අසූවන උපන් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදී නන්ද වික්‍රමසිංහට උපහාරයක්

Eightieth birthday tribute to Sri Lankan Trotskyist Nanda Wickremasinghe

ඩේවිඩ් නෝත් විසිනි, 2019 ඔක්තෝබර් 26

ඔක්තෝබර් 15දා සිය අසූවන උපන් දිනය සැමරූ ශ්‍රී ලංකාවේ කෘතහස්ත ට්‍රොට්ස්කිවාදියෙකු වන නන්ද වික්‍රමසිංහට, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති හා එක්සත් ජනපදයේ සමානතා පක්ෂයේ ජාතික සභාපති ඬේවිඞ් නෝත් ඒ වෙනුවෙන් පහත පලවන උපහාර පනිවුඩය යැවී ය. වික්ස් යන ආදරනීය නාමයෙන් හැඳින්වෙන වික්‍රමසිංහ 1968 දී පිහිටුවූ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ශ්‍රී ලංකා ශාඛාවේ ආරම්භක සාමාජිකයෙකි. ජාත්‍යන්තර කමිටුවේ ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන කමිටුවේ ද ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කොලඹ කර්තෘ මන්ඩලයේ ද දිගුකාලීන සාමාජිකයකු වන වික්‍රමසිංහට උපහාර දක්වනු පිනිස ඔක්තෝබර් 15 දා කොලඹ දී පැවති උත්සවයකට සසප සාමාජිකයෝ සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ එක් වූහ. එහි දී සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් ඇතුලු‍ නායක සාමාජිකයන් කිහිප දෙනෙක්ම වික්‍රමසිංහගේ දිගුකාලීන විප්ලවවාදී ජීවිතය ආවර්ජනය හා අගය කරමින් කතා කල අතර ජාත්‍යන්තර කමිටුවේ නායක සහෝදරවරුන් විසින් එවන ලද සුභපැතුම් පනිවිඩ ද කියවන ලදි.

හිතවත් වික්ස් සහෝදරය,

ඔබගේ අසූවන උපන් දිනය යෙදෙන මේ අවස්ථාවේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව වෙනුවෙන් සුභපැතුම් පිරිනැමීමට පමනක් නො ව, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම සඳහා ඔබ කර ඇති සියල්ල වෙනුවෙන් අපගේ ප්‍රගාඪ ඇගයීම හා උපහාරය පුදකිරීමට ලැබීම මා හට ගෞරවයකි.

නන්ද වික්‍රමසිංහ

හතරවන ජාත්‍යන්තරයේ සෑම කේඩරයක් ම තම උර මත මානව වර්ගයාගේ ඉරනමින් අංශු මාත්‍රයක් දරාගෙන සිටින බව ට්‍රොට්ස්කි 1938 දී ලිවී ය. අඩසියවසකට වැඩි කාලයක් පුරා දිවෙන දේශපාලන අරගලයන්ගේ ගමන් මාවතේ දී මානව වර්ගයාගේ ඉරනමින් එක් අංශුවකට වැඩි යමක් ඔබ දරා සිට ඇති බව කෙනෙකුට නිර්භය ව ප්‍රකාශ කල හැකි ය.

ඔබගේ ජීවිතයේ අසූවසර ආසන්න වසයෙන් හතරවන ජාත්‍යන්තරයේ සමස්ත ඉතිහාසය ආවරනය කරයි. ඔබගේ ජීවිතයේ කාලවේදය අපගේ ව්‍යාපාරයේ ඓතිහාසික අරගල තුල ගිලී තිබේ. ඔබ උපත ලැබීමට යන්තම් මාස ගනනකට පෙර, 1939 ජූලි 25දා සිය ප්‍රශංසාත්මක “ඉන්දියානු කම්කරුවන්ට විවෘත ලිපිය” ලියූ ට්‍රොට්ස්කි පහත දැක්වෙන තියුනු අනතුරු ඇඟවීම නිකුත් කලේ ය:

“විප්ලවවාදී අරගලයකට නායකත්වය දීමට ඉන්දියානු ධනේශ්වරය අසමත් ය. බ්‍රිතාන්‍ය ධනවාදය මත රඳා සිටින ඔවුහු එය සමග සමීප ව බැඳී සිටිති. ඔවුහු ඔවුන්ගේ ම දේපොල සම්බන්ධයෙන් බියෙන් සසල වෙති. ඔවුහු මහජනතාවට බියෙන් පසුවෙති. කවර මිලක් දරා හෝ බ්‍රි තාන්‍ය අධිරාජ්‍යවාදය සමග සම්මුතියකට උත්සාහ දරන ඔවුහු, ඉහලින් එන ප්‍රතිසංස්කරන පිලිබඳ බලාපොරොත්තුවලින් ඉන්දියානු ජනයා නලවති. මෙම ධනේශ්වරයේ නායකයා හා අනාගත වක්තෘවරයා ගාන්ධි ය. ව්‍යාජ නායකයෙක්, ව්‍යාජ වක්තෘවරයෙක්!”

ගාන්ධි ගැන මෙම අවඥා සහගත තක්සේරුවෙන් ට්‍රොට්ස්කි සාරභූත හා අපලායනීය දේශපාලන නිගමන උකහා ගත්තේ ය:

“ව්‍යාජ අපේක්ෂාවන් මුලිනුපුටා දැමිය යුතු අපි ව්‍යාජ මිතුරන් විකර්ශනය කල යුතු වෙමු. අප බලාපොරොත්තු රැඳවිය යුත්තේ අප මත හා අපගේ ම විප්ලවවාදී බලවේග මත යි. ජාතික ස්වාධීනත්වය සහ ස්වාධීන ඉන්දියානු සමූහාන්ඩුවක් සඳහා අරගලය කෘෂිකාර්මික විප්ලවය, බැංකු හා භාර අරමුදල් ජනසතු කිරීම, රටෙහි ජීවන තත්ත්වය ඉහල දැමීම හා වැඩ කරන ජනයා තමන්ගේ ඉරනමෙහි ස්වාමීත්වයට පත්කිරීම ඉලක්ක කරගත් අනෙකුත් ආර්ථික පියවරයන් සමග අවියෝජනීය ලෙස බැඳී ඇත. මෙම කර්තව්‍යයන් ක්‍රියාවට දැමිය හැක්කේ ගොවි ජනතාව සමග සන්ධානගත වන නිර්ධන පන්තියට පමනි.”

ලංකාව තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වර්ධනයට මෙම ලිපිය තීරනාත්මක දේශපාලනික ආවේගය සම්පාදනය කලේ ය. ඔබ ට්‍රොට්ස්කි විසින් ලංකා සම සමාජ පක්ෂය වෙත බෙදා දුන් නො නවතින විප්ලවයේ ඉදිරිදර්ශනය මගින් දේශපාලනික දිශානතිය නීර්නය කෙරුනු ලංකාවේ තරුන පරම්පරාවක කොටසක් විය.

ඔබගේ ඒත්තුගැනීම්වල ගැඹුර හා බැරෑරුම් භාවය, 1964 දී ලසසපයේ ට්‍රොට්ස්කිවාදය පාවාදීම මගින් පරීක්ෂාවට බඳුන් කෙරුනි. දේශපාලනික පැහැදිලිකමේ සංකීර්න ක්‍රියාවලියක ගමන් මාවත තුල ජාත්‍යන්තර කමිටුව සමග පෙලගැසුනු ඔබ 1968 දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ආරම්භක සාමාජිකයෙක් විය. අඩ සියවසකට වැඩි කලක් පුරා ඔබ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාවේ නායකත්වයේ රැඳී සිට ඇත. මූලධර්ම කෙරෙහි ඔබගේ නො පසුබට කැපවීම ලොව පුරා ඔබගේ සහෝදරයන් හට අනුප්‍රානයකි.

පුද්ගලික කරුනක් සඳහන් කරන්නේ නම්, දැනට සියවසකින් තුන් පංගුවක් කරා විස්තාරනය වන අපගේ දීර්ඝ කාලීන හා සමීප දේශපාලන සහයෝගිතාවෙන් මා ඉමහත් ඵල ලබා ඇති බව පිලිගැනීමට අවසර දෙන්න. දේශපාලනික ප්‍රශ්න හා ගැටලු‍ පිලිබඳ ඔබගේ අවංක හා ඍජු ඇගයීම් මා විසින් නිතර ම අගය කර ඉහලින් ම වටිනා ලෙස සලකා ඇත. වසර බොහෝ ගනනාවක් තිස්සේ මෙම සහයෝගිතාව ගැඹුරු හා කල්පවත්නා මිත්‍රත්වයක ගුනාංග අත්පත් කරගෙන තිබේ.

නැවතත්, මෙම සිත්ගන්නාසුලු‍ සැතපුම් කනුව වෙත ලඟාවීම ගැන සුභපැතුම්. ජාත්‍යන්තර කමිටුවේ ඔබගේ සියලු‍ සහෝදරවරු සමග ඔබගේ දිවියේ නව වන දශකයේ දී ලෝක සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය සඳහා අරගලය කරගෙන යාමේ දී මම ඔබට යහපත් සෞඛ්‍යය හා සන්තෘෂ්ටිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

උනුසුම් සුභ පැතුම් සමග,

ඬේවිඞ් නෝත්

Share this article: