ඉන්දියානු ආන්ඩුව විසින් කාෂ්මීරය දඬුගැසීමට එරෙහි සසප රැස්වීමට සහභාගිවන ලෙස සසප ජනාධිපති අපේක්ෂකගෙන් කැඳවුමක්

2019 ඔක්තෝබර් 10

නොවැම්බර් 16දා පැවැත්වෙන ජනාධිපතිවරනයට සමාජවාදී සමානතා පක්ෂයෙන් (සසප) ඉදිරිපත් වන පානි විජේසිරිවර්ධන වන මම, ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව, රටෙහි එකම මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රාන්තය වන ජම්මු කාෂ්මීරය පෙර නුවූ විරූ දඬුගැසීමකට ලක් කිරීම තරයේ හෙලා දකිමි.

එමෙන්ම, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ගොඩනැගීමට සටන් වදින සසප හි ජනාධිපති අපේක්ෂකයා ලෙස, ඉන්දියානු ආන්ඩුව කාෂ්මීරය තුල ගෙනයන රුදුරු මර්දනයට එරෙහිව නැගී සිටින ලෙස කලාපයේ සියලු‍ රටවල සහ ලොවපුරා වෙසෙන කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමි.

කාෂ්මීර ප්‍රශ්නය 1947 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් හා ඉන්දියානු ධනපති පන්තිය, බ්‍රිතාන්‍ය ඉන්දියාව, මුස්ලිම් පකිස්තානයක් හා හින්දු ඉන්දියාවක් බවට වාර්ගික ව බෙදීම තුල මුල් බැස ඇත. 1947 සිට මේ වසරේ අගෝස්තු මාසය වන තෙක් කාෂ්මීරය පැවතියේ අර්ධ-ස්වාධීන ප්‍රාන්තයක් ලෙස යි. කාෂ්මීරය අලලා ඉන්දියාව හා පකිස්තානය මේ දක්වා තෙවරක් යුද වැදී තිබේ.

අගෝස්තු 5දා කාෂ්මීරයේ සුවිශේෂී අර්ධ-ස්වාධීන තත්ත්වය ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස අහෝසි කල බීජේපී ආන්ඩුව, එය මධ්‍යම ආන්ඩුව විසින් පාලනය කරන ප්‍රදේශ දෙකක් බවට ලඝු කලේ ය. එතැන් පටන් මේ දක්වා, ජම්මු කාෂ්මීරය වැඩිපුර දසදහස් ගනනක හමුදා භටයන් යවා දැඩි ලෙස මර්දනීය දඬුගැසීමක් යටතේ පවත්වාගෙන යයි. ජංගම දුරකථන හා අන්තර්ජාල ප්‍රවේශය අහිමි කොට ඇති ජම්මු කාෂ්මීරයේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වන රැස්වීම් හා පෙලපාලි පැවැත්වීම තහනම් කොට, තිබේ.

ක්‍රියාවට දමා ඇති මර්දනයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ස්වරූපය කෙතෙක් ද යත් පසුගිය කාලය තුල මෝදි ආන්ඩුව සමග සමීප ව වැඩකටයුතු කල ධනපති දේශපාලන නායකයන් පවා 500කට අධික සංඛ්‍යාවක් සිරගත කොට තිබේ. මීට අමතරව, මර්දනයට එරෙහිව විරෝධතා දැක්වූ දහස් සංඛ්‍යාත මහජනයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මර්දනයේ අර්ථභාරය පැහැදිලි කරමින්, ‘කාෂ්මීරයේ මිලිටරි දඬුගැසීමට එරෙහි වනු!' යන මැයෙන්, ඔක්තෝබර් 11වන සිකුරාදා සවස 4 ට කොලඹ මහජන පුස්කතාල ශ්‍රවනාගාරයේ දී සසප පවත්වන රැස්වීමට සහභාගි වන ලෙස, කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් මම ඉල්ලා සිටිමි.

පානි විජේසිරිවර්ධන

සසප ජනාධිපති අපේක්ෂක

Share this article: