චීන විප්ලවයේ සිට වසර හැත්තෑවක්

මාඕවාදයේ බංකොලොත් භාවයෙන් දේශපාලන පාඩම් උකහා ගනු

Seventy years since the Chinese Revolution; Draw the political lessons from the bankruptcy of Maoism

2019 ඔක්තෝබර් 1

චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) බලය අල්ලාගෙන තියනාන්මෙන් චතුරස්‍රයේ දී මාඕ සේතුං විසින් මහජන චීන සමූහාන්ඩුව ප්‍රකාශයට පත්කිරීමෙන් 70 වන වසර අද දින සලකුනු කරයි.

ජනාධිපති ෂී ජිංපිං ප්‍රධානත්වය දරන වර්තමාන සීසීපී තන්ත්‍රය, අද දින බෙයිජිනයේ විශාල මිලිටරි පෙරෙට්ටුවක් පවත්වමින් හා ගායනා, නැටුම් හා ගිනිකෙලිවලින් පූර්න පමන ඉක්මවූ සැමරුම් හැන්දෑවේ පවත්වමින් මෙම අවස්ථාව සිහිපත් කරනු ඇත. චීන ජාතිකවාදයෙන් සංස්තෘප්ත වූ ද ජාතික තිරිහන් වීමේ හා චීනය යලි වතාවක් ශ්‍රේෂ්ඨත්වයට පත්කිරීමේ ඔහුගේ “සිහිනය” වෘතාන්තයට නංවන කතාවක් ෂී විසින් තියනාන්මෙන් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිත ය.

චීන විප්ලවය, අධිරාජ්‍යවාදය විසින් චීනය යටත් කරගෙන තිබීම අවසන් කල, රට ඒකාබද්ධ කල, ජනගහනයේ ජීවන කොන්දේසි එසවූ සහ සංස්කෘතික ව හා සමාජීය ව පසුගාමී බොහෝ දෑ ඉවත් කල අනුස්මරනීය සමාජීය නැගිටීමක් විය. එහෙත්, 70 වසරකට පෙර බොහෝ දෙනා කැපකිරීම් කල සමාජවාදී අනාගතයක් සඳහා වැඩකරන ජනයාගේ අභිලාෂයන් අද දින ධනවාදයේ මාරාන්තික අන්තයට තුඩු දී ඇත්තේ කෙසේ ද හා මන්දැයි මාඕ සේතුංගේ දේශපාලන උරුමකරුවන්ට පැහැදිලි කල නො හැක.

1949 දී මාඕ චීන මහජන සමූහාන්ඩුව ප්‍රකාශයට පත්කරයි

පසුගිය දශක තුන පුරා සිදු වූ චීන ආර්ථික වර්ධනයේ ඇඟ කිලිපොලා යන මට්ටම් විසින්, සීසීපීය නියෝජනය කරන බිලියනපති කතිපයාධිකාරීන් සහ, ලාබය, වෙලඳපොල හා “භාවිතා කරන්නන් විසින් ගෙවීම” විසින් අභිබවනය කරන සමාජ පර්යායක් තුල නො නැසී පැවැත්ම සඳහා අරගලයේ යෙදෙන චීන කම්කරුවන් හා ගොවීන් අතර පලල් වන යෝධ සමාජ අගාධයක් නිර්මානය කර ඇත.

ජාත්‍යන්තර කම්කරු පන්තියට හා විශේෂයෙන් ම චීනයේ කම්කරුවන්ට, මාඕ හා සීසීපීය කල පාවාදීමෙන් දේශපාලන පාඩම් උකහා ගැනීම අත්‍යවශ්‍ය ය. අද දින සමාජවාදය සඳහා වන ඕනෑම අරගලයක් අවශ්‍යයෙන් ම මෙම ප්‍රශ්නයට පිලිතුරු දිය යුතු ය: 20වන ශතවර්ෂයේ විප්ලව, සියල්ලට ඉහලින් රුසියාවේ හා චීනයේ විප්ලව, ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් අවසන් වූයේ ඇයි?

අවස්ථා දෙකේ දී ම පිලිතුර රැඳී පවත්නේ කම්කරු පන්තියෙන් බලය පැහැරගත් ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමයේ ඉස්මතු වීම තුල යි. 1917 ඔක්තෝබරයේ ලෙනින් හා ට්‍රොට්ස්කි විසින් නායකත්වය දුන් රුසියානු විප්ලවයට මග පෙන්වූ සමාජවාදී ජාත්‍යන්තරවාදයට අත්‍යන්තයෙන් ප්‍රතිවිරුද්ධ “තනිරටේ සමාජවාදය” පිලිබඳ ප්‍රතිගාමී ජාතිකවාදී ඉදිරිදර්ශනයේ පදනම මත එය එහි වරප්‍රසාද සාධාරනීකරනය කලේ ය.

චීනයේ දී අලුතින් ගොඩනැගූ චීන කොමියුනිස්ට් පක්ෂය ස්ටැලින් විසින් ජාතිකවාදී ක්වෝමිංටෑනයට (කේඑම්ටී) යටත් කලේ ඛේදජනක විපාක ගෙනදෙමිනි. 1925-27 විප්ලවවාදී නැගිටීම් සමයේ, 1927 අප්‍රේල් මාසයේ සීසීපීය මතට හැරුනු චියැං කායි-ෂෙක් හා කේඑම්ටීය, ෂැංහයිහි පාලනය අල්ලාගෙන තිබුනු කම්කරුවන් හා කොමියුනිස්ට්වාදීන් දහස් ගනනක් ඝාතනය කල හ. ඉන් මාසයකට පසු, ස්ටැලින් විසින් චීන ධනේශ්වරයේ ප්‍රගතිශීලී කොටසක් ලෙස අවධාරනය කල “වාම” කේඑම්ටීය, එහි ම ඝාතන රැල්ල දියත් කලේ ය. විප්ලවවාදී රැල්ල පසුබා යද්දී, ස්ටැලින් විනාශ වී ගිය සීසීපීය අතිධාවනකාරී ක්‍රියා මාලාවකට යොමු කල අතර, ඒ සියල්ල කම්කරු පන්තියට හා ගොවීන්ට ඛේදජනක ප්‍රතිවිපාක ගෙනදෙමින් අසාර්ථක විය.

සීසීපීය කේඑම්ටීයට යටත් කිරීමේ අන්තරායන් ගැන ලියොන් ට්‍රොට්ස්කි අනතුරු අඟවා තිබුනු අතර, ස්ටැලින්ගේ පිලිවෙත් පිලිබඳ ඔහුගේ විශ්ලේෂනය පක්ෂයෙන් නෙරපා දමන ලද සීසීපී සාමාජිකයන් හා නායකයන් අතරින් සහයෝගය දිනාගත්තේ ය. රුසියානු විප්ලවයට මග පෙන්වා තිබූ ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යායය, චීනය වැනි කල්පසු වූ ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවල ධනේශ්වරයට, මහජනයාගේ ප්‍රජාතන්ත්‍රීය හා සමාජීය අභිලාෂයන් මුදුන් පත් කිරීම කල නො හැකි බව විස්තර කලේ ය. එම කර්තව්‍යයන් කම්කරු පන්තියට පැවරුනු අතර ගොවි ජනයාගේ ද සහයෝගය සහිත ව බලය සියතට ගෙන සමාජවාදී පියවරයන් ක්‍රියාවට දැමීමට එයට බලකරනු ඇත.

එහෙත් ගම්බදට පසුබෑ සීසීපීය කම්කරු පන්තිය වෙනුවට ගොවි ගරිල්ලා හමුදාවන් මත වඩ වඩා පදනම් විය. එහි ඉදිරිදර්ශනය පදනම් වූයේ, පලමුව ධනේශ්වරයේ ආධිපත්‍යය යටතේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් ද දෙවනුව ඈත අනාගතයේ සිදු වන සමාජවාදී විප්ලවයක් ද යන අපකීර්තිමත් “අවධි දෙකේ න්‍යායය” මත යි. මෙම ජාතිකවාදී ඉදිරිදර්ශනය වසර 22කට පසු විප්ලවය සිදුවන විට ඊට හානි කර හා විකෘත කර තිබිනි.

1949 චීන විප්ලවය, දෙවන ලෝක යුද්ධාවසානයෙන් පසුව කම්කරු පන්තියේ හා විජිත ජනතාවන්ගේ ලෝක පරිමාන නැගී සිටීමක කොටසක් විය. ජපානයේ පරාජයෙන් පසු වසර දෙක පුරා, ජාත්‍යන්තර ව කොමියුනිස්ට් පක්ෂවලට ස්ටැලින් දී තිබූ උපදෙස් සමග එකපෙලට සිටිමින්, මාඕ උත්සාහ දැරුවේ ෂැංහයි ගහලයා වූ චියැං කායි-ෂෙක් සමග සහාග ආන්ඩුවක් තැනීමට යි. ධනේශ්වරය හා ඉඩම් හිමියන් අත් නොහැරීම පිනිස සීසීපී නායකත්වය දැනුවත්වම කම්කරුවන්ගේ නැගෙන අරගල නවත්වා ඉඩම් ප්‍රතිසංස්කරනවල පරාසය සීමා කලේ ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආයුධ හා ආධාර සහිත ව නගර මත ග්‍රහනය දැඩි කරගැනීමට කාලය යොදාගත් චියැං කායි-ෂෙක්, සීසීපීයට එරෙහි ව මිලිටරි ප්‍රහාර දියත් කලේ ය.

දූෂිත හා වෛරයට පාත්‍ර කේඑම්ටී ආඥාදායකත්වය බලයෙන් පහකිරීම සඳහා සීසීපීය අවසානයේ කැඳවුම් කලේ 1947 ඔක්තෝබරයේ පමනි. චියැං හා ඔහුගේ තන්ත්‍රය පුපුරා ගිය වේගය ප්‍රදර්ශනය කලේ, පක්ෂයේ ගොවි හමුදාවන් විසින් “විමුක්ත කරගන්නා” තෙක් බලාසිටින්නැයි උපදෙස් දෙනු වෙනුවට, සීසීපීය මුල පටන් ම නාගරික කම්කරුවන් බලමුලුගැන්වූයේ නම්, චියැංගේ තන්ත්‍රය වඩා වේගයෙන් පහකල හැකි ව තිබුනු බව යි. පසුගිය වසර 70 පුරා සීසීපීයෙහි පාලනයේ ප්‍රධාන මුද්‍රාව වී ඇත්තේ, කම්කරු පන්තියේ ස්වාධීන අරගලය කෙරෙහි එහි හතුරුකම යි.

1949 දී මාඕ විසින් ප්‍රකාශයට පත්කල මහජන චීන සමූහාන්ඩුව පදනම් වූයේ, සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත නො ව, පලමු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අවධිය ක්‍රියාවට දැමීම හෙවත් මාඕගේ “නව ප්‍රජාතන්ත්‍රවාදය” මත යි. සීසීපීය චියැං සමග තායිවානයට පලාගොස් තිබූ “නිලධාරිවාදී ධනපතියන්ගේ” ව්‍යවසායයන් පමනක් ජනසතු කලේ, බහුතරයක් ධනපතියන්ගේ ලාබ හා දේපොල ආරක්ෂා කරන අතර ය. එහි ආන්ඩුව ධනපති පක්ෂ සමග සභාගයක් මත පදනම් වූයේ, සමහර ධනපති පක්ෂ ප්‍රමුඛ තනතුරු දරද්දී ය.

ස්වයං-පෝෂිත චීනයක් පිලිබඳ මාඕගේ ඉදිරිදර්ශනය ක්ෂනික ව ආවෘත අන්තයක් කරා ලුහුටා ගියේ ය. 1949 දී චීනය සූරාකෑමේ සැලසුම් අනපේක්ෂිත ලෙස අහිමි ව තිබූ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, සීසීපී තන්ත්‍රයට වලකපා අවසානයේ සීසීපී තන්ත්‍රය බලයෙන් හෙලීමේ ක්‍රමයක් ලෙස 1950-1953 කොරියානු යුද්ධය යොදාගැනීමට ඉලක්ක කලේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස, එක්සත් ජනපද ආර්ථික බාධක හා යුද තර්ජනය, යුද උත්සාහය කඩාකප්පල් කරමින් තිබූ විදේශ හා දේශීය සමාගම් ජනසතු කිරීමටත්, සෝවියට් සංගමයේ මාවතේ යමින් නිලධාරිවාදී ආර්ථික සැලසුම් ස්ථාපනය කිරීමටත් මාඕට බලකෙරුනි.

එවකට එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී පක්ෂය වූ සමාජවාදී කම්කරු පක්ෂය, නැගෙනහිර යුරෝපයේ ස්වාරක්ෂක රාජ්‍යයන් පිලිබඳ ව හතරවන ජාත්‍යන්තරය තුල සාකච්ඡාවක් මත පදනම් වෙමින් 1955 දී නිගමනය කලේ, චීනය විකෘත කම්කරු රාජ්‍යයක් බවට පත්ව ඇති බව යි. එය සංක්‍රාන්තික තන්ත්‍රයක් විය. ජනසතු දේපොල හා ආර්ථික සැලසුම්කරනය ස්ථාපනය කොට තිබුන ද කම්කරු පන්තියට කිසිදු දේශපාලනික හඬක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නොමැති ව නව රාජ්‍යය උපතේ දී ම විකෘත ව තිබුනි. එක්කෝ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය කියා සිටි පරිදි, කම්කරු පන්තිය දේශපාලන විප්ලවයකින් මාඕවාදී නිලධරය පෙරලීම අවශ්‍ය කරන අව්‍යාජ සමාජවාදය දෙසට චීනය ගමන් කල යුතු විය; නැතහොත් එය ධනවාදය කරා පෙරලා යා යුතු විය.

ප්‍රති-මාක්ස්වාදී තනිරටේ සමාජවාදය පිලිබඳ ඉදිරිදර්ශනය මත පදනම් වූ ජාතිකවාදී වැඩපිලිවෙලේ ප්‍රතිඵලයක් ලෙස, 1950 ගනන්වල ඛේදනීය ශ්‍රේෂ්ඨ පියවරක් ඉදිරියට සිට 1960 ගනන්වල චීන-සෝවියට් බෙදීම හා විනාශකාරී සංස්කෘතික විප්ලවය දක්වා වසයෙන් මාඕවාදී තන්ත්‍රය එක් අර්බුදයකින් තවත් අර්බුදයකට ලුහුටා ගියේ ය. එකතැන පල්වන ආර්ථිකයකට හා සෝවියට් සංගමය සමග වැඩෙන යුද්ධයේ තර්ජනය මධ්‍යයේ, 1949 විප්ලවයෙන් යන්තම් වසර 22කට පසු මාඕ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වෙත හැරුනි. චීනය තුල වෙලඳපොල-හිතවාදී පිලිවෙත් හා ධනේශ්වර පුනස්ථාපනයේ කර්තෘ ලෙස ඩෙන් ෂියාඕපිං උපුටා දක්වතත්, ඔහු සරල ව ම ඉදිරියට ගෙනගියේ 1972 දී එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන් සමග මාඕ ඇති කරගත් සබඳතා ප්‍රතිස්ථාපනය යි.

1978 සිට ඩෙන්ගේ “ප්‍රතිසංස්කරනය හා විවෘත වීම” එක්සත් ජනපදය හා අනෙකුත් ධනපති බලවතුන් නායකත්වය දුන් ගෝලීය නිෂ්පාදනයේ ක්ෂනික වර්ධනයක් සමග සමපාත විය. සියල්ලට මත් වඩා කැරලිකාරී කම්කරු පන්තිය මැඩීම ඉලක්ක කරගත් 1989 තියනාන්මෙන් චතුරස්‍රයේ සංහාරයෙන් ඉක්බිති ව, විප්ලවයෙන් පසු ගොඩනැගූ යටිතල පහසුකම් හා මූලික කර්මාන්තයේ සහ ලාබ වුවත් අධ්‍යාපනගත හා විනයගත ශ්‍රමයේ වාසිය ගැනීම පිනිස විදේශ ආයෝජන රටතුලට ගලා ආවේ ය.

අද දින කරන කතාවේ දී, ෂී නිසැක ව ම චීනයේ ජයග්‍රහනයන් ගැන උදම් ඇනීම, මාඕවාදී විප්ලවවාදීන්ට උපහාර පිදීම හා චීනය යලි ශ්‍රේෂ්ඨත්වයට පත්කිරීමේ ඔහුගේ සිහිනය හෙවත් කෑදර චීන ධනපති පන්තියේ අභිලාෂයන් නියෝජනය කරන්නා වූ සිහිනයක් පිබිදවීම කරනු ඇත. එහෙත්, චීනයේ ආර්ථික නැගීම එක්සත් ජනපදය ආධිපත්‍යය දරන අධිරාජ්‍යවාදී ලෝක පර්යාය සමග මුහුනට මුහුන ගැටුමකට ගෙනැවිත් ඇති අතර, චීනය තම ගෝලීය ආධිපත්‍යයට අභියෝග කිරීමෙන් වැලැක්වීමට මිලිටරි විධික්‍රම ඇතුලු සියලු විධික්‍රම යොදාගැනීමට එක්සත් ජනපදය අභිප්‍රාය සහගත ය.

ෂී හා සීසීපී නිලධරය සතුව, ගැටුමේ අන්තරාය ඉහල දැමීමට පමනක් ඉවහල් වන ආයුධ තරඟයේ යෙදෙන අතර ම සන්ධානය සඳහා උත්සාහ දැරීම හැර, එක්සත් ජනපද යුද ධාවනයට පිලිතුරු නැත. එලෙස ම, විශේෂයෙන් ම හොං කොං විරෝධතාවන් විසින් සංඥා කල කම්කරු පන්තියේ කැලඹීම පිලිබඳ වැඩෙන සංඥාවන්ට මාඕවාදී තන්ත්‍රයේ එකම ප්‍රතිචාරය වන්නේ, කම්කරුවන් බෙදීමට ජාතිකවාදය ඇවිලවීම යි. මෙය ඉහල යන පොලිස්-රාජ්‍ය මර්දනය සමග අත්වැල් බැඳගනී.

වෙලඳ යුද්ධයේ හා ආසියාව තුල මිලිටරි ගොඩනැංවීමේ රූපයෙන් එක්සත් ජනපද ආක්‍රමනයට බෙයිජිං නිලධරය මුහුන දෙන අතර ම, එය ඊටත් වඩා කම්කරු පන්තියට බිය වේ. එය මිලිටරියට වඩා අභ්‍යන්තර ආරක්ෂාවට වියදම් කරයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) අවශ්‍ය දේශපාලන නිගමන උකහා ගන්නා ලෙස ජාත්‍යන්තර කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී. මාඕවාදයේ පාවාදීම්, චීනයේ පමනක් නො ව, එහි විනාශකාරී බලපෑම හරහා ආසියාවේ හා ජාත්‍යන්තර ව එක් ව්‍යසනයකට පසු තවෙකක් නිර්මානය කර ඇත. ධනවාදයේ ගෝලීය අර්බුදය ගැඹුරු වීම මධ්‍යයේ, යුද්ධයේ හා ෆැසිස්ට් පාලන රූපවල නැගීමේ ද ඛාදනය වන ජීවන කොන්දේසිවල ද අන්තරායට පවතින එකම පිලිතුර වන්නේ, 1917 ඔක්තෝබර් විප්ලවයට ප්‍රානය සැපයූවා වූ ද ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පමනක් ම සංගතික ව සටන් වැද ඇත්තා වූ ද සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක්‍රියාමාර්ගය යි.

සමාජවාදී අනාගතයක් සඳහා චීනයේ හා ලොව පුරා කම්කරුවන් ඒකාබද්ධ කිරීමට, එලඹෙන පන්ති අරගලවල විප්ලවවාදී නායකත්වය ලෙස හජාජාක ගොඩනැගීම අවශ්‍ය කරයි. චීනය තුල එහි අර්ථය වන්නේ, මාඕවාදය ඇතුලු ස්ටැලින්වාදයේ සියලු රූපාකාරයන්ට එරෙහි න්‍යායික හා දේශපාලන අරගලයේ සියලු පාඩම් මත පදනම් ව හජාජාක ශාඛාවක් ගොඩනැගීම යි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: