වර්ජනයේ සිටින දුම්රිය සේවකයන් දොට්ට දමන බවට ආන්ඩුව තර්ජනය කරයි

දිනේෂ් හේමාල් සහ ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 ඔක්තෝබර් 03

වර්ජනයේ යෙදී සිටින දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරුන් දොට්ට දමන බවට ආන්ඩුව තර්ජනය කර තිබේ. අද දින සේවයට වාර්තා නොකරන සියලු‍ දෙනා සේවය අතහැරගියා සේ සලකා කටයුතු කරන බවත් ඒ සම්බන්ධ ලිපි දැනටමත් ලියාපදිංචි තැපෑලෙන් ඔවුන් වෙත යවා ඇති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරි ඊයේ මාධ්‍යයට ප්‍රකාශ කලේ ය. දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමති අශෝක් අබේසිංහ සඳහන් කර ඇත.

සාකච්චාවල දී වෘත්තීය සමිති වර්ජනය නතර කරන බව කීවත් පසුව ඊට වෙනස් දෙයක් කියන බව සඳහන් කල ඇමති අබේසිංහ ”‍මෙයින් පෙන්නුම් කෙරෙන්නේ වර්ජනය මුලු‍මනින්ම දේශපාලන ව්‍යාපෘතියක්”‍ බවයයි චෝදනා කලේය. වර්ජනය දුම්රිය සේවය අතාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමා පියවර ගෙන තිබෙන බව ද ඒ සඳහා ගැසට් නිවේදනය සූදානම් කර තිබෙන බවද ඇමතිවරයා තර්ජනාත්මකව පවසා ඇත.

ඒ අතර දුම්රිය ඇතුලු‍ රාජ්‍ය අංශයේ දැන් පවතින වර්ජන වලට එරෙහිව හමුදාව යෙදෙවීමට තමන් සූදානම් බව හමුදාපති සවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරතිබේ. කැඳවුම් කලොත් “මහජන ආරක්ෂාව සහතික කිරීමට සහ රාජ්‍ය සේවාවන් තුල නීතිය පවත්වාගෙන යාම” සඳහා ඉල්ලා සිටින “ඕනෑම” දෙයක් කිරීමට හමුදා නිලධාරීන් සූදානමින් සිටින බව ඔහු අඟහරුවාදා මාධ්‍යවලට ප්‍රකාශ කලේ ය.

ආන්ඩුව, දුම්රිය බලධාරීන් සහ හමුදාවේ මෙම ප්‍රකාශයන් හා තර්ජනයන් දුම්රිය සේවකයන් මත රුදුරු කඩාපැනීමකට කෙරෙන සූදානමක් පිලිබඳව පැහැදිලි සංඥාවකි. එය වර්ජනයේ යෙදී සිටින දුම්රිය සේවකයන්ට මෙන් ම, සමස්ත කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තලා දැමීම පිනිස ආන්ඩුව සූදානම් වන බවට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමකි.

ඒ සමගම මෙම රාජ්‍ය මර්දනයට පලිප්පු දමමින් හා වර්ජනයෙන් මහජනයා අපහසුවට පත්වීම ගැන කිඹුල් කඳුලු‍ හෙලමින් දුම්රිය කම්කරුවන්ට එරෙහිව මහජනයා උසිගැන්වීමේ නින්දිත ව්‍යයාමක ධනපති ජනමාධ්‍ය නිරතව සිටිති. ඔක්තෝබර් 03 වෙනිදා දිවයින කතුවැකිය දුම්රිය “‍මාපියාව”‍ පරාජය කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා ඇත.

එය මෙසේ ලියයි. “‍අතිකාල දිමනා, වැටුප් වර්ධක ලබා ගනිමින් දුම්රිය මඟීන්ට හා රජයට බලහත්කාරකම් පෙන්වමින් ක්‍රියාත්මක දුම්රිය ‘මාෆියාව’ රටකට වැදගත් නොවන අතර, එය තරයේ ප්‍රතික්ෂේප කර පරාජය කල යුතු තත්වයක් බවට ද යෝජනා කරමු. මන්ද, මෙසේ වැඩි වැටුප්, වැටුප් විෂමතා වෙනස් කරන ලෙස ඉල්ලා දිගින් දිගටම සිදුකරන වර්ජන හේතුවෙන් දුම්රිය වලපල්ලටම යන අතර මඟී ජනතාවගේ ඉවසීමේ සීමාව ද පනින නිසාය”.

එහෙත් මෙම තර්ජනයන්ට එරෙහිව අරගලයේ යෙදී සිටින දුම්රිය සේවකයන් සහ ඔවුන්ගේ රැකියා ආරක්ෂා කිරීම පිනිස කම්කරු පන්තියේ අවශේෂ කොටස් තබා සෙසු ශ්‍රේනි වලට අයත් දුම්රිය සේවකයන් බලමුලු‍ ගැන්වීම දුම්රිය සමිති විසින් ප්‍රතික්ෂේප කර තිබේ. වර්ජකයන් නිවෙස් වලට කොටුකර තබමින් කිසිදු පන්ති ක්‍රියාවක් සංවිධානය කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත. ඒ වනුවට සමිති නිලධරය ගනන් බලමින් සිටින්නේ වර්ජනය අවසන් කිරීමට අවස්ථාවක් ලැබෙනතුරු බව ඔවුන්ගේ ප්‍රකාශවලින් හෙලිවේ.

සේවයෙන් පහ කරන බවට නිකුත් කර ඇති ලිපි තමන්ට තවමත් ලැබී නැති බව ප්‍රකාශ කරමින් දුම්රිය කම්කරුවන් රැකියාවලින් දොට්ට දැමීමේ තර්ජනය සමිති නායකයින් විසින් සැහැල්ලු‍වෙන් ඉවත දමා ඇත. එමෙන්ම, ඊයේ පැවති මාධ්‍ය හමුවක දී අත්‍යාවශ්‍ය සේවා නියෝග ක්‍රියාවට දැම්මොත් කුමක් කරන්නේ දැයි මාධ්‍ය වේදීන් කල විමසීමකට පිලිතුරු දෙමින් මීට පෙරත් ආන්ඩුව එවන් පියවර ගෙන ඇත කී සමිති නායිකයින් මෙවරත් එසේ කලොත් “එවිට එය බලා ගන්නා බවට”‍ කයිවාරු ගැසුවේ ය.

”‍කොතෙක් දුරට අපේ ඉල්ලීම් ලැබෙයි ද කියල අපට සැකයක් තියෙනවා. තවදුර සාකච්චා පිලිබඳව බලධාරීන් මෙතෙක් දැනුම් දී නැහැ. සැප්තැම්බර් 25 වෙනිදා ආරම්භ කල වර්ජනය දිගට ම අපි ගෙනියනවා” යයි දුම්රිය මෙහෙයුම්කරුවන්ගේ සංගමයේ සභාපති ඬේලි නිව්ස් පත්‍රයට පවසා ඇත.

වැටුප් විෂමතා ඇතුලු‍ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සැප්තැම්බර් 25 මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, අධීක්ෂන නිලධාරීන් හා ගමන් පාලකවරුන් ඇතුලු‍‍ 2000කට අධික දුම්රිය සේවකයන් ගෙනයන වර්ජනය සතියක් ඉක්මවා ඇත. යාන්ත්‍රික පරීක්ෂකවරුන්, ප්‍රවාහන පරීක්ෂකවරුන් සහ විශ්‍රාමිකයන් යොදවාගෙන දුම්රිය ධාවනය කරවීමට සහ තර්ජනයන් මගින් වර්ජනය කඩාකප්පල් කිරීමට ආන්ඩුව සහ දුම්රිය බලධාරීන් ගත් උත්සාහ ය අසාර්ථක වී ඇත. දිනකට සාමාන්‍යයෙන් ධාවනය කෙරෙන 400 ක් පමන වන දුම්රිය සංඛ්‍යාව 10-12 පමන සීමා වී තිබේ.

‍දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම මගින් සෙසු දෙපාර්තමේන්තු සමග අන්තර් සම්බන්ධතාවය අහෝසි වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ වැටුප් විෂමතාවය විසඳුවොත් එය අනෙකුත් දෙපාර්තමේන්තු වලට බලපාන්නේ නෑ”‍ යයි දුම්රිය වෘතිකයන්ගේ වෘත්තීය සමිති සන්ධානය කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

සංවෘත සේවාවක් බවට පරිවර්තනය කිරීමේ කොන්දේසිය යටතේ ආන්ඩුව අරගලයට පිවිස සිටින දුම්රිය සේවකයන් සඳහා නව වැටුප් වැඩිවීමක් යෝජනා කර ඇත. ඒ අනුව ටීඑල් 1 නමින් දුම්රිය අධීක්ෂන කලමනාකාර සේවය සඳහා නව වැටුප් තලයක් හදුන්වා දෙමින් එහි ආරම්භක මාසික මුලික වැටුප රුපියල් 36,095 ලෙස සහ දුම්රිය රියදුරු සහායකයන්ගේ ආරම්භක වැටුප එම් ටී 1 තලයෙහි පිහිටුවමින් රුපියල් 34,415 කර තිබේ. වර්ජනයේ නිරත දුම්රිය සේවකයන් ආන්ඩුවේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.

ආන්ඩුව සහ බලධාරීන් විසින් තම ඉල්ලීම් ඉටු නොකිරීම සම්බන්ධයෙන් දුම්රිය සේවකයන් අතර පවතින කෝපය සහ නොසන්සුන්කම නිසා වෘත්තීය සමිති වලට වර්ජනය කැඳවීමට බල කෙරී ඇතත් ආන්ඩුවේ තර්ජනයන්ට අභියෝග කිරීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් ඔවුන්ට නැත. හුදෙක්‘ අඛන්ඩ‘ වර්ජනයක් කැඳවුම් කර ඇති නමුත් ඊට කම්කරු පන්තියේ අවශේෂ කොටස්වල කෙසේවෙතත් සෙසු දුම්රිය කම්කරුවන්ගේ සහයෝගය කැඳවීම පවා ඔව්හු ප්‍රතික්ෂේප කරති. ඒ වෙනුවට නිර්මානය කර ඇත්තේ වැටුප් විෂමතා අහෝසිකර ගැනීමේ නමින් ශ්‍රේනිවාදී භේද ගැඹුරු කිරීමය.

පොදුවේ කම්කරුවන් සඳහා ඉහල යන ජීවන වියදමට සරිලන වැටුපක් සඳහා අරගලය කම්කරු පන්තිය ආන්ඩුවේ හා ධනපති පන්තියේ ප්‍රහාරවලට එරෙහි ව පොදු අරගලයක් සංවිධානය කිරීමේ මුලික හා අත්‍යවශ්‍ය පියවරකි.

දුම්රිය වර්ජනය ධනපති පාලක පන්තීන්ගේ ප්‍රහාරයන්ට එරෙහිව වර්ධනය වන ගෝලීය අරගලයක හා වැඩි වැටුප් හා යහපත් කොන්දේසි පිලිබඳ ඉල්ලීම් මත සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට අභියෝග කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ කම්රුවන්ගේ පැතිරී යන සටන් රැල්ලක කොටසකි. විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක අරගලයට සති තුනක් ගත වී ඇති අතර 200,000 ක් ගුරුවරු පසුගිය සතියේ දෙදින වර්ජනයක නිරත විය. (කියවන්න: වැඩෙන පන්ති අරගල රැල්ල ශ්‍රී ලංකාවේ ආන්ඩුවට අභියෝග කරයි)

ආන්ඩුවේ තර්ජනයන් හා පන්ති යුද්ධය සඳහා හමුදාවේ ලකලෑස්වීම පිටුපසින් ඇත්තේ ධනපති පාලක පන්තියේ ගැඹුරුවන ආර්ථික හා දේශපාලන අර්බුදයයි. එම තතුතුල ආන්ඩුවේ සැබෑ න්‍යාය පත්‍රය වන්නේ කම්කරු පන්තියේ ඉල්ලීම් දීම නොව,ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පනවා ඇති ආර්ථික කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම හා පන්ති අරගලය තලා දැමීම ය. ඒ සඳහා වඩවඩා පොලිස් රාජ්‍ය විධික්‍රම වෙතට හැරීමය.

ආන්ඩුව සුදානම් කරන ප්‍රහාර හා අරගලය පාවාදීමකින් අවසන් කිරීමට සමිති සමිති දරන තැත නිසා දුම්රිය අරගලය තීරනාත්මක අවස්ථාවකට පැමින ඇත.

වෘත්තීය සමිති කියාපාන ආකාරයට ආන්ඩුවට මත පීඩනය තීව්‍ර කිරීම මගින් දුම්රිය කම්කරුවන්ට හෝ කම්කරු පන්තියේ අවශේෂ කොටස් වලට තම අයිතීන් දිනාගත නොහැකිය. ඔවුන්ට තම අයිතීන් දිනා ගත හැක්කේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව වැඩපොල හා කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට ඔවුන් සටන් වැදීමෙන් පමනි.

Share this article: