කප්පාදු පිලිවෙත් වලට එරෙහි සිසුන්ගේ විරෝධතාවයට ආන්ඩුවෙන් රුදුරු ප්‍රහාරයක්

සකුන ජයවර්ධන විසිනි, 2019 ඔක්තෝබර් 26

මහපොල-ශිෂ්‍යාධාර ප්‍රමාදයකින් තොරව ලබාදීම ඇතුලු‍ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩල‍යේ (අවිශිබම) නායකත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා කොලඹ දී පැවැත්වූ උද්ඝෝනයේදී එයට සහභාගි වූ සිසුන් 53 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනි. පොලීසිය ලෝටස් වටරවුම ආසන්නයේදී සිසුන්ට දෙවතාවක් කඳුලු‍ සහ ජල ගෑස් ප්‍රහාර එල්ල කලේය. ප්‍රහාර හමුවේ සිසුන් පසුබසිද්දී පොලීසිය ඩී. ආර්. විජේවර්ධන මාවත දක්වා ඔවුන් ලු‍හු බඳිමින් රුදුරු ලෙස පහර දුනි.

මරදානේ සිට ජනාධිපති කාර්යාලය දක්වා පාගමනින් පැමිනි සිසුන් ලෝටස් වට රවුම ආසන්නයේදී මාර්ග බාධක යොදා වලක්වනු ලැබුනි. උද්ඝෝෂනයෙන් මැතිවරන නීති උල්ලංඝනය කෙරෙන නිසා එය නතර කරන ලෙස එහි සිටි පොලිස් නිලධාරියෙක් සිසුන්ට පැවසීය. සිසුන්ට ජල හා කඳුලු‍ ගෑස් එල්ල කෙරුනේ ඉන් පසුවයි. ප්‍රහාර වලින් සිසුන් දස දෙනෙකු තුවාල ලබා ඇත.

කොටුව පොලීසිය මගින් සිසුන් 53 දෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ මැතිවරන පනතට අනුව නීති-විරෝධී වූ පෙලපාලියක නිරත වීම, ප්‍රධාන මාර්ගය අවහිර කිරීම සහ නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම යන චෝදනා මතයි. විරෝධතාවන්හි යෙදෙන මහජනතාව මර්දනය කිරීම සඳහා යොදා ගැනෙන මෙම ප්‍ර‍ජාතන්ත්‍ර‍-විරෝධී චෝදනාවන්ට ඇත්තේ කුප්‍රකට ඉතිහාසයකි. අත් අඩංගුවට ගත් ශිෂ්‍යයින් නිදහස් කරන ලෙස ඉල්ලා කොලඹ විවෘත විශ්ව විද්‍යාලය, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඇතුලු‍ විශ්ව විද්‍යාල රැසක සිසුහු සිකුරාදා දිනයේ විරෝධතා වල නිරත වූහ.

අත් අඩංගුවට ගත් සිසුන් 53 දෙනාගෙන් 52 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත කොලඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරනයෙන් නිදහස් කෙරුනි. අනෙක් සිසුවා, එනම් කැලනිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති, පෙර අධිකරන නියෝගයක් කඩකිරීම සම්බන්ධයෙන් නොවැම්බර් 8 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරනය නියෝග කලේය.

කෙසේ වුවත් ආන්ඩුව විසින් ශිෂ්‍යයින් ගේ විරෝධතාවලට එරෙහිව දිගින් දිගටම ප්‍රහාර එල්ල කරද්දීත් සිසුන් නැවත නැවතත් උද්ඝෝෂන වලට පැමිනීමෙන් ප්‍රකාශයට පත් වන්නේ අනුප්‍රාප්තික ආන්ඩු විසින් නිදහස් අධ්‍යාපනයට එල්ල කරන ප්‍රහාරයන් පරාජය කිරීම සඳහා ඔවුන්ට ඇති අධිෂ්ඨානයයි.

“‍සියයට 80 නීතියට මුවාවී සිදු කරන මහපොල ශිෂ්‍යාධාර කප්පාදුව නවතනු!”‍, “ජීවන වියදමට සරිලන ලෙස මහපොල ශිෂ්‍යාධාර වැඩි කරනු!”‍, “මාස ගනන් ප්‍රමාද කල මහපොල ශිෂ්‍යාධාර වාරික ඉහල දමනු!”‍ ආදී ඉල්ලීම් පුවරු ප්‍රදර්ශනය කරමින් ශිෂ්‍යයෝ විරෝධතාවයේ නිරත වූහ. අවිශිබම විසින් මෙම උද්ඝෝෂනය මහපොල ඇතුලු‍ ඉල්ලීම් කිහිපයකට සීමා කලද, ශිෂ්‍යයන් අරගලයට ඇදී එන්නේ ධනපති ආන්ඩු විසින්, පුද්ගලීකරනය සහ කප්පාදු හරහා අධ්‍යාපන අයිතියට එල්ල කෙරෙන සමස්ත ප්‍ර‍හාරයට එරෙහිවයි.

ආචාර්යවරුන්ගේ හිඟයකට මෙන්ම, දේශන ශාලා, විද්‍යාගාර සහ නේවාසිකාගාරවල දැඩි හිඟයකට ශිෂ්‍යයෝ මුහුන දෙති. එමෙන්ම ඔවුන්ට අධ්‍යාපන කටයුතු නිසි ලෙස කිරීම පසෙක තබා දෛනික වියදම් පියවා ගැනීමට අර්ධ-කාලීන රැකියාවන්හි නිරත වීමට සිදුව ඇත. ශිෂ්‍යයින්ට මාසිකව හිමිවන මහපොල ශිෂ්‍යාධාරය රුපියල් පන්දහසකට ආසන්න මුදලකි. එය ඉහල යන ජීවන වියදම හමුවේ කිසිසේත්ම සෑහෙන්නේ නැත.

සිසුන්ට අර්ධ කාලීන රැකියා සිදු කිරීමට බලකෙරී ඈති තත්වය තුල දේශන සඳහා වන සියයට 80 ප්‍රතිශතය සපුරාලීම ඉතාමත් දුෂ්කර කර්තව්‍යයකි. ආන්ඩුව මෙම සියයට 80 සලකා බැලීම ගෙනැවිත් ඇත්තේ මහපොල ශිෂ්‍යාධාරය කප්පාදු කිරීම සඳහාය.

විරෝධතාවයට ආන්ඩුව එල්ල කල ප්‍රහාරය ඇඟවුම් කරන්නේ කප්පාදු සහ පුද්ගලීකරන පිලිවෙත් වලට විරුද්ධව කම්කරු-පීඩිත මහජනතාව තුලින් පැන නගින කවර හෝ විරෝධතාවයක් රුදුරු පොලිස් මිලිටරි ප්‍රහාරයන් මගින් මැඩීමට පාලක පන්තියේ ඇති සූදානමයි.

විරෝධතාවයට සති තුනකට පමන ඉහතදී වාර්තා වූයේ, ඉදිරි මාස තුන තුල රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ආයතන තුල වියදම් සියයට දහයකින් කපා හරින ලෙස නියෝග කරමින් භාන්ඩාගාර ලේකම් ආර්.එච්.එස් සමරතුංග විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි. ජුනි මාසයේදී රාජ්‍ය ආයතන වල දිගු කාලීන ප්‍රාග්ධන වියදම් වලින් සියයට 15ක් කපා හැරිනි. ඒ අනුව මාස හතරක් ඇතුලත රාජ්‍ය වියදම් දෙවතාවක් කප්පාදු කර ඇත. එමෙන්ම සැප්තැම්බර් මාසයේදී කැබිනට් මන්ඩලය රජයේ සේවකයන්ගේ වැටුප් ඉල්ලීම් සඳහා මුදල් වියදම් නොකරන බවට තීන්දු කලේය.

සිසුන්ට එල්ල කල රුදුරු ප්‍රහාරය මගින් යලිත් ඔප්පු කරනු ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත ආන්ඩුව ගෙනයන කප්පාදු සහ පුද්ගලීකරන පිලිවෙත් අඩියක් හෝ ආපස්සට ගැනීමට ඔවුන් සූදානම් නොමැති බවයි.

මෙය හුදෙක් ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය මධ්‍යයේ ලෝකය පුරාම ධනපති ආන්ඩු වල පිලිවෙත වී ඇත්තේ තම අර්බුදයේ සමස්ත බර කම්කරු පීඩිත මහජනතාව මත පැටවීමයි. එනම් කප්පාදු සහ පුද්ගලීකරන පිලිවෙත් වහා ක්‍රියාවට දැමීමයි. ලංකාවේ ආන්ඩුව මෙන්ම ලෝකය පුරාම පාලක පන්තීන් මෙම පිලිවෙත්වලට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන් සහ පීඩිතයින්ගේ අරගල රුදුරු ආකාරයෙන් මැඩීම එල්ල කරගත් පොලිස් මිලිටරි රාජ්‍යයන් දෙසට වේගයෙන් ගමන් කරමින් සිටිති. මීට මෑතම උදාහරනය චිලිය සහ ලෙබනනය තුල කප්පාදු වලට එරෙහි කම්කරු පන්තියේ නැගිටීම් වලට පාලක පන්තියේ ප්‍රතිචාරයයි. චිලියෙහි හදිසි තත්වය සහ ඇඳිරි නීතිය පනවා ඇති අතර විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රහාර වලින් දහ අටදෙනෙක් මියගොස් පන්දහසකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත. ලෙබනනයේ ද තත්වය මේ හා සමානය. ලංකාව තුල අරගල පැන නගින්නේ මෙම ජාත්‍යන්තර අරගල රැල්ලේ කොටසක් ලෙසයි.

කම්කරුවන් සහ සිසුන්ගේ අරගල පැන නගින්නාවූ මෙම ජාත්‍යන්තර සන්දර්භය, එනම් ධනපති ක්‍ර‍මයේ පද්ධතිමය බිඳවැටීම වසන් කරන අවිශිබම, සිසුන්ට කියා සිටින්නේ මෙම ප්‍රහාර ගලා ගෙන එන්නේ එක් එක් ධනපති පාලකයාගේ ඔලු‍වේ පවතින සිතුවිලි වලින් බවයි. ඔවුන් ගේ බංකොලොත් ඉදිරි දර්ශනය වනුයේ ආන්ඩුවලට බලපෑම් දැමීම මගින් ඉල්ලීම් දිනාගැනීමයි.

විවෘත විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු වන උදාර සඳරුවන් ඇප ලබා නිදහස් වීමෙන් පසු අවිශිබමයේ ෆේස්බුක් පිටුව වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ “පාරෙ අරගල කරලා ජයග්‍රහනය කරන එක ජනතාවගෙ විදිහ”‍ බවයි. “ජනාධිපතිට, අගමැතිට, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව”‍ ඇතුලු වගකිවයුත්තන්ට ලිපි යැවූ බවත් ප්‍රතිඵලයක් නොමැති වූ නිසා විරෝධතාවය සංවිධානය කල බවත් එහිදී ඔහු පැවසීය.

අවිශිබමය සහ එයට නායකත්වය දෙන ව්‍යාජ-වාම පක්ෂය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය උත්කර්ෂයට නංවන ඊනියා “පාරේ අරගල”‍ වල සැබෑ ස්වරූපය මෙයයි. ධනපති ක්‍රමයට සහ ධනපති ආන්ඩුවට එරෙහි, කම්කරු පන්තික නායකත්වයෙන් යුත් දේශපාලන අරගලයකින් තොරව මෙවන් ඊනියා බලපෑම් දැමීමේ “පාරේ අරගල”‍ පාර කපන්නේ සිසුන් ධනපති ආන්ඩුවේ මර්දන හස්තයට හසු කිරීමටයි. සිසුන් මෙම අරගල වලින් පසුගිය කාලය පුරා අත්දැක ඇත්තේ ජයග්‍රහනයන් නොව ආන්ඩුවේ රුදුරු ප්‍රහාරයන්ට නිරතුරුවම ලක්වීමයි.

සිසුන්ට ධනපති ආන්ඩුවෙන් එල්ල කරන ප්‍රහාර හුදෙක් අධිෂ්ථානයෙන් හෝ අවිශිබමය උත්කර්ෂයට නංවන “පාරේ අරගල”‍ මගින් පරාජය කල නොහැක. මැතිවරනය තුල ධනපති අපේක්ෂකයින්ගේ “ජාතික ආරක්ෂාව”‍, “රට විනයගත කිරීම”‍ ආදී කතා මගින් ප්‍රකාශයට පත් වන්නේ, බලයට පත් වන කවර ආන්ඩුවකට වුවද ක්‍රියාවට නැංවීමට බලකෙරී පවතින කප්පාදු සහ පුද්ගලීකරන පිලිවෙත් වලට එරෙහිව අරගලයට ඇදෙන කම්කරු-පීඩිත මහජනතාවන් රුදුරුම ආකාරයෙන් මැඩීම එල්ල කරගත් පොලිස් මිලිටරි රාජ්‍යයක් දෙසට ගමන් කිරීමට ඔවුන්ගේ ඇති සූදානම යි.

මෙම ධනපති ප්‍රහාරය නවතාලිය හැකි එකම ඉදිරි දර්ශනය ලාභ ගරන ධනපති ක්‍රමය පෙරලා දැමීමේ ශක්‍යතාව සහිත ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයයි. එය සිදු කල හැක්කේ විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තිය පිටුපස සිසුන්, තරුනයන් සහ පීඩිත ගොවීන් පෙල ගැසී කම්කරු ගොවි ආන්ඩුවකට සටන් වැදීමෙන් පමනි. සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සටන් වදින්නේ මෙම ක්‍රියාමාර්ගයටයි.

Share this article: