විකිලීක්ස් ප්‍රකාශක ජූලියන් අසාන්ජ් ම්ලේච්ඡ ලෙස අත්අඩංගුවට ගැනීමේ සිට හය මසක්

Six months since the brutal arrest of WikiLeaks’ publisher Julian Assange

2019 ඔක්තෝබර් 12

විකිලීක්ස් ප්‍රකාශක ජූලියන් අසාන්ජ් ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් නෙරපා බ්‍රිතාන්‍ය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් ඔක්තෝබර් 11 වැනිදාට මාස හයක් සම්පූර්න විය. ප්‍රජාතන්ත්‍රවාදී යයි උපකල්පනය කරන රටක අගනුවර දී තරබාරු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු විසින් චූදිත ජනමාධ්‍යවේදියාට අඩන්තේට්ටම් කිරීමේ දර්ශනය ලොවපුරා මිලියන ගනන් ජනයාව තිගැස්මට පත්කලේ ය.

ප්‍රචන්ඩ අත්අඩංගුවට ගැනීම ම එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය, ස්වීඩන හා ඕස්ට්‍රේලියානු ආන්ඩු සම්බන්ධ වූ අසාන්ජ්ට එරෙහි පෙර නුවූ විරූ දේශපාලන කුමන්ත්‍රනයක කූටප්‍රාප්තිය විය. වොෂින්ටනය හා එහි සගයන් තමන්ගේ යුද අපරාධ හා රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රන හෙලිදරවු කිරීම නිසා අසාන්ජ්ව වෙහෙස නො තකා ලුහුබැන්දේ, 2012 ජුනි මාසයේ දී ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරන පැතීමට ඔහුට බලකරමිනි.

කුඩා තානාපති කාර්යාලය තුල වසර හතක් කොටු වී සිටි අසාන්ජ්ට හිරු එලිය අහිමි කොට බ්‍රිතාන්‍ය ආන්ඩුව විසින් ඔහු ප්‍රමානවත් සෞඛ්‍ය රැකවරනවලට ප්‍රවේශ වීමෙන් වලකනු ලැබිනි. ඔහුගේ රැකවරනය අවලංගු කිරීමට පෙර මාස 18 තුල, ඉක්වදෝර බලධාරීන් ඔහුව පාවාදී ඔහුගේ කුඩා කාමරය තථ්‍ය සීඅයිඒ බන්ධනාගාරයකට පරිවර්තනය කලේ, නීතිඥයන් සමග ඔහුගේ හමුවීම් මත ඔත්තු බලමින් හා ඇමරිකානු චෝදකයන් වෙත ඕස්ට්‍රේලියානු ජනමාධ්‍යවේදියාගෙන් ඍජු ව ගලා එන සජීවී වීඩියෝ පටයක් පවා අටවමිනි.

නඩු වාරයක් සඳහා පොලිස් වාහනයක් මගින් රැගෙන එන විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ් (ස්තුතිය: ඒපී ඡායාරූප/මැට් ඩන්හැම්)

බ්‍රිතාන්‍ය බලධාරීන් අසාන්ජ්ට මානුෂික ලෙස සලකාවි යයි යම් මිථ්‍යාවක් පැවතුනේ නම් එය පහකෙරී ඇත. වරදකාරී යයි ඔප්පු වන මිනීමරුවන් හා ත්‍රස්තවාදීන් සඳහා සැලසුම් කර ඇති උපරිම-ආරක්ෂිත බෙල්මාෂ් බන්ධනාගාරයේ, තථ්‍ය හුදකලා හිර අඩස්සියේ ඔහුව තබා ඇත. මාසයකට බැහැදැකීම් දෙකකට පමනක් අසාන්ජ්ට අවසර දී ඇත්තේ, ඔහුගේ රැකවරනය සඳහා සූදානම් වීමට අවශ්‍ය පරිඝනක හා නෛතික ලේඛන වෙත ප්‍රවේශය අහිමි කරමිනි.

අසාන්ජ්ව එක් අධිකරනමය විකාරරූපී ක්‍රියාවලියකට පසු තවෙකකට භාජනය කරනු ලැබ තිබේ.

ව්‍යාජ ඇප අපරාධ මත ඔහුට පැනවූ හිර අඩස්සි කාලය සැප්තැම්බර් 22දා අවසන් වුව ද “පලායාමේ අන්තරාය” හේතුවෙන් ඔහු දිගට ම බන්ධනාගාරයේ රඳවා තබන ලෙස ඔක්තෝබර් 11දා පැවති පරිපාලන නඩු විමසීමක දී බ්‍රිතාන්‍ය විනිසුරුවෙක් නියෝග කලේ ය.

වෙනත් වචනවලින් කියතොත් විකිලීක්ස් ආරම්භකයා විවෘත දේශපාලන සිරකරුවෙකු ලෙස රඳවා ගනු ලැබේ. ඔහුව දිගට ම රඳවා ගැනීම සඳහා වන සියලු ව්‍යාජ-නෛතික වටාපිටාවන් නියාමනය කරනු ලැබ ඇත. සත්‍යය ප්‍රසිද්ධ කිරීමේ “අපරාධයට” ඔහුව බොරු නඩුවකට පටලා, වසර 175ක් දක්වා ජීවිතකාලීන සිර දඬුවමකට යටත් කිරීම පිනිස උදර්පනය කරගැනීමට උත්සාහ දරන එක්සත් ජනපද ආන්ඩුවේ නියෝගය පරිදි, බ්‍රිතාන්‍යය විසින් ඔහුව බන්ධනාගාරගත කොට සිටී.

ඔක්තෝබර් 11දා පරිපාලනමය නඩු ඇසීමට වීඩියෝ සබැඳියක් හරහා පෙනී සිටි අසාන්ජ් “පිරිහුනු උරහිස් පසුපසට හා ඉදිරියට පද්දමින්, ඇන හිටවුනු හා තරමක් රලු හඬින් ඔහුගේ නම හා වයස සඳහන් කලේ” යි ඒඑෆ්පී වාර්තාකරුවෙක් සඳහන් කලේ ය. “විනිසුරුවරයා මිනිත්තු කිහිපයක නඩු විභාගයක් පවත්වද්දී, අසාන්ජ් සවන් දෙන අතරතුර කකුල් හරහට තබාගෙන ලා නිල් පැහැ ජම්පරයේ අත් ඇදීම ඇරඹුවේ ය” යි ඔහු තවදුරටත් වාර්තා කලේ ය.

මෙම ඛේදනීය සිද්ධිය සිදුවන්නේ, අසාන්ජ්ගේ පියා වන ජෝන් ෂිප්ටන් තම පුත්‍රයා බන්ධනාගාරය තුල මිය යා හැකි යයි තමන් බිය වන බව පසුගිය සතියේ අනතුරු ඇඟවීමෙන් පසුව ය. “ක්‍රමක්‍රමයෙන් කෲර, අමානුෂික හා නොහොබිනා සැලකිල්ලට භාජනය කිරීමේ” ප්‍රතිඵලය ලෙස අසාන්ජ් “මානසික වධබන්ධනයට” ලක්කිරීමට ගොදුරු වී ඇත්තෙකැයි එක්සත් ජාතීන්ගේ වධබන්ධන පැමිනවීම පිලිබඳ විශේෂ වාර්තාකාර නිල්ස් මෙල්ට්සර් පසුගිය මැයි මාසයේ කල සොයාගැනීම එමගින් සනාථ කරයි.

අසාන්ජ්ව බ්‍රිතාන්‍ය බන්ධනාගාරයක් තුල වධබන්ධනයට භාජනය කරද්දී, ඔහු විසින් හෙලිදරවු කල යුද අපරාධකරුවන් නිදැල්ලේ ඇවිදී. පසුගිය සතියේ පලකල ට්විටර් පනිවුඩයක හා ඔක්තෝබර් 11දා කල ෆැසිස්ට්වාදී උද්ඝෝෂන කතාවේ දී, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පසුගිය දශක දෙක පුරා මැද පෙරදිග තුල එක්සත් ජනපදය ගෙන ගිය යුද්ධ බොරු මත පදනම් වී ඇති බවත් ජීවිත මිලියන ගනනක් බිලිගෙන ඇති බවත් පිලිගත්තේ ය.

එහෙත් බ්‍රිතාන්‍යය හා එක්සත් ජනපදය තුල ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ යුද්ධ සම්බන්ධයෙන් සිරගත කොට ඇති එකම පුද්ගලයන් වන්නේ ඒවායේ අපරාධකාරීත්වය හෙලිදරවු කිරීමට අන් කිසිවෙකුට වඩා කටයුතු කල තැනැත්තන් ය: එනම්, අසාන්ජ් හා නිර්භීත තොරතුරු හෙලිදරවු කරන්නියක වන චෙල්සී මැනිං ය.

ඇමරිකානු ආන්ඩුව මැනිංව මාස හතකට වැඩි කාලයක් සිරගත කොට තිබෙන්නේ, අසාන්ජ්ට එරෙහි ව කලින් සැකසූ සාක්ෂියක් දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. ඇය විකිලීක්ස් වෙත කාන්දු කල ලේඛන, එක්සත් ජනපදය විසින් ආවරනය කල ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ දසදහස් ගනනක් වන සිවිල් වැසියන්ගේ මරන මෙන් ම ඇමරිකානු මිලිටරිය ඇතුලත පවතින රහසිගත ඝාතක ඒකක හා මහා පරිමානයෙන් වධබන්ධන යොදාගැනීම හෙලිදරවු කලේ ය.

මෙම ඓතිහාසික අපරාධ ලෝකයේ ජනතාවට හෙලිදරවු කිරීම නිසා අසාන්ජ්ට චෝදනා නැගීමට උත්සාහ කිරීම ප්‍රදර්ශනය කරන්නේ, චීනය හා රුසියාව සමග ද ඇතුලු ව ඇමරිකානු අධිරාජ්‍යවාදය නව හා වඩා විනාශකාරී මිලිටරි ගැටුම් සූදානම් කරද්දී, ඔහුට චෝදනා නැගීමේ ඉලක්කය යුද්ධයට විරුද්ධ වීම අපරාධකරනය කිරීම වන බව යි.

එක්සත් ජනපද පාලක ප්‍රභූව ඇතුලත පවතින තිත්ත කන්ඩායමික ගැටුමේ කොටසක් ලෙස ට්‍රම්ප්ව දෝෂාභියෝගයට ලක්කිරීමට උත්සාහ කරන අතර ම ඩිමොක්‍රටිකයෝ ඔහුගේ ආන්ඩුව අසාන්ජ් නිශ්ශබ්ද කිරීමට දරන ප්‍රයත්නයට සහයෝගය දෙති. මිලිටරියේ හා ඔත්තු සේවා ඒජන්සිවල ප්‍රමුඛ පක්ෂය ලෙස ඔවුන්ගේ භූමිකාව ප්‍රදර්ශනය කරමින්, ඔබාමා පරිපාලනය යටතේ ආරම්භ කරන ලද අසාන්ජ් ලුහුබැඳීමට නායකත්වය දී ඇත්තේ ඩිමොක්‍රටිකයන් ය.

එක්සත් ජනපදයේ, බ්‍රිතාන්‍යයේ හා ජාත්‍යන්තර සංගත මාධ්‍ය, මෙම උද්ඝෝෂනයේ ප්‍රචාරකයන් ලෙස ක්‍රියාකොට ඇත්තේ, අසාන්ජ්ට වෙහෙස නො තකා මඩගසමින් හා මහජන මතයට ඔහුට එරෙහි විෂ මිශ්‍ර කිරීමට උත්සාහ දරමිනි. ඔත්තු බැලීමේ පනත යටතේ අසාන්ජ්ට එරෙහි ව චෝදනා නැගීමට ඔවුන් නො ඉවසිල්ලක හඬක් නගා ඇත්නම්, එයට හේතුව වන්නේ අනාගතයේ දී ඔවුන්ට එරෙහි ව ද ඒ හා සමාන පියවරයන් ගත හැකි ය යයි පවතින භීතිය පමනි.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත මැයි මාසයේ දී ඔත්තු බැලීමේ පනතේ චෝදනා නැගීමක් හරහා “පලමු සංශෝධනයට අභියෝග නො කර අසාන්ජ් මහතාව සිරගත කිරීම මධ්‍යම ආන්ඩුවට කල හැකි” යි සඳහන් කල විට, නිව් යෝක් ටයිම්ස් සිට ගාඩියන් දක්වා වන සීඅයිඒ හා පෙන්ටගනයේ සංස්ථාපිත ලඝුලේඛකයන් වෙනුවෙන් කතා කලේ ය.

බ්‍රිතාන්‍යය තුල ජෙරමි කෝබින්ගේ ලේබර් පක්ෂය ඇතුලු සියලු නිල පක්ෂ, අසාන්ජ්ගේ ජීවිතයට ම තර්ජනය කරමින් ඔහුව රඳවාගැනීමට වරදකාරී වේ. ඕස්ට්‍රේලියාවේ ලේබර් හා කොන්සර්වැටිව් යන දෙවර්ගයේ ම අනුප්‍රාප්තික ආන්ඩු, අසාන්ජ් ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් ය යන කරුන නො තකා ඔහු ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කොට ඇත. ඒ වෙනුවට ඕස්ට්‍රේලියානු සංස්ථාපිතය එක්සත් ජනපදය නායකත්වය දෙන අසාන්ජ්ට එරෙහි වෛරය සමග බද්ධ වී ඇත.

ව්‍යාජ-වම්මු, වෘත්තීය සමිති හා ස්වයං-පන්න “සිවිල් විමුක්ති” සංවිධාන රොත්තක්, අධිරාජ්‍යවාදී යුද්ධය හා මර්දනය සමග පෙලගැසෙද්දී අසාන්ජ්ව බිල්ලට දෙමින් අත්හැර දමා තිබේ.

මෙම වාර්තාව ප්‍රදර්ශනය කරන්නේ නිල දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයේ කිසිදු කොටසක් අසාන්ජ් හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා නො කරන බව යි.

අසාන්ජ් හා මැනිං වැනි පන්ති යුද සිරකරුවන් නිදහස් කරගැනීමේ හා ආඥාදායකත්වය දෙසට හැරීම පරාජය කිරීමේ බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. දැනට වර්ජනයේ යෙදෙන එක්සත් ජනපද මෝටර් රථ කම්කරුවන් 48,000 සිට අසාන්ජ්ව ඔහුගේ චෝදකයන්ට භාර දුන් දූෂිත ඉක්වදෝර තන්ත්‍රයට එරෙහි ව ලක්ෂ ගනනක් නිරත වන කැරැල්ල දක්වා ලොව පුරා කම්කරුවන් ප්‍රධාන අරගලවලට පිවිසෙමින් සිටී.

අසාන්ජ්ව ආරක්ෂා කිරීම, කම්කරු පන්තියේ සියලු සමාජ හා දේශපාලන අයිතීන් ආරක්ෂා කිරීමේ කේන්ද්‍රීය සංරචකයකි. ඔහුට එරෙහි උද්ඝෝෂනය සෑමවිට ම ආන්ඩුවේ අපරාධ හා නීති-විරෝධී භාවයට විරුද්ධ වන හා බලයේ සිටින්නන්ට එරෙහි ව ආස්ථානයක් ගන්නා ඕනෑම අයෙක් දඩයම් කිරීමේ පූර්ව නිදර්ශනය ස්ථාපිත කිරීමේ ඉලක්කය සහිත එකකි. ඔහුව එක්සත් ජනපදයට උදර්පනය කොට චෝදනාවට ලක්කල හොත්, සියල්ලට ඉහලින් කම්කරු පන්තියට එරෙහි ව යොමු වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත වඩා විශාල ප්‍රහාරවල දියදොර විවෘත කරනු ඇත.

ලෝසවෙඅ කම්කරුවන්, ශිෂ්‍යයන්, තරුන ජනයා හා සිවිල් අයිතීන් ආරක්ෂා කරන්නන්ට කැඳවුම් කරන්නේ, අසාන්ජ්, මැනිං හා සියලු පන්ති යුද සිරකරුවන් වහා ම හා කොන්දේසි විරහිත ව නිදහස් කරගැනීමේ අපගේ ජාත්‍යන්තර උද්ඝෝෂනය හා එක්වන ලෙස යි.

ඔස්කා ග්‍රෙන්ෆෙල්

Share this article: