ජනාධිපතිගේ “පොරොන්දු” පිලිගනිමින් ශ්‍රී ලංකාවේ දුම්රිය වෘත්තීය සමිති වර්ජනය නතර කරයි

ප්‍රදීප් රාමනායක හා කේ. රත්නායක විසිනි, 2019 ඔක්තෝබර් 09

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යලි වැඩ අරඹන ලෙස දුන් උපදෙස් පිලිගනිමින්, ශ්‍රී ලංකාවේ දුම්රිය වෘත්තීය සමිති, දින 12 ක් ඇදුනු අඛන්ඩ වැඩ වර්ජනය ඔක්තෝබර් 7 දා නතර කලේ ය. තම ඉල්ලීම්වලට ආමන්ත්‍රනය කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව සමිති නිලධරයෝ මාධ්‍යවලට කී හ. කෙසේ නමුත්, දුම්රිය හා අනෙකුත් වෘත්තීය සමිතිවලට ඔවුනගේ පාවාදීම් සඳහා ඉඩ ලබාදෙමින්, අතීතයේ දී සිරිසේන එවන් හිස් පොරොන්දු ලබා දී ඇත.

“‘පොදු මහජනයාගේ දෛනික ජීවිතයට බාධා නො කරමින් තම ක්‍රියාකාරකම් සිදුකිරීම :වෘත්තීය සමිතිවල’ කාර්යභාරය” බව සිරිසේන පෙන්වා දුන්නේ යයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත්කල නිවේදනයක සඳහන් විය.

දුම්රිය රියදුරු සංගමය, ස්ථානාධිපති සංගමය, අධීක්ෂන කලමනාකරුවන්ගේ හා නියාමකයන්ගේ සංගමයට අයත් 2,000කට අධික සේවකයෝ සැප්තැම්බර් 26 දා වර්ජනය ඇරඹූ හ. වැටුප් විෂමතා නිවැරදි කිරීමට අමතර ව, දෝෂ සහිත දුම්රිය එන්ජින් හා දුම්රිය මාර්ග අලු‍ත් වැඩියා කිරීම සහ එන්ජින් හා මාර්ගවල දෝෂ හේතුවෙන් සිදු වන අනතුරුවලින් ඇති වන හානිවලට රියදුරන්ගෙන් අය කරගැනීම අවසන් කිරීම ඔවුන්ගේ ඉල්ලීම්වලට අයත් විය.

ඔක්තෝබර් 7 දා ජනාධිපතිගේ ඍජු මැදිහත්වීම සිදු වූයේ, මහජන ආරක්ෂක පනත යටතේ ඔක්තෝබර 3 දා මධ්‍යම රාත්‍රීයේ ඔහු පැනවූ අත්‍යවශ්‍ය සේවා නියෝගය දුම්රිය වර්ජකයන් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ය. මෙම විෂඝෝර නීතිවලට අනුවල සේවයට වාර්තා නො කරන සියලු‍ සේවකයන් සේවය අතහැර ගියා සේ සලකනු ලැබේ. තව ද මෙම නීති, ක්‍රියාවන් හෝ වචන මගින් සේවකයන්ට බාධා කිරීම වලකයි. මෙම නීති උල්ලංඝනය කිරීම සිර දඬුවම් හා දඩ නියම කල හැකි වරදකි.

ඔක්තෝබර් 4 දා අත්‍යවශ්‍ය සේවා අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මෙම නීති අකුරට ම ක්‍රියාත්මක කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීට උපදෙස් දුන්නේ ය.

මුදල් ඇමති මංගල සමරවීර එදින ම ප්‍රකාශ කලේ දුම්රිය වෘත්තීය සමිතිවල ඉල්ලීම් අසාධාරන බව හා ඉටුකල නො හැකි බව යි. වර්ජනය “‘දේශපාලනික පෙලඹවීමක්” යයි ඔහු චෝදනා කලේ දඩයමක් සඳහා වටපිටාව සූදානම් කිරීමට යි. වර්ජකයන් රැවටීමට ලබන ජනවාරියේ පටන් සියලු‍ රාජ්‍ය සේවාවන්ට නව වැටුප් පරිමානයන් ප්‍රදානය කරන බව සමරවීර කීවේ ය.

කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින්, රාජ්‍ය ඇමති අබේසිංහ මාධ්‍ය වෙත සෙනසුරාදා කීවේ තත්ත්වයට මැදිහත් වීමට හමුදාව සූදානම් බව යි. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා තමන් සමග සාකච්ඡා කල බවත්, එහිදී හමුදාවෙන් කොටසකට එන්ජින් රියදුරන් ලෙස දුම්රියවලට ගොඩවීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටි බවත් ඔහු කීවේ ය. තමන් එයට අවසර දුන් බව අබේසිංහ කීවේ ය.

ඔක්තෝබර් 1දා අනුරාධපුරයේ පැවති හමුදා උත්සවයක දී මාධ්‍ය වෙත කතා කල යුද හමුදාපතිවරයා, වර්ජනයන්ට එරෙහි ව මැදිහත් වීමට ඔහුගේ ඇති සූදානම හෙලිදරවු කලේ ය. අදදෙරන රූපවාහිනියට අනුව “මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් අවශ්‍ය නම් රාජ්‍ය සේවාවන්ව, නිසි පාලනය පවත්වාගෙන යාමටත් ඕනෑම දෙයක් කිරීමට” හමුදාව සූදානම් බව ඔහු කීවේ ය. “දැනට පැවැත්වෙන වැඩ වර්ජන හේතුවෙන් බාධාවට ලක්ව ඇති රාජ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීමට කෙටි කාලීන පදනම මත විවිධ අංශවලට මැදිහත් වීමත්” අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමත් හමුදාවට කල හැකි බව ඔහු වැඩිදුරටත් කීවේ ය.

සාමාන්‍යයෙන් බලයේ සිටින ආන්ඩුව වර්ජන බිඳීම සඳහා අත්‍යවශ්‍ය සේවා නියෝග පනවා එම සේවා පවත්වාගෙන යාමට මිලිටරියට ආරාධනා කරයි. එහෙත් මෙහි දී යුද හමුදාපතිවරයා ම ඉදිරියට පැමින වර්ජනවලට මැදිහත් වීමට “ඉල්ලා සිටීම” පෙන්නුම් කරන්නේ, වර්ධනය වන පන්ති අරගලයන් කෙරෙහි පාලක ප්‍රභූවට පවතින භීතිය හා ආඥාදායක ක්‍රම යොදාගනිමින් ඒවා තලා දැමීමට පවතින සූදානමයි.

සැප්තැම්බර් වර්ජන රැල්ලට 10 දා ඇරඹුනු විශ්ව විද්‍යාල අනධ්‍යයන කම්කරුවන්ගේ අඛන්ඩ වර්ජනය අයත් ය, දුම්රිය වර්ජනය සමග සමපාත වෙමින්, සැප්තැම්බර් 26 හා 27 දෙදින 200,000කට අධික ගුරුවරු වැඩ වැරූ හ.

ගුරු වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීම පවා ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කල විට, ඔක්තෝබර් 7දා සිට දින පහක වර්ජනයක් කැඳවීමට සමිතිවලට බලකෙරුනි. “වැටුප් විෂමතා නිවැරදි කරන” ලෙස ඉල්ලමින් ආන්ඩුවේ පරිපාලන නිලධාරීහු වැඩ වැරූ හ.

මෙම වර්ධනයන් විසින් කම්පනයට පත් ජනාධිපති සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ, සැප්තැම්බර් 27දා විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තත්ත්වය “අධ්‍යයනය” කොට වර්ජකයන්ගේ ඉල්ලීම් ආමන්ත්‍රනය කරන වාර්තාවක් සූදානම් කරන ලෙස අනුකමිටුවක් පත් කල හ, ආන්ඩුවේ උත්සාහය වූයේ වර්ජකයන්ගේ ඉල්ලීම් ආමන්ත්‍රනය කිරීම නො ව, වෘත්තීය සමිතිවල උදවුවෙන් තත්ත්වය පාලනය කිරීම යි.

සැප්තැම්බර් 30 දා කැබිනට් අනුකමිටුව සමග සාකච්ඡාවක් පැවැත්වූ ගුරු වෘත්තීය සමිති, “වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා කමිටුවේ අනුමැතිය ලැබුනු” බව ප්‍රකාශ කරමින් මේ සතියේ වෘත්තීය සමිති ක්‍රියාව අත්හැර දමන බව නිවේදනය කලේ ය.

මෙම “විසඳුම” පිලිබඳ කිසිදු තොරතුරක් හෙලිදරවු කර නැත. හුදෙක් සමිති ක්‍රියාව නැවැත්වීම සාධාරනීකරනය කිරීමට ලංකා ගුරු සංගමයේ නායක ජෝසෆ් ස්ටැලින්: “කමිටුවේ පොරොන්දුව, විසඳුමක් සඳහා දුන් පොරොන්දුවක් යයි අපි හිතනවා” යි කීවේ යග ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරන ලංකා ගුරු සේවා සංගම් නායක මහින්ද ජයසිංහ ව්‍යාජ ලෙස කීවේ “සමිති ක්‍රියාව නැවැත්වූයේ තාවකාලික ව පමනක්” බව යි. අධ්‍යාපනයට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් වෙන් කිරීම හා 2016න් පසු සේවයට බඳවාගත් ගුරුවරුන්ට විශ්‍රාම වැටුප් අයිතිය ප්‍රදානය කිරීම ඇතුලු‍ අනෙකුත් වැදගත් ඉල්ලීම් මෙම සමිති විසින් මුලු‍මනින් ම නො තකා හැර තිබේ.

කැබිනට්ටුව විසින් අනුමත කල සංශෝධිත වැටුප් පරිමානයන් තමන්ට දැනුම් දීම ප්‍රමාද කරන බවට විශ්ව විද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති පෙරමුනේ නායකයෙක් ඔක්තෝබර් 7දා වැටුප් කොමිසමට දෝෂාරෝපනය කලේ ය. එය හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙස ඔහු ගුගුලේ යග මසක් දිග්ගැසී ඇති කම්කරුවන්ගේ අධිෂ්ටානවත් අරගලය නැවැත්වීමට සමිති පෙරමුන මංමුලා සහගත උත්සාහයක නිරත වෙයි. විශ්ව විද්‍යාල සේවකයන් සඳහා තීරනාත්මක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇතුලු‍ අනෙකුත් ඉල්ලීම් අනධ්‍යයන සමිති පෙරමුන විසින් ද අත්හැර දමා තිබේ.

ජීවන කොන්දේසි මත එල්ල වන ප්‍රහාරවලට එරෙහි ව කම්කරු පන්තිය අතර වර්ධනය වන සමාජ විරෝධය කෙරෙහි ආන්ඩුව හා පාලක පන්තිය පමනක් නො ව වෘත්තීය සමිති ද භීතියට පත්ව ඇත. ඉල්ලීම් ගැන සලකා බලන බවට ආන්ඩුව පොරොන්දු වී ඇතැයි වෘත්තීය සමිති කරන කියාපෑම්වලට විපරීත වල කම්කරුවන් මුහුන දෙනු ඇත්තේ ඔවුන්ගේ සමාජ අයිතීන් ද ජීවන හා සේවා කොන්දේසි ද මත තියුනුවන ප්‍රහාරයන්ට ය.

වියදම් සියයට 10 කින් කප්පාදු කරන ලෙස පසු ගිය සතියේ භාන්ඩාගාර ලේකම් ආර්ග එච්. එස්. සමරවීර අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට නියෝග කර ඇත. මෙම නියෝගය පැමිනෙන්නේ, මෙම ආයතනවලට සියයට 15 කින් වියදම් කපන ලෙස භාන්ඩාගාරය කලින් කල නියෝගයට අමතර ව යග නව චක්‍රලේඛයට අනුව දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ “සියලු‍ අත්‍යවශ්‍ය නො වන වියදම් කැපිය” යුතු යග මුදල් හිඟයෙන් පෙලෙමින් විශාල නය බරකට හා ආර්ථික වර්ධනයේ පසුබෑමකට මුහුන දෙන ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි ක්‍රියා කරයි.

නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයෙන් පසු කවර ආන්ඩුවක් බලයට පත් වුවත්, ජාත්‍යන්තර ආර්ථික පසුබැසීම හා භූ-දේශපාලනික ආතතීන් මගින් නිපන් ගැඹුරු අර්බුදයේ බර පැටවීම සඳහා ප්‍රධාන ප්‍රහාරයන් දියත් කරනු ඇත.

“ශක්තිමත් පාලනයක්” හා “ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම” සඳහා කැඳවුම් කරමින් සෑම පක්ෂයක් ම ඊලඟ ආන්ඩුව තුල ප්‍රධාන වෙනසකට සූදානම් වේ. ඔවුන් සියල්ලෝ මෙම පියවරයන්ට ආවරනයක් ලෙස අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාර යොදාගනිති. ඒ අතර ම, යුද හමුදාපතිවරයා විසින් ඉඟි කර ඇති පරිදි මිලිටරිය තමාගේ ම මැදිහත් වීම සඳහා උත්සාහ කරයි.

වැඩ වර්ජන රැල්ල පෙන්වා දුන්නේ, කම්කරු පන්තියට තම අයිතීන් සඳහා අව්‍යාජ අරගලයක් දියත් කල හැක්කේ, ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීමේ ඒකාබද්ධ අරගලයක් දේශපාලනික ව සූදානම් කිරීමෙන් පමනක් බව යි. වෘත්තීය සමිති එවන් අරගලයකට හතුරු ය. “වැටුප් විෂමතා නිවැරදි කිරීම” පිලිබඳ ඔවුන්ගේ සූත්‍රගත කිරීම යථාර්ථයේ දී එක් කම්කරු කොටසක් තවෙකකට එරෙහි ව පිහිටුවා ඇත.

කම්කරුවෝ පොදු ගැටලු‍වකට මුහුන දෙති: එනම්, ඉහල යන ජීවන වියදමට සරිලන වැටුපක් දිනා ගැනීම යි. අනෙකුත් ඉල්ලීම් අතරට ශිෂ්ට සම්පන්නව ජීවත්වියහැකි විශ්‍රාම වැටුපක් සහ සෞඛ්‍යය හා ගුනාත්මක අධ්‍යාපනයක් ඇතුලු‍ සමාජ අයිතීන් අයත් වේ.

මෙම ඉල්ලීම් දිනාගැනීමට කම්කරුවන් වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව හා වෘත්තීය සමිති නිලධරයන්ට ඉඩ නො දෙන තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු වැඩපොලවල හා කම්කරු පන්තික නිවහන් ප්‍රදේශවල ගොඩනැගිය යුතු ය. එවන් ක්‍රියාකාරී කමිටුවලට දුගීන්ගේ හා තරුනයන්ගේ සහයෝගය රැලි කරගත හැකි අතර, සියල්ලටත් වඩා ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතුව සඳහා කැඳවුම් කල හැකි ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියෙන් ඉල්ලා සිටින්නේ සමාජවාදී පිලිවෙත් හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වදින ලෙස යි. ධනවාදය යටතේ ඔවුන්ට ඔවුන්ගේ අයිතීන් දිනාගැනීම හෝ ඔවුන්ගේ කොන්දේසි වැඩිදියුනු කරගැනීම කල නො හැක. මෙම අරගලය වර්ධනය කිරීමට සසප ජනාධිපතිවරනයට මැදිහත් වේ.

Share this article: