ප්‍රසිද්ධ රැස්වීම

2019 සැප්තැම්බර් 9

කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුවේ (කප්‍රනික) ⁣පලමු ප්‍රසිද්ධ මහා සභා රැස්වීම 2019 සැප්තැම්බර් මස 11 දින සවස 3.00 සිට 7.30 දක්වා බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වේ.

කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව එහිදී සාකච්ජා කිරීමට නියමිතය.

පාලක සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී අනපනත් යොදා ගනිමින්, කලාකරුවන් ට මෙන්ම, කලාවේ හා ප්‍රකාශනයේ නිදහසට එරෙහිව නව වටයක මර්දනයක් එල්ල කරමින් සිටී. බෞද්ධ සංස්ථාපිතයේ අවශ්‍යතාවයන් සපුරමින්, අභූත චෝදනා මත, කෙටිකතා රචක හා කවියෙකු වන ශක්තික සත්කුමාර මාස සතරක් සිරගතකර තැබුනු අතර මාලක දේවප්‍රිය, දිල්ශාන් පතිරත්න, කුසල් පෙරේරා වැනි කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ පියවර ගැනීමට සූදානම් කෙරුනි.

කලා කෘති වාරනය කිරීමට අමතරව එම කෘතීන් නිර්මානය කල කලාකරුවන් සිරගත කිරීමට ආන්ඩුව සත්කුමාරගෙන් ආරම්භ කලේය. සත්කමාර ඇප මත නිදහස්ව සිටියද, ඔහුට එරෙහිව එකී පනත යටතේ අධිචෝදනා ගොනු කරනු ලැබීමේ අවදානම පහව ගොස් නැත. කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුලු විකල්ප ලෙස සිතන මතන සහ ලියන කියන පුද්ගලයන්ට එරෙහිව රාජ්‍යය වාරනය හා භීතිය අභිමුඛ කොට ඇත. ආන්ඩුවේ මෙම ප්‍රහාරය ආඥාදායක පාලනයක් තහවුරු කර ගැනීම සඳහා ගෙනයන දැනුවත් ප්‍රතිවිප්ලවවාදී දේශපාලන වැඩපිලිවෙල කොටසකි.

කලාත්මක නිර්මානයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කරමින් පවතින මෙම දැවැන්ත ප්‍රහාරයට එරෙහිව ලේඛකයන්, පාඨකයන්, තරුනයන්, කම්කරුවන් හා බුද්ධිමතුන් ඇතුලත් කරගත් පුලුල් මහජන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගනු පිනිස කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව පිහිටුවන ලදී. එම අරමුන එල්ල කර ගනිමින් කමිටුව රටපුරාත්, ලෝක පරිමානවත් උද්ඝෝෂනයේ යෙදෙන්නේ මීට අනුරූපී ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ගෙනයන ජාත්‍යන්තර මහජන උද්ඝෝෂනවලට සමගාමීවය.

සැප්තැම්බර් 11 රැස්වීමට සහභාගිවන ලෙසත්, ප්‍රජාතන්ත්‍ර අයිතීන් සුරැකීමට මූලධර්මාත්මකව කැපවීමේ පදනම මත අප ක්‍රියාකාරී කමිටුවට සම්බන්ධ වන ලෙසත් සියලු ප්‍රගතිශීලී, සමාජවාදී හා වාමාංශික පුද්ගලයින්ගෙන් හා සංවිධානවලින් ඉල්ලා සිටිමු.

කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව

Share this article: