ජීඑම් හා අනෙකුත් මෝටර් රථ සමාගම් සමග සටන් කිරීමට මෝටර් රථ කම්කරුවන්ට සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී මූලෝපායක් අවශ්‍ය වේ

Autoworkers need a socialist and internationalist strategy to fight GM and the auto companies

2019 සැප්තැම්බර් 25

දැන් එහි දෙවන සතියේ තිබෙන, ජෙනරල් මෝටර්ස් කම්කරුවන් 48,000ගේ වැඩ වර්ජනය ඇමරිකාව හා ලොව පුරා සැබෑ පන්ති සබඳතා හෙලි කර තිබේ. ලාභ ඉහල යමින් පැවති දශකයකට පසු, ජීඑම් විධායකයෝ ආයෝජන සඳහා වෙන කවරදාටත් වඩා ඉහල ප්‍රතිලාභයක් ලබා ගැනීමේ වෝල් වීදියේ ඉල්ලීම් පිනවීමට කම්කරුවන් මත නව හා වඩා ගැඹුරු කප්පාදු පැටවීමට අධිෂ්ඨානශීලී ය.

සංගත මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතයේ එකඟත්වය අඟහරුවාදා ප්‍රකාශ කෙරුනේ ජනාධිපති ඔබාමාගේ හිටපු “කාර් සාර්” නම් ස්ටීවන් රැට්නර් විසින් නිව්යෝර්ක් ටයිම්ස් හි “මෝටර් රථ කම්කරුවන් ඉදිරියේ දුෂ්කර මාවතකට මුහුන දෙයි” යන මාතෘකාව යටතේ ලියන ලද තීරු ලිපියක ය.

රැට්නර් ආරම්භ කරන්නේ කර්මාන්තයේ දශකය පුරා පැවති “කම්කරු සාමය” බිඳ දමා ඇත්තේ “විශේෂයෙන් 2008 අවපාතය හා ඔබාමා පරිපාලනය විසින් පසුව බේරාගැනීම අනතුරුව, වේදනාව සමනය කිරීමට උත්සාහ කරන කම්කරුවන් විසින්” බව පිලිගනිමිනි.

“ජනාධිපති බරක් ඔබාමාගේ මෝටර් රථ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලදුව, මෝටර් රථ කර්මාන්තයේ නිල් කරපටි කම්කරුවන්ගේ දුක්ඛිත තත්වය ගැන මම බෙහෙවින් අනුකම්පා සහගත වෙමි. නමුත්, අවාසනාවකට මෙන්, එක්සත් ජනපදය ගෝලීය තරඟකාරීත්වයට මුහුන දෙන නිෂ්පාදන අංශය සම්බන්ධයෙන් ගත් කල, මෙම රැකියා සමඟ පෑහීමට භාවිතා කෙරුනු ත්‍යාගශීලී වැටුප් සහ ප්‍රතිලාභ යථා තත්වයට පත් කිරීම රැකියා ම අවදානමට ලක් නො කර කල නො හැකි වනු ඇත” යි රැට්නර් ලියයි.

2009 දී ඔබාමාගේ ජීඑම් සහ ක්‍රයිස්ලර් ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්ෂනය කල ආයෝජන බැංකුකරුවෙකුගෙන් එය පැමිනෙන බව සලකන විට, මෝටර් රථ කම්කරුවන් කෙරෙහි ඇති රැට්නර්ගේ “ගැඹුරු අනුකම්පාව” ගැන යමෙකුට සැකයක් ඇති විය හැකි ය. යූඒඩබ්ලිව් සමඟ එක්වීමත් සමඟ ධවල මන්දිර කාර්ය සාධක බලකාය අවම වශයෙන් රැකියා 36,000 ක් අතුගා දමා, අලුතින් බඳවා ගන්නන්ගේ වැටුප් අඩකින් කපා දමා, නව පැය අටක වැඩ දිනය අහෝසි කර සමාගම විසින් ගෙවනු ලැබූ විශ්‍රාමික සෞඛ්‍ය ප්‍රතිලාභ අවසන් කලේ ය.

එය එසේ වුවත්, රැට්නර් අවධාරනය කරන්නේ මෝටර් රථ කම්කරුවන්ට තව තවත් අතහැර දානවා හැර වෙනත් විකල්පයක් නොමැති බව යි. එයට හේතුව හිටපු මෝගන් ස්ටැන්ලි සහ ලේමන් බ්‍රදර්ස් බැංකුකරු ධනවාදී දේපල සම්බන්ධතා සහ වෙලඳපොලේ තර්කනය ආරක්ෂා කිරීමයි. එය ඔබේ ආරම්භක ස්ථානය නම්, එය සත්‍යයකි: කම්කරුවන්ට එකිනෙකා සමඟ තරඟ කිරීමට හා බල්ලන් ලෙස වෙහෙසී වැඩ කිරීමට සිදුවනු ඇත, නැතහොත් ඔවුන්ට කිසිසේත් රැකියා නො ලැබෙනු ඇත.

ධනවාදය පදනම් වී ඇත්තේ සූරාකෑම හා තම ශ්‍රම පිරිවැය අඩු කිරීම මෙන් ම තමන් කම්කරු පන්තියෙන් උරා ගන්නා ලාභ ප්‍රමානය උපරිම කිරීම සඳහා වන ධනේශ්වර අයිතිකරුවන්ගේ තරඟය මත ය. තම කොටස් හිමියන්ට ප්‍රමානවත් ප්‍රතිලාභයක් නිෂ්පාදනය නො කරන සංගතවලට ආයෝජකයින් විසින් දඬුවම් කරනු ලබන්නේ ඔවුන්ගේ කොටස්වල වටිනාකම පහත හෙලීම මගිනි.

මෙම යථාර්ථය වසන් කිරීමේ උත්සාහයක් ලෙස රැට්නර් මෙසේ ලියයි: “මම මුලුමනින් ම වැඩියෙන් උපයන කම්කරුවන් වෙනුවෙන් වන නමුත්, අවම වශයෙන් මෝටර් රථ කර්මාන්තය තුල මෙය කම්කරුවන්ගේ වියදමින් ඉතා කෑදර ආයෝජකයින් ලාභ ලැබීමේ කාරනයක් නො වන බව වටහා ගැනීම වැදගත් ය. 2010 නොවැම්බරයේ එහි ආරම්භක ප්‍රසිද්ධ කොටස් නිකුත් කිරීමේ සිට, සමස්ත වෙලඳපල සඳහා සියයට 154ක ඉහල යාම සමග සන්සන්දනය කරන විට, ජීඑම් කොටස් ඉහල ගොස් ඇත්තේ සියයට 13න් පමනී.

ඇත්ත වශයෙන්ම, ධවල මන්දිරයේමෝටර් රථ කාර්ය සාධක බලකායේ රැට්නර්ගේ සෙසු හෙජ් අරමුදල් ආයෝජකයින්ගෙන් එක් අයෙකු වන “ක්‍රියාකාරී ආයෝජක” හැරී විල්සන්ගේ උපදෙස් යටතේ, ජීඑම් අධ්‍යක්ෂ මන්ඩලය විසින් 2015 මාර්තු මාසයේ සිට කොටස් ආපසු මිල දී ගැනීමේ දී අවම වශයෙන් ඩොලර් බිලියන 14 ක් අනුමත කර ඇත්තේ, සමාගමේ ධනවත් ම කොටස් හිමියන් වෙනුවෙන් සමාගමේ කොටස් වටිනාකම් ඉහල දැමීම අරමුනු කර ගනිමිනි.

පසුගිය නොවැම්බරයේ දී උතුරු ඇමරිකානු කම්හල් පහක් වසා දමන බව සහ පැය ගනන් අනුව ගෙවන හා සුදු කරපටි රැකියා 14,000ක් අතුගා දමන බව ජීඑම් නිවේදනය කලේ නිශ්චිතව ම ආයෝජකයින්ට ලැබෙන ප්‍රතිලාභ වැඩි කිරීම සඳහා ය. ගෝලීය මෝටර් රථ කර්මාන්තයේ අනාගතය හැඩගස්වා ගැනීම සඳහා අඩු වැටුප් සහිත තාවකාලික ශ්‍රම බලකායක් ඇති කිරීම සඳහා වන ඉල්ලීම් සංගත කලමනාකරනය විසින් දෘඪව පවත්වා ගෙන යන්නේ එබැවිනි. “වසර 100ක් පුරා එක්සත් ජනපද මෝටර් රථ කර්මාන්තයේ ආධිපත්‍යය දැරූ අර්ධ-සමාජවාදයේ අවසාන ලකුන” ලෙස ෆෝබ්ස් සඟරාව විසින් මෑතකදී හෙලා දකින ලද, මෝටර් කම්කරුවන් දිනා ඇති සෞඛ්‍ය රක්ෂන ආවරනය විනාශ කිරීමට ද ජීඑම් සමාගමට අවශ්‍ය ය.

වැඩ වර්ජනය සම්බන්ධයෙන් වෝල් වීදිය සිය ඉල්ලීම් පැහැදිලි කර තිබේ. නය ශ්‍රේනිගත කිරීමේ ඒජන්සිය වන මූඩීස් මේ මස මුල දී අනතුරු ඇඟවූයේ වැඩ වර්ජනය ඉක්මනින් අවසන් කිරීමට හා ප්‍රධාන වරදාන ලබා දීමට ජීඑම් අපොහොසත් වුවහොත්, මූඩීස් සමාගමේ නය ශ්‍රේනිගත කිරීම පහත හෙලනු ඇති බව යි.

කම්කරුවන් පැමිනිය යුතු නිගමනය වන්නේ කප්පාදුව පිලිගත යුතු බව නො ව, තමන් ධනවාදය පිලිගත යුතු නැති බව යි. එක්සත් ජනපදයේ සහ ලොව පුරා කම්කරුවන් වැඩි වැඩියෙන් සමාජ අසමානතාවයට හා කාර්මික වහල්භාවයේ කොන්දේසි වෙත නැවත පැමිනීමට එරෙහිව සටන් කිරීමත් සමඟ ,පන්ති අරගලයේ තර්කනය වැලක්විය නො හැකි ලෙස සමාජවාදය සඳහා සවිඥානික සටනක දිශාවට ගමන් කරමින් තිබේ.

ජාත්‍යන්තරව පන්ති අරගලයේ වර්ධනය සමාජවාදී දේශපාලන දිශානතියකට ගෙන යනු ඇත යන්න පාලක පන්තියට ඇති ලොකුම බිය යි. සමාජවාදය පිලිබඳ මෙම භීතිය අඟහරුවාදා එක්සත් ජාතීන් ඉදිරිපිට ට්‍රම්ප්ගේ කෝපයෙන් ප්‍රකාශ විය. “අපේ රට මුහුන දී ඇති බරපතල ම අභියෝගවලින් එකක් වන්නේ සමාජවාදයේ අවතාරය යි” ට්‍රම්ප් පැවසී ය. "අද, මම නිවසේ දී ලොවට ලබා දුන් පනිවිඩයක් නැවත කියමි: ඇමරිකාව කිසි විටෙකත් සමාජවාදී රටක් නො වනු ඇත."

කම්කරුවන්ගේ මූලික සමාජ අයිතිවාසිකම් වන යහපත් වැටුප් හා සුරක්ෂිත රැකියා, සෞඛ්‍ය සේවා, විශ්‍රාම වැටුප් සහ ශිෂ්ට සම්පන්න සේවා කොන්දේසි සහතික කිරීමට තමන්ට නො හැකි බව ධනපති පන්තිය අවධාරනය කරන්නේ නම්, කම්කරු පන්තියට දේශපාලන බලය තමන්ගේ අතට ගෙන, සමානාත්මතාවය, අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය හා ලොව පුරා සිටින බිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ ශ්‍රමය මගින් නිපදවන ධනයේ සාමූහික අයිතියේ මූලධර්මය මත පදනම් ව ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමට සිදුවනු ඇත.

සමාජවාදය සඳහා වන අරගලය ඔවුන්ගේ පොදු පන්ති අවශ්‍යතා මත පදනම් ව කම්කරුවන් ජාත්‍යන්තරව එක්සත් කිරීමේ අරගලයට නො වැලැක්විය හැකි ලෙස බැඳී ඇත.

ජීඑම්, ෆෝඩ් සහ අනෙකුත් අන්තර්ජාතික සමාගම්වලට ගෝලීය උපාය මාර්ගයක් ඇත. කම්කරුවන්ට ආපසු සටන් කිරීමට ගෝලීය උපාය මාර්ගයක් අවශ්‍ය වේ. අද, ලෝක කම්කරු පන්තියේ අරගල සම්බන්ධීකරනය නො කර, ලෝක ධනවාදයට එරෙහි බලගතු ව්‍යාපාරයක් වර්ධනය කිරීම කෙසේ වෙතත්, ඵලදායී වැඩ වර්ජනයක් පවා සංවිධානය කල නො හැක.

ජාත්‍යන්තර ව සංවිධානය වීම සඳහා කම්කරුවන්ගේ උත්සාහය ප්‍රකාශ වන්නේ ජීඑම් වැඩ වර්ජනය සහ හිතුවක්කාර දොට්ට දැමීම් හා තර්ජනලට එරෙහිව නැගී සිට ඇති හා එක්සත් ජනපදය තුල වැඩවර්ජනය අතරතුර තමන් නිෂ්පාදනය වැඩි කල යුතු ය යන කලමනාකරනයේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කල, මෙක්සිකෝවේ සිලාවෝ හි ජීඑම් කම්කරුවන්ගේ වීරෝදාර ක්‍රියාමාර්ගයන් සඳහා වන ගෝලීය සහයෝගය තුල ය. පොදු අරගලයකදී මෝටර් රථ කම්කරුවන් එක්සත් කිරීම යනු යූඒඩබ්ලිව් හා ඩිමොක්‍රටික් මෙන් ම රිපබ්ලිකන් පක්ෂ විසින් තොරොම්බල් කරන මෙක්සිකානු විරෝධී හා චීන විරෝධී ස්වෝත්තමවාදය ප්‍රතික්ෂේප කිරීම යි.

තම සමාජ අයිතීන් සුරකීමට ලෝකය වටේ මෝටර් රථ කම්කරුවන්ගේ පොදු අරගලය සමායෝජනය කිරීමට, කම්කරු පන්තියේ ප්‍රතිප්‍රහාරයේ සංවිධානයකට ජාතිකවාදී සහ ධනවාදී ගැති යූඒඩබ්ලිව් වෘත්තීය සමිතියෙන් ස්වාධීන ව සාමාජික වැඩවර්ජන කමිටු ගොඩනැඟීම අවශ්‍ය වේ.

පුද්ගලික ලාභය නො ව, සමාජ අවශ්‍යතාවන් මත පදනම් තාර්කික කලමනාකරනයේ ගෝලීය පද්ධතියක්, එනම් සමාජවාදය සඳහා අරගලයේ පදනම මත, සූරාකෑමේ ගෝලීය පද්ධතියක් වන ධනවාදයට විරුද්ධ සමස්ත කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයකට මෙය සම්බන්ධ කල යුතු ය.

ජෙරී වයිට්

Share this article: