ ගෙනයමින් තිබෙන පරීක්ෂනයක කොටසක් ලෙසය.

මෙම පොලිස් පරීක්ෂනයට පදනම්ව ඇත්තේ කුප්‍රකට වර්ගවාදී අන්තවාදී සංවිධානයක් වන බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ අගුලු‍ගල්ලේ සිරි ජිනානන්ද භික්ෂුව ගිය වසරේ අගෝස්තු මස සඅනිකො කර තිබූ පැමිනිල්ලකි. දේවප්‍රියගේ නාට්‍ය මාලාවේ “‍එක් එක් නාට්‍ය සඳහා බුදු දහමේ යොදා ඇති පාරිභාෂිත නාමයන් විකෘති කරමින් නම් යොදා ඇති”‍ බවත් ඒ මගින් “‍බුදු දහම අපහාසයට හා උපහාසයට”‍ ලක් කොට “‍බෞද්ධ ආගමට හා යම් පන්තියක අගමික හැඟීම් කෙලසීම සඳහා ඒකාන්ත හා ද්වේශ සහගත අදහසින් භාෂිත හෝ ලිඛිත වචනයෙන් හෝ නිරූපන වලින් එකී පන්තියේ ආගමට හෝ ආගමික විශ්වාස වලට නින්දා කිරීමට හෝ එසේ කිරීමට තැත් කිරීමක් කරන අදහසින් මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාව සකස් කර ඇති”‍ බවට පැමිනිල්ලේ සදහන්ය.

දේවප්‍රියගෙන් මෙලෙස පොලිසිය ප්‍රශ්න කිරීම බෞද්ධ අන්තවාදීන්ගේ උසිගැන්වීම පිට මෙම වසරේ මුල පටන් අලු‍ත් මට්ටමකින් කලාකරුවන්ට එරෙහිව මුදාහැර ඇති පොලිස් දඩයමක තවත් අවස්ථාවකි. මුලින් කී භික්ෂුව හා “‍සිංහලේ”‍ නම් සංවිධානය ඇතුලු‍ සිංහල-බෞද්ධ වර්ගවාදී නඩ කිහිපයක් ඉදිරිපත් කල පැමිනිල්ලක් ක්‍රියාවට දමමින් පොල්ගහවෙල පොලීසිය තවත් තරුන සම්මානලාභී ලේඛකයෙක් හා කවියෙක් වන ශක්තික සත්කුමාර ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලීසියට ගෙන්වා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් ⁣කලේය.

තම ෆෙස්බුක් ගිනුමේ පලකල ඔහුගේ “අර්ධ” නමැති කෙටි කථාවක් මගින් බුද්ධාගමට “අගෞරවයක් හා නින්දාවක්” වන්නේයැයි සත්කුමාරට අභූත චෝදනා කෙරුනු අතර ඔහු ඇප පිට නිදහස් කෙරුනේ මාස සතරකට වැඩි කාලයක් බන්ධනාගාර ගත කිරීමකින් පසුව කුරුනෑගල මහා අධිකරනය මගිනි. ඔහුට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමේ අවදානම තවමත් පවතී.

සත්කුමාරට එරෙහිව මෙන්ම ඊට පසු පසු, දිල්ශාන් පතිරත්න, කිංග්ස්ලි ගුනතිලක, කුසල් පෙරේරා වැනි කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට එරෙහිව ද ඉහත කී නීති යොදාගැනීමට ආන්ඩුව උත්සාහ කලේ ය.

දේවප්‍රිය අධ්‍යක්ෂනය කල නාට්‍ය මාලාවේ නාට්‍ය කිහිපයක නම් වශයෙන්, “‍නිහොන් සැප ලැබේවා”‍, “තරුවන් සරනයි”‍, “‍ආලයක දමනය”‍, “‍නිර්වස්ත්‍රං පරමං සුඛං”‍ යන ඒවා පිලිවෙලින් “‍නිවන් සැප ලැබේවා”‍, “‍තෙරුවන් සරනයි”‍, “ආලවක දමනය”‍ හා “නිබ්බානං පරමං සුඛං”‍ යන “බෞද්ධ පාඨ”‍ “‍විකෘති කොට” යොදාගෙන “අවමානයට” පත් කර ඇති බව ව්‍යාජ පැමිනිල්ලේ උදාහරන වශයෙන් දක්වා තිබිනි. ගුවන් විදුලියේ ‘රේඩියෝ කතා' නමින් විකාශනය වූ නාට්‍ය 15 ට පසුව කී නමින් නාට්‍යයක් අන්තර්ගත නොවිනි.

මෙම චෝදනාවන් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ නීතියක් වන ලංකා දන්ඩ නීති සංග්‍රහයේ 291අ හා 291ආ යන වගන්ති සහ, තවත් මර්දක නීතියක් වන 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (අයිසීසීපීආර්) පනතේ 3(1) වගන්තිය යටතට වැටෙන වරදවල් ලෙස සලකමින් කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනයට කරුනු වාර්තා කරමින් සඅනිකො පරීක්ෂන දියත් කලේය.

දේවප්‍රියට එරෙහිව මර්දන දැල එලීම සූදානම් කරමින් මෙම නාට්‍ය නිර්මානයට හා විකාශනයට සම්බන්ධ කිහිප දෙනෙකුගෙන් ම සඅනිකො ප්‍රකාශ සටහන් කර ගෙන තිබිනි. නාට්‍ය මාලාවට අනුග්‍රහය දැක්වූ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ ගුවන්විදුලි විකාශනය සඳහා අනුමත කල එහි විද්වත් ඇගයීම් කමිටුවේ සාමාජිකයන්ගේ ද, ස්වාධීන ගුවන්විදුලියේ වැඩසටහන් නිෂ්පාදක ඇතුලු‍ කාර්ය මන්ඩලයේ ද ප්‍රකාශ ලබාගැනීම සඳහා පොලීසිය උසාවි නියෝග ඉල්ලා තිබිනි.

දේවප්‍රිය කොලඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා හා ඉතිහාසය පිලිබඳ උපාධි ධාරියෙකි. විශ්ව විද්‍යාල සිසුවෙකුව සිටි අවදියේදීම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂනය කල ඔහුගේ නිර්මාන කිහිපයක්ම දේශීය හා විදේශීය සම්මානයන්ට පාත්‍ර විය. 2007 හා 2008 වර්ෂ සදහා ජර්මනියේ Academie Schloss Solitude හි අධිශිෂ්‍යත්වයක් ද 2008 හා 2009 කාලය තුල දකුනු කොරියාවේ අද්‍යතන කලාවේ ජාතික කෞතුකාගාරයට අනුබද්ධ ආසියා-ෆැසිපික් කලාකරුවන්ගේ අධිශිෂ්‍යත්වයක් ද ඔහුට හිමි විය.

මොස්කව් ජාත්‍යන්තර සිනමා උලෙලේදී ප්‍රදර්ශනය කෙරුනු ඔහුගේ “‍බහුච්තවාදියා”‍ චිත්‍රපටය 2018 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය සහ සාක් සම්මාන උලෙලේදී හොඳම අධ්‍යක්ෂනය සඳහා ජූරි සම්මානය දිනා ගත්තේය. කෙටි චිත්‍රපට නවයක් පමන ඔහු අධ්‍යක්ෂනය කර තිබේ.

දේවප්‍රිය⁣ට එල්ල කෙරුනු චෝදනා අතිශයින් නරුම, අභූත හා පදනම් විරහිත ඒවාය. ලංකාවේ ප්‍රසිද්ධ හා ප්‍රවීන කලාකරුවන් ගනනාවක් “‍කනට පාරක්”‍ නාට්‍ය මාලාවට රඟපෑමෙන් දායක වී ඇත. තරුන විරැකියාව හා සංක්‍රමනික කම්කරුවන්, ධනපති මාධ්‍ය විසින් කලාව වානිජකරනය කිරීම, ධනපති පාලක පන්තිය විසින් මහජනතාව බොරු පොරොන්දු දී මුලාවේ දැමීම, මිත්‍යාදෘෂ්ඨිකත්වය ආදි සමාජ පැතිකඩයන් ගනනාවක් මෙම කතා මාලාවට වස්තුබීජය වී තිබේ.

බලයට පත් සෑම ආන්ඩුවක්මත්, ජාත්‍යන්තර ධනපති පාලක පන්ති⁣වලත් කලාවේ හා ප්‍රකාශනයේ නිදහස අහුරාලීමේ මර්දනකාරී ක්‍රියාපිලිවෙත අනුයමින් කම්කරු මහ ජනතාවගේ අරගලවලට ද සංස්කෘතික පෙරගමනට ද ඇබ ගැසීම සඳහා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් විශේෂයෙන් මේ වසර පුරා බෞද්ධ අන්තවාදීන්ගේ අවශ්‍යතා මත උත්සන්න කෙරුනු ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩසටහනක කොටසකි මෙය. විකල්ප ලෙස සිතන පතන කලාකරුවන් ඇතුලු‍ සියලු‍ දෙනා භීතියට ලක්කිරීම මෙම ප්‍රහාරයේ මූලික එල්ලයකි.

සත්කුමාර මාස සතරක් සිරගත කිරීමෙන් පසුව දේවප්‍රියට එරෙහිව ගෙන ඇති පියවර පෙන්නුම් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දඬු ගැසීම සඳහා ආන්ඩුව පොලිස් මර්දන යන්ත්‍රය කඩුව අමෝරාගෙන සිටින බවයි. සත්කුමාර හා අනෙකුත් කලාකරුවන් ද මාධ්‍යවේදීන්ද කලාවේ හා ප්‍රකාශනයේ නිදහසද ආරක්ෂා කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) හා දේශීය හා විදේශීය සංවිධාන ගනනාවක් ගෙනගිය පුලු‍ල් උදඝෝෂනයක් මධ්‍යයේ ආන්ඩුවට සත්කුමාර නිදහස් කලත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට තර්ජනය ලඹදෙමින් පවතී.

තම මූලික අයිතිවාසිකම් කඩවීමේ අත්‍යාසන්න භාවය යන පදනමින් දේවප්‍රිය ශ්‍රේෂ්ඨාධිකරනරයේ ගොනුකල මූලික අයිතිවාසිකම් නඩුව මේ මස 30 වනදා කරුනු තහවුරු කිරීම සඳහා කැඳවේ. පොලිස් ප්‍රශ්න කිරීම් ඊට සූදානම් වීම සඳහා කෙරුනකි.

කම්කරු පොදු මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයතීන්ට එරෙහි ප්‍රහාරයේ කොටසක් ලෙස රටක් රටක් පාසා ක්‍රියාවට දැමෙන මෙවන් ප්‍රහාරයන්ට ඇත්තේ දේශපාලන අන්තර්ගතයකි. එය ධනපති අධිකරනය තුල කෙරෙන නීතිමය තර්ක හරහා බේරුම් කෙරෙන්නක් නොව පන්ති අරගලය තුල විසඳෙන්නකි.

සසප අවධාරනය කර ඇති පරිද්දෙන් කලාව, සාහිත්‍යය, කලාකරුවන් හා මාධ්‍යවේදීන්ද ප්‍රකාශනයේ හා කලාවේ නිදහසද ආරක්ෂා කිරීම සඳහා ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් ඔබ්බට ගිය, ධනපති පන්ති පාලනයම මුලිනුපුටා දැමීමේ ජාත්‍යන්තර සමාජවාදී දේශපාලන ඉදිරිදර්ශනයක් යටතේ පුලු‍ල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම තීරනාත්මකම කර්තව්‍ය බවට පත්ව ඇත.

සසප මූලිකත්වයෙන් කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක) පිහිටවනු ලැබීමේ වැදගත්කම ද එය කර ඇති කැඳවුමට සහාය දෙමින් කලාකරුවන් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අගයන සියලු‍ දෙනා එක්වීමේ ද අවශ්‍යතාව දේවප්‍රිය ට එල්ල වී ඇති දඩයමෙන් පෙන්නුම් කෙරේ.

කලාකරුවන්ට හා ඔවුන්ගේ නිර්මාන සඳහා දායක වූ ඕනෑම අයෙකුට එරෙහි අපරාධ නඩු ගොනුකිරීමේ ආන්ඩුවේ ප්‍රයත්නයන්ට එරෙහි වන ලෙසත්, අයිසීසීපීආර් පනත ඇතුලු‍ සියලු‍ මර්දක නීති අහෝසි කල යුතු බවටත් සම්මත කරමින් සහයෝගිතා පෙත්සමක් අත්සන් කිරීම සඳහා කමිටුව ඉදිරිපත් කර ඇත. සසප හා කප්‍රනිආක විසින් සංවිධානය කරන ඉදිරි උද්ඝෝශනවලට සම්බන්ධ වෙමින් එම දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීම සඳහා පෙරට එන ලෙස සසප කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් හා කලාකරුවන්ගෙන් ඉල්ලා සිටී.

Share this article: