ශ්‍රී ලංකාවේ සසප කොලඹ දී ජනාධිපතිවරනයේ සමාරම්භක රැස්වීම පවත්වයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ඔක්තෝබර් 24

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ඉදිරි ජනාධිපතිවරනය තුල සිය දේශපාලන මැදිහත්වීමේ සමාරම්භක රැස්වීම ඔක්තෝබර් 15 වෙනි අඟහරුවාදා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත් වූයේය. නොවැම්බර් 16 දා පැවැත්වෙන ජානාධිපතිවරනය සඳහා සසප එහි දේශපාලන කමිටුවේ දීර්ඝකාලීන සමාජිකයෙකු සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) කොලඹ කර්තෘ මන්ඩල සමාජික පානි විජේසිරිවර්ධන ඉදිරිපත් කොට තරඟ වැද සිටී.

සසප/සසජාතශි සාමාජිකයෝ රැස්වීම සඳහා කොලඹ හා අවට කම්කරු හා දුගී ජනයා ජීවත්වන ප්‍රදේශවල උද්ඝෝෂනයේ නිරත වූහ. එම උද්ඝෝෂනය තුල දී "සසප ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනයට තරග වදී" යන හිසින් ලෝසවෙඅ පල කල නිවේදනයේ පිටපත් දහස් ගනනක් සිංහල හා දෙමල භාෂාවලින් කම්කරුවන්, දුගීන් සහ තරුනයන් අතර බෙදා හරින ලදී.

විලානි පීරිස්

කොලඹ රැස්වීමේ මූලාසනය හෙබ වූ සසප දේශපාලන මන්ඩලයේ විලානි පීරිස්, මෙම මැතිවරනයේ දී ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්නේ සසප පමනක් බවත් අනෙකුත් ව්‍යාජ-වාම පක්ෂ වන නව සම සමාජ පක්ෂය (නසසප), පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සහ එක්සත් සමාජවාදී පක්ෂය (එසප) පසුගාමී ජාතිකවාදී පිලිවෙත් පුම්බමින් සිටන බවත් පැහැදිලි කලා ය.

කවර ධනේශ්වර අපේක්ෂකයෙකු මැතිවරනයෙන් ජයග්‍රහනය කලත් වැඩකරන ජනතාව මුහුන දෙන තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇත. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනහි (ශ්‍රිලපොපෙ) ගෝඨාභය රාජපක්ෂ, පාලක එක්සත් ජාතික පෙරමුනේ (එජාපෙ) සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුනෙහි (ජවිපෙ) අනුර කුමාර දිසානායක එකසේ පෙනී සිටින්නේ මුලුමනින් ම ප්‍රතිගාමී ධනේශ්වර වැඩපිලිවෙලක් වෙනුවෙනි. ජවිපෙ සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිලිබඳව නිකුත් කරන ලද ලියවිල්ලකින් කරුනු ගෙන හැර දැක්වූ පීරිස් එය විසින් නායකත්වය දෙන ඕනෑම අනාගත ආන්ඩුවක් පෞද්ගලික රෝහල් පවත්වාගෙනයාමට කැපවී ඇතැයි පෙන්වා දුන්නා ය.

සසජාතශි නායකයෙකු වන ප්‍රදීප් රාමනායක, ධනවාදයේ වර්ධනය වන අර්බුදය යටතේ සිසුන් හා තරුනයින් මුහුන දෙන තත්ත්වය පිලිබඳව සාකච්ඡා කලේ ය. 2019 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ තරුන විරැකියාව සියයට 20 ක් තරම් ඉහල නැගී ඇති බව ඔහු පැවසීය. අනෙක් අතට, අනුප්‍රාප්තික ආන්ඩු විසින් අධ්‍යාපන වියදම් අඛන්ඩව කප්පාදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිසුන්ගේ අධ්‍යාපන කොන්දේසි පිරිහෙමින් පවතී. එක්සත් ජනපදය ඇතුලු දියුනු ධනේශ්වර රටවල ද තරුනයන් නිදහස් අධ්‍යාපනයට එරෙහි ප්‍රහාර නිසා මේ හා සමාන කොන්දේසිවලට මුහුන දී සිටී. පැහැදිලිවන්නේ කම්කරුවන්ට දුගීන්ට මෙන්ම තරුන ජනයාට අර්බුදයේ පවතින ධනපති ක්‍රමය තුල විසඳුම් නැති බව යයි රාමනායක සඳහන් කලේය.

පානි විජේසිරිවර්ධන

රැස්වීමේ ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කරමින් විජේසිරිවර්ධන, මැතිවරනය පවත්වන තත්වය තුල ධනේශ්වර පාලක ප්‍රභූවේ ආර්ථික හා දේශපාලන අර්බුදයේ ප්‍රධාන අංගයන් ගෙනහැර දැක්වීය: ලෝක ධනේශ්වර ක්‍රමයේ පද්ධතිගත බිඳවැටීම, අන්තර් අධිරාජ්‍යවාදී එදිරිවාදිකම් උත්සන්න වෙමින් ලෝක යුද්ධයක් කරා ගමන් කිරීම සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, ස්ටැලින්වාදීන්, පැබ්ලෝවාදී පක්ෂ සහ වෘත්තීය සමිති විසින් යටපත් කිරීමෙන් වසර 50 කට පසු ජාත්‍යන්තරව පන්ති අරගල රැල්ලක් පැනනැගීම එම අංගයි. එම ජාත්‍යන්තර වර්ධනය ලංකාව තුල ප්‍රකාශයට පත් වී ඇති ආකාරය පෙන්වා දෙමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අනධ්‍යයන, දුම්රිය හා අනෙකුත් කම්කරුවන් සහ ගුරුවරුන් විසින් මෑතකදී කරන ලද වැඩ වර්ජන පිලිබඳව ඔහු සඳහන් කලේ ය.

ගෝලීය අර්බුදයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනය මුහුන දී ඇති ආර්ථික අර්බුදය පිලිබඳව ඔහු මෙසේ විස්තර කලේ ය: “ආර්ථික වශයෙන් ගත් කල, 2021 දක්වා ශ්‍රී ලංකාවේ පාලක පන්තියට නය ආපසු ගෙවීම සඳහා ඩොලර් බිලියන 15 ක් අවශ්‍ය කෙරී තියෙනවා. ශ්‍රී ලංකාව නය ආපසු ගෙවීම පැහැර හැරීමේ අද්දර පවතින බව ජාත්‍යන්තර නය වර්ගීකරන ආයතනයක් වන මූඩී ආයතනය මෑත දී අනතුරු හැඟෙව්වා. පොලී අනුපාත අඛන්ඩව කප්පාදු කල ද ආර්ථිකය එකතැන පල්වෙයි. ඉදිරි වසර සඳහා ආර්ථික වර්ධනය සියයට 2.7 ක් පමනක් වනු ඇතැයි ජාමූඅ පුරෝකථනය කරයි”.

“2020 වන විට අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5 දක්වා අඩු කිරීමට ද ජාමූඅ නියෝග කර තිබෙනවා. ඊට සමගාමීව සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මෑත කාලීන චක්‍රලේඛ දෙකකින් වියදම් සියයට 25 කින් අඩු කරන ලෙස රජයේ දෙපාර්තමේන්තු හා ආයතනවලට නියෝග කෙරුවා”. මෙම කොන්දේසි යටතේ කම්කරුවන්ට සහ ගොවීන්ට විවිධ සහන ලබා දීම සම්බන්ධයෙන් ප්‍රතිවාදී අපේක්ෂකයින් විසින් දෙන පොරොන්දු සියල්ලම මුසාවන් යයි විජේසිරිවර්ධන සඳහන් කලේය

ගෝලීය භූ-දේශපාලනික එදිරිවාදිකම්, විශේෂයෙන් චීනයට එරෙහි එක්සත් ජනපද යුද මෙහෙයුම න්‍යෂ්ටික ගැටුමක් මගින් ලෝකය පුරා සමස්ත මිනිස් සංහතියටම අන්තරායන් නිර්මානය කරනු ඇතිබව සසප අපේක්ෂකයා පැහැදිලි කලේය. සසප 2015 ජනාධිපතිවරනයේදී අනතුරු ඇඟවූ පරිදි, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අනුග්‍රහයෙන් එහි කලාපීය සගයා වන ඉන්දියාවේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍ර මාරුවෙන් පසු, චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි මූලෝපායික මෙහෙයුම්වලට ලංකාව වඩ වඩාත් ඒකාබද්ධ කොට තිබේ.

කම්කරු පන්තියේ සමාජ තත්වයට එරෙහි ප්‍රහාරයන්ට හා යුද ප්‍රයත්නයන්ට එරෙහිව කම්කරු පන්තිය වෘත්තීය සමිතිවල යකඩ සැට්ටය බිඳ දමමින් අරගලවලට එලඹෙනු ඇතැයි විජේසිරිවර්ධන විස්තර කලේ ය. “පසුගිය වසරේදී ඉහල වැටුප් සඳහා වතු කම්කරුවන් යෙදීගත් අරගලයේදී අපි මෙම කාරනය අත්දුටුවා” යයි සසප අපේක්ෂකයා පැවසීය. සසපයේ දේශපාලන මඟ පෙන්වීම යටතේ හැටන් හි ඇබොට්ස්ලී වත්තේ කම්කරුවන් විසින් වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට මූලිකත්වය ගැනීමේ වැදගත්කම ඔහු සඳහන් කලේය.

“ප්‍රධාන අපේක්ෂකයින්” තිදෙනා වන ප්‍රේමදාස, ගෝටාභය රාජපක්ෂ සහ දිසානායක ඔවුන්ගේ ප්‍රධාන මැතිවරන තේමාව ලෙස “ජාතික ආරක්ෂාව” ගෙන තිබේ. “ගෝලීය ආර්ථික පසුබෑමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ උග්‍ර ආර්ථික අර්බුදය” ගෙනහැර දැක්වූ විජේසිරිවර්ධන “ ජාතික ආරක්ෂාවේ සටන් පාඨය ඔසවාගෙන ආරක්ෂක හමුදා තරකරමින් ඔවුන් සූදානම් වන්නේ කම්කරුවන්ගේ හා පීඩිත ජනතාවගේ වැඩෙන පන්ති අරගල හා විරෝධතා රැල්ල තලා දැමීමට” යයි ප්‍රකාශ කලේය.

දෙමල ජනයා දස දහස් ගනනක් ඝාතනය කල තවත් ලක්ෂ සංඛ්‍යාවක් අවතැන් වූ, අවසන් අදියරේදී වාර්ගික යුද්ධය නිර්දය ලෙස මෙහෙය වූ හමුදාපති සරත් ෆොන්සේකාට ආරක්ෂක අමාත්‍යාංශය පවරන බව ප්‍රේමදාස ප්‍රකාශ කර තිබේ. “ජාතික ආරක්ෂාව” මගින් ධනපති අපේක්ෂකයින් අදහස් කරන්නේ කම්කරු පන්තියෙන් එල්ලවන අභියෝගයට එරෙහිව ධනේශ්වර පාලනයේ ආරක්ෂාවයි. ”

විජේසිරිවර්ධන සිය කතාව අවසන් කරමින් මෙසේ සඳහන් කලේය: “මේ සියලු ගැටලු පැන නගින්නේ ශ්‍රී ලංකාව වැනි රටවල ජාතික ධනේශ්වරයේ ඓන්ද්‍රීය නොහැකියාවෙන්. ධනපති පක්ෂවල කිසිදු අපේක්ෂකක් කෙරෙහි බින්දු මාත්‍රයක් වත් විශ්වාසයක් නොතැබිය යුතුයි. වර්තමාන මැතිවරන ව්‍යාපාරයේදී, අපි දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් වෙනුවෙන් පෙනී සිටිනවා”. සසප ක්‍රියාමාර්ගය අධ්‍යයනය කිරීමට, සසපයට ඡන්දය දීමට හා සසපට බැඳෙන ලෙස විජේසිරිවර්ධන රැස්වීමට සවන් දුන් අයට ආරාධනා කලේ ය.

අවසාන කථාව පැවැත්වුයේ සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් විසිනි.

විජේ ඩයස්

“මෙම මැතිවරනය, මෙරට පාලක පන්තියට මෙන්ම ඔවුන්ගේ අධිරාජ්‍යවාදී ස්වාමිවරුන්ට ද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති අවස්ථාවක් නොවේ. කම්කරු පන්තිය, ගම්බද දුගීන් සහ තරුනයින් මෙම ජනාධිපතිවරනය තවත් එක් ඡන්ද විමසීමක් ලෙස සලකන්නේ නම්, පැනවීමට යන රුදුරු කප්පාදු පියවරයන් සහ ඊලඟ ජනාධිපති බවට පත්වන ඕනෑම අයෙකු විසින් විනාශ කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඉදිරියේ ඔවුන් සම්පූර්නයෙන්ම දේශපාලනිකව නිරායුධ වනු ඇති ” ඩයස් අනතුරු ඇඟවුයේය.

දැනටමත් සිරිසේන - වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රතිගාමී න්‍යාය පත්‍රය විවිධ අංශවල කම්කරුවන්ගේ වැඩ වර්ජන රැල්ලක් සහ සුලු ගොවීන් හා සිසුන්ගේ විරෝධතා මගින් අභියෝගයට ලක්ව තිබේ.

ජාත්‍යන්තර බුද්ධි අංශ විසින් කල්තියා ලබා දුන් පැහැදිලි අනතුරු ඇඟවීම් තිබියදී වුවද ඉස්ලාමීය මූලධර්මවාදීන්ගේ බෝම්බ පිපිරීම් සිදුවීමට ආන්ඩුව ඉඩ හැරියේ ත්‍රස්තවාදී ප්‍රහාර මගින් ඇති වූ භීතිකාව සහ වාර්ගික ව්‍යාකූලත්වය මගින් කම්කරුවන් සහ පීඩිතයින්ගේ අරගල “ජාතික ආරක්ෂාව” යටතේ අවමංගත කිරීම සඳහා ය. යුද්ධයේ මූලෝපායට සහ ලොව පුරා පාලක පන්තිවල ආඥාදායකත්වයට එරෙහිව ජාත්‍යන්තර පන්ති ප්‍රතිප්‍රහාරයේ කොටසක් ලෙස සැප්තැම්බර් මාසයේ සිට ලංකාවේ පන්ති අරගල යලි ඉදිරියට පැමිනීමත් සමග පාලක පන්තියේ මෙම උපාය අසාර්ථ වී තිබේ.

විජේ ඩයස් මෑත කාලීන දේශපාලන වර්ධනයන් පෙන්වා දුන්නේය. හිටපුගමන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල අවි ආයුධ සොයාගෙන තිබේ, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) සැකකරුවන් යැයි කියමින් අත්අඩංගුවට ගැනීම් ද සිදුවෙයි. එල්ටීටීඊ සාමාජිකයින් මැලේසියාවේ ද අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 2009 දී එල්ටීටීඊ “ත්‍රස්තවාදය” යුදමය වශයෙන් මුලිනුපුටා දැමූ බව කියමින් 2010 ජනාධිපතිවරනයෙන් ජයග්‍රහනය කලබවට හඬ තැලූ අය ම මෙම දුෂ්ට ප්‍රකාශ ඉදිරිපත් කරති.

වර්තමාන මැතිවරනය සියලු ප්‍රධාන ධනවාදී පක්ෂ විසින් විවෘතව යොදාගනු ලබන්නේ ජාතිවාදී බලවේග සහ මිලිටරියේ කොටස් එක්රැස් කොට ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් තලා දැමීමටත්, සටන්වැද දිනාගත් සමාජ අයිතීන් මුලුමනින්ම අතුගා දැමීමත් සඳහා ය.

ට්‍රොට්ස්කි අවධාරනය කල පරිදි ජාත්‍යන්තර කම්කරු පන්තිය අධිරාජ්‍යවාදයේ ප්‍රතිගාමී මූලෝපායන්ට එරෙහිව තමන්ගේම මූලෝපාය සූදානම් කර ගත යුතු ය. අපි මේ සියලු වැදගත් මාර්ගෝපදේශ පිලිපැදිය යුතුයි ”, ඩයස් අවධාරනය කලේ ය.

මෙම මැතිවරය සඳහා විශාල අපේක්ෂකයන් ප්‍රමානයක් නාමයෝජනා ඉදිරිපත් කර ඇත්තේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරනයක් නිසා නොව, ධනවාදී ක්‍රමය සහ එහි පාලනය ආරක්ෂා කිරීම සඳහා පාලක පන්තියට පෙරට වඩා බොහෝ කල්ලි අවශ්‍ය වී ඇති නිසා යයි ඩයස් පැහැදිලි කලේය. මෙම වංචාවට හොඳම උදාහරනය වන්නේ වික්‍රමබාහු කරුනාරත්නගේ නායකත්වයෙන් යුත් පැබ්ලෝවාදී නසසපයි. ඔහු තම පක්ෂයට ලබා දී ඇති නිදහස් මාධ්‍ය අවස්ථා උපයෝගී කරගනිමින් එක්සත් ජාතික පෙරමුනේ අපේක්ෂක ප්‍රේමදාසට සහයෝගය ප්‍රකාශ කොට ඇත්තේ විවෘතවම මැතිවරන නීති පවා උල්ලංඝනය කිරීමේ මට්ටමට ගමන් කරමිනි. එසප සහ පෙසප ඡන්දදායකයින් ව්‍යාකූල කිරීමට පිලිකුල් සහගත උත්සාහයක් ගෙන තිබේ.

සියලුම ව්‍යාජ වාම අපේක්ෂකයින් කම්කරුවන්ගේ, ගම්බද දුගීන්ගේ හා තරුනයින්ගේ දැවෙන අවශ්‍යතාවයන්ට එවැනිම “ජාතිකවාදී විසඳුම්” පෙරට දමා තිබේ. ඔවුන් වේදිකාවලදී කරන ප්‍රකාශ ධනේශ්වර අපේක්ෂකයින් දෙසාබාන බොරු පොරොන්දු වලින් වෙනස් නොවේ. මෙම ධනේශ්වර ජාතික වැඩපිලිවෙල හැර වෙනත් විකල්ප විසඳුමක් නොමැති බව ඡන්දදායකයින්ට ඒත්තු ගැන්වීමට ඔවුහු උත්සාහ කරති. මෙම ආස්ථානය අනිවාර්ය ලෙසම ගමන් කරනු ලබන්නේ අධිරාජ්‍යවාදී ලෝක පර්යාය පිලිගැනීමක් කරා මෙන්ම, මනුෂ්‍ය වර්ගයාගේ අනාගතයට එරෙහිව යන එක්සත් ජනපදය විසින් නායකත්වය දෙන මහා බලයන්ගේ ආර්ථික හා දේශපාලන මූලෝපාය අනුගමනය කිරීමක් වෙතය.

සසප මෙම මැතිවරනයේදී ජනතාවට ඉදිරිපත් කරන වැඩපිලිවෙල පදනම් වන්නේ, ධනේශ්වර ක්‍රමයට හා එහි පාලනයට එරෙහිව අරගලයේ යෙදී සිටින කම්කරුවන්ට, කුඩා ගොවීන්ට සහ තරුනයින්ට අප ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මතයි. මෙම කර්තව්‍ය සාක්ෂාත් කර ගැනීම සඳහා කල්දැමිය නොහැකි ආකාරයට මතු කර ඇත්තේ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීමේ අවශ්‍යතාවයයි.

පීඩිත ජනතාවගේ සහය ලබන කම්කරු පන්තිය අතට දේශපාලන බලය ගැනීමක් මගින් ධනපතියන්ගේ ලාභය සඳහා නිෂ්පාදනය හා බෙදා හැරීමේ ධනේශ්වර ආර්ථික පර්යාය අහෝසි කොට එය මානව වර්ගයාගේ ආර්ථික හා සංස්කෘතික අවශ්‍යතා සන්තර්පනය කරන සමාජවාදී එකක් බවට පරිවර්තනය කෙරෙනු ඇත” යයි පවසමින් විජේ ඩයස් සිය කතාව අවසන් කලේ ය.

මෙම රැස්වීම සමාජවාදී සමානතා පක්ෂයේ ෆේස්බුක් පිටුව හරහා සජීවී ව විකාශය කෙරුනි. එම විඩීයෝ පටය පහතින් නැරඹීමට හැකි ය.

Share this article: