රොහින්ග්යා සරනාගතයින් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට බංග්ලාදේශය අනතුරු අඟවයි

Bangladesh warns UN officials over Rohingya refugees

රොහාන්ත ද සිල්වා විසිනි, 2019 සැප්තැම්බර් 26

තමන් රොහින්ග්යා සරනාගතයන්ට සලකන දරදඩු ආකාරයට සහාය දිය නොහැකි නම් තම රටින් පිටවිය යුතු බව බංග්ලාදේශයේ විදේශ අමාත්‍ය ඒ. කේ. අබ්දුල් මෝමන් එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට අනතුරු අඟවා තිබේ. ජර්මනියේ මහජන නිවේදකයා වන ඩොයිෂ් වෙලේ සමඟ මේ මස මුල දී කල සම්මුඛ සාකච්ඡාවකදී මොමන් මේ බව ප්‍රකාශ කලේය.

පසුගිය දෙවසර පුරා ම, අවාමි ලීගය නායකත්වය දරන ආන්ඩුව උත්සාහ දැරුවේ බුරුමයෙන් (මියන්මාරයෙන්) පලා ගිය රෝහින්ග්යා සරනාගතයින් සුලි සුලං බහුල, රොන්මඩ දූපතක් වන භාසාන් චාර්හි නැවත පදිංචි කිරීමටයි. පහත්බිම් දිවයිනේ සෞඛ්‍ය සම්පන්න නොවන සහ අනාරක්ෂිත බව පෙන්වා දෙමින් බංග්ලාදේශයේ සිටින එක්සත් ජාතීන්ගේ නිලධාරීන් ආන්ඩුවේ එම සැලසුම් වලට එකඟ නොවූහ.

බුරුමයේ රාඛයින් ප්‍රාන්ත මායිම අසල, බංග්ලාදේශයේ මායිම තුල පිහිටි කොක්ස් බසාර් හි තාවකාලික අබලන් කඳවුරුවල දහස් ගනනක් සරනාගතයින් මේ වන විට රැඳී සිටිති. බුරුම හමුදාවේ ප්‍රචන්ඩ ප්‍රහාරවලින් බේරීම සඳහා මෙම සරනාගතයින් බංග්ලාදේශයට පලා ආහ. කඳවුරුවල පිරිසිදු ජලය, සනීපාරක්ෂක පහසුකම්, නිසි සෞඛ්‍ය සේවා සහ ආහාර ඇත්තේ අවම මට්ටම්වලින්ය.

මීට වසර 20 කටත් අඩු කාලයකට පෙර බෙංගාල බොක්කෙහි මඩ සහිත ජලයෙන් මතු වී මේග්නා ගඟේ මුව දොර පිහිටා ඇති භාසන් චාර් වෙත නැවත පදිංචියට යාමට රෝහින්ග්යා සරනාගතයින් එකඟ නැත.

ප්‍රධාන භූමියේ සිට කිලෝමීටර් 30 ක දුරකින් හා බෝට්ටුවකින් පමනක් පිවිසිය හැකි භාසන් චාර් තමනට සිරගෙදරක් වනු ඇතැයි යනුවෙන් සාධාරන බියක් සරනාගතයන් තුල පවතී. එහි දී, රොහින්ග්යානුවන්ට ජීවත් වීමට සිදුවන්නේ වානේ බාධක සහිත කුඩා කවුලු ඇති, සුලං වාරනය කල මීටර් 2 X 2.5ක කුඩා කොන්ක්‍රීට් කාමරවලය.

මොමන්ට අනුව, බංග්ලාදේශ රජය, සරනාගතයින් 100,000 ක් මුලදී භාසන් චාර් වෙත මාරු කිරීමටත්, තවත් 400,000 ක් “වසරක් හෝ දෙකක් තුල” යැවීමටත් සැලසුම් කර ඇත. බංග්ලාදේශය මුලින් සැලසුම් කලේ 2018 වසර අවසන් වන විට සරනාගතයින් 700,000 ක් පමන දිවයිනට යැවීමට ය. “ඔවුන් ඤභාසන් චාර් වෙත යාමට% අකමැති නම්, අපි ඔවුන්ට බල කරන්නෙමු” යි මොමන් ඩොයිෂ් වෙලේට ප්‍රකාශ කලේ ය.

බංගලාදේශ ආන්ඩුවේ කුරිරු සැලැස්ම පිලිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල ප්‍රකාශයක් කර නොමැති නමුත්, එහි නිලධාරීන් නිල නොවන ලෙස තම කනස්සල්ල ප්‍රකාශ කල බව ඩොයිෂ් වෙලේ වාර්තා කරන ලදි. “වසර ගනනාවක් පුරා සරනාගතයින් දිවයිනේ කොටු කර තැබිය හැකි අතර, ඔවුන් එහා මෙහා යාමේ නිදහස දැඩි ලෙස සීමා වනු ඇතැයි” ඔවුහු අනතුරු ඇඟවූහ. “කොක්ස් බසාර් සහ භාසන් චාර් අතර මෙහෙයුම් බෙදීම අතිශය දුෂ්කර” බව ද ඔවුන් කියා සිටියහ. දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දැනටමත් මේ ගැන විරෝධය දක්වා තිබේ.

2017 අගෝස්තු මාසයේදී බුරුම හමුදාව ප්‍රචන්ඩ ප්‍රහාර තීව්ර කිරීමට ප්‍රතිචාර වශයෙන් රොහින්ග්යා වැසියන් සමූහ වශයෙන් පලායාමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට බංග්ලාදේශයේ සිටින සමස්ත සරනාගතයින් සංඛ්‍යාව දැන් මිලියනයකට වඩා වැඩිය. 2017 ට පෙර 400,000 කට ආසන්න පිරිසක් බුරුමයෙන් පලාගොස් සිටියහ. නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව, 905,000 කට අධික පිරිසක් අතිශයින් ජනාකීර්න සරනාගත කඳවුරුවල වාසය කරන අතර 231,000 කට වැඩි පිරිසක් වෙනත් තාවකාලික නවාතැන් වල සිටිති. සරනාගතයින්ගෙන් සියයට පනස් පහක් ලමුන් ය.

පීඩිත මුස්ලිම් සුලු ජන කන්ඩායමක් වන රෝහින්ග්යානුවන් බොහෝ දෙනෙක් බුරුමයේ වයඹ දිග රාඛයින් ප්‍රාන්තයේ පරම්පරා ගනනාවක් ජීවත් වූහ. 1982 දී බුරුම රජය විසින් ඔවුන්ගේ පුරවැසි අයිතිය උදුරා ගත් අතර වධහිංසා පැමිනවීම් හා ලිංගික අතවරයන්ට ලක් විය. බුරුම මිලිටරියේ “ජනවාර්ගික පිරිසිදු කිරීම” සහ “ජන සංහාර” මෙහෙයුම් වලදී ඔවුන්ගේ නිවාස හා ගම්වලට ගිනි තබනු ලැබුනි.

2017 දී සරනාගතයින් අවහිර කිරීම සඳහා සිය හමුදාව යොදා ගැනීමට බංග්ලාදේශ රජය මුලින් උත්සාහ කල නමුත් දරුනු බුරුම හමුදා ප්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තර විරෝධතා හමුවේ ඔවුන්ට රට තුලට ඇතුලු වීමට ඉඩ දෙන ලෙස බල කෙරුනි. බෙංගාල බොක්ක හරහා යාත්‍රා කිරීමෙන් බුරුමයෙන් පැන යාමට උත්සාහ කිරීම නිසා සිය ගනනක් සරනාගතයින්ට තම ජීවිත අහිමි විය.

රොහින්ග්යා වැසියන් නැවත ගැනීම සඳහා බුරුමයට ප්‍රමානවත් තරම් ජාත්‍යන්තර පීඩනයක් නොතිබීම ගැන බංග්ලාදේශ රජය කලකිරී සිටින බව මොමන් ඩොයිෂ් වෙලේට පැවසීය.

සරනාගතයින්ට බුරුමයට ආපසු යන ලෙස බලපෑම් කිරීම සඳහා ඩකා විවිධ උපක්‍රම භාවිතා කරයි.

සිය දහස් ගනනක රොහින්ග්යා සරනාගතයින්ගේ ජංගම සේවා සහ සිම් කාඞ්පත් තහනම් කරමින්, සැප්තැම්බර් 8 වන දින, රජයේ බලධාරීන් කියා සිටියේ ඔවුන් ඒවා නීති විරෝධී කටයුතුවලට යොදා ගන්නා බවයි. බංග්ලාදේශ ජාතිකයන්ට සිම් කාඞ්පත් මිලදී ගත හැක්කේ ජාතික හැඳුන්ම්පත ඉදිරිපත් කිරීම මඟිනි. කොක්ස් බසාර් සහ අනෙකුත් කඳවුරු වල දුරකථන සිග්නල් සහ ජංගම අන්තර්ජාල සේවා දැනටමත් අවහිර කර ඇති අතර ඬේටා සහ අන්තර්ජාල ප්‍රවේශය සෑම දිනකම සවස 5 සිට සහ උදෑසන 5 දක්වා නතර කර ඇත.

නීති විරෝධී ක්‍රියාවන්ට අනුබල දෙන බව පවසමින් බංග්ලාදේශ රජය විසින් රට තුල ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන 139 න් 41 ක්ම සරනාගතයින් අතර සහන කටයුතු කිරීම අත්හිටුවා තිබේ. ඇත්ත වශයෙන්ම කඳවුරුවල සහන සහ ආධාර වැඩ සියල්ලම පාහේ කරන්නේ මෙම රාජ්‍ය නොවන සංවිධානයි.

භාසන් චාර් නැවත ස්ථානගත කිරීමට විරුද්ධ ආධාර ආයතන, මෝමන් විසින් හෙලා දකින ලදි. ඔහු විකාර සහගත ලෙස ප්‍රකාශ කලේ මෙම කන්ඩායම් කොක්ස් බසාර් හි “තරු පහේ හෝටල්” නවාතැන් අතහැර යාමට අකමැති බවයි. රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහි සතුරුකම වර්ධනය කිරීමට උත්සාහ කරමින්, ඔහු සරනාගතයින්ගේ ප්‍රශ්නය “දේශපාලනීකරනය” කරන බවට ද එම සංවිධාන වලට චෝදනා කලේය.

රොහින්ග්යා වැසියන් කන්ඩායමක් නැවත බුරුමයට හරවා යැවීමට බංග්ලාදේශ රජය ගත් තවත් උත්සාහයක් අගෝස්තු 22 වන දින අසාර්ථක වීමෙන් පසුව, මොමන්ගේ ප්‍රකෝපකාරී ප්‍රහාර උත්සන්න විය. සරනාගත පවුල් 300 කට ආසන්න සංඛ්‍යාවක් හෝ 3,450 ක් පමන දෙනා නැවත බුරුමයට යැවීම සඳහා තෝරාගෙන ගත් නමුත් ඔවුන් නැවත යෑම ප්‍රතික්ෂේප කලහ. බංග්ලාදේශ රජයේ ලැයිස්තුවේ ඔවුන්ගේ නම් ඇති බව දැනගත් පසු, සමහර පවුල් සහ පුද්ගලයින් සැඟවී ගත් අතර සමහරුන් කඳවුරුවලින් පලා ගියහ. මිලිටරි මර්දනයේ දෙවන සංවත්සරය සිහිපත් කිරීම සඳහා අවම වශයෙන් සරනාගතයින් 100,000 ක් අගෝස්තු 25 වන දින පෙල ගැසුනි.

දැන් බංග්ලාදේශය වන නැගෙනහිර පකිස්ථානය, 1947 දී පාකිස්තානයේ කොටසක් ලෙස පිහිටුවීම දේශපාලන සාධාරනීකරනය කලේ මුස්ලිම්වරුන්ගේ “අයිතිවාසිකම් ආරක්ෂා කිරීම” සඳහා එය අත්‍යවශ්‍ය යැයි කීම මඟිනි. රෝහින්ග්යා මුස්ලිම් සරනාගතයින්ට බංග්ලාදේශ පාලක ප්‍රභූව විසින් අමානුෂික ලෙස සැලකීම, දෙවන ලෝක යුද්ධයෙන් පසු බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය සමඟ සහයෝගයෙන්, ජාතික ධනේශ්වරය විසින් ඉන්දියානු උප මහද්වීපය බෙදීමේදී නිර්මානය කරන ලද ජාතික රාජ්‍ය ක්‍රමයේ ප්‍රතිගාමී ස්වභාවය තවදුරටත් අවධාරනය කරයි.

දකුනු ආසියාවේ සියලුම රටවල් ලක්ෂ සංඛ්‍යාත සරනාගතයින්ට එක හා සමානව සලකනු ලැබේ. ඉන්දියානු ඊසානදිග ප්‍රාන්තයක් වන අසල්වැසි ඇසෑම් හි පදිංචිකරුවන් මිලියන දෙකකට ආසන්න ප්‍රමානයක් ජාතික පුරවැසි ලේඛනයෙන් බැහැර කර ඇති අතර ඉන්දීය අගමැති මෝදිගේ හින්දු-ස්වෝත්තමවාදී රජය විසින් ඔවුන් “විදේශිකයන්” ලෙස නම් කර ඇත. මොවුන්ගෙන් බොහෝ දෙනෙක් මුස්ලිම් ආගමිකයන් වන අතර ඔවුන් “නීතිවිරෝධී ආක්‍රමනිකයන්” යැයි චෝදනා කර කන්ඩායම් වශයෙන් කොටු කර ගැනීම, රඳවා තබා ගැනීම සහ නෙරපා හැරීම යන තර්ජනයන්ට මුහුන දී සිටිති.

Share this article: