වෘත්තීය සමිති ආන්ඩුවේ බොරු පොරොන්දු මත ගුරු-විදුහල්පති වර්ජනය නවතා දමති

කපිල ප්‍රනාන්දු විසිනි, 2019 ඔක්තෝබර් 05

දිවයිනේ සියලු පලාත් නියෝජනය කරමින්
කොටුව දුම්රියපල ඉදිරිපිටට රැස්වූ හාරදහසක් පමන ගුරුවරු න්ගේ උද්ඝෝෂනය

වැඩෙන වර්ජන රැල්ල හේතුවෙන් භීතියට පත්ව සිටින ආන්ඩුව ගලවා ගැනීමට ඉදිරිපත් වෙමින්, ගුරු-විදුහල්පති සමිති නායකයන් මේ මස 7 දා සිට 11 දා දක්වා පැවැත්වීමට නියමිතව තිබු ගුරු වර්ජනය, නවතා දමන බව පසුගිය බදාදා නිවේදනය කලේ ය. සමිති නායකත්වය යලි වතාවක් සිදු කර ඇත්තේ දෙලක්ෂ පනස්දාහකට අධික ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් අරගලයත්, නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව වර්ධනය වන මහජන විරුද්ධත්වයත් පාවාදීමයි.

වර්ජනය නවතා දැමීමේ කඩතුරාව ලෙස සමිති නායකයෝ යොදා ගන්නේ, පසුගිය මස 30 දා පැවති කැබිනට් මන්ඩල අනු කමිටුවකින් “වැටුප් විෂමතා විසඳීමට යෝජනා ඇතුලත් කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ගෙන තියෙනවා” යන්නයි. වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීම සඳහා ගුරු සේවය “සංවෘත්ත සේවයක්” කිරීමට ඉන් යෝජනා වී ඇත. දුම්රිය, අනධ්‍යයන සේවකයන්ගේ සහ පරිපාලන නිලධාරීන්ගේ ඉල්ලීම් යටපත් කිරීම සඳහා ද එවැනිම උපමාරු එම කමිටුවෙන් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ, මුදල් ඇමති මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 ඉරිදා උක්ත කැබිනට් අනු කමිටුව හදිසියේ පිහිටවූයේ වෘත්තීය සමිති නායකයන්ගේ ද සහායෙන්, වර්ධනය වන වර්ජන රැල්ල යට ගැසීමේ මංමුලා සහගත පියවරක් ලෙසයි.

කැබිනට් පත්‍රිකාව තුල හා කැබිනට් අනුකමිටුවත් සමග සිදු කල සාකච්ඡාවෙන්, ගුරු වැටුප් වැඩි කිරීම සම්බන්ධව කුමක් ප්‍රකාශ වූයේ දැයි ලංකා ගුරු සංගමයේ (ලගුස) ලේකම් ජෝසප් ස්ටැලින්ගෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෙක් විමසූ විට ඔහු ප්‍රකාශ කලේ “එම පත්‍රිකාව විසඳුම් ප්‍රවේශයක් විදිහටයි අපි සලකන්නේ. ඒක ක්‍රියාත්මක කිරීමට අපි ආන්ඩුවට සති දෙකක් දෙනවා. ඊට පස්සේ අපේ ක්‍රියාමාර්ග ගන්නවා” යනුවෙනි.

“ගුරු වැටුප් වැඩි කිරීමටත් නව වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමටත් කැබිනට් මන්ඩලය එකඟ වී ඇත” යයි ප්‍රකාශ කරමින් වර්ජනය “තාවකාලිකව” නවතා දමන බව ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මෙහෙයවන ලංකා ගුරු සේවා සංගමයේ (ලංගුසේස) ලේකම් මහින්ද ජයසිංහ මාධ්‍යයට පවසා තිබේ.

සැප්තැම්බර් 24 දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී රාජ්‍ය අංශයේ සේවක වැටුප් ගැටලු‍ විසඳීමට වාර්ෂිකව රුපියල් බිලියන 112 ක් වැය වන බවත් “මේ අවස්ථාවවේ” වැටුප් වැඩි කිරීමක් සිදු කල නො හැකි බවත් මුදල් ඇමති මංගල සමරවීර ප්‍රකාශ කොට තිබුනි. “වැටුප් වැඩි කිරීමට” අනු කමිටු පිහිටුවා වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා පවත්වමින් ආන්ඩුව ගත් මෙම හදිසි හැරීම, නැගෙන පන්ති අරගල රැල්ල මැඩ පැවැත්වීමට ගත් කූට උපාමාරුවකි. ස්ටාලින්, ජයසිංහ, සංජීව බන්ඩාර ඇතුලු‍ ගුරු සංගම් නායකයන් ගුරුවරුන් හසු කිරීමට යන්නේ ආන්ඩුවේ මෙම උගුලටයි.

“සංවෘත සේවා” ඇතිකිරීමේ පියවර අනුප්‍රාප්තික ආන්ඩු විසින් විවිධ දෙපාර්තමේන්තු වල සේවකයින්ගේ වැඩ වේගවත් කිරීමට හා වානිජකරනයට හා පුද්ගලීකරනය සූදානම් කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගවලින් එකකි. අධ්‍යාපන දෙපාර්තමේන්තුව තුල සිදුකිරීමට යන මෙම වෙනසට ගුරුවරුන් විරුද්ධ විය යුතුය.

ඉදිරියට ඇදෙන ගුරු වර්ජනයක්, වර්ජනයේ යෙදී සිටින හා වර්ජනවලට අවතීර්නවීමට යන අවශේෂ කම්කරු පන්තිය ද සටන්වලට ඈඳා ගැනීමේ මෙන්ම එවන් තත්වයක් තම පාලනයෙන් පිට පැනීමේ හැකියාව ගැන භීතියෙන් වෘත්තීය සමිති ද පසු වෙති. ආන්ඩුවේ මැති ඇමතියන් සමග වැසුනු කාමරවල කෙරෙන කතා බහ තුල සමිති නායකයන් ගෙනයන සාකච්ඡා වල පදනම එයයි.

17,000 ක් පමන විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් දින 25 ක් පමන කාලයක් අඛන්ඩව ගෙන යන වර්ජනය නවතා දැමීමටත් එම වෘත්තීය සමිති නිලධරය ද දැන් කැසකවමින් සිටී.

ගුරුවරුන් සමග කිසිදු සාකච්ඡාවකින් හෝ අදහස් විමසීමකින් තොරව මෙම ගුරු-විදුහල්පති සමිති සන්ධානය මේ වසරේ දී නවතා දැමූ දෙවන වර්ජන ක්‍රියාමාර්ගය මෙයයි. අප්‍රේල් 21 දා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයෙන් පසු ආන්ඩුවේ මිලිටරි පොලිස් දිගේලි කිරීම්වලට පිටුබලය සපයමින් මැයි මස 09/10 යන දින දෙක තුල පැවැත්වීමට තිබු වර්ජනය නවතා දැම්මේ “රටතුල සාමාන්‍ය තත්වයක් ඇති වූ වහාම යලි වර්ජනයක් දියත් කරනවා” යයි ප්‍රකාශ කරමිනි.

ආන්ඩුව ඇතුලු‍ පාලක පන්තියේ සියලු‍ කොටස් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවීමට ඉඩ හැරියේත් ඉන්පසු පොලිස් රාජ්‍ය සැලසුම් වේගවත් කර සිංහල-බෞද්ධ අන්තවාදී නඩ පාරට බස්සා වාර්ගික ආගමික භේදකරනයන් මුදාහැරියේත් කම්කරු පන්තියට එරෙහි මර්දනය සූදානම් කිරීමේ එල්ලය ඇතිව ය.

මෙම භේදකරනයන් හා “මේ අවස්ථාවේ“ වැටුප් වැඩි කල නොහැකි යයි කී ආන්ඩුවට ඍජුව අභියෝග කරමින් පසුගිය සති එකහමාර තුල දෙලක්ෂයකට අධික පාසල් ගුරුවරු, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ, දුම්රිය කම්කරුවෝ, පරිපාලන නිලධාරීන් හා සෞඛ්‍ය අංශවල කම්කරුවෝ දහස් ගනනක් වර්ජනවලට සම්බන්ධ වූහ.

වර්ජනවලට හා පාගමන්වලට සම්බන්ධ වී දශක ගනනක් තිස්සේ කප්පාදු කොට ඇති තම වැටුප්, රැකියා කොන්දේසි හා පොදුවේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් වැදීමට ගුරුවරු තම සූදානම පෙන්වා ඇත. ඊට ප්‍රතිකූලව සමිති නායකයෝ උත්සහා ගන්නේ ගුරුවරුන්ගේ සටන්කාමීත්වය පාගා දැමීමටයි. ආන්ඩුවට “සති දෙකක්” කල් දී ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා යයි ස්ටැලින් ඇතුලු‍ සමිති නායකයෝ ප්‍රකාශ කරන්නේ ගුරුවරුන් අධෛර්යට පත්කිරීමට හා ජනාධිපතිවරනය දඩමීමා කරගෙන අරගල පස්සට ඇද දැමීමයි.

ජනාධිපතිවරනයත් අලලා ගෙන යලි උග්‍ර වී ඇති පාලක පන්තියේ කුලල් කා ගැනීම් තිබියදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) මගින් නිර්දේශිත රුදුරු කප්පාදු පිලිවෙත් පැටවීමටත්, පැන නංවන කම්කරු පන්තියේ සටන් තලා දැමීම පිලිබඳවත් සිරිසේන, වික්‍රමසිංහ හා විපක්ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු‍ කන්ඩායම් අතර ඇත්තේ පොදු එකඟත්වයකි. ජාමූඅ නියෝග මත 2020 වන විට රටේ අය-වැය හිඟය දල ජාතික නිෂ්පාදිතයෙන් (දජානි) සියයට 3.5 දක්වා කප්පාදු කිරීමට යන ආන්ඩුවේ ප්‍රමුඛ ඉලක්කයක් වන්නේ නිදහස් අධ්‍යාපනය වැනි මහජන සුභසාධන සේවාවන් ය.

විරෝධතාවලින් හෝ වර්ජනයකින් ආන්ඩුව ගුරුවරුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් නම්මා ගත හැකි ය යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මුලු‍මනින්ම බංකොලොත් හා මිත්‍යා වැපිරීමේ ක්‍රියාමාර්ගයකි. “වැටුප් විෂමතා” මුල් කර ගෙන ගුරු සංගම් ද වසර 22 ක් තිස්සේ විටින් විට කැඳවා ඇති මෙවැනි විරෝධතා හා වර්ජන ගනන් කිරීමට අත්දෙකේ ම ඇඟිලි මදි බව කිවයුතු නැත. ධනේශ්වර ක්‍රමය යටතේ සහන දිනා ගැනීමේ ක්‍රියාමාර්ගයක් තොරොම්බල් කරන වෘත්තීය සමිති මෙම පද්ධතියේ අර්බූදය තුල ජාත්‍යන්තර පරිමානව පරිවර්තනය වී ඇත්තේ එහි බර කම්කරු පන්තිය මත පැටවීමට ආන්ඩුවලට සහ මහා සමාගම්වලට උදවු කරන උපකරන ලෙසයි.

අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වෙන් කිරීම, 2016 සිට පත්වීම් ලැබූවන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම, ගුරුවරුන් මත අනවශ්‍ය බර පැටවීම නතර කිරීම යන ගුරුවරුන්ගේ අනෙකුත් ඉල්ලීම් යට ගසා ඇත්තේ ආන්ඩුවත් සමග ඒකාබද්ධවයි.

ධනපති ආන්ඩුවල කොටස්කරුවන් වී සිටින වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් බිඳී, ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කිරීමට සරිලන ඉහල වැටුපක්, සුරක්ෂිත රැකියා කොන්දේසි සහ නිදහස් අධ්‍යාපන අයිතිය සඳහා වන අරගලය ගුරුවරුන් තම අතට ගත යුතු ය. නිදහස් අධ්‍යාපන කප්පාදුවේ ප්‍රහාරයට මුහුන දී සිටින සිසුන් හා දරුවන්ගේ දෙමව්පියන්ගේ සහයෝගය ලබාගනිමින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා ගන්නා හා තීන්දු ගන්නා ගුරුවරුන්ගේ ක්‍රියාකාරී කමිටු පාසල් ආශ්‍රිතව ගොඩනැගීමට ගුරුවරු පෙරට ආ යුතු බව අප යෝජනා කරන්නේ මේ තත්වය තුල ය. එම ක්‍රියාකාරී කමිටු--

■ගුරුවරුන්ට ඉහල යන ජීවන වියදමට සරිලන ලෙස ඉහල යන වැටුපක්.

■ගුරු වැටුප් ඉහල දැමීමටත්, දෙමාපියන් මත අධ්‍යාපනයේ බර පැටවීම නතර කරමින් රටපුරා සියලු‍ පාසල්වලට හා විශ්වවිද්‍යාලවලට ගුරුවරු, ගොඩනැගිලි ඇතුලු‍ පහසුකම් අලු‍තින් ලබා දීමට රුපියල් බිලියන ගනනින් වැය කිරීම සඳහා අධ්‍යාපනයට දජානි සියයට 6 ක් හෝ වැඩියෙන් වෙන් කිරීම.

■ගුරු-සිසු අනුපාතය 1:20 ක් දක්වා අඩු කිරීම ඉලක්ක කර ගනිමින් ද නවීන තාක්ෂනික මෙවල් යොදා ගනිමින් පාසල් පන්ති කාමර වැඩි දියුනු කොට ගුරුවරුන් මත අනවශ්‍ය බර පැටවීම් නතර කල යුතු ය.

■2016 සිට පත්වීම් ලැබූ ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප යලි ලබා ගැනීම

■ජාත්‍යන්තරව ගුරුවරුන්ගේ හා අවශේෂ කම්කරුවන්ගේ සහයෝගය අරගලය සඳහා දිනා ගැනීම

ඇතුලු‍ වැඩපිලිවෙලක් වෙනුවෙන් මෙම ගුරු, ක්‍රියාකාරී කමිටු සටන් වැදිය යුතු ය.

මෙම ඉල්ලීම් කිසිසේත් ගරා වැටෙන ධනපති ක්‍රමය යටතේ ආන්ඩුවලට බලපෑම් දැමීම මගින් ජයගත නොහැකි ය. එවන් අරගලයක් ඉදිරියට ගෙන යා හැක්කේ ධනේශ්වර ක්‍රමයේ අර්බූදයෙන් බැටකා සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හා අවශේෂ කම්කරු පන්තිය සමගත් ඉන්දු උප මහද්වීපයේ හා ජාත්‍යන්තරවත් කම්කරු පන්තියේ ශක්තිය ගොනු කර ගනිමින් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය සඳහා සටන් වැදී පැබ පමනි.

ධනපති ආන්ඩු විසින් දෙන සොච්චමක් සඳහා නොව සැමට ගුනාත්මක නිදහස් අධ්‍යාපනයක් සැලසීම සඳහා බිලියන ගනන් මුදල් වෙන් කර සමාජ ජීවිතය ඉහලට එසවිය හැක්කේ මහා බැංකු, සමාගම් සහ ඉඩම් කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කරන එමෙන්ම විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරන කම්කරු-ගොවි ආන්ඩුවක් ලංකාව තුල බලයට ගෙන ඒමෙන් පමනි. සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ගුරු කන්ඩායම ගුරුවරුන් අතර සටන් වදින ඉදිරිදර්ශනය එයයි.

කියවන්න:

ගුරු අරගලය ජය ගන්නේ කෙසේ ද?

වැඩෙන වර්ජන රැල්ල ශ්‍රී ලංකාවේ ආන්ඩුවට අභියෝග කරයි

Share this article: