හමුදාවේ සහ පොලිසියේ සහයෝගය ඇතිව බෞද්ධ භික්ෂූ නඩයක් උතුරේ වර්ගවාදී ප්‍රකෝපකරනයක යෙදෙයි

විමල් රාසේන්ද්‍රන් විසිනි, 2019 ඔක්තෝබර් 04

උතුරේ මුලතිවු දිස්ත්‍රික්කයේ පුරාන සෙම්මලෛ නිරාවිය ගන දේවාල පරිශ්‍රයේ පිං ලිඳ අසල පසු ගිය සැප්තැම්බර් 23 දා අන්තවාදී බෞද්ධ භික්ෂූන්ගේ නායකත්වයෙන් සිංහල ස්වෝත්තමවාදීන් කන්ඩායමක් විසින් බෞද්ධ භික්ෂුවකගේ මල සිරුරක් බලහත්කාරී ලෙස ආදාහනය කරන ලදී. සිංහල අන්තවාදී බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ නායකත්වයෙන් ක්‍රියාකල එම වර්ගවාදී නඩය මෙම ආදාහන කටයුත්ත සිදු කලේ එය මුහුද අයිනේ පවත්වන ලෙස උසාවියෙන් කරන ලද නියෝගයක් ප්‍රසිද්ධියේ උල්ලංඝනය කරමිනි.

මෙය ආන්ඩුවේ හා සිංහල ධනපති විපක්ෂ නායකයින් ඇතුලු‍ පාලක පන්තියේ හා ආරක්ෂක අංශවල සහයෝගය ලබන බෞද්ධ අන්තවාදීන් අනෙකුත් වාර්ගිකයන් සහ ආගමිකයන්ට එරෙහිව ගෙනයන ප්‍රකෝපකාරී ක්‍රියාවන්ගේ ආසන්නම සිදුවීමයි.

මෙම දේවාලය තුල හමුදාවේ සහ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ සහයෝගය සහිතව බලහත්කාරී ලෙස බෞද්ධ පන්සලක් තනමින් පැවති අතර එහි ලැගුම් ගෙන සිටි කොලඹ මේධාලංකාරකිත්ති නම්වූ භික්ෂුව පිලිකා රෝගය නිසා මහරගම පිලිකා රෝහලේදී මිය ගියේය.

පරිශ්‍රය තම ග්‍රහනයේ පැවති කාලය තුල මිලිටරිය විසින් මෙම බෞද්ධ විහාරය තනා ඇති අතර හමුදාව ඉන් ඉවත්වූ පසුව ද මේධාලංකාරකිත්ති එහි අරක් ගෙන සිටියේය. ඒ අතර දේවාලයේ පූජාවට පැමිනෙන හින්දු භක්තිකයින්ට එම ස්ථානයට කැඳවන සිංහල වර්ගවාදි මැරයන් විසින් දිගටම හිරිහැර කිරීම් සිදුවිය.

තම දේවාල පරිශ්‍රය තුල සිය ආගමික පිලිවෙත්වලට පටහැනිව භික්ෂුවගේ ආදාහන කටයුතු කිරීමට දෙමල ජනතාව විරුද්ධ වූ විට වර්ගවාදී නඩ ප්‍රකෝපකාරී ලෙස හැසිරෙද්දී එහි සිටි කැරලි මර්දන පොලීසියද බලා සිටියේය. විශාල වර්ගවාදී කෝලාහලයක් ඇතිකිරීමේ උත්සාහය තේරුම් ගත් දෙමල ජනතාව එය වලක්වා ගැනීමට එතැනින් ඉවත්වූ නිසා අන්තවාදීන් බලාපොරෝත්තුවූ ගැටුම ඇතිකර ගත නොහැකිවිය.

එහි පැමිනි දෙමල කතාකරන නීතිඥවරු උසාවි නියෝගය ක්‍රියාවට දමන ලෙස පොලිස් නිලධාරීන්ට බලකල විට භික්ෂුන් විසින් සුහාශ් නමැති නීතිඥයාට පහර දුන් බවත් ජනතාව එයට විරුද්ධ වූ විට ඔවුන්ට පොලිසිය පහර දුන් බවත් වාර්තා වී ඇත. නීතිඥයින් උසාවි නියෝගය පෙන්වා දුන් විට මෙම කන්ඩායම “‍ලංකාවේ බෞද්ධ භික්ෂූන්ට මුල්තැන දිය යුතු බව දන්නෙ නැද්ද”‍ යි අසමින් බුරා පැන ඇත.

මෙම ප්‍රකෝපකාරී සිද්ධීන් හා නීතිඥවරුන්ට පහර එල්ල කිරීම හෙලා දකිමින් මහජනතාව සහ නීතිඥවරු පසුගිය සතිය පුරා විවිධ ස්ථාන වල වර්ජන සහ උද්ඝෝෂන පවැත්වූහ.

මුලතිවු දිස්ත්‍රික්කයේ උසාවියේ සිදු වෙමින් පවතින නඩු විභාගයේදී විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු වලට තාවකාලික වාරනයක් පැනවූ නමුත් ගොඩනැගිලි සෑදීමේ කටයුතු දිගටම කරගෙන ගොස් ඇත. එම ස්ථානයේ “අතීත කාලයේ සිටම” විහාරයක් තිබුනු බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උසාවියට දනුම් දුන් බව වාර්තා වේ.

උතුරු පලාතේ මෙන්ම නැගෙනහිර වාඩිලාගෙන සිටින හමුදාව ද බෞද්ධ විහාරස්ථානයන් සාදමින් වාර්ගික භේද ඇවිස්සීමේ ක්‍රියාවල යෙදීම් වාර්තාවී ඇත. මීට පෙර ජනාධිපති සිරිසේන විසින් සිය බලය භාවිතා කර නැගෙනහිර පලාතේ කින්නියා උනු වතුර ලිං පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට පවරා ගැනිනි. මෙම ක්‍රියාව එහි ගන දෙවි දේවාලයක් තිබුනු ස්ථානයේ බෞද්ධ විහාරයක් තැනීමට උත්සාහ දරන වර්ගවාදී කන්ඩායමකට අවස්ථාව ලබාදී තිබේ.

මුලතිවූ සිද්ධියෙන් දුරස්ථ වීමට උත්සාහ කල අගමැති වික්‍රමසිංහ “ප්‍රකෝපාකාරී සිද්ධිය පිලිබඳව ලැජ්ජා වන බව” ප්‍රකාශ කර ඇත. මෙය පිලිබඳ වගකීම විපක්ෂ ය දෙසට හැරවූ ඔහු රටේ පාලනය අත් පත් කරගැනීමට උත්සාහ දරන කන්ඩායමක් බෞද්ධ භික්ෂුන් යොදාගන්නා බව සඳහන් කලේ ය. එහෙත් ඔහුගේ පක්ෂය උතුරේ හමුදාව බෞද්ධ විහාර ස්ථාපනය කිරීමට මුලු‍මනින්ම සහයෝගය දෙයි. පලාත් පාලන මතිවරනයට එජාපය පලකල ප්‍රතිපත්ති ප්‍රකාශයේ උතුරු නැගෙනහිර පලාත්වල විහාරස්ථාන දහසක් ගොඩනගන බව සඳහන් කර තිබුනි.

සිංහල අන්තවාදී සංවිධාන සමග සෘජුවම සම්බන්ධතා පැවැත්වීමෙන් කුප්‍රකට ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ භික්ෂූන්ගේ ප්‍රචන්ඩත්වය ප්‍රසිද්ධියේ යුක්ති සහගත කර ඇත. භික්ෂූන් ක්‍රියා කලේ මිය ගිය භික්ෂුවගේ දේහය සන්සුන් ස්ථානයක ආදාහනය කිරීමට නමුත් දෙමල දේශපාලනඥයන්ගේ සහය සහිතව ක්‍රියා කරන නීතිඥයන් ඔහු අපහාසයට පත් වන ලෙසට ක්‍රියා කර ඇතැයි ගෝඨාභය රාජපක්ෂ පැවසූ බව යාපනයේ පලවන තිනක්කුරල් සහ උදයන් වාර්තා කලේය.

සැප්තැම්බර් 26 පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බොබසේ ලේකම් ඥානසාර මෙසේ තර්ජනය කලේය: “මේක සිංහල බෞද්ධ රටක්. මෙය පිලිගන්න අය පමනක් මෙහි ඉන්න පුලු‍වන්. පිලිගන්නෙ නැති අයට තමන්ගෙ බඩු මුට්ටුත් අරගෙන වෙන රටකට යන්න පුලුවන්” යැයි ප්‍රකාශ කලේය. ඔහු තව දුරටත් සඳහන් කලේ “උතුරේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම සඳහා”‍ තමන් මුලතිවුවලට පදිංචියට යන බවයි.

ඥානසාර පසුගිය වසර වල මුස්ලිම් ජාතිකයින්ට එරෙහි ප්‍රහාර සම්බන්ධව නමගිය අයෙකි. යුද්ධයේදී අතුරුදහන් කල ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ නඩුවකදී වර්ගවාදය අවුස්සමින් උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ සිර දඬුවම් ලබා සිටි ඥානසාර ජනාධිපති සිරිසේන තම බලතල භාවිතා කර නිදහස් කලේය.

ලංකාවේ බෞද්ධ සංස්ථාපිතයේ ඉහලින්ම සිටින මල්වතු පාර්ශවයේ භික්ෂුවක් ද මුලතිවු සිද්ධිය යොදාගෙන දෙමල ජනතාවට එරෙහිව විවෘත තර්ජනයක් එල්ල කර ඇත. එම පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹූරේ ශ්‍රී සරනංකර විමලධම්ම භික්ෂුව මුලතිවු සිද්ධිය කනපිට හරවමින් දෙමල ජනයා වගඋත්තරකරුවන් කරමින් “දකුනේ වෙසෙන සිංහල බෞද්ධ ජනයා නැවත ප්‍රචන්ඩත්වයේ දිශාවට හැරවීමේ උත්සාහයෙන් උතුරේ ජනතාව ඉවත් විය යුතු” බව කීවේය.

උතුරේ සිටින ජනතාවට එරෙහිව හමුදාව මුදාහරින ලෙස වක්‍රව ඉල්ලූ ඔහු සඳහන් කලේ පාලකයන් තත්වය සමහන් නොකලොත් නැවත ලේ හැලීම් ඇතිවීමට ඉඩ ඇතිබවයි. “‍එම නිසා පාලක පක්ෂය, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව හැටියට නිසි පියවර ගත යුතුයි,” ඔහු කියා තිබේ.

ඔහුගේ ප්‍රකාශවලින් පෙන්නුම් කෙරෙන්නේ ලේවැකි වර්ගවාදී උසිගැන්වීම් සඳහා සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී කන්ඩායම් වල සූදානමයි. ලංකාවේ බෞද්ධ සංස්ථාපිතය පාලක පන්තියේ උපකරනයක් ලෙස මෙන්ම ප්‍රතිගාමී ක්‍රියා සඳහා මෙහයවා ගන්නෙක් ලෙසද ක්‍රියාකරයි. එජාපය, ශ්‍රීලනිපය, ශ්‍රීලංපොපෙ හා ජවිපෙ ඇතුලු‍ සියලු‍ ධනේශ්වර පක්ෂ සිංහල-බෞද්ධ වර්ගවාදී දෘෂ්ටියේ ගිලි සිටියි.

ලංකාවේ පාලක පන්තිය 1948 නිදහස ලැබූ තැන් පටන් පන්ති අරගල මැඩීම සඳහා වර්ගවාදී භේදකරනය භාවිතාකර ඇත. මේ මොහොතේ විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් සහ දුම්රිය කම්කරුවන් අඛන්ඩ වැඩ වර්ජනයක යෙදී සිටින අතර දෙලක්ෂයක් පමන ගුරුවරු පසුගිය සතියේ වැඩවර්ජනයක නිරත වූහ. ධනපති පන්තිය එකදිගට වැඩෙන්නාවූ පන්ති අරගල පිලිබඳව භීතියට පත්ව සිටියි.

ලංකාවේ පාලක පන්තිය අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය යොදාගෙන හදිසි නීතිය ක්‍රියාත්මක කල අතර මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචන්ඩ උද්ඝෝශනයක් ගෙන යති. පසුව හදිසි නීතිය ඉවත් කලත් මහජන ආරක්ෂක පනත යටතේ මිලිටරිය මුදා හැරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පියවර ගෙන ඇත. ඊට අනුපූරකව පාලක පන්තිය වර්ගවාදී මුගුරු සූදානම් කරන්නේ කම්කරු පන්තිය භේද කිරීමට සහ මර්දනය උසිගන්වමින් පොලිස් පාලනයකට මාරුවීමේ කොටසක් ලෙසය.

Share this article: