“කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව” පලමු ප්‍රසිද්ධ මහා සභා රැස්වීම පවත්වයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 සැප්තැම්බර් 19

කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ කමිටුවේ (කප්‍රනිආක) පලමු ප්‍රසිද්ධ මහා සභා රැස්වීම පසුගිය සැප්තැම්බර් මස 11 දින සවස බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවැත්වුනි. මෙම රැස්වීමට කලාකරුවන්, කම්කරුවන්, තරුනයින් සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ක්‍රියාධරයින් පිරිසක් සහභාගී වූහ.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ දඩයමට ලක්ව මාස හතරකට අධික කාලයක් බන්ධනාගාරයේ රඳවාගෙන සිට ඇපමත නිදහස් කෙරුනු ලේඛක ශක්තික සත්කුමාර, බෞද්ධ සංස්ථාපිතයේ උදහසට හා ආන්ඩුවේ තහනමට ලක්වු “කනට පාරක්” නම් වූ ගුවන් විදුලි නාට්‍ය මාලාව නිර්මානය කල සම්මානනීය චිත්‍රපට තිර රචකයෙකු, අධ්‍යක්ෂවරයෙකු වන මාලක දේවප්‍රිය යන කලාකරුවෝ ද මේ අතර වූහ.

කප්‍රනිආක සභාපති සහ සසප දේශපාලන මන්ඩල සභික සංජය ජයසේකර

රැස්වීමේ මුලසුන දැරූ කප්‍රනිආක සභාපති සහ සසප දේශපාලන මන්ඩල සභික සංජය ජයසේකර රැස්වීම ආරම්භ කරමින්, කමිටුව පිහිුටුවා මාසයක කාලයක් තුල අත්කර ගත් සාධනීය ප්‍රතිඵල ගෙනහැර දැක්වූයේ ය. ක්‍රියාකාරි කමිටුව ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් සහ ක්‍රියාමාර්ගයක් මත මෙහෙයවා ගත යුතු ආකාරය පිලිබඳව පෘථුල සාකච්ඡාවක අවශ්‍යතාවය ඔහු අවධාරනය කලේ ය.

ජයසේකර මෙසේ සඳහන් කලේ ය: “ලංකාවේ මෙන් ම ලෝකය පුරා කම්කරුවන්ගේ සහ ශිෂ්‍යයන්ගේ මෙන්ම අවශේෂ පීඩිතයන්ගේ අරගල මාලාවක් පැන නැගී ඇත්තේ අර්බූද ග්‍රස්ත ධනපති පාලක පන්තිය විසින් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ගෝලීය ප්‍රහාරයක් දියත් කරන තත්වයක් තුල යි. 2008 එක්සත් ජනපදයෙන් පුපුරාගිය ආර්ථික අර්බුදය ලෝකය වෙලාගෙන පවතින තත්වය තුල අධිරාජ්‍යවාදීන් කම්කරු පීඩිතයින්ට එරෙහි ආර්ථික ප්‍රහාර සමග ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර තීව්‍ර කරමින් සිටිනවා.”

ජාත්‍යන්තර සමාජවාදය මත පාදක වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට එරෙහිව ලොව පුරා ව්‍යාජ වාම සංවිධාන විසින් තොරොම්බල් කරන වාම ජනතාවාදී ව්‍යාපාරයන්ගේ ප්‍රතිගාමී ස්වභාවය ජයසේකර පැහැදිලි කලේ ය.

“අසල්වැසි ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සහ කාශ්මීරයේ ජනතාවට එරෙහිව එල්ල කෙරෙන හින්දු ස්වෝත්තමවාදී ප්‍රහාරයන් වගේම සෑම රටක ම දක්ෂිනාංශික වැඩඩපිලිවෙලවල් තීව්‍ර වෙමින් පවතිනවා.” ලංකාව තුල ද සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී උද්ඝෝෂනය තීව්‍රකොට ඇති ආකාරය පැහැදිලි කල ජයසේකර, ලංකාවේ ධනපතියන් සිය පන්ති පාලනය පවත්වාගෙන යාම සඳහා ආරම්භයේ සිටම වර්ගභේදවාදය යොදාගත් ආකාරය පෙන්වා දුන්නේ ය.

ශක්තික සත්කුමාර ඇප ලබා නිදහස් වූ පමනින් ඔහුට සහ තවත් කලාකරුවන්ට අයිසීසීපීආර් පනත යටතේ එල්ල වී පවතින මර්දනය කිසිසේත් පසුපසට නොගනු ඇති බව ජයසේකර සඳහන් කලේය. “ජුලියන් අසාන්ජ්ගේ සහ චෙල්සි මැනිංගේ නිදහස සුරක්ෂිත කිරීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව දියත් කර ඇති ගෝලීය උද්ඝෝෂන ව්‍යාපාරය සමග මෙම ක්‍රියාකාරි කමිටුව ඒකාබද්ධ කල යුතු” බව ජයසේකර පැවසීය.

කප්‍රනිආක ප්‍රධාන ලේකම් ප්‍රගීත් අරවින්ද

අනතුරුව රැස්වීම ආමන්ත්‍රනය කල කප්‍රනිආක ප්‍රධාන ලේකම් ප්‍රගීත් අරවින්ද විසින්, ක්‍රියාකාරී කමිටුව පිහිටුවීමෙන් ඉක්බිති ඉහත ප්‍රසිද්ධ රැස්වීම දක්වා විධායක කමිටුවේ ක්‍රියාකාරීත්වය සහ ඉදිරි වැඩපිලිවෙල සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කලේ ය. විධායක කමිටුව අවස්ථා දෙකක දී රැස්වු බවත් පසුගිය කාලය අතරතුර කමිටුවට පිටතින් ලැබුනු ආරාධනා මත මැදිහත් වීම් දෙකක් කල බවත් ඔහු පැවසීය.

නදීකා බන්ඩාර විසින් රචිත “පුනරුදයේ ගැහැනු” හෙවත් පුනරුද යුගයේ චිත්‍ර ශිල්පිනියන් පිලිබඳ අධ්‍යයනයක් කෘතිය දොරට වැඩීම වෙනුවෙන් අගෝස්තු 16 වනදා කොලඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවට එහි රචිකාවියගේ ආරාධනයෙන් කප්‍රනිආක උපලේකම් ලොහාන් ගුනවීර සම්බන්ධවීම ඉන් පලමුවැන්න වන බවත්, අගෝස්තු 24 වනදා කුරුනෑගල දී පැවැති සැම්සන් ගුනතිලකගේ “මියගිය පසු ආගමික වතාවත් කුමටද?” කෘතිය එලිදැක්වීම නිමිත්තෙන් ප්‍රකාශනයේ නිදහස පිලිබඳ විවෘත සංවාදයට කප්‍රනිආක සභාපති සංජය ජයසේකර සහභාගි වීම දෙවැන්න බවත් අරවින්ද පැවසීය.

“එම රැස්වීම්වල දී ක්‍රියාකාරී කමිටුවේ පදනම් යෝජනා ඉදිරිපත් කරමින් අප සටන් වදින ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල පැහැදිලි කරන්නට කමිටු නියෝජිතයින් ට හැකි උනා.”

ලංකාවේ දැනට ආරම්භ වී පවතින විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක අරගලය, මෑතකදී පැවති පරිපාලන සේවක වැඩවර්ජනය සහ නිරන්තරව මතුවන ශිෂ්‍ය අරගල ගැන සඳහන් කල අරවින්ද, මෙම සියලු අරගල ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත ඒකාග්‍ර කලයුතු බව පෙන්වා දුන්නේ ය.

අරවින්ද සිය කතාවේ දී මෙසේ ද අවධාරනය කලේ ය “ක්‍රියාකාරි කමිටුව වෘත්තීය සමිති සඳහා ආදේශකයක් නොව කම්කරුවන්ගේ විප්ලවවාදී පාසලක් ඒ වගේම පාර්ලිමේන්තුවක් ලෙස පවතිනවා. වෘත්තීය සමිති ක්‍රියාත්මක වෙන්නේ කම්කරු පන්තිය බලපෑම් දැමීමේ වැඩපිලිවෙල තුල හිර කිරීමට සහ ඔවුනගේ අරගල පාවා දීම සඳහායි.”

අනතුරුව, “ක්‍රියාකාරී කමිටු ගොඩනගනු! වර්ජනය ව්‍යාප්ත කරනු! විශ්ව විද්‍යාල සේවක අරගලයට සමාජවාදී ක්‍රියාමාර්ගයක්” යනුවෙන්, 2019 සැප්තැම්බර් 09 දින ලෝසවෙඅ හි පලවූ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය, කමිටුවේ සභාපති ජයසේකර විසින් සභාවට ඉදිරිපත් කල අතර එය ඒකච්ඡන්දයෙන් සම්මත විය.

ක්‍රියාකාරි කමිටුවේ සෙසු සාමාජිකයන්ට අදහස් දැක්වීම සහ සාකච්ඡාව සඳහා වෙන්වූ කාල සීමාව තුල විප්ලවවාදී හා සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම පිලිබඳව උද්‍යෝගිමත් සාකච්ඡාවක් වර්ධනය කර ගත හැකි වූ අතර එහි දී ඇතැම් කාරනා සංවාදයට බඳුන් විය.

නුවර සිට පැමින ක්‍රියාකාරි කමිටුවට අලුතින් සම්බන්ධ වූ තරුන කවියකු හා ගුරුවරයකු වන විශ්ව ජයම්පති බන්ඩාර මෙසේ අදහස් පල කර සිටියේ ය: “සිය නිර්මාන ශක්තිය මෙහෙයවීම නිසා සිරගත වීමට සිදුවීම සම්බන්ධයෙන් ශක්තිකට වෙච්ච දේ ගැන මම ගොඩක් කනගාටු වෙනවා. නමුත් ශක්තික නිදහස් කරගැනීම සම්බන්ධයෙන් සසප මූලිකත්වය ගෙන කරන අරගලය සම්බන්යෙන් මම සතුටු වෙනවා ඒ වගේම මගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිනවා. මේ විදිහට ම මාලක සහ කුසල් (පෙරේරා) ට එල්ල වී තිබෙන මර්දනයට එරෙහිවත් මැදිහත් වෙන්න ඕනේ. අපි මෙම අරගලය වඩ වඩාත් සමාජගත කරන්න ඕනේ. එතැන දී විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතරට මැදිහත්වීම ඉතා ම වැදගත්.”

සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන සාකච්ඡාවට සම්බන්ධ වෙමින් මෙසේ අදහස් දැක්වූවේ ය: “අපි සටන් කරන්නේ කුමන ඓතිහාසික ක්‍රියාමාර්ගයක් මත ද යන්න පැහැදිලි කර ගැනීම මෙම ක්‍රියාකාරි කමිටුවේ තීරනාත්මක කර්තව්‍යය යි. කම්කරු පන්තිය අවදිකර දේශපාලනිකව බලමුලුගන්වා ගැනීම අපේ මූලික අරමුනයි. විශ්ව සහෝදරයා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතරට මැදිහත්වීම සම්බන්ධයෙන් කල අවධාරනය සහ යෝජනාවට පක්ෂවයි මම කතා කරන්නේ. දැනටමත් කොලඹ, රුහුන, ජයවර්ධනපුර, කැලනිය සහ යාපනය වැනි විශ්ව විද්‍යාලයන්හි ශිෂ්‍යයන් අතරේ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් සසප සහ සසජාතශි සැලකියයුතු උද්ඝෝෂනයක් ගෙන ගොස් තිබෙනවා.

ප්‍රකාශනයේ නිදහසට, සිසුන්ගේ අධ්‍යාපන අයිතියට සහ කම්කරුවන්ගේ වැටුප් අයිතීන්ට එරෙහි ප්‍රහාරයන් ගලා එන්නේ එකම මූලයෙන් බව, එනම් අර්බුද ග්‍රස්ත ධනවාදයෙන් බව පෙන්වාදීම ඔවුන් අතර ඒකාග්‍රතාව ඇති කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන බව විජේසිරිවර්ධන පැවසීය.

2008න් පසුව සමාජ අසමානතාව දැවැන්ත පරිමානයෙන් වැඩිවී ඇති බවත් සමාජ අසමනතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය එකිනෙක නොපෑහෙන බවත් විජේසිරිවර්ධන පෙන්වා දුන්නේය. “සමාජ අසමානතාව ගැඹුරු වත්ම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රහාරයත් ගැඹුරු කෙරෙනවා. ධනවාදයට එරෙහි අරගලයට පිටස්තරව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයක් තිබිය නොහැකි අතර ඒ සඳහා දේශපාලන මූලෝපායක් අවශ්‍ය වෙනවා. මේ ක්‍රියාකාරි කමිටු ක්‍රියාත්මක වෙන්නෙ නිශ්චිත දේශපාලන මූලෝපායක් මතයි. එය තමයි ජාත්‍යන්තර සමාජවාදී මූලෝපාය. අප ශිෂ්‍යයන්ට කියන්නේ විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තියේ නායකත්වය යටතේ එම මූලෝපායට සටන් වදින ලෙසයි.”

සසප ක්‍රියාධරයින් මෙන් ම සහභාගී වු සෙසු පිරිසෙන් බහුතරයක් මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ අතර අවසානයේ ක්‍රියාකාරි කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගනු ලැබූ තීන්දු ඒකමතිකව සම්මත කරගන්නා ලදී.

සැප්තැම්බර් මාසයේ කොලඹ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා දිවයිනේ නන්දෙසින් දහස් සංඛ්‍යාත ජනකායක් රැස්වෙන තත්වය තුල කප්‍රනිආක නායකත්වයෙන්, කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් පුලුල් උද්ඝෝෂන ව්‍යාපාරයක් ගෙන යාමටත් එම වකවානුව තුල ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමටත් තීන්දු ගැනිනි.

එමෙන් ම කොලඹ සහ තදාසන්න නගර තුල වැඩබිම්, කම්කරු නිවහන් සහ විශ්ව විද්‍යාල තුල පත්‍රිකා බෙදා හරිමින් සහ සාකච්ඡා පවත්වමින් ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අරගලය අන් ක්ෂේත්‍ර කරා ද පුලුල් කිරීමට මෙහි දී පැමිනි සිටි පිරිස එකඟ වූහ.

Share this article: