ශ්‍රී ලංකාවේ සසප ජනාධිපති අපේක්ෂකයා යුද්ධයෙන් ව්‍යසනයට ලක්වූ උතුරේ රැස්වීම් අමතයි

Sri Lanka: SEP presidential candidate addresses meetings in war-ravaged north

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ඔක්තෝබර් 30

නොවැම්බර් 16දා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනයට සමාජවාදී සමානතා පක්ෂයෙන් (සසප) ඉදිරිපත් කර ඇති අපේක්ෂකයා වන පානි විජේසිරිවර්ධන යුද්ධයෙන් බරපතල විනාශයන්ට ලක්වූ උතුරු පලාතේ රැස්වීම් දෙකක් ආමන්ත්‍රනය කලේ ය. පලමු රැස්වීම ඔක්තෝබර් 18දා යාපනයේ වීරසිංහම් ශාලාවේ දී පවත්වන ලදී. තවත් රැස්වීමක් ඊට පසු දින කරෙයිනගර්හි ඌරි ග්‍රාමයේ ඇන්ඩර්සන් ශාලාවේ දී පැවැත්වුනි. සැලකිය යුතු සහභාගිත්වයක් පැවති රැස්වීම් දෙකට කම්කරුවන්, ධීවරයන්, තරුනයන් සහ ගෘහනීහු සම්බන්ධ වූහ.

රැස්වීම්වලට පෙර සසප හා එහි තරුන සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සාමාජිකයෝ යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්, යාපනය ශික්ෂන රෝහලේ හා ප්‍රධාන තැපැල් කාර්යාලයේ කම්කරුවන් සහ ගුරුනගර් හා කරෙයිනගර්හි ප්‍රදේශවාසීන් අතර බලගතු උද්ඝෝෂනයක නිරත වූ හ.

පානි විජේසිරිවර්ධන මාධ්‍ය හමුව අමතමින්

රැස්වීම්වලට පෙර දින පවත්වන ලද සසප අපේක්ෂකයා සහභාගි වූ මාධ්‍ය හමුව යාපනයේ පලවන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් පලල් ලෙස ආවරනය කරනු ලැබිනි.

එම මාධ්‍ය අතරට ශක්ති, සමුගම්, කැපිටල්, වසන්තම්, දෙරන, ඩෑන්, යූටීවී, හිරු, සූරියන් එෆ්එම්, ආදවන්, දීපම්, ස්වර්නවාහිනී වැනි රූපවාහිනී නාලිකා ද යාපනයේ පලවන උදයන් හා තිනක්කුරල් යන පුවත්පත් ද අයත් විය.

ඊට පසු දින උදයන් පුවත්පත විජේසිරිවර්ධන උපුටා දක්වමින් “ධනපති පක්ෂ පොලිස් රාජ්‍ය පාලනයක් ස්ථාපිත කිරීමට උත්සාහ දරයි” නමින් ප්‍රවෘත්තියක් පලකලේ ය.

ඔක්තෝබර් 19 සෙනසුරාදා තිනක්කුරල් පුවත්පත පිටු බාගයක් පමන යොදාගනිමින් විජේසිරිවර්ධන විසින් කල සැඳහුම් පලකලේ ය. එහි මාතෘකාව වූයේ “එල්ටීටීඊය යලි හිස එසවීම” පිලිබඳ ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරය උතුරේ ජනයා මත මිලිටරි පාලනය පැටවීම ඉලක්ක කරගනී” යන්න යි. එම පුවත්පත ම “මා පෙනී සිටින්නේ පීඩිත ජනයා වෙනුවෙනි” යන උද්ධෘතයෙන් යුතු ව විජේසිරිවර්ධන සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් ද ඔක්තෝබර් 20දා පලකලේ ය.

විවිධ දෙමල වෙබ් අඩවිවල කුඩා ප්‍රවෘත්ති වාර්තා පලකරන ලද අතර, ආදවන් හා තමිලන් 24 මාධ්‍ය හමුවේ වීඩියෝ කොටස් පලකලේ ය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි දශක තුනක යුද්ධයේ දී අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් කරන ලද විනාශය පිලිබඳ ව උද්ඝෝෂනවල දී හමු වූ සෑම පුද්ගලයෙක් ම පාහේ කෝපය පලකලේ ය. 2009 මැයි මාසයේ එල්ටීටීඊය පරාජය කරන ලද්දේ, යුද්ධයේ අවසන් මාස කිහිපයේ දී දසදහස් ගනනක් ඝාතයට ලක්කෙරුනු ම්ලේච්ඡ මිලිටරි ප්‍රහාර මධ්‍යයේ ය.

බහුතර ජනයා ඔවුන්ගේ ජීවන හා සමාජ කොන්දේසි ගොඩනගා ගැනීමේ අරගලයක යෙදී සිටිති. පලාත තුල “ප්‍රජාතන්ත්‍රවාදය” ස්ථාපිත කර ඇතැයි කොලඹ තන්ත්‍රයන් නරුම ලෙස ප්‍රකාශ කලත්, යථාර්ථයේ දී එය පවතින්නේ හමුදා භටයන් ලක්ෂ ගනනක් වාඩිලාගත් මිලිටරි පරිපාලනය යටතේ ය.

සසප උද්ඝෝෂකයන් ගුරුනගර් තරුනයින් සමග සාකච්චාවක

දෙමල ධනේශ්වර පක්ෂ සම්බන්ධයෙන් ද ජනයා කෝපය පලකල හ. “(මෛත්‍රීපාල) සිරිසේන ජනාධිපති වුවහොත් ඔහු දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ස්ථාපිත කරනු ඇතැයි ටීඑන්ඒ (දෙමල ජාතික සන්ධානය--දෙජාස) අපට පොරොන්දු වුනා. ඒත් කිසි දෙයක් වුනේ නැහැ” යි යාපනය නගරයේ ජීවත් වන ප්‍රදීපන් කීවේ ය. ඔහු සඳහන් කලේ, කොලඹ එක්සත් ජනපදයට හිතවත් ආන්ඩුවක් බලයට ගෙන ඒමට ටීඑන්ඒ බලගතු ලෙස උද්ඝෝෂනය කල 2015 ජනාධිපතිවරනය පිලිබඳ ව යි.

යුද සරනාගතයෙකු ලෙස ඔහුගේ අත්දැකීම් විස්තර කරමින් ප්‍රදීපන් මෙසේ පැවසීය: “ජීවිත බේරාගැනීමට වන්නියට පැන ගිය අපි විශාල දුෂ්කරතාවන්ට මුහුන පෑවා. අපේ ජීවිත විනාශ කල කොලඹ පාලකයන් ඒවා යලි ගොඩනැගීමේ වගකීම ගන්නේ නැහැ. අපි ඒගොල්ලන්ට ඡන්දෙ දෙන්නෙ මොකට ද?” ප්‍රදීපන්ගේ නිවස ගින්නෙන් විනාශ වූ නිසා ඔහු තම පවුල ද සමග තාවකාලික පැලක ජීවත් වෙයි.

පොලිස්-මිලිටරි මර්දනය හා විරැකියාව වැනි තරුනයන් මුහුන දෙන දැවෙන ප්‍රශ්න පිලිබඳ ව ඔහු කතා කලේ ය: “දුෂ්කර ජීවන කොන්දේසි නිසා බොහෝ තරුන ජනයා ඔවුන්ගේ මූලික අධ්‍ය්‍යාපනය අවසන් කරන්නේ නැහැ. ජීවත් වීමට යමක් සොයාගැනීමට අධ්‍යාපනයෙන් ඉවත් වීමට ඔවුන්ට සිදු වී තිබෙනවා.”

යාපනයේ පදිංචි විශාම ලත් වෛද්‍ය නිලධාරියෙකු වන ස්වාමිනාදන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය යලි මතකයට නංවමින් ලංකා සම සමාජ පක්ෂය (ලසසප) උතුරේ හා දකුනේ කම්කරුවන්ගේ එකමුතුව සඳහා සටන් වැදුනු ආකාරය සිහිපත් කලේ ය. ඒ කාලයේ ඔවුන් සමාජවාදය සඳහා සටන් වැදුනත් පසුව එය අත්හැර දැමූ බව ඔහු කීවේ ය.

1964 දී ධනේශ්වර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වෙමින් ලසසපය කල පාවාදීම යුද්ධයට තුඩු දුන් දෙමල-විරෝධී වර්ගෝත්තමවාදයට මගපෑදුවේ කෙසේදැයි උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.

සසජාතශි සාමාජිකයන් සමග කතා කල විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වන වී. රේනුකන් මෙසේ කීවේ ය: “පාසලේ දී හා විශ්ව විද්‍යාලයේ දී මම සමාජවාදය ගැන තරමක් අසා තිබෙනවා, එය සමානතාව වෙනුවෙන් කැඳවුම් කරන බව මම දන්නවා. ඔබ සමග සාකච්ඡා කිරීමෙන් රුසියානු විප්ලවය හා සමාජවාදය ගැන එක්තරා විද්‍යාත්මක අදහසක් මට ඇති වී තිබෙනවා. මම හරි කැමතියි ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවන්න. මම ජීවත් වෙන්නෙ කරෙයිනගර් වල, උතුරේ බොහෝ ජනයා හරි ම දුප්පත්.”

ඌරිහි ජීවත් වන 57 හැවිරිදි සී. කෝනේස්වරී මෙසේ කීවා ය: “මැතිවරනවලදි බලයට එන්න සෑම දේශපාලකයෙකුට ම අපේ ඡන්ද ගරාගැනීම අවශ්‍ය යි. ඒගොල්ලො අපේ ජීවිත ගැන තකන්නෙ නැහැ.” කොලඹ ආන්ඩු හා ප්‍රාදේශීය බලධාරීන් විසින් මහජනයාගේ මූලික අවශ්‍යතා පවා නො තකා හැර ඇතැයි ඇය විස්තර කලා ය. ඔවුන්ගේ ගමට එන පාර විශාල වලවල් සෑදී අබලන් වී ඇත. බස් ධාවනය වන්නේ පාසල් වෙලාවට පමනි. අනෙක් වෙලාවල්වල ප්‍රධාන පාරට කිලෝමීටර 3ක් පයින් ඇවිද යා යුතු ය. පානීය ජලය විශාල ගැටලු‍වකි. ප්‍රාදේශීය සභාවෙන් දිනකට ලබාදෙන්නේ ලීටර 2ක් පමනි. ඊට වැඩිපුර අවශ්‍ය නම් ඒ සඳහා මුදල් ගෙවිය යුතු ය.

තිරුඥාන සම්බන්ධන්

වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමේ මුලසුන දැරුවේ සසප මධ්‍යම කාරක සභික තිරුඥාන සම්බන්ධන් විසිනි. සසප අපේක්ෂකයා හඳුන්වා දෙමින් සම්බන්ධන් කීවේ සසප මැතිවරනයට තරඟ වදින්නේ ලෝකය ජාත්‍යන්තර පන්ති අරගලයේ පුනර්ජීවනයක් අත් දකින කොන්දේසි මධ්‍යයේ බව යි. “ශ්‍රී ලංකාවේ පාලක පන්තිය එවන් අවස්ථාවල දී කම්කරු පන්තිය බෙදීම සඳහා වර්ගවාදය ඇවිලවීමට යොමු වී තිබෙනවා” යි සම්බන්ධන් පැවසී ය.

එය දෙමල කම්කරුවන් ඔවුන්ගේ සිංහල හා මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙන් භේද කිරීමට පමනක් හේතු වන බැවින් දෙමල ජාතිකවාදය ප්‍රතික්ෂේප කල යුතු යයි ඔහු පැවසීය. වාර්ගික සුලු‍තරයන්, ධීවරයන් හා ගොවීන් ඇතුලු‍ සමාජයේ අනෙකුත් පීඩිත ස්ථර ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා සටන් කිරීමට කම්කරු පන්තිය වෙත හැරිය යුතු බව ද ඔහු කීවේ ය.

කම්කරු පන්තිය හා අනෙකුත් පීඩිත ජනයා මුහුන දෙන සකල සමාජ-ආර්ථික ගැටලු‍වල මූලය වන්නේ ලෝක ධනවාදයේ පද්ධතිමය බිඳවැටීම බව විජේසිරිවර්ධන කීවේ ය. “මෙම කරුන වසන් කරන අනෙකුත් සියලු‍ අපේක්ෂකයෝ, එයට හේතුව ආන්ඩුවල වැරදි පිලිවෙත් මිස යල් පිනූ ධනපති ක්‍රමයේ ප්‍රකාශයක් නො වන බවට තහවුරු කිරීමට උත්සාහ කරනවා.”

සෑම දෙයක් ම පොරොන්දු වන ජනතාවාදී දේශපාලනික කතාවලට ප්‍රතිවිරුද්ධ ලෙස, කවුරුන් මීලඟට බලයට ආවත් කප්පාදු පිලිවෙත් උත්සන්න කරනු ඇති බවටත් සමාජ විරෝධය තලා දැමීම සඳහා මිලිටරිය මත වාරු වනු ඇති බවටත් ඔහු අනතුරු ඇඟවී ය. ත්‍රස්තවාදයේ නව තර්ජනයක් පිලිබඳ භීතිය පතුරුවන උද්ඝෝෂනය මිලිටරි මර්දනය තීව්‍ර කිරීමේ උත්සාහයකි.

“කම්කරුවන්ට හා තරුනයන්ට සත්‍යය ප්‍රකාශ කරන්නේ අපේ පක්ෂය පමනි. ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව කම්කරුවන් මුහුන දෙන ඉමහත් අන්තරායන්ට - යුද්ධයට, කප්පාදුවට සහ ආඥාදායකත්වයේ හා ෆැසිස්ට්වාදයේ තර්ජනයට - ධනවාදයේ හා යල් පිනූ ජාතික රාජ්‍ය පද්ධතියේ රාමුව තුල විසඳුමක් නැත.”

ඔහු දෙමල ධනපති පක්ෂවල භූමිකාව විස්තර කලේ ය. බෙදුම්වාදී එල්ටීටීඊය හා අනෙකුත් පක්ෂ මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් වැදීමේ නො හැකියාව හා දේශපාලන බංකොලොත් භාවය පෙන්වා ඇත. බහුතරයක් දෙමල ජනයා ජීවත් වන උතුරේ හා නැගෙනහිර පරිපාලනයක් කපා වෙන් කරගැනීම සඳහා ඔවුහු එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට හා අනෙකුත් මහා බලයන්ට ආයාචනා කල හ.

“2015 දී ඔවුන් එක්සත් ජනපදයේ භූ-දේශපාලනික අවශ්‍යතාවන්ට සහයෝගය ප්‍රකාශ කරමින් එය විසින් මෙහෙයවූ තන්ත්‍ර-මාරුවට පිටුබලය දුන්නා.” මහජනයාගේ අයිතීන් තලා දැමීම නිසා අත්‍යන්තයෙන් ම මහජනයා අතර අපකීර්තියට පත් ටීඑන්ඒ හා අනෙකුත් පක්ෂ, ඔවුන්ගේ කොලඹ සහකරුවන් මෙන් ම දෙමල, සිංහල හා මුස්ලිම් කම්කරුවන් අතර වර්ධනය වන එකමුතුව කෙරෙහි බිය වන බව විජේසිරිවර්ධන කීවේ ය.

ඔහු මෙසේ ද කීවේ ය: “මෙම මැතිවරනයට අප තරඟ කිරීමේ අරමුන වන්නේ, ධනපති පන්තියේ සියලු‍ සෑම කන්ඩායමකින් ම ස්වාධීන ව, යුද්ධයට, කප්පාදුවට හා ආඥාදයකත්වයට එරෙහි ව කම්කරු පන්තිය සංවිධානය කිරීම යි. මේ පදනම මත දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් වෙනුවෙන් අපි සටන් කරනවා.”

ඌරි හි සසප රැස්වීම

කරෙයිනගර්හි ඌරි ගම්මානයේ පැවැත්වූ දෙවන රැස්වීමට පනහකට අධික පිරිසක් සහභාගි වූ හ. කරෙයිනගර් දිවයින පිහිටා ඇත්තේ යාපනයේ සිට කිලෝමීටර 20ක් පමන බටහිරට වන්නට ය.

කරෙයිනගර් දිවයිනේ මරුතපෙස්රාම්, වේරපිටි, තොප්පුකඩු, නීලන්කඩු හා ඌරි යන ගම්මානවල පවුල් 5,000ක් පමන ජීවත් වෙති. යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙනා අවතැන් වී ඇත. බොහෝ දෙනා ධීවර කර්මාන්තයෙන් හෝ ගොවිතැනින් යැපෙන දුගීන් ය. බොහෝ නිවාස අතු සෙවිලිකල පැල්පත් ය.

යාපන අර්ධද්වීපය පෙලෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ජල මූලාශ්‍ර සීමිත වීම ය. රැස්වීමට සහභාගි වූ පුද්ගලයෙක් මේ ප්‍රශ්නය හා දැවෙන විරැකියාව පිලිබඳ කාරනය එහිදී මතු කලේ ය. පසුගිය ජනාධිපතිවරනයේ දී ද තමන් සමාජවාදී අපේක්ෂකයා මුනගැසුනු බවත් සිය සමාජ ප්‍රශ්න තවත් ගැඹුරු වී ඇති බවත් ඔහු පැවසීය.

විජේසිරිවර්ධන මෙම ප්‍රශ්න විසඳීම සඳහා වන සමාජවාදී ක්‍රියාමාර්ගය පැහැදිලි කලේ ය. “බැංකු, වතු, කර්මාන්තශාලා හා අන්තර්-ජාතික සංගතවල පාලනය අතට ගත යුතු කම්කරුවන් ඒවා ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරාලීම පිනිස මහජන පාලනය යටතේ තැබිය යුතු යි. සමුච්ඡගත අතිවිශාල ධනය මහජන අවශ්‍යතා ඉටු කරන මහා පරිමාන ව්‍යාපෘතිවලට යොදවනු ලබන අතර, එම ව්‍යාපෘති රැකියා ජනනය කිරීම හා නල ජලය වැනි මහජන උපයෝගිතාවන් නිර්මානය කිරීම සහතික කරනු ඇති.”

“වැඩ සතිය පැය 30කට අඩුකිරීම වැඩිපුර රැකියා අවස්ථා නිර්මානය කරමින් ස්වයං-වර්ධනය සඳහා අවශ්‍යතා කාලය සපයනවා. ඉඩම් රහිත ගොවීන් අතර ඉඩම් යලි බෙදා දෙනවා. නය අහෝසි කරමින් සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දැමිය හැක්කේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට පමනයි. ප්‍රජාතන්ත්‍ර අයිතීන් දිනාගත හැක්කේ සමාජවාදය සඳහා වන මෙම අරගලයෙන්”, යැයි සඳහන් කරමින් ඔහු සිය කතාව සමාප්ත කලේය.

Share this article: