දෝෂාභියෝග විමර්ශනයට තමන් සහයෝගය නො දෙන බව ට්‍රම්ප්ගේ ධවල මන්දිරය කියයි

Trump White House declares it will not cooperate with impeachment inquiry

2019 ඔක්තෝබර් 9

ට්‍රම්ප් ධවල මන්දිරය අඟහරුවාදා සවස ප්‍රකාශ කලේ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මන්ඩලය සහ ඩිමොක්‍රටික් පක්ෂ නායකත්වය විසින් දියත් කරන ලද දෝෂාභියෝග විමර්ශනය සමග තමන් සහයෝගයෙන් කටයුතු නො කරන බව යි. මෙම පියවර සලකුනු කරන්නේ වොෂිංටනයේ දේශපාලන යුද්ධයේ විශාල උත්සන්න වීමකි.

ධවල මන්දිර නීති උපදේශක පැට් සිපොලෝන් විසින් අත්සන් කරන ලද ලිපියක සඳහන් වන්නේ විමර්ශනය “නියමිත ක්‍රියාවලිය” සහ එක්සත් ජනපද ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව යි. “ඇමරිකානු ජනතාවට, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට, විධායක අංශයට සහ ජනාධිපති කාර්යාලයේ අනාගත පදිංචිකරුවන්ට සිය යුතුකම් ඉටු කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප්ට සහ ඔහුගේ පාලනාධිකාරියට මෙම තත්වයන් යටතේ ඔබේ පක්ෂග්‍රාහී හා ව්‍යවස්ථා විරෝධී විමර්ශනයට සහභාගී විය නො හැක” යැයි එය ප්‍රකාශ කරයි.

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ ට්‍රම්ප්ගේ ජූලි 25 දුරකථන සාකච්ඡාව විමර්ශනය කිරීම සඳහා පිහිටුවා ඇති කොන්ග්‍රස් විමර්ශනයෙන් ඉල්ලා සිටින සාක්ෂි හෝ ලේඛන ධවල මන්දිරය විසින් ලබා නො දෙන බවට ලිපිය අනතුරු අඟවයි. මීට පෙර ට්‍රම්ප් පාලනාධිකාරිය යුරෝපා සංගමයේ එක්සත් ජනපද තානාපති ගෝර්ඩන් සොන්ඞ්ලන්ඞ්ට නියෝග කලේ කොංග්‍රස් විමර්ශනය සමඟ නියමිත සම්මුඛ පරීක්ෂනයකට පෙනී නො සිටින ලෙස යි. එම නිවේදනයෙන් පසුව ට්‍රම්ප් එම පරීක්ෂනය “මුලුමනින්ම අපකීර්තියට පත් කැන්ගරු උසාවියක්(විකාර උසාවියක්)” ලෙස හෙලා දුටුවේ ය.

කොන්ග්‍රසය පිලිබඳ ට්‍රම්ගේ නො සැලකිල්ලට පැහැදිලිව ම ඒකාධිපති ස්වභාවයක් ඇත. හරයෙන් ගත් කල, ඔහු ප්‍රකාශ කරන්නේ ජනාධිපති ධුරයේ බලය පිලිබඳ කිසිදු නීතිමය බාධාවක් තම ධවල මන්දිරය පිලිගන්නේ නැති බව යි. අබාධිත බලය පිලිබඳ ඔහුගේ අසාමාන්‍ය ප්‍රකාශය අත් වැල් බැඳ ගන්නේ ඔහුගේ දක්ෂිනාංශික පදනම බලමුලු‍ ගැන්වීමේ උත්සාහයන් සමඟිනි. ට්‍රම්ප් බ්‍රහස්පතින්දා මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් හි පොලිස් නිලධාරීන් ඉදිරිපිට රැලියක් පවත්වනු ඇති අතර එය නගරයේ “අන්ත වමේ” නගරාධිපතිවරයාට එරෙහි ව්‍යාපාරයක් ලෙස ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.

තෙමේම ම කුමන්ත්‍රනයක ගොදුරක් ලෙස නිරූපනය කිරීමෙන් නීත්‍යානුකූල කිරීමට ඔහු උත්සාහ කරන, කොන්ග්‍රසය පිලිබඳ ට්‍රම්ප්ගේ නො සැලකිල්ලට පහසුකම් සපයනු ලබන්නේ ඩිමොක්‍රටිකයින් විසින් භාවිතා කරනු ලබන ක්‍රමවේදයන් මගිනි. ට්‍රම්ප්ට එරෙහි ඔවුන්ගේ සටන කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී හෝ ප්‍රගතිශීලී අන්තර්ගතයකින් තොර ය. ඩිමොක්‍රටිකයින් සහ මාධ්‍ය තුල ඔවුන්ගේ ආධාරකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන තර්කය වන්නේ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති හා ක්‍රියා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායික අවශ්‍යතාවන් යටින් වල කපා ඇති බව යි. ඔවුන් සිය තර්ක ඉදිරිපත් කරන්නේ කම්කරු පන්තියට හා තරුනයින්ට නො ව, පාලක පන්තියේ කන්ඩායම්, මිලිටරි ඔත්තුසේවා සංවිධාන මෙන් ම මධ්‍යම ඔත්තුසේවා ඒජන්සියේ (සීඅයිඒ) ගෝලීය භූමූලෝපායික ප්‍රමුඛතා න්‍යායපත්‍රයෙන් ට්‍රම්ප් අපසරනය වීමට විරුද්ධ වන රිපබ්ලිකන් පක්ෂයේ කන්ඩායම්වලට ය.

දෝෂාභියෝග ව්‍යාපාරය පිටුපස ඇති ගතිකය හෙලිදරව් කෙරුනේ සිරියාවෙන් හමුදා භටයින් ඉවත් කිරීමට ට්‍රම්ප් සඳුදා ගත් තීරනය පිලිබඳ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් දේශපාලනඥ යින්ගේ මෙන් ම මාධ්‍යයේ හෙලාදැකීම් මගිනි.

ඩිමොක්‍රටික් පක්ෂය සහ ඔත්තුසේවා ඒජන්සි වෙනුවෙන් කතා කරන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත, මෙම පියවරට දැඩි ප්‍රහාරයක් එල්ල කලේ ය. “‘ඉවත් වීම’ ජනාධිපතිගේ ජාතික ආරක්ෂක මූලෝපයක් වන විට” නම් අඟහරුවාදා එහි ප්‍රධාන ලිපියේ, ටයිම්ස් පුවත්පතේ ඬේවිඞ් සැන්ගර් සඳහන් කලේ, (භට පිරිස්) ඉවත් කර ගැනීම ට්‍රම්ප් “නැවත වතාවක් තම ආන්ඩුවේ නිල ආස්ථානයට විරුද්ධ ජාතික ආරක්ෂක මූලෝපායක් හඹා යමින් සිටින” බව, හා එය “කලාපය පුරා නව අවුල් ජාලයක් ඇති කරනු ඇති බවට ඔහුගේ ම ජ්‍යෙෂ්ට උපදේශකයින් අනතුරු අඟවා තිබෙන” බව පෙන්නුම් කරන බව යි.

ට්‍රම්ප්, “ඇමරිකාවේ ‘නිමක් නැති යුද්ධ' අවසන් කිරීමේ ප්‍රයත්නයේ දී, ඇමරිකානු හමුදා භටයන් විදේශගත ව සිටීම, එය අවසන් කිරීමේ ඔහුගේ අභිලාෂයෙන් ගැලවීමට තරම් කුඩා නො වන බව පෙන්නුම් කරමින් සිටී” යැයි සැන්ගර් චෝදනා කලේ ය. ඔහු තවදුරටත් කියා සිටියේ, “එහෙත් මාස 32 ක අවුල් සහගත ප්‍රතිපත්ති සම්පාදනයකින් පසු, ලෝකය පුරා ට්‍රම්ප්ගේ ප්‍රවාදයක් තිබේ නම්, සඳුදා උදෑසන ජනාධිපති ට්විටර් පනිවුඩයක් මගින් බැන වැදුනු අවස්ථාවේ එය මෙලෙස පිරිසිදු ස්වරූපයෙන් ප්‍රකාශ විය හැකි ව තිබුනි: ‘අපට ඉවත් වීමට කාලය යි’.”

ටයිම්ස් පුවත්පතට අනුව, මිලියනයකට අධික පිරිසකගේ මරනයට හේතු වී ඇත්තේ මැද පෙරදිග නිමක් නැති යුද්ධ නො ව, ඒවා “අවුල් සහගත” නමුත්, මිලිටරිය හා සීඅයිඒ සංවිධානය පසුගිය වසර අටක කාලය තුල පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමක නිරතව සිටින, සිරියාවෙන් එක්සත් ජනපද හමුදා “වේගයෙන් ඉවත් කර ගැනීම” යි.

ආන්ඩුව තුල ගැටුම යනු ප්‍රගතිශීලී හෝ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තක් නොමැති පාලක ප්‍රභූවේ කොටස් දෙකක් අතර ගැටුමකි. ඩිමොක්‍රටිකයින් නියෝජනය කරන්නේ විදේශයන්හි සහ රට තුල කටයුතු කලමනාකරනය කිරීමට ට්‍රම්ප්ට ඇති හැකියාව කෙරෙහි විශ්වාසය බිඳ වැටී ඇති මිලිටරි හා ඔත්තුසේවාවල කන්ඩායම් ය. නව ආර්ථික අවපාතයක වර්ධනය වන සංඥා මගින් විදේශ ප්‍රතිපත්තිය පිලිබඳ ගැටුම් උග්‍ර කෙරී ඇත.

මහජනතාවගේ කෝපයට ගිනි අවුලුවමින් තිබෙන සමාජ හා දේශපාලන උත්සුකයන්ගෙන් ට්‍රම්ප්ට ඇති තම විරුද්ධත්වය හුදෙකලා කිරීමට ඩිමොක්‍රටිකයෝ අධිෂ්ඨාන කරගෙන සිටති.

මීට වසර දෙකකට පෙර ප්‍රකාශයට පත් කරන ලද “මාලිගා බලකොල්ලය ද පන්ති අරගලය ද: වොෂිංටනයේ දේශපාලන අර්බුදය සහ කම්කරු පන්තියේ මූලෝපාය” නම් තම ප්‍රකාශනය තුල ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ සඳහන් කලේ ය. පාලක ප්‍රභූව අතර ගැටුමට සමගාමීව “පාලක ප්‍රභූව හා විවිධාකාර සමාජ පීඩාවන්ගෙන් පීඩා විඳින හා දේශපාලන ජීවිතයෙන් මුලුමනින්ම බැහැර කරනු ලබන ජනගහනයේ පුලුල් ජනතාව වන කම්කරු පන්තිය අතර සමස්තයක් වශයෙන් විවිධාකාර ගැටුම් වර්ධනය වෙමින් පවතී ත්‍ව දශක ගනනාවක් තිස්සේ වෘත්තීය සමිති නිලධරය, ඩිමොක්‍රටික් පක්ෂය සහ විවිධ ආකාරයේ අනන්‍යතා දේශපාලනයේ ධනවත් අනුග්‍රාහකයන් විසින් පන්ති අරගලය පීඩනයට ලක් කිරීම අවසන් වෙමින් තිබේ. ”

මෙම පුරෝකථනය නිවැරදි බව ඔප්පු වී ඇත. පසුගිය වසරේ එක්සත් ජනපදය තුල බොහෝ අවස්ථාවල දී වෘත්තීය සමිතිවලට ස්වාධීන ව හා විරුද්ධ ව ගුරුවරුන්ගේ වැඩවර්ජන පුපුරා යෑම දක්නට ලැබුනි. මෙම වැඩවර්ජන කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගල රැල්ලක කොටසකි. දැන්, ආසන්න වශයෙන් ජෙනරල් මෝටර්ස් කම්කරුවන් 50,000ගේ වැඩ වර්ජනයත් සමග, පන්ති අරගලය කාර්මික කම්කරු පන්තියේ ඉතාමත් වැදගත් කොටසක් දක්වා ව්‍යාප්ත වී තිබේ.

හදිසි කර්තව්‍යය වනුයේ ලොව පුරා කම්කරුවන් මුහුන දෙමින් සිටින විශාල ප්‍රශ්නවලට, එනම් අන්ත සමාජ අසමානතාවය; රැකියා, වැටුප් සහ ප්‍රතිලාභවලට නො කඩවා පහර දීම; ලෝක යුද්ධයේ අන්තරාය; පාලක පන්තිය ඒකාධිපති පාලන ක්‍රම දෙසට හැරීමට විසඳුමක් ලෙස ධනේශ්වර පද්ධතියට එරෙහිව සටනක් අවශ්‍ය යැයි දැනුවත් විප්ලවවාදී නායකත්වයක් කම්කරු පන්තිය තුල වර්ධනය කිරීම යි.

ජෝශප් කිෂෝර්

Share this article: