ජවිපෙ, අධ්‍යාපනය සහ සෞඛ්‍යය සම්බන්ධයෙන් ධනපති යුතෝපියානු සැලැස්මක් ඉදිරිපත් කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 ඔක්තෝබර් 26

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායකත්වය සහිත ජාතික ජන බලවේගය (ජාජබ) ජනාධිපතිවරන උද්ඝෝෂනය සඳහා ඉදිරිපත් කරන එහි වැඩ පිලිවෙලේ කොටසක් ලෙස අධ්‍යාපනය සහ සෞඛ්‍යය සේවාවන් සම්බන්ධව ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් වෙන වෙන ම ප්‍රකාශයට පත් කර තිබේ. ජවිපෙ වටා රැලි වී සිටින “විද්වතුන්”‍ කන්ඩායමක් විසින් කෙටුම්පත් කර තිබෙන එම ප්‍රතිපත්ති ප්‍රකාශන තුල ”‍ගුනාත්මක අධ්‍යාපනයක්”‍ සහ”‍ගුනාත්මක සෞඛ්‍ය සේවයක්”‍ සම්බන්ධ විවිධ කලමනාකරන සහ පරිපාලන යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත.

අවුරුදු 3 සිට 5 දක්වා වයසේ ලමයින්ට මුල් ලමාවිය සංවර්ධන අධ්‍යාපනය නොමිලේ ලබාදීම, ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පද්ධතියක් ඇති කිරීම, දරුවන්ගේ සෞඛ්‍යය සහ පෝෂන තත්වයන් වර්ධනය කිරීම, පිලිගත් ප්‍රමිතීන්ට අනුව සැකසුනු පාසල් පද්ධතියක් ඇති කිරීම, අධ්‍යාපන සේවයේ බඳවා ගැනීම්, උසස්වීම් මාරුවීම් සහ අනෙකුත් වෘත්තීය කටයුතු සඳහා ස්වාධීන කොමිසමක් පිහිටුවීම ඇතුලු යෝජනා අධ්‍යාපන ප්‍රකාශනයට ඇතුලත් කර ඇත.

සෞඛ්‍ය සඳහා දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 5ක් ආයෝජනය කිරීම ඉලක්ක කර ගනිමින් ඉදිරි වසර පහ තුල එය සියයට 3 දක්වා වැඩි කිරීම, ජාතික සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයක් පිහිටුවීම, පහසු මිලට ඖෂද ලබා ගැනීමට හැකි වන පරිදි රාජ්‍ය ඔසුසල් ප්‍රමානය වැඩි කිරීම, සියලු‍ රෝහල් වලට ගිලන්රථ පහසුකම් සැපයීම, බෝනොවන රෝග ව්‍යාප්තිය පාලනය සඳහා පියවර ගැනීම ආදී යෝජනා සෞඛ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි දැක්වේ.

අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවන් දියුනු කිරීම පිලිබඳ වාගාලාපයන් තිබිය දීම එම සේවාවන් තුල පවතින හා වර්ධනය කෙරෙන පුද්ගලික ධනපති ආයෝජකයන්ගේ කා වැදීම සුරක්ෂිත කරන බව ද ඉතා සියුම් ලෙස ප්‍රතිපත්ති ප්‍රකාශන තුල සටහන් කර ඇත.

අධ්‍යාපනය “‍විකෘති වී ඇති තත්වයක් තුල”‍ යෝජිත වැඩපිලිවෙල සම්පූර්නවීම සඳහා කිසියම් කාලයක් ගත වන නිසා විවිධ මට්ටම්වල පෞද්ගලික අධ්‍යාපනය නියාමනය කිරීමේ “‍තාවකාලික ආයතනික ව්‍යුහයන් ඇති කල යුතු”‍ බව අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පූර්විකාවේ සඳහන් වෙයි. එය ජවිපෙ ආන්ඩුවක් යටතේ පුද්ගලික අධ්‍යාපන සේවාවන් සුරක්ෂිත කෙරෙන බවට ආයෝජකයන්ට දී ඇති සහතිකයකි. “තාවකාලික”‍ යන නාම විශේෂනයක් ආයතනික ව්‍යුහයන් යන්නට මුලින් යොදා ඇත්තේ ශිෂ්‍යයන් සහ මහජනයා නොමග යැවීමට ය.

අධ්‍යාපනය සම්බන්ධ ප්‍රකාශනය තුල අධ්‍යාපනය “ගුනාත්මකව”‍ වර්ධනය කිරීම පිලිබඳ සහතිකවන අතරේ, “අධ්‍යාපනය රැකියා වෙලඳපොල සහ කර්මාන්ත අවශ්‍යතාව මත පමනක් පදනම් නොවිය යුතු වුව ද, සමාජ අවශ්‍යතාව සහ පලදායිත්වය ඉහල නැංවීමට සමත් සේවා නියුක්තියක් ලබා ගැනීම සඳහා දායක විය යුතු”‍ බව පවසයි. එනම් ශ්‍රම ශක්තිය වෙලඳ භාන්ඩයක් ලෙස වැඩි මිලකට ධනපතියාට (ආයෝජකයන්ට) විකිනීමට සුදුසු ආකාරයට සහ ඔහුට වැඩි වැඩියෙන් ලාබ මිරිකා ගැනීමට හැකිවන පරිදි ශ්‍රම පලදායිත්වය ඉහල නැංවීමට සමත් වන පරිදි අධ්‍යාපනය හැඩගැස්විය යුතුය.

සෞඛ්‍ය සේවාව ද “‍නියාමනය”‍ කර පවත්වාගෙන යාමේ කඩතුරාව යටතේ පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් සුරක්ෂිත කරන බවට ආයෝජකයින්ට සහතිකයක් දී ඇත. ප්‍රකාශනයේ “පෞද්ගලික සෞඛ්‍ය සේවය”‍ යන කොටසෙහි මෙසේ දැක් වේ: “සෑම පුරවැසියෙකු සඳහාම නිරෝගී සුවය සහතික කිරීම රජයේ වගකීමක් ලෙස සලකන අතර පොදු ජාතික සෞඛ්‍ය සැලැස්මක් අනුව පෞද්ගලික සෞඛ්‍ය සේවාවන්හි සියලු‍ ක්‍රියාකාරකම් නියාමනය කරනු ලැබේ”‍.

ගෝලීය ධනපති ක්‍රමය ආර්ථික අවපාතයක් කරා වේගයෙන් රූටා යන කොන්දේසි යටතේ ගැඹුරුවන වන ආර්ථික අර්බුදයක් තුලට ඇද වැටී ඇති ශ්‍රී ලංකාව තුල ජාජබ ඉදිරිපත්කර තිබෙන ජාතිකවාදී ආර්ථික පිලිවෙත් මත පාදක වූ මෙම සැලසුම් ක්‍රියාවට දැමීමට මෙන්ම පෞද්ගලික ආයෝජන ජනතා හිතවාදී ලෙස “නියාමනය”‍ කිරීමේ හැකියාවක් ද නැත.

ජාජබ හි අධ්‍යාපන සහ සෞඛ්‍ය පිලිවෙත් කෙටුම්පත් කල “විද්වතුන්ට”‍ මෙම වෛෂයික සත්‍යය නොපෙනෙනුයේ, තමා නියෝජනය කරන ඉහල මධ්‍යම පන්තියේ අවශ්‍යතාවයන්ගේ ප්‍රිස්මයෙන් ඔවුන් සියලු‍ සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍ර‍ශ්න නිරීක්ෂනය කරන බැවිනි.

ජවිපෙ යනු ධනේශ්වර දේශපාලන සංස්තාපිතයේ ම පක්ෂයකි. එය ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුවේ සිට මහින්ද රාජපක්ෂ සහ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට ධනපති ආන්ඩුවලට සහයෝගය දුන් පක්ෂයකි.

ශ්‍රී ලංකාව 2021 වන විට විදේශ නය සඳහා ඩොලර් බිලියන 15 ක් ගෙවිය යුතුය. මෑත විශ්ලේෂන වලට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2018 සියයට 3,2 කි. එය 17 වසරක් තුල අවම ආර්ථික වර්ධනයයි. මෙම වසර තුල එය සියයට 2.5 දක්වා තවදුරටත් පහත වැටෙනු ඇතැයි සැලකේ. බලයට පත්වන කවර ධනපති ආන්ඩුවක් වුව ද සිය ආර්ථික පිලිවෙත් හැසිරවීමට සිදුවන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජමුඅ) නියෝගවලට අනුවය. එලඹෙන 2020 වසර තුල රටේ අයවැය පරතරය දල ජාතික නිශ්පාදනයෙන් සියයට 3.5 දක්වා කප්පාදු කල යුතුව ඇත. එය 2018 සියයට 5.5 ක් වූ අතර මෙම වසරේ සියයට 5.6 ක් වනු ඇතැයි ගනන් බලා ඇත. ඒ අනුව අධ්‍යාපනය සෞඛ්‍යය ඇතුලු සුබසාදන වියදම් මෙන්ම රාජ්‍ය අංශයේ රැකියා හා වැටුප් කප්පාදු කල යුතු අතර රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහකරනය හා පුද්ගලීකරනය කඩිනම් කරන ලෙස ජාමුඅ යලිත් අවධාරනය කර තිබේ.

ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ සහ එය විසින් හසුරුවනු ලබන ජාමුඅ කොන්දේසිවලට පිටින් කිසිදු ධනේශ්වර හෝ “වාමාංශික”‍ ආන්ඩුවකට සිය ආර්ථික පිලිවෙත් සැලසුම් කිරීමට නොහැකිය.

අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුලු සමාජ සුබසාධන සේවාවන් පවත්වාගෙන යාම සහ ඒ සඳහා අදාල අරමුදල් සම්පාදනය කල හැක්කේත් දරිද්‍රතාවය, රැකියා වියුක්තිය සහ සමාජ අසමානතාවය තුරන් කල හැක්කේත් ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ග්‍රහනය අහෝසි කරන ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ධනපති පන්ති පාලනය අහෝසිකිරීම මගින් පමනි.

එනම් බැංකු, කර්මාන්ත සහ මහා වතු ඇතුලු ධනපති දේපල කම්කරු පාලනය යටතේ ජනසතු කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම තුලින් පමනි. ශ්‍රී ලංකාව තුල මෙම වැඩපිලිවෙල සඳහා සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂ (සසප) යයි. එහි ජනාධිපති අපේක්ෂකයා පානි විජේසිරිවර්ධන ට චන්දය දෙන්න. එහි වැඩ පිලිවෙල අධ්‍යයනය කරන ලෙසත් කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩ නැගීමට උරදෙන ලෙසත් අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: