සසප ජනාධිපති අපේක්ෂක මීතොටමුල්ල ප්‍රදේශයේ වතු රැස්වීම් මාලාවකට සහභාගී වෙයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ඔක්තෝබර් 17

(සසප) ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන, කොලඹ දිස්ත්‍රික්කයේ මීතොටමුල්ල ප්‍රදේශයේ පැවැත්වූ වතු රැස්වීම් අමතයි

පසුගිය ඉරිදා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන, කොලඹ දිස්ත්‍රික්කයේ මීතොටමුල්ල ප්‍රදේශයේ පැවැත්වූ වතු රැස්වීම් මාලාවකට සම්බන්ධ වෙමින්, පලාත් වාසීන් අතර බලවත් දේශපාලන මැදිහත් වීමක් සිදු කලේය. රැස්වීම් සංවිධානය කරගැනීමට අවශ්‍ය විවිධ සහය තම නිවාස වලින් ලබාදෙමින් ප්‍රදේශවාසින් සසප ආධාරකරුවන්ට තම සහෝදරත්වය දැක්වූ අතර. ප්‍රදේශවාසී කම්කරුවන්, සුලු‍ ව්‍යාපාරිකයින් හා තරුනයින් රැස්වීම් වලට සහභාගිවෙමින් විජේසිරිවර්ධන සමග දීර්ඝ දේශපාලන සාකච්චා පැවැත්වීය.

කොලඹ නගර සීමාවට මායිම්ව පිහිටි, නාගරික දුගීන් හා කම්කරුවන් විශාල වශයෙන් ජීවත්වන මීතොටමුල්ල, සසප දිගු කලක් පුරා දේශපාලන වැඩකටයුතුවල නියලී ඇති ප්‍රදේශයකි. විශේෂයෙන්ම 2017 වර්ෂයේදී, මේ ප්‍රදේශයේ පිහිටා ඇති, කොලඹ නාගරික අපද්‍රව්‍ය බැහැරලු‍ දැවැන්ත කසල කන්ද කිඳා බැසීමේ අනතුරෙන් පසුව, ඒ පිලිබඳව ස්වාධීන කම්කරු පරීක්ෂනයක් පැවැත්වීමට සසප ඉදිරිපත් විය. හතලිස් දෙනකුට ජීවිත අහිමි කරමින් හා නිවාස සියගනනක් විනාශ කරමින් සිදුවූ මෙම ව්‍යසනය පිලිබඳ මෙතෙක් එලිදක්වා ඇති එකම විමර්ශන වාර්තාව වන්නේද මෙයයි.

වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 10,000කට ආසන්න ජන ඝනත්වයක් ඇති මීතොටමුල්ල ප්‍රදේශයේ ජීවත් වන පවුල් බහුතරයක් බරපතල දරිද්‍රතාවයට මුහුනපා ඇති අතර, විරැකියාව, බෝවන රෝග ඇතුලු සෞඛ්‍ය ගැටලු‍, දරුවනට පාසල් නොමැතිකම හා අධික පරිසර දුෂනය වැනි ප්‍රශ්න ගනනාවකින් පීඩා විඳිති. ප්‍රදේශය තුල, ඩෙංගු ආදී බෝවන රෝග හා හඳුනා නොගත් ආසාදන වලින් සෑම වසරකම, කුඩා දරුවන්ද ඇතුලු‍ව, සැලකිය යුතු ගනනක් මිය යයි.

ප්‍රදේශයේ නිවාස අතිවිශාල ප්‍රමානයක් අනවසර ඉදිකිරීම් යයි කියමින් ඉවත් කර, එම ඉඩම් ආයෝජකයන්ට විකිනීමේ උත්සාහයක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව නියැලු‍නු අතර, වර්තමාන ආන්ඩුව එම ප්‍රතිපත්තියම වඩාත් වේගවත් කර ඇත.

2017 කසල කන්දේ ව්‍යසනයෙන් විනාශ වූ නිවාසත්, පසුව “‍අවදානම් කලාපයක්”‍ලෙස නම්කර පදිංචිකරුවන් බලහත්කාරයෙන් ඉවත් කල නිවාස සිය ගනනකුත් මේ වනවිටත් සමතලා කර එම භුමිය විකිනීමේ කටයුතු අරඹා ඇත. මීට අමතරව තවත් නිවාස සියගනනක් ඉවත්කර සමස්තයක් වශයෙන් අක්කර 60ක භුමි භාගයක් ආයෝජන සඳහා නිදහස් කරගැනීමට ආන්ඩුව සැලසුම් කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක වරයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලබාදුන් සාකච්චාවකින් හෙලිවිය.

රැස්වීම් මාලාවේ පලමුවැන්න පැවැත්වුනේ මීතොටමුල්ල ජලසම්පාදන මන්ඩල ඩිපෝව අසල ඇති පොදු භුමියකය. පැමින සිටි ප්‍රදේශවාසින් පිලි ගනිමින් ආරම්භක කතාව කල සසප සාමාජික විජිත් සමරසිංහ මෙසේ පැවසීය; “2019 ජනාධිපති මැතිවරනය පැවැත්වෙන්නේ එක පැත්තකින් ජාත්‍යන්තරව මුලු‍මහත් ලෝක ජනතාවගේම ජීවිත වලට තර්ජනයක් වෙමින් න්‍යෂ්ටික ලෝක යුද්ධයක අනතුර වර්ධනය වන අතරේ, අනෙක් පැත්තෙන් ලංකාව තුල කම්කරු පීඩිත ජනතාවගේ ජීවන තත්වයන්ට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ධනපති පන්තිය විසින් මරු පහරක් එල්ල කරලා තියන අවස්තාවක. මේ ප්‍රහාරයන්ට එරෙහිව නැගෙන ඕනෑම විරෝධයක් ලෙයින් මර්දනය කරන්න, මේ මතිවරනයට ඉදිරිපත් වෙලා ඉන්න ධනපති දේශපාලන පක්ෂ ලෑස්තියි.”‍

ධනපති ආන්ඩු විසින් දැනුවත්ව සිදුකල අපරාධයක් වන, 2017 මීතොටමුල්ල ව්‍යසනයට මුහුන දුන් මේ ප්‍රදේශයේ ජනතාවට ධනපති ක්‍රමයේ මුර්ග බව අමුතුවෙන් වටහාදීමට අවශ්‍ය නොවන බව ඔහු වැඩි දුරටත් සඳහන් කලේය.

තම කතාව ආරම්භ කරමින් පානි විජේසිරිවර්ධන, “මැතිවරනයට ඉදිරිපත් වී ඇති පක්ෂ වලින්, කම්කරු පන්තික පක්ෂයක් වශයෙන් ඉදිරිපත් වී ඇත්තේ එකක් පමනයි, ඒ සමාජවාදී සමානතා පක්ෂය”‍ යයි ප්‍රකාශ කලේය සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තිය තුල කායික ශ්‍රමිකයින් වන “නිල් කරපටි”‍ කම්කරුවන් හා මානසික ශ්‍රමිකයින් වන ”‍සුදු කරපටි”‍ කම්කරුවන් දෙකොටසම නියෝජනය කරන බවත්, කම්කරු පන්තිය ශ්‍රේනි, වාර්ගික, ආගමික හෝ පලාත් රේඛා ඔස්සේ බෙදීමට සම්පූර්නයෙන්ම විරුද්ධ බවත්, එහි රැස්වී සිටි විවිධ ජාති ආගම වලට අයත් කම්කරුවන්ට පැහැදිලි කලේය.

“‍සමාජය බෙදී තිබෙන ප්‍රධාන බෙදුම් රේඛාව පන්ති රේඛාව මිසක් ජාති, ආගම් හෝ පලාත් බෙදීම් නෙමෙයි. ප්‍රධාන වශයෙන්ම ධනපති පන්තිය හා නිර්ධන පන්තිය වශයෙන්. දේශපාලන පක්ෂ මේ පන්ති රේඛාවල් අවුල් කරනවා; විශේෂයෙන්ම ව්‍යාජ-වාම පක්ෂ”‍ යයි සඳහන් කල විජේසිරිවර්ධන, ධනපති පන්තියෙත් කම්කරු පන්තියෙත් දෙකොටසේම අවශ්‍යතා ඉටුකල හැකි කිසිඳු දේශපාලන ව්‍යාපාරයක් මිහිමත තිබිය නොහැකි බවත් ප්‍රකාශ කලේය.

ඔහු තවදුරටත් සඳහන් කලේ, කිසිඳු ධනපති පක්ෂයකට, ඔවුන් මැතිවරනය තුල සමස්ත ජනතාවගේ ම ප්‍රශ්න විසඳීමට යයි කියමින් ලබාදෙන පොරොන්දු කිසිවක් ඉෂ්ට කිරීමට නොහැකි බවත්, බලයට පත්වූ විගස ඔවුන් සිදුකරන්නේ ඊට සම්පූර්න ප්‍රතිවිරුද්ධව කම්කරු පීඩිත මහජනතාවට හැකි උපරිම ප්‍රහාර එල්ල කිරීම බවත්ය.

මේ ප්‍රශ්න විසඳිය හැක්කේ කම්කරු පන්තියේ නායකත්වයෙන් සමාජවාදී ආන්ඩු ලංකාව තුලත්, ජාත්‍යන්තරවත් බිහිකිරීමෙන්, ඒ අනුව කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට බැංකු, මහා පරිමාන ෆැක්ටරි ඇතුලු‍ නිෂ්පාදනය හා බෙදා හැරීම නතුකර, ලාබය මත නිෂ්පාදනය කරන ධනපති ක්‍රමය අහෝසි කිරීමෙන්ම පමනක්ම බවද ඔහු සඳහන් කලේය.

මොහිදීන්

රැස්වීමට සහබාගී වූ තේ කොල අසුරන කර්මාන්ත ශාලාවක කම්කරුවෙක් හා සිවුදරු පියෙක් වන මොහිදීන් ප්‍රශ්නයක් නගමින් මෙසේ අසා සිටියේය. “කම්කරු පන්තිය නියෝජනය කරන පක්ෂයක් අවශ්‍ය බව මම පිලිගන්නවා, ඒ වුනාට අතේ-පයේ වැඩ කරන අපිට හිතෙන්නේ සුදු කරපටි කම්කරුවන්ට හුඟක් වෙලාවට අපේ ප්‍රශ්න තේරුම් ගන්න අමාරුයි කියලා, ඒගොල්ල ඉන්නේ අපට විරද්ධව කියලා. මෙය පැහැදිලි කරන්න.”‍

කායික හා මානසික ශ්‍රමිකයින් අතර මෙලස කෘතීම බෙදීමක් ඇති කර ඇත්තේ ධනේශ්වර පන්ති පාලනය මගින් බවත්. එහෙත් බොහෝ සුදු කරපටි කම්කරුවන්ගේ ද වැටුප් හා ජීවන තත්ත්වය නිල් කරපටි කම්කරුවන්ගෙන් බෙහෙවින් වෙනස් නොවන බව ද සඳහන් කල විජේසිරිවර්ධන කියා සිටියේ සමස්ත කම්කරු පන්තිය එකම දේශපාලන වැඩපිලිවෙලක් යටතට ගෙන ඒමට බව පැහැදිලි කලේය.

මීතොටමුල්ල රාහුල විද්‍යාලය අසල නිවහන් ප්‍රදේශයක පැවැත්වූ වතු රැස්වීම

තවත් රැස්වීමක් මීතොටමුල්ල රාහුල විද්‍යාලය අසල නිවහන් ප්‍රදේශයක පැවැත්විනි. එයට සාභාගී වූ තරුනයින් හා කම්කරුවන් පිරිසක් මුලින් සසප ජනාධිපති අපේක්ෂකයා සමග සුහද කතාබහක නිරතවෙමින් ප්‍රදේශයේ ප්‍රශ්න ඔහුට විස්තර කලහ. කලින් රියදුරු රැකියාවක් කර දැන් රැකියාව අහිමි සිටින තරුන එක්දරු පියෙක් වන අමිල කියා සිටියේ අධික ජීවන වියදම නිසා ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය වේගයෙන් කඩා වැටෙමින් ඇති බවයි.

අමිල

“‍රස්සාවක් තියන හුඟක් අයට දවසකට ලැබෙන්නේ රුපියල් දාහත් එක්දාස් පන්සීයත් අතර ගානක්, මේකෙන් මොන විදිහකටවත් ජීවත් වෙන්න බැහැ. ඒත් එක්කම තවත් හුඟ දෙනෙකුට රස්සාවල් නැහැ. ෆැක්ටරි වහනවා, තියන රස්සාවලු‍ත් නැති වෙනවා. මම වැඩකරමින් හිටපු වාහනයේ අයිතිකරුට ඒ වැඬේ නතර කරන්න සිද්දවුනා, දැන් මට රස්සාවක් නැහැ, මට පොඩි ලමයෙක් ඉන්නවා, මම විතරයි හම්බ කරන්නේ”‍ ඔහු සඳහන් කලේය. මීතොටමුල්ල ව්‍යසනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය සිදුකරන කාලය සිටම තමන් සසප ආධාරකරුවන් සමග සාකච්චා කර ඇති බවත්, මැතිවරයේදී සසප ඉදිරිපත් කරන වැඩපිලිවෙල දැන ගැනීමට රැස්වීමට සහභාගී වන බවත් ඔහු සඳහන් කලේය.

රැස්වීම අමතා කතාකල විජේසිරිවර්ධන, ධනපති ආන්ඩු වලට ජනතාවගේ කිසිඳු ජීවන ප්‍රශ්නයක්වත් විසඳීමට ඇති නොහැකියාව පැහැදිලි කරමින් මෙසේ සඳහන් කලේය. “පසුගිය සතියේ භාන්ඩාගාර ලේකම් රජයේ ආයතන වලට දැනුම් දීල තිබුනා රජයේ වියදම් සීයට 10 කින් වහාම කපන්න කියල, ජුනි මාසයේත් 15 කින් වියදම් කැපුවා, මුලු‍ කප්පාදුව සීයට 25ක්. මීට පෙර නම් මැතිවරනයක් ලඟදි බලයේ සිටින ආන්ඩු කරන්නේ, මොනවාහරි බොරු සහන ටිකක් දෙන එක, නමුත් අද ඒකවත් බැහැ.”‍ ආන්ඩුවට මෙසේ ක්‍රියා කිරීමට සිදුවී ඇත්තේ ජාත්‍යන්තරව අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාව තුල ධනපති ක්‍රමයේ ඇතිවී තිබෙන ගැඹුරු ආර්ථික ප්‍රශ්න නිසා බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය. .”‍

මැතිවරනයෙන් පසුව බලයට එන ඕනෑම පාර්ශවයක් සිදුකරනු ඇත්තේ ජනතාවට සහන දීම නොව, තම ජීවන තත්වය ඉවසා නොහැකිව අරගලයට එන ජනතාවට එරෙහිව මෙතෙක් නොවූ විරු මර්දනයක් මුදා හැරීම බව ඔහු තවදුරටත් පැවසීය.

ගෝටාභය රාජපක්ෂ තමන් බලයට පත්වුවහොත් පැය 24න් යුද අපරාධ වලට සැකපිට අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති හමුදා නිලධාරින් නිදහස් කරන බවටත්, එක්සත් ජාතික පෙරමුනේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස, එම යුද අපරාධ වලටම ඍජුව වග කිවයුතු, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා තම ආරක්ෂක ඇමතිවරයා ලෙස පත්කරන බවටත් පවසන්නේ, මේ මර්දනය ක්‍රියාත්මක කිරීමට මිලිටරිය මත වාරු වීමට බව, විජේසිරිවර්ධන පැහැදිලි කලේය.

අද ජනතා විමුක්ති පෙරමුන ඇතුලු‍ව සියලු‍ ධනපති පක්ෂ “රනවිරුවන්”‍ ලෙසින් උත්කර්ෂයට නන්වන්නේ, පසුගිය වසර 50කට අධික කාලය පුරා මේ මර්දන යන්ත්‍රය මුදා හරිමින් ධනපති ක්‍රමය ආරක්ෂා කිරීමට මෙහෙයවුනු මිලිටරියයි. ජීවන බර නිසා හමුදාවට බැඳී වාර්ගික යුද්ධයේදී මියගිය හෝ ආබාධිත වුනු ගම්බද දුගී පවුල් වල තරුනයන් දහස් ගනනක් වන බව ඔහු කීවේය.

දිනේශ්

රැස්වීම අවසානයේ අදහස් දැක්වූ දෙදරු පියෙක් වන විශ්‍රාමික හමුදා සෙබලෙක් මෙසේ ප්‍රකාශ කලේය: ”‍අපේ ප්‍රශ්න මොකවත් කවදාවත් විසඳෙන්නේ නැති නිසා, දේශපාලන වශයෙන් අපිට කරන්න පුලු‍වන් දේ මොකද්ද කියල දැනගන්න තමයි මම මේ රැස්වීමට ආවේ. කවුරු ජනාධිපති වුනත් මොනම වෙනසක් වත් වෙන්නේ නැහැ, කම්කරුවෝ ගොවියෝ, අපිම බලය අතට අරගෙන තමයි මේක වෙනස් කරන්න ඕනේ.”‍ සසප ඉදිරි රැස්වීම් වලටත් තමන් සහභාගී වන බව ද ප්‍රදේශය තුල ප්‍රචාරක වැඩකටයුතු වලට සහාය දෙන බව ද සඳහන් කලේය.

Share this article: