ගෝලීය ආර්ථිකය සම්පතන මන්දගාමිත්වයට පිවිසෙත්දී

එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය “නොකඩවා ප්‍රමානාත්මක සහන සැලසීම” ආරම්භ කරයි

As global economy enters synchronised slowdown - US Federal Reserve starts —quantitative easing forever

2019 ඔක්තෝබර් 19

මේ සතියේ එක්සත් ජනපද මූල්‍ය බලධාරීන් ගත් ක්‍රියාමාර්ග දෙකක් තුලින් පෙන්නුම් කෙරෙන්නේ එක්සත් ජනපදය නැවත වරක් මූල්‍ය වෙලඳපොලවලට අසීමිතව මුදල් සපයමින් එලඹෙන ගෝලීය ආර්ථික පසුබෑමට ප්‍රතිචාර දක්වනු ඇති බවයි.

පෙරදා වෙලඳපොල පොලී අනුපාතවල තියුනු වැඩිවීම් වලට ප්‍රතිචාර වශයෙන් ෆෙඩරල් සංචිතය බදාදා අඩු තරමේ හය මසක් මුලු‍ල්ලේ මසකට ඩොලර් බිලියන 60 ක් පමන ගනනින් භාන්ඩාගාර බිල්පත් මිල දී ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කලේය. පසුදින ඊට අමතර ව නිව්යෝර්ක් ෆෙඩරල් සංචිතය ද්‍රවශීලතාවය ඉහල නැංවීම සඳහා ඩොලර් බිලියන 104.15 ක් මූල්‍ය වෙලඳපොලට එන්නත් කලේය.

වොෂිංටන්හි ආන්ඩුක්‍රම ව්‍යවස්ථා මාවතේ ෆෙඩරල් සංචිත ගොඩනැගිල්ල [අනුග්‍රහය: ඒපී ඡායාරූපය / ජේ. ස්කොට් ඇපල් වයිට්, ගොනුව- Credit: AP Photo/J. Scott Applewhite, file]

මේ මාසය අවසානයේ දී තවත් කප්පාදුවක් අපේක්ෂා කිරීමේ තත්වය ද සමග පොලී අනුපාත දෙවරක් කප්පාදු කිරීමට ෆෙඩරල් මහ බැංකුව තීරනය කිරීමේ පියවරයන් මගින් පැහැදිලි වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් “සමමුහුර්ත” ගෝලීය මන්දගාමිත්වයක් ලෙස සංලක්ෂිත කොන්දේසි යටතේ, මුදල් ප්‍රතිපත්තිය “සාමාන්‍ය තත්වයට ගෙන ඒමේ” සියලු‍ උත්සාහයන් සහමුලින් ම අවසන්ව ඇති බවය.

යුරෝපීය මහ බැංකුව මූල්‍ය වත්කම් මිලට ගැනීම අවසන් කිරීමේ සැලසුම ආපසු හරවා එහි මූලික පොලී අනුපාතය තවදුරටත් රිනාත්මක කලාපයකට පහත හෙලා ඇති අතර ජපාන බැංකුව ආන්ඩුවේ නය මිල දී ගන්නා අතථ්‍ය තනි ආයතනය සහ ප්‍රධාන පෙලේ සංගත කොටස් මිල දී ගන්නකු ලෙස දිගට ම කටයුතු කරයි. වෙනත් වචන වලින් කිවහොත්, ගෝලීය මූල්‍ය කතිපයාධිකාරයක් වෙනුවෙන් ක්‍රියා කරන ලෝකයේ ප්‍රධාන මහ බැංකුවල ප්‍රතිපත්තිය අසීමිතව ප්‍රමානාත්මක සහන සැලසීමය.

2008 බිඳවැටීමෙන් පසු, පෙඩරල් බැංකුව සහ අනෙකුත් මහ බැංකු විසින් ඩොලර් ට්‍රිලියන ගනනක් සිය ක්‍රියා කලාපයන් ගෙන් අර්බුදය උත්සන්න කල බැංකු හා මූල්‍ය ආයතන වෙත ලබා දී ඇත. මෙම මුදල් සැබෑ ආර්ථිකයට නොගිය අතර කෙලින් ම මූල්‍ය කතිපයාධිකාරීන්ගේ පෙට්ටගම් වලට ගියේය. දැන්, සේවකයින්ගේ වැටුප් හා කොන්දේසි කප්පාදු කිරීමට මාන බලා සිටින මූල්‍ය ප්‍රභූවට තවත් අසීමිත මුදල් කන්දරාවක් ලබා දීමට යයි.

මෙම වැඩපිලවෙල ප්‍රේරනය කරන ගෝලීය ධනේශ්වර ආර්ථිකයේ අර්බුදය මෙම සතියේ වොෂිංටනයේ අර්ධ වාර්ෂික රැස්වීමට ජාමූඅ විසින් නිකුත් කරන ලද වාර්තාවලින් පෙන්නුම් කරයි.

ගෝලීය වර්ධනය සටහන් කරන ජාමූඅ හි ලෝක ආර්ථික දැක්ම වාර්තාවේ වඩාත්ම වැදගත්ම ලක්ෂනය එයද වැදගත් උවත් මෙම වර්ෂය හා එලඹෙන වර්ෂය ද සඳහා වර්ධන ප්‍රක්ෂේපන කපා දැමීම නොවේ. වැදගත් ම දෙය වන්නේ එක්සත් ජනපදය, ජපානය, යුරෝ කලාපය සහ චීනය යන “කෙරුමන් හතර දෙනාගේ” ආර්ථිකයන් වල ඉදිරි වසර පහ සඳහා සැලකිය යුතු ප්‍රගතියක් අපේක්ෂා කල නොහැකි බවට වන විශ්ලේෂනය ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ගෝලීය ආයතන 2017 අවසානයේ සහ 2018 දක්වාත් සිදු වන ගෝලීය වර්ධනයේ ඉහල යාමක් සනිටුහන් කරමින් සිටියහ. මෙය දශකයකට ආසන්න කාලයක් ගතවීමෙන් පසු අවසානයේ ලෝක ආර්ථිකය පුනර්ජීවනයක් අත්විඳිමින් සිටින බවට ඇඟවුමකි.

මෙම නැගීම කැපී පෙනෙන ලෙස කෙටි කාලීන බව ඔප්පු විය. 2018 මැද භාගය වන විට, ප්‍රවනතාව පහත වැටුන අතර එම තත්වය 2019 දක්වාම දිග් ගැස්සුනි. නවතම ජාමූඅ වාර්තාවෙන් පැහැදිලි වන පරිදි, පූර්න අවපාතයක ඉහල යන තර්ජනයත් සමඟ සිදුවෙමින් තිබෙන එකතැන පල්වීම දැන් “නව සාමාන්‍යය තත්වය” වේ.

ඒ අතරම, ලෝකයේ ප්‍රධාන මහ බැංකුවල ඊනියා “සාම්ප්‍රදායික නොවන මූල්‍ය ප්‍රතිපත්ති” ඓතිහාසිකව වාර්තාගත ලෙස පොලී අනුපාත පහත හෙලීම සහ රජයේ බැඳුම්කර සහ වෙනත් මිලදී ගැනීම් හරහා ගෝලීය මූල්‍ය පද්ධතියට ඩොලර් ටි්‍රලියන ගනනේ පොම්ප කිරීම මගින් 2008 ටත් වඩා විනාශකාරී විය හැකි නව මූල්‍ය අර්බුදයක් සඳහා කොන්දේසි නිර්මානය කර ඇත්තේය.

මෙම ප්‍රතිපත්තිවල තාර්කිකය වූයේ 1930 ගනන්වල පසු ඇති වූ ගැඹුරුම අවපාතයෙන් පසුව මේ හරහා අවසානයේ ආර්ථික ප්‍රසාරනයක් ඇති කරනු ඇති බවයි. ආර්ථික වර්ධනය නැවත ආරම්භ වීමෙන් පසුව වඩාත් “සාමාන්‍ය තත්වයේ” මූල්‍ය ප්‍රතිපත්තියක් කරා යලි පැමිනෙනු ඇත.

එවැනි කිසිවක් සිදුවී නැත. ඒ වෙනුවට, මූල්‍ය ක්‍රමය නිමක් නැති ලාභ මුදල් සැපයුම මත බොහෝ සෙයින් රඳා පවතින තත්වයකට පත්ව ඊට ඇබ්බැහි වී ඇති අතර එය අඩු කිරීමේ සුලු පියවරක් පවා අර්බුදයක් ඇතිවීමේ තර්ජනය මතු කරයි.

“සාම්ප්‍රදායික නොවන මූල්‍ය ප්‍රතිපත්ති” සහ දැනට පවතින ආර්ථික එකතැන පල්වීම දැන් ක්‍රියාත්මක වන්නේ විෂම චක්‍රයක ය. පහත වැටෙන වර්ධනයේ අර්ථය වන්නේ ආයෝජකයින් තමන් සතු මුදල් සැබෑ ආර්ථිකය තුල යෙදවීමට පොලඹවනවා වෙනුවට ඔවුන් සිය ප්‍රාග්ධනය පුලුල් කිරීම සඳහා එය සෑම විටම අවදානම් සහගත මූල්‍ය වත්කම් ලෙස යොදවා ඇති බවයි. කෙසේ වෙතත්, එවැනි වත්කම් ඕනෑම සැලකිය යුතු ආර්ථික පසුබෑමක දී කඩාවැටීමක් වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, එවැන්නක සලකුනු වැඩි වැඩියෙන් පෙනෙන්නට තිබේ.

මෙම සතියේ රැස්වීම සඳහා ඉදිරිපත් කරන ලද ජාමූඅ හි ගෝලීය මූල්‍ය ස්ථාවරතා වාර්තාවේ එවැනි ඉදිරි සිදුවීමක තත්වය පෙන්වා ඇත.

එහි මෙසේ සඳහන් වේ, “ආර්ථිකය භෞතිකව මන්දගාමී වීමේ දී ඇතිවන තත්වය ගෝලීය මූල්‍ය අර්බුදයක කර්කශ බවින් අඩක් තරම් වන අතර ආයතනික නය අවදානම ඤඔවුන්ගේ ඉපැයීම් වලින් ගත් නය වල පොලී ගෙවීම් පියවා ගැනීමට නොහැකි සමාගම් වල නය බර% අර්බුද මට්ටම් ඉක්මවා ඩොලර් ට්‍රිලියන 19 දක්වා ඉහල යා හැකිය, එය ප්‍රධාන ආර්ථිකයන්හි සමස්ත ආයතනික නයවලින් සියයට 40 කට ආසන්න ප්‍රමානයකි”

ඉතා අඩු පොලී අනුපාතයන් ආයෝජකයින්, “ඉලක්කගත ප්‍රතිලාභ උත්පාදනය කිරීම සඳහා අවදානම් සහ වඩාත් ද්‍රවශීල නොවන වත්කම්” සොයා යාමට පොලඹවන බව වාර්තාව සඳහන් කරයි. එහි ප්‍රතිඵලය වනුයේ “විධිවත්ව වැදගත් මූල්‍ය අංශ ඇති ආර්ථිකයන්ගේ බැංකු නොවන මූල්‍ය ආයතන්හි ඇති අවදානම දැන් සියයට 80 ක් දක්වා ඉහල නංවා තිබීමයි.” එය “ගෝලීය මූල්‍ය අර්බුදයේ උච්චතම අවස්ථාවෙහි” තත්වයට සමාන වේ.

ලොව පුරා කම්කරු පන්තියට ඇති තීරනාත්මක ප්‍රශ්න නම්: ධනවාදී බිඳවැටීමේ මෙම නව අවධියේ ඇඟවුම් මොනවාද සහ එයට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?

පසුගිය දශකය තුල දේශපාලන ආර්ථිකය විමසා බැලීමෙන් පිලිතුරු සොයාගත හැකිය.

2008 න් පසු මහ බැංකුවල ප්‍රතිපත්ති හිස් අවකාශයෙන් ධනය නිර්මානය කරන බවක් පෙනෙන්නට තිබෙන නමුත් අවසාන විග්‍රහයේ දී සියලු‍ මූල්‍ය වත්කම් ධනේශ්වර නිෂ්පාදන ක්‍රියාවලිය තුල ලොව පුරා කම්කරු පන්තියේ ශ්‍රමයෙන් ලබාගත් අතිරික්ත වටිනාකමට හිමිකම් කීමකි.

2008-9 බැංකු හා මූල්‍ය ආයතන මුදා ගැනීම සහ ඉන් පසුව ඇති වූ මූල්‍ය වත්කම් විශාල වශයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ඇරඹුන ප්‍රමානාත්මක සහන සැලසීමේ ක්‍රියාවලීන් පන්ති සබඳතා ප්‍රතිව්‍යුහගත කිරීම සමග බැඳී ඇත්තේ මේ නිසා ය.

එක්සත් ජනපදයේ, ඔබාමා පාලනාධිකාරය විසින් ප්‍රධාන මූල්‍ය ප්‍රතිලාභියෙකු වූ යූඒඩබ්ලිව් නිලධරයේ උපරිම සහාය ඇතිව 2009 දී මෝටර් රථ සමාගම් වන ජීඑම් සහ ක්‍රිස්ලර් මුදා ගැනීම හතර අතට වැටුප් හා කොන්දේසි වලට එරෙහි ප්‍රහාරයක ආරම්භය විය.

බ්‍රිතාන්‍යයේ, ලේබර් රජය විසින් ආරම්භ කරන ලද සහ ටෝරිවරුන් යටතේ දිගටම කරගෙන යන නෂ්ට වැඩපිලිවෙලේ ප්‍රතිඵලය වී ඇත්තේ වසර 200 කට දිව යන තරමේ වැටුප් හා සමාජ තත්වයන්ට එරෙහි විශාලතම ප්‍රහාරයකි. සෑම රටකම කම්කරු පන්තිය අත්විඳින්නේ එකතැන පවතින සහ කඩා වැටෙන සැබෑ වැටුප් හා සමාජ තත්වයන් විනාශ වී යාමය.

ඒ අතරම, සමාජ අසමානතාවය ඓතිහාසිකව පෙර නොවූ විරූ මට්ටමකට ඉහල ගොස් තිබේ. එවැනි කොන්දේසි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පවත්වාගෙන යාමත් සමග ගැලපීමක් නැත. ඒ අනුව, පසුගිය දශකය තුල ධනය සමාජයේ ඉහල කොටස් වෙත විශාල වශයෙන් මාරු වීම, අන්තවාදී සහ ෆැසිස්ට් බලවේගයන්ගේ රාජ්‍යයේ ඉහලම මට්ටම්වල ප්‍රවර්ධනය වීම සහ වඩ වඩාත් ඒකාධිපති පාලන ක්‍රමවල වර්ධනය සහ ප්‍රවර්ධනය දැකිය හැකිවූ අතර ට්‍රම්ප් ජනාධිපතිත්වය ඉන් එක් ප්‍රකාශනයක් පමනි.

අද වන විට වෙලඳ සහ මිලිටරි ගැටුම් ගැඹුරු වීම තුලින් සනිටුහන් කරන ඔවුන්ගේ සමස්ත ආර්ථික පර්යායේ ගැඹුරු බිඳවැටීමක් මධ්‍යයේ, සහ එය සමනය කිරීම සඳහා වන කිසිදු වැඩපිලිවෙලක් නොමැති වීම මධ්‍යයේ, පාලක පන්ති පන්ති අරගලයේ නැගී එන වඩදියකට මුහුන දී සිටී.

ඔවුන් සතුව ඇත්තේ එක් ප්‍රතිපත්තියක් පමනි. ඒ පසුගිය දශකය තුල ඔවුන් විසින් සිදු කරන ලද සියලු‍ ප්‍රහාරයන් නව ඉහල තලයකට නැංවීම ය.

නැවත වරක්, එක්සත් ජනපද මෝටර් රථ කර්මාන්තය මෙම ප්‍රහාරයේ කේන්ද්‍රය ව පවතී. වෝල් වීදිය වෙනුවෙන් ක්‍රියා කරන ජෙනරල් මෝටර්ස් හි කේන්ද්‍රීය මෙහෙයුම වන්නේ ඇමසන් සහ ඊනියා “නොබැඳි රැකියා” (ගිග්) ආර්ථිකයේ සමාගම් විසින් සකස් කරන ලද ක්‍රමවේදයන් අනුව යමින් වඩාත් තීව්‍ර ලෙස සූරාකෑමේ නව මට්ටම් ස්ථාපිත කිරීමයි.

එහෙත් දශක ගනනාවකට පසු වෘත්තීය සමිතිය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ විසින් මර්දනය කිරීමෙන් පසුව, ජාත්‍යන්තර කම්කරු පන්තිය උත්සාහ කරන්නේ එය හිර කර ඇති යකඩ සැට්ටයෙන් මිදීමට සහ තමන්ගේ ස්වාධීන අවශ්‍යතා තහවුරු කර ගැනීමට ය.

මෙම ව්‍යාපාරයේ වර්ධනය සියල්ලට ම වඩා රඳා පවතින්නේ කම්කරුවන් තමන් මුහුන දෙන දෙය අන්ඩ දමන ප්‍රතිසංස්කරන මගින් විසඳිය හැකි ගැටලු‍ මාලාවක් නොව සමස්ත සමාජ ආර්ථික පර්යායක දිරාපත්වීම හා අර්බුදය බව පිලිගැනීම මත සහ ඉදිරි මාවත සමාජවාදී පදනම් මත සමාජය ප්‍රතිනිර්මානය කිරීමේ වැඩපිලිවෙල මත දේශපාලන බලය සඳහා සටන් කිරීම බව වටහා ගැනීම තුලය.

නික් බීම්ස්

Share this article: