ජනාධිපතිවරන උද්ඝෝෂන මධ්‍යයේ දෙමල හා මුස්ලිම් විරෝධී වර්ගවාදී ප්‍රචාර අවුලු‍වා තබා ගැනීමේ ප්‍රයත්නයක්

ප්‍රදීප් රාමනායක විසිනි, 2019 ඔක්තෝබර් 28

“ත්‍රස්තවාදය යලි හිස ඔසවමින් තිබෙන” බවට, ලංකාවේ පාලක පන්ති කන්ඩායම්, පොලිසිය සහ මාධ්‍යය විසින් විටින්විට අවුලු‍වන ප්‍රචාර පසුගියදා යලිත් ඇරඹුනි. ඉහවහා ගිය දේශපාලන අර්බුදයක් මධ්‍යයේ ජනාධිපතිවරනයෙන් කවුරු අතට පාලන බලය යායුතුදැයි තීන්දු කර ගැනීමේ පොරය උග්‍රවී ඇති තත්වයක, “‍ත්‍රස්තවාදී ප්‍රහාර”‍ ගැන ප්‍රචාරය, මහජනයාගේ ඇස් වලට වැලි ගැසීමට හා ඔවුන්ට එරෙහිව ප්‍රතිගාමී සූදානම් වීම් ආවරනය කර ගැනීමට ධනපති පාලක කල්ලිවලට අවශ්‍ය වී තිබේ.

අප්‍රේල් 21 අයිඑස් සංවිධානය ලංකාවේ ජාතික තවුහීද් ජමාත් මෙහෙයවාගෙන එල්ල කල වර්ගයේ ත්‍රස්තවාදී ප්‍රහාර යලිත් එල්ල කිරීමේ සූදානමක් පිලිබඳ ප්‍රවෘත්ති වලින් මුස්ලිම් විරෝධය අවුලු‍වා තබා ගැනීමට එක අතකින් ප්‍රචාරය දියත් වී ඇත. අනෙක් අතින්, උතුරු හා නැගෙනහිර පලාත්වල එල්ටීටීඊ හිස එසවීම පිලිබඳ ප්‍රචාරයක් මගින් දෙමල විරෝධය ඇවිස්සීමේ උත්සාහයක් පවතී.

■ ඔක්තෝබර් 12 වනදා, මැලේසියානු පාලක සභාගයට සම්බන්ධ ඩිමොක්‍රටික් ඇක්ෂන් පක්ෂයේ මන්ත්‍රීන් ද ඇතුලු‍ පුද්ගලයන් පස්දෙනෙකු, එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ යයි, එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම එම ප්‍රචාර සඳහා නිමිත්තක් කරගත් එක වාර්තාවකි. මාධ්‍ය වාර්තා සඳහන් කලේ මෙම පුද්ගලයන් එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් මුදල් රැස් කිරීම්, ජනතාව දැනුවත් කිරීම් සහ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කල බවයි.

මැලේසියාව එරට ප්‍රතිගාමී නීති අනුව එල්ටීටීඊ ය තහනම් කර ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් ඊනියා ආරක්ෂාව පිලිබඳ වැරදි සම්බන්ධ (විශේෂ විධිවිධාන) පනත යටතේ හිරභාරයේ රඳවා තබා ඇත. රඳවාගෙන සිටින පුද්ගලයින් නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔවුන්ගේ ඥාතීන් උපවාසයක් ද අරඹා ඇති බව වාර්තාවේ. අත්අඩංගුවට ගත්තවුන්ට එරෙහි චෝදනා කිසිවක් තවමත් හෙලිකර නැත. “‍ප්‍රශ්න කිරීම්”‍ සිදුවේ.

මෙරට මාධ්‍ය වහාම සිද්ධිය වාර්තා කලේ “‍එල්ටීටීඊ නැගීමක්”‍ සිදුවෙමින් පවතින බවට ගෙන යන ප්‍රචාරය පුම්බා ලංකාව තුල දඩයමක් උසිගන්වා ගැනීමටයි. ඬේලි මිරර් පුවත්පතේ තීරු ලියුම්කරුවෙකු වන රංග ජයසූරිය “‍මැලේසියාවේ එල්ටීටීඊ අත්අඩංගුවට ගැනීම්--කොලඹ [ආන්ඩුව] කරන්නේ කුමක් ද?”‍ යි ඔක්තෝබර් 15 දා ලිපියක් ලිවීය.

“මැලේසියාව කොටි අත් අඩංගුවට ගනිද්දී ලංකාව කොටි මුදාහැරීම” යන මාතෘකාව යටතේ ලිපියක් පලකරන දිවයින ආන්ඩුවට ඇඟිල්ල දිගුකරමින් මෙසේ පවසයි. “කොටි අනතුර පහ වී නැත. කොටි බලා සිටින්නේ අවස්‌ථාව එනතුරු ය. එහෙත් වත්මන් රජය අනතුර තේරුම් ගෙන නැත.”

■ ඔක්තෝබර් 11 වනදා නැගෙනනහිර පලාතේ සේරුවාවිල කිලිවෙඞ්ඩි පාලම අසල ආරක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට ගැනීම තවත් වාර්තාවකි. සැකකරුගෙන් ලබාගත් තොරතුරු අනුව ඊට දින දෙකකට පසු පුපුරන ද්‍රව්‍ය, සන්නිවේදන උපකරන ඇතුලු‍ භාන්ඩ කිහිපයක් කිලිනොච්චි ප්‍රදේශයේ නිවසකින් හමුවූ බව වාර්තා කෙරුනි. වැටලීමේදී සැකකරුගේ බිරිඳ සහ සහෝදරිය යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුනි. වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ලබාදුන් ප්‍රකාශ අනුව ක්ලේමෝ බෝම්බ දෙකක් කිලිනොච්චියේ වල දමා තිබී සොයාගෙන ඇත. ලංකාවේ පොලිසියේ, ආරක්ෂක හමුදාවල හා ඔත්තු සේවාවල අතීත වාර්තා ගත්කල මේ ප්‍රචාරයන්ම සැක කටයුතු ය.

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය තුල මෙම පුවත් වාර්තා කෙරුනේ ලොමුඩැහැගැන්වෙන ආකාරයකටයි. “කොටි ප්‍රබලයාගේ කිලිනොච්චි අවිගබඩාව වටලයි” යනුවෙන් සිරස්තලයක් යොදමින් පුවත වාර්තාකල දිවයින ඒ හරහා ත්‍රස්තවාදී ප්‍රහාරයක අවදානමක් මවාපෑමට උත්සාහ ගෙන තිබුනි. ඔවුන් ම වාර්තාකර තිබූ අන්දමට එම “අවිගබඩාවෙන්” සොයාගැනුනේ තුවක්කු දෙකක්, අත්බෝම්බ පහක් සහ තුවක්කු උන්ඩ කිහිපයක් පමනි.

තවත් වෙබ් අඩවියක පුවත වාර්තා කෙරුනේ “එල්ටීටීඊය යලි පනගැන්වීමේ උත්සාහයක් දැයි සැක පලවන සොයා ගැනීමක්?” යනුවෙනි. යම් සංවිධානාත්මක ප්‍රහාර මාලාවක් දියත් කිරීමට එල්ටීටීඊය උත්සාහ කරන බවට මේ හරහා නිගමනය කල හැකිබව මෙම වාර්තා තුල තර්ක ගොතා තිබුනි.

■අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධයැයි සැකපිට ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකින් කන්ඩායම් අත්අඩංගුවට ගැනීම පිලිබඳ වාර්තාවලට අනුව, මෙම කන්ඩායම් අප්‍රේල් 21 ලංකාවේ බෝම්බ ප්‍රහාරවලට නායකත්වය දුන්බව කියන සහරාන් හෂීම්ගේ දේශන වලට සවන්දීමෙන් පසු අයිඑස්අයිඑස් සංවිධානයට බැඳී ඇත.

ඉන්දියාව අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම ගැන පුවත පලකල දේශය පුවත්පතේ සඳහන් වූයේ ඔක්තෝබර් 15දා සහ 25 අතර තවත් ප්‍රහාරයක් සිදුවනු ඇතැයි යන සැකයෙන් මැල්කම් රංජිත් කාදිනල්වරයාගේ දැනුම් දීමකට අනුව මෙරට දේවස්ථානවලත්, රටේ ජනතාව වැඩියෙන් ගැවසෙන ස්ථානවලත් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) ප්‍රචාරක අන්ඩක් වන අරුන පුවත්පත ද මෙම ප්‍රචාරය සමග එක්විය.

අප්‍රේල් 21 ප්‍රහාරයට පසුව ආරක්ෂක හමුදා තරකරන ලෙස ප්‍රතිගාමී දේශපාලන උද්ඝෝෂනයක යෙදෙන මැල්කම් රංජිත් කාදිනල් ලංකාවේ සිදුවියහැකි තවත් ප්‍රහාරයක් පිලිබඳ මේ රහස් තොරතුර කෙසේ සොයා ගත්තේ ද නැතිනම් ඒවා ගෙතු තොරතුරු ද යන්න මාධ්‍ය වාර්තාකරුවන් විමසා සැකහැර දැනගත් බවට කිසිදු සාක්ෂියක් නැත.

අප්‍රේල් 21 දා ත්‍රස්ත ප්‍රහාරය ගැන ඉන්දියාවෙන් කල්තියා කෙරුනු දැනුම්දීම ලංකාවේ ආරක්ෂක අංශ පමනක් නොව ප්‍රමුඛ දේශපාලන නායකයින්--ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ-- දැනගෙන සිටි බවට සාක්ෂි මතුවෙමින් පැවතිනි. දැන් දේශපාලන සංස්තාපිතය ද මාධ්‍ය ලියනප්පුලා ද ඒවා හෙමින් සීරුවේ වල දමා ඇත්තේ මහජනයා පාලක පන්තියේ මෙම කන්ඩායම් වල සාපරාධීභාවය පිලිබඳ සත්‍යය දැන ගැනීම පිලිබඳව එකසේ භීතියට පත්ව සිටින නිසා ය.

එහෙත් මේ පක්ෂ සියල්ල දැන් ත්‍රස්ත ප්‍රහාරය ජනාධිපතිවරන උද්ඝෝෂනයේ දී යොදාගෙන ඇත්තේ “ජාතික ආරක්ෂාව”‍ තරකිරීම රටේ ප්‍රමුඛ කර්තව්‍ය ලෙස හුවා දැක්වීමටයි. ඒ සඳහා ලංකාව තුල පොලිසිය, මිලිටරිය හා ඔත්තු සේවා බලගැන්වීමේ සැලසුම් ගැන තමතමන්ගේ පාර්ශ්ව ඉදිරියෙන් සිටින බව ට මේ පක්ෂ පාරම් බාති. එමගින්, පාලක පන්තියේ කන්ඩායම් සැබෑ වසයෙන් සූදානම් වන්නේ රුදුරු මර්දනකාරී පාලනයක් තහවුරු කර ගැනීමටයි. “ත්‍රස්තවාදය”‍ නැගී එන බවට දැන් දියත් කෙරී ඇති උද්ඝෝෂනය යොදාගෙන ඇත්තේ මේ සැලසුම් මුවහත් කිරීම සඳහා ය.

නැගෙනහිර ප්‍රදේශයෙන් අවි ආයුධ සොයාගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පලවූ දිනට පසුදා රැලියකට සහභාගී වූ ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ දක්ෂිනාංශික මැතිවරන උද්ඝෝෂනයට පලිප්පු දමාගැනීම සඳහා එම සිදුවීමද වහා ඩැහැගත්තේය. “මේ රජයේ දුර්වලකම නිසා ආරක්ෂක අංශවල සලැස්ම විනාශ කරපු නිසා, බුද්ධි අංශවල ක්‍රියාකාරිත්වය අකර්මන්‍ය කරපු නිසා නැවතත් මේ රටේ බෝම්බ මතුවෙන්න පටන් අරන්. අපේ රජයක් තුල නැවතත් ඒ ආරක්ෂාව ලබාදීලා රට සුරක්ෂිත කරනවා.” රාජපක්ෂ පැවසීය.

පාලක එක්සත් ජාතික පක්ෂය විසින් නායකත්වය දෙන සන්ධානයෙන් ජනාධිපතිවරනයට ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාස රාජපක්ෂට නොදෙවෙනි ලෙස කියාසිටින්නේ තමන් ජාතික ආරක්ෂාවට මුල්තැන දෙන බවයි. තමන් බලයට පත්වූ පසු රටේ ආරක්ෂාව ඇතිකිරීම සඳහා වඩාත්ම සුදුස්සා ලෙස තමන් සලකන ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාට මුලු‍මුනින්ම ඒ රාජකාරිය පවරන බවට ඔහු වේදිකාවක් පාසා සපථ කරයි. ගෝඨාභය රාජපක්ෂට නොදෙවෙනි ලේවැකි වාර්තාවකට ෆොන්සේකා හිමිකම් කියයි.

ත්‍රස්ත භීතිකාවකින් දවටා මර්දනකාරී සැලසුම් මුවහත් කිරීමට සැලසුම් කරන පාලක පන්තියේ තවත් ප්‍රමුඛ උවමනාවක් පවතී. එය නම්, මුස්ලිම් හා දෙමල විරෝධී උද්ඝෝෂනයකින් කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ භේද කිරීම යි. මෙම දශක ගනනක් තිස්සේ මුවහත් කෙරුනු විසකුරු ආයුධය පාලක පන්තිය යලිත් ඔසවා ඇත.

ජාත්‍යන්තරව ම පාලක පන්තීන් අභිමුඛ වී සිටින්නේ තමන්ගේ අයිතීන්ට එරෙහිව කලක් තිස්සේ එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තියේ අරගල රටක් රටක් පාසා පැන නැගීමට යි. වර්ධනය වන අරගල වඩා ශක්තිමත් කෙරෙන සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ එකාබද්ධතාවයට වල කැපීම සඳහා එවැනි භේදකරනයන් අවුලු‍වාලීමට ධනපති පාලක පන්තිය, ධනපති මාධ්‍යන්ගේ ද සහය බලාපොරොත්තු වෙයි. කම්කරුවන් හා තරුනයන් මේ අනතුර ඇඟවීම වහා අවධානයට ගත යුතු ය.

Share this article: