ලංකාවේ ධනපති ආර්ථිකය ගොඩගැනීමට ජවිපෙ “‍ජාතික ආර්ථික”‍ වැඩපිලිවෙලක් තොරොම්බල් කරයි

වසන්ත රූපසිංහ විසිනි, 2019 ඔක්තෝබර් 31

නොවැම්බර් 16දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනය සඳහා ඉදිරිපත්ව ඇති දුසිම් ගනනක් ධනපති හා ව්‍යාජ වාම අපේක්ෂකයන් මහජනයා අලාමුලා කරමින් පසුගාමී ජාතිකවාදී, ව්‍යාජ පොරොන්දු මාලාවක් ඉදිරිපත් කරමින් බඩදඟලවන ඡන්ද ගැරීමේ උද්ඝෝෂනයක නිරතව සිටී.

මාධ්‍ය විසින් මූලිකව හුවා දක්වන ජනාධිපති අපේක්ෂකයන් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොප) ගෝඨාභය රාජපක්ෂ, එක්සත් ජාතික පෙරමුනේ (එජාප) සජිත් ප්‍රේමදාස හා ජනතා විමුක්ති පෙරමුන මූලිකකොට නිර්මානය ඇති ජාතික ජන බලයේ (ජාජබ) අනුර කුමාර දිසානායකගේ වැඩපිලිවෙලවල් අතර මූලිකවෙනසක් සොයාගැනීම අසීරු ය. අපේක්ෂකයින් තිදෙනා ම සපථ කරන්නේ ධනපති ආර්ථිකය ගොඩගැනීමට ය. ධනපතියන් ගෙවන බදු කැපීමට ද විදේශ නය ගෙවීමට ද පුද්ගලික අංශය තරකරමින් ශ්‍රම සූරා කෑම තීව්‍ර කිරීමට ද දිසානායක පොරොන්දු වෙයි.

පසුගිය 21දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී “ගුනාත්ම ජීවිතයක් නොසැලෙන ආර්ථිකයක්”‍ ලෙස නම්කර ඇති ජාජබයේ “ආර්ථික ප්‍රතිපත්තිය”‍ එලිදක්වන අවස්ථාවේදී දිසානායක එම සහතිකය තහවුරු කිරීමට කතා කලේය.

ජාජබය වනාහී ලංකාවේ ධනපති පන්ති පාලනය තීරනාත්මක අර්බුදවලට මුහුන දුන්විට එය ගොඩ ගැනීමට රැලිවූ දේශපාලනිකව දූෂිත ශාස්ත්‍රාලිකයින් රොත්තක් ජවිපෙ සමග එක්වී ඇටවූ සංවිධානයකි. මේ පිරිසෙන් කොටසක් ව්‍යාජ වම සමග 1994 ජනාධිපති අපේක්ෂිකාව වූ කුමාරතුංග බලයට ගෙන ඒමට පැනගත්තේ අවුරුදු 17 ක යූඇන්පී පාලනය බිඳවැටුනු අර්බුදයක් මධ්‍යයේ ය. 2015 ජනාධිපතිවරනයේදී ජවිපෙ මෙන්ම මේ පිරිස ද ඇමරිකානු ගැති මෛත්‍රිපාල සිරිසේන බලයට ගෙන ඒමට එක්වූයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වර්ධනය වෙමින් පැවති සමාජ විරෝධය අවමංගත කිරීම සඳහා ය.

දැන් කම්කරු පන්තිය ලෝක පරිමානව නැගී ඒමත් සමග ලංකාවේ පන්ති අරගල පුපුරා එමින් ධනපති පන්ති පාලනය පෙර නොවූවිරූ අර්බුදයකට ඇදවැටී ඇත. ජාජබ තුල පොදි ගැසී සිටින පිරිස, ලේ හා මඩ සෝදා පලිප්පු දමා ජවිපෙ පෙරට ගැනීමෙන් නාගරික සුලු‍ධනේශ්වර කොටස් රැලිකරගත් ප්‍රතිගාමී ව්‍යාපාරයක් ගොඩනගා කම්කරු පන්තියේ පෙරගමන හරස් කිරීමට තැත් කරති. දිසානායක සිය කතාව අවසානයේදී සඳහන් කල “සුලු‍ හා මධ්‍යම පරිමාන පැලන්තියක් අපි ඇතිකල යුතුව තියෙනවා. සුලු‍ හා මධ්‍යම පරිමාන උන්මාදයක් අපේ රටේ ඇතිකල යුතුව තියෙනවා”‍ යන්නේ අදහස මෙයයි.

“ආර්ථිකය ගොඩනැගීමේ මූලික කුලු‍නු තුනක්”‍ ඇතිබව දිසානායක ඔහුගේ කතාව ආරම්භයේදී කිවේය. ඒවානම්, 1. “නීතිය හා විධානයේ ආධිපත්‍යය”‍, 2. “වංචාව, දූෂනය, නාස්තිය ඉවත් කරන ලද පාලනයක් අවශ්‍යයි”‍ 3. “මහජන ආරක්ෂාව හා ජාතික සමගිය ගොඩනැගිය යුතු පාලනයක්”‍. ඕනෑම රටක් ගොඩ නැගෙන්නේ මේ මූලික ස්ථම්භ තුන මතයි, බර දමා කී දිසානායක මේවා ගොඩ නැගීමේ “දැක්ම”‍ ජාජබයට ඇති බවට පාරම්බෑවේය.

දිසානායක ඔජවඩවන්නේ කාගේ “නීතියේ හා විධානයේ ආධිපත්‍යයක්”‍ ගැන ද? ලංකාවේ පවතින ධනපති “නීතියේ හා විධානයේ ආධිපත්‍යය”‍ ගැනයි-- මෙරට පවතින්නේ, අන් ධනපති රටවල මෙන්ම, සුලු‍තරයක් වන දේපල හිමි පන්තියේ “‍නීතියේ හා විධානයේ ආධිපත්‍යය”‍ බහුතරය වන කම්කරුවන් හා දුගීන් මත පිහිටවූ පද්ධතියකි.

ඔහු ජප කරන “මහජන ආරක්ෂාව තහවුරු කිරීම”‍ යන මන්ත්‍රය පාලක පන්තියේ තවත් සූත්‍රයකි. අන් රටවල පාලකයින් මෙන්ම, ලංකාවේ පාලක පන්තියත් “මහජන ආරක්ෂක පනතක්”‍ සම්මත කර ගෙන දශක ගනනක් තිස්සේ “මහජනයාට”‍ එරෙහිව එය යොදා ඇත. ජවිපෙ එම පනත කම්කරුවන්ට හා දුගීන්ට විරුද්ධව යෙදවීමට කරඋර දුන් සංවිධානයකි.

ජාජබ හා ජවිපෙ “ජාතික සමගිය”‍ ඇති කිරීම ගැන ව්‍යාජ ලෙස තොරොම්බල් කරයි. යන්තම් මාස හයකට පෙර ජවිපෙ අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව මහජනාරක්ෂක පනත යටතේ හදිසි නීතිය දැමීමට පක්ෂවූවා පමනක් නොව “අන්තවාදය පරාජය කිරීමේ”‍ නමින් මුස්ලිම් විරෝධී උද්ඝෝෂනයට උඩගෙඩි දුන්නේ ය.

දිසානායකගේ අනෙක් සටන් පාඨය, “වංචාව, දූෂනය හා නාස්තිය ඉවත්කරන ලද පාලනයක්”‍ යන්න යි. වංචාව, දූෂනය හා නාස්තිය ධනපති ක්‍රමයට ආවේනික ලක්ෂනයන් ය. පරපුටු මූල්‍ය කතිපයාධිකාරය අධිපතිකමට පත්ව ඇති තත්වය තුල මෙම දුර්දාන්ත ලක්ෂන රටක්රටක් පාසා ඉහවහා ගොස් ඇත. ලංකාව තුල මෙම කුනුවීම ඔඩුදුවා මහජන විරෝධයට ලක්වී ඇති තත්වය තුල ජවිපෙ හා ජාජබ විකුනන්නේ එම කුනු සෝදා ධනපති ක්‍රමය සුද්ධ පවිත්‍රකර පවත්වා ගත හැකිය යන මිත්‍යාවයි.

වත්මන් ආර්ථික “‍අර්බුදයේ ලක්ෂන පහක්”‍ ගැන, එනම්, 1. නය අර්බුදය, 2. ආනයන අපනයන වෙලඳපොලේ කඩාවැටීම, 3. රාජ්‍ය ආදායම හීනවීම, 4. නිෂ්පාදනය කඩාවැටීම සහ 5. ආදායම් විෂමතාව ගනන් හිලව් ඉදිරිපත් කරමින් දිසානායක විස්තරයක් කලේය.

දිසානායකගේ ආර්ථික ප්‍රතිපත්තිය සාදාදුන් ශාස්ත්‍රාලික පන්ඩිතයන්ට අනුව මේ “අර්බුදයේ ලක්ෂන”‍ රටතුල ජනිතවුවා වැනි ය! ඔවුන්ට ජාතිකවාදී ප්‍රිස්මයෙන් එපිටට බැලිය නොහැකි ය.

ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට යයි දිසානායක හා ජාජබය දෙසාබාන ජාතිකවාදී වැඩපිලිවෙල ව්‍යාජයකි. ලෝකයේ සෑම රටකම අර්බුදය අතිමූලික වසයෙන් නිර්මානය කර ඇත්තේ ලෝක ධනවාදයේ අර්බුදය විසිනි. ලංකාව ලෝක ධනවාදයට ගැටගසුනු එහි කොටසකි. ට්‍රොට්ස්කි පෙන්වා දුන් පරිදි අප ජීවත්වන්නේ “අධිරාජ්‍යවාදී යුගයක, එනම්, මූල්‍ය ප්‍රාග්ධනය අධිපතිත්වය දරන්නාවූ ලෝක ආර්ථිකයක් හා ලෝක දේශපාලනයක්”‍ පිලිබඳ යුගයක ය. මොනම රටකට වත් ඉන් මිදීගත නොහැකිය.

දැන් උද්ගතවී ඇත්තේ ලෝක ධනවාදයේ පද්ධතිගත අර්බුදයකි. ලාභ රේට්ටුව පහලයාම, එනිසාම ශ්‍රම සූරාකෑම තියුනු කිරීම, ලෝක වෙලඳපොල සඳහා තරඟය, ලෝක ආධිපත්‍යය සඳහා වෙසෙසින්ම අර්බුදයේ කේන්ද්‍රයේ පවතින ඇමරිකාව දරන ප්‍රයත්නය විසින් එම අර්බුදය සලකුනු කෙරෙයි. ඒවායින් ප්‍රකාශයට පත්වන්නේ ලෝක ධනවාදයේ අතිමූලික පරස්පරවිරෝධයන් තියුනු වීමකි: එනම් නිෂ්පාදනය ගෝලීය මටටමකින් සමාජමය වීම හා නිෂ්පාදන මාධ්‍යයන්හි පුද්ගලික අයිතියත් ගෝලීයකරනය වූ ලෝක ආර්ථිකය හා ජාතික රාජ්‍ය පද්ධතියත් අතර පරස්විරෝධයන් ය. තුන්වන ලෝක යුද්ධයක අන්තරාය මතුකරමින් මෙම පරස්පරවිරෝධයන් දැන් තියුනු වෙමින් ක්‍රියාත්මක වෙයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ආර්ථිකයන් නියාමනය කෙරුනු පිලිවෙත් 1970 දශකයේ බිඳ වැටෙන්ට පටන්ගැනීමෙන් පසු ගෝලීයකරන ක්‍රියාවලිය ඇරඹීමත් සමග අබාධිත සූරාකෑම සඳහා “‍විවෘත ආර්ථික”‍ හා “‍විවෘත වෙලඳපොල”‍ පිලිවෙත් පෙරට දැමුනි. මූල්‍ය ප්‍රාග්ධනය පෙර නොවූ විරු ලෙස පිම්බී වැඩී ඒමෙන්, සමපේක්ෂනය මත මූලිකව පදනම්වී ගත්, පරපුටු මූල්‍ය කතිපයාධිකාරයක ආධිපත්‍යය ලෝක ආර්ථිකය මත නැගී ඇත.

මෙම පිම්බීම, 2008 වෝල්වීදියේ මහාබැංකු කඩාවැටීමට තුඩුදී ලෝකයේ සෑම රටක්ම අලලා ගියේය. මූල්‍ය කතිපයාධිකාරය සන්තර්පනය කිරීමට ඇමරිකාවේ හා යුරෝපයේ මහ බැංකු විසින් ඩොලර් ට්‍රිලියන ගනන් මූල්‍ය ආයතනවලට පොම්ප කලද අලු‍ත් වටයකින් අර්බුදය ඇරඹී ඇත. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය සිය විශ්ලේෂන මගින් මෙම අර්බුදයේ වර්ධනය අඩියක් පාසා පැහැදිලි කර ඇත.

එක්සත් ජනපදය, ජපානය, යුරෝ කලාපය සහ චීනය යන “කෙරුමන් හතර දෙනාගේ” ආර්ථිකයන්හි ඉදිරි වසර පහ සඳහා “සැලකිය යුතු ප්‍රගතියක් අපේක්ෂා කල නොහැකි බව”‍ වොෂිංටනයේ අර්ධ වාර්ෂික රැස්වීමට ජාමූඅ විසින් නිකුත් කරන ලද වාර්තා පෙන්නුම් කරයි. එය උපුටා දක්වන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ආර්ථික විශ්ලේෂක නික් බීම්ස් ඔක්තෝබර් 21දා ලියූ ලිපියක සටහන් කරන්නේ “‍ජාමූඅ වාර්තාවෙන් පැහැදිලි වන පරිදි, පූර්න අවපාතයක ඉහල යන තර්ජනයත් සමඟ සිදුවෙමින් තිබෙන එකතැන පල්වීම දැන් ‘නව සාමාන්‍යය තත්වය' බවට පත්වී ඇති බවයි. ලෝක ආර්ථික වර්ධනය එක දිගට පහත වැටෙන තත්වයක් තුල අයෝජකයන් තමන් සතු මුදල් සැබෑ ආර්ථිකය (නිෂ්පාදන හා කර්මාන්ත ක්ෂේත්‍රය තුල) යෙදීම වෙනුවට තම ප්‍රාග්ධනය පුලු‍ල් කිරීම සඳහා අවදානම් සහගත මූල්‍ය සමපේක්ෂනයට යොදවා ඇති බව බීම්ස් තවදුරටත් පෙන්වා දෙයි. “එවැනි වත්කම් ඕනෑම සැලකිය යුතු ආර්ථික පසුබෑමකදී කඩා වැටීමට බොහෝදුරට ඉඩ ඇති අතර, වඩවඩාත් එවැනි කඩාවැටීමක සලකුනු පෙනෙන්ට තිබේ.”‍

ධනපති ආන්ඩු මෙලෙස වැඩෙන අර්බුදයේ බර මහජනයාගේ කරමත පටවමින් දශක ගනනාවක් තිස්සේ අරගල මගින් දිනා ගත් විශ්‍රාම වැටුප් ඇතුලු‍ අයිතීන් අහෝසි කිරීමට එරෙහිව මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා පීඩිතයන් දැන් ලෝකය පුරාම පන්ති අරගලවලට පිවිස සිටී. ඇමෙරිකාවේ යෝධ මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන ජෙනරල් මෝටර්ස් කම්කරුවන් 48,000 ක් පමන මාස ගනනක් තිස්සේ වැටුප් අරබයා ගෙන ගිය වැඩවර්ජනය සමිති නායකයින් පසුගියදා පාවා දුන්නේය. චිලී, ලෙබනන් හා ඉරාකය ඇතුලු‍ ලෝකයේ අනෙකුත් රටවල් මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා පීඩිත ධනේශ්වර ක්‍රමයේ පදනම් සොලවාලමින් අරගවලටට එලැඹ තිබේ.

ලෝක ආර්ථිකයට දැඩිව ගැටගැසී ඇති ලංකාව වැනි රටවල අර්බුදය නියත ලෙසම සංලක්ෂිතව ඇත්තේ මෙම මහා යථාර්ථයෙනි.

හදිසියේ සොයාගත්තාක් මෙන් දිසානායක ලංකාව “ලෝකය වෙලඳපොලට ගැටගැසී තිබෙන බව”‍ කීවේ ය. ඔහු එසේ සඳහන් කලේ ලෝක වෙලඳපොලෙන් “අපට [ධනපති පන්තියට] අත්කරගත හැකි පංගුව පිලිබඳ අවධානය යොමු කිරීමට”‍ යි. මෙය තවත් මිත්‍යාවකි. ලෝක වෙලඳපොල හසුරුවන්නේ යෝධ සංගත හා බැංකු විසිනි. ධනපතියන්ට “තමන්ගේ පංගුව”‍ වැඩිකර ගැනීමට නම් මෙම සංගත හා බැංකු විසින් අනවන පරිදි, සමාජ හා ජීවන අයිතීන් කපා හරිමින් හා ශ්‍රම සූරා කෑම ගැඹුරු කරමින් වෙලඳපොලට භාන්ඩ සම්පාදනය කර දිය යුතුය.

වතුකරයේ හා නිදහස් වෙලඳ කලාපවල වැටුප් දරිද්‍රතා මටටමේ තබා වහල් කොන්දේසි යටතේ ජාත්‍යන්තර සංගත සඳහා ධනපති සමාගම් දැනටමත් ගෙන යන ධාවනය දිසානායක බලයට පත්වුවහොත් සෑම ක්ෂේත්‍රයකම තවත් වේගවත් කෙරෙනු ඇත.

නය ගැනීම සහ නය ගෙවීම සම්බන්ධයෙන් දිසානායක සිදුකල සැඳහුම් ජාජබයේ අධිරාජ්‍ය ගැති පිලිවෙත සම්බන්ධයෙන් වඩාත්ම හෙලිදරව්කාරීය: “නයක් ගෙන පලදායි ව්‍යාපෘතියකට යොදවා එයින් ලැබෙන ආදායමෙන් පරන නයත්, අලු‍ත් නයත් ක්‍රමානුකූලව ගෙවීමේ උත්තරයක් විතරයි අපට තියෙන්නේ. හැබැයි නිශ්චිත අරමුනක් තියෙන්න ඕන. හරි නිශ්චිත අවුරුදු 10කට ඉතාමත් හොඳ ඉලක්ක සහිත සැලස්මක් අපි හදන්න ඕන. අවුරුදු 5න් බැහැ.”‍

ඔහු විදේශ මූල්‍යාධිකාරින්ට නය නොපිරිහෙලා ගෙවන බවට එලෙස සපථ කල අතර “පලදායි”‍ ව්‍යාපෘතියක් ද පෙන්වා දුන්නේය. දිසානායක කියන විදියට වසර ගනනාවක් තිස්සේ ලංකාවේ ඇති “ලෝකයේ වටිනාම මිනිරන් සම්පත”‍ “‍කුට්ටි පිටින්”‍ අපනයන කරන අතර දැනට මිනිරන් ටොන් 1ට ලැබෙන්නේ ඩොලර් 2000ක් තරම් ආදායමකි. “මෙරටට කර්මාන්ත ශාලාවක් ගෙන ආවොත් මිනිරන් කිලෝ එකක්ම ඩොලර් 5000ට අපනය කල හැකි බවත් එවැනි ව්‍යාපෘති සඳහා නය ගැනීමට තමන් ලෑස්ති බවත් ඔහු තවදුරටත් කීවේ ය. මෙවන් මනෝරාජික ව්‍යාපෘති ගැන හඳහන් ලිවිය හැක්කේ ලෝක වෙලඳපොල පාලනය කරන්නේ තමන් බව සිතින් සිතාගත් ධනපතියන්ට ය. දැනටමත් දැවැන්ත මිනිරන් අපනය කරුවෙකුවන ඉන්දියාව චීනයේ තරඟයෙන් ද ඇමරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙන් ද බැටකයි.

රජය පෞද්ගලික අංශයේ “ඇතම්”‍ ක්ෂේත්‍රවල “යම් අධිකාරිත්වයක්”‍ ලබා ගත යුතුබව කී දිසානායක රාජ්‍යය විසින් “අත්හලයුතු අංශ”‍ තිබෙන බව කීවේය. “‍පොඩි විවාදයක් තියෙන නිසා”‍ මෙම “අත්හල යුතු ක්ෂේත්‍ර”‍ මොනවාද යන්න ගැන නොකියන බව කී දිසානායක කිවේය. නිසැකවම ඒවා ජාමූඅ විසින් පෞද්ගලීකකරනය කිරීම සඳහා දැනටමත් අන පනවා ඇති විදුලි බල මන්ඩලය, ජල මන්ඩලය, තෙල් සංස්ථාව ආදිය විය යුතුය.

සිය ආර්ථික පිලිවෙත යටතේ සුපිරි ධනපතියන්ගෙන් දැනට අයකරන බදු කපන බවට ඔහු පොරොන්දු විය. ලංකාවේ බිලියනපතියකු වන හැරී ජයවර්ධනගේ--ෆෝබ්ස් ආසියා”‍ (2013) සඟරාවට අනුව ලංකාවේ තෙවැනි ධනවත්ම පුද්ගලයා වන හැරී ජයවර්ධනගේ වත්කම ඩොලර් මිලියන 370 කි--බදු සම්බන්ධයෙන් ඔහු කල ප්‍රකාශය උදාහරනීය ය.

තමන්ගේ සමාගම්වලින් රජය සියයට 28ක බදු අයකරගන්නා බවට බිලියනපතියා විසින් මෑතකදී මුදල් අමාත්‍යවරයාට චෝදනා කල බව සඳහන් කරමින් දිසානායක කීවේ, “ආදායමෙන් විශාල පංගුවක් බදුවලට ගන්න සිද්ධවුනාම ව්‍යවසායකයන්ට අලු‍තෙන් ආයෝජනය කරන්න ප්‍රාග්ධනය නැතිව යන”‍ බවත් එබැවින් බදු, “ආර්ථිකය ප්‍රසාරනය කිරීමට බැරියර් එකක් නොවිය යුතු”‍ බවත් ය. වෙනත් වචන වලින් කිවහොත් “ආර්ථිකය ප්‍රසාරනය කිරීමේ”‍ නමින් දිසානායක සුපිරි ධනපතියන්ට බදු සහන පූජා කරනු ඇත.

ජවිපෙ හා ජාජබ නියෝජනය කරන්නේ ධනපති පන්තිය හා ඉහල මධ්‍යම පන්තියයි. සමාජවාදී සමානතා පක්ෂය (සසප) නියෝජනය කරන්නේ කම්කරු පන්තියයි. එහෙයින් සසප වැඩපිලිවෙල ජවිපෙ-ජාජබ වැඩපිලිවෙලින් ඉඳුරාම වෙනස් ය. සසප අවධාරනය කරන්නේ කම්කරුවන්, දුගීන් හා තරුනයන් මුහුන දෙන බරපතල ප්‍රශ්න විසඳිය හැක්කේ ජාත්‍යන්තරව සමාජවාදය ගොඩ නැගීමේ අරගලය තුලින් ම පමනක් බවයි.

මෙම පදනම මත, සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව සඳහා ද විශාල වතු, මහා කොම්පැනි හා බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කිරීමේ හා විදේශ නය නොගෙවා නිෂ්ප්‍රභා කිරීමේ ද වැඩපිලිවෙල ඉදිරිපත් කර කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන්වදියි. ජවිපෙ සහ අනෙකුත් ධනපති අපේක්ෂකයන්ගේ වැඩපිලිවෙල ප්‍රතික්ෂේපකර සසප වැඩපිලිවෙලට සටන් කිරීමට එක්වන්න.

Share this article: