කාෂ්මීරය දිගින් දිගටම වටලා තබාගැනීමේ නව දිල්ලි ව්‍යායාමයට
ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරනය කොල එලිය දල්වා ඇත

India’s top court greenlights New Delhi prolonging Kashmir state-of-siege indefinitely

වසන්ත රූපසිංහ විසිනි, 2019 සැප්තැම්බර් 21

ඉන්දීය ආන්ඩුව විසින්, මතභේදයට තුඩු දී ඇති ජම්මු කාෂ්මීරය වටලෑමට දැන් දින 48ක් ගතව තිබේ.

ප්‍රදේශයේ මිලියන 13කට වැඩි ජනයාට අගෝස්තු 5දා සිට සියලු ජංගම දුරකථන පහසුකම් හා අන්තර්ජාල ප්‍රවේශය අහිමි කර ඇති අතර, දසදහස් ගනනක් ඉන්දීය සොල්දාදුවන් හා පැරාමිලිටරි කන්ඩායම් විසින් ඔවුන්ගේ ගමන් බිමන් දැඩි ලෙස සීමාකර ඇත. අවම වසයෙන් හාරදහසක් ජනයා රඳවාගනු ලැබ ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනා අල්ලාගෙන ඇත්තේ කුරිරු රාත්‍රී කඩාපැනීම්වල දී ය. ඔවුන් රඳවාගනු ලබන්නේ, මහජන ආරක්ෂාවට “තර්ජනයක්”යයි සලකන පුද්ගලයන් චෝදනා රහිත ව වසර දෙකක් දක්වා සිරගත කල හැකි විෂඝෝර නීති යටතේ ය.

ඉන්දියාවේ හින්දු අධිපතිවාදී බීජේපී ආන්ඩුව, අගෝස්තු 5දා ජම්මු කාෂ්මීරයට එරෙහි ව ක්‍රියාවට දැමූ ව්‍යවස්ථාමය කුමන්ත්‍රනයට එරෙහි මහජන විරෝධය මැඩීමට මෙම පෙර නුවූ විරූ ආරක්ෂක මර්දනය ක්‍රියාත්මක කර ඇත.

මහජනයාගෙන් විමසීම කෙසේ වෙතත් අනතුරු ඇඟවීමකින් පවා තොර ව, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඔහුගේ හෙංචයියා වන ස්වදේශ ඇමති අමිත් ෂා හා ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද්, ජම්මු කාෂ්මීරයේ සුවිශේෂී අර්ධ-ස්වාධීන තත්ත්වය අවසන් කරමින් ඉන්දියාවේ ව්‍යවස්ථාව විධායක නියෝගයක් මගින් නීති-විරෝධී ලෙස සංශෝධනය කල හ. ඉන්පසුව, ඉන්දියාවේ එකම මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රාන්තය දෙකට බෙදන ව්‍යවස්ථාදායක නීතියක් පනවාගත් ඔවුහු, බෙදන ලද කොටස් දෙක මධ්‍යම ආන්ඩු භූමි ප්‍රදේශ බවට ලඝු කල හ. මෙහි අර්ථය වන්නේ, එම ප්‍රදේශ දෙක ස්ථීර මධ්‍යම ආන්ඩු භාරකාරීත්වය යටතේ පවතිනු ඇති බව යි.

වටලෑම ආරම්භ වූ වහා ම, කාෂ්මීර් ටයිම්ස්හි විධායක කර්තෘ අනුරාධ භාසින් ඇතුලු විවිධ කන්ඩායම් හා පුද්ගලයෝ එහි ව්‍යවස්ථාමය භාවය ශ්‍රේෂ්ඨාධිකරනයේ දී අභියෝගයට ලක්කල හ. ආන්ඩුව විසින් සන්නිවේදනයන් වසා දැමීම හා මහජනයාගේ ගමන් බිමන් දැඩි ලෙස සීමාකිරීම -කාෂ්මීර නිම්නයේ බොහෝ ප්‍රදේශ සති ගනනක ඇඳිරි නීති පැනවීම්වලට යටත් කෙරුනි- ව්‍යවස්ථාමය සහතිකයන් උල්ලංඝනය කරමින් නිදහස් මාධ්‍යවල ක්‍රියාත්මක වීම වැලැක්වූ බව භාසින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ තර්ක කල හ.

වරින් වර නඩු විමසීම පසෙකට දමා ආරක්ෂක කඩාපැනීමට එරෙහි අභියෝග සලකා ශ්‍රේෂ්ඨාධිකරනය තීන්දුව දුන්නේ, ජම්මු කාෂ්මීරයේ සමස්ත ජනගහනය අත්අඩංගුවේ තබාගැනීමට ආන්ඩුවට හා මිලිටරියේ අත් නිදහස් කරමිනි. වටලෑමේ ව්‍යවස්ථානුකූලභාවයට අභියෝග කරන භාසින් හා අනෙකුත් අයට “සාමාන්‍ය තත්ත්වය” ක්‍රමයෙන් පුනරුත්ථාපනය කරනු ඇතැයි ආන්ඩුවේ හා ආරක්ෂක හමුදාවල ප්‍රකාශ “විශ්වාස කරන” ලෙස අවවාද කිරීමක් ද මෙයට ඇතුලත් විය.

එහෙත්, ආරක්ෂක වටලෑම එහි 50වන දිනයට ලඟාවෙද්දී හා ජාත්‍යන්තර මාධ්‍ය තුල විවේචනාත්මක වාර්තා පලවෙද්දී, සැප්තැම්බර් 16දා තීන්දුවක් දීමට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරනයට බලකෙරුනි.

තීන්දුව, බීජේපී ආන්ඩුව වෙනුවෙන් තර්ක කල නීතිපති කේ. කේ. වෙනුගෝපාල් විසින් ලියන ලද්දක් ලෙස පෙනී යයි.

“සාමාන්‍ය ජන ජීවිතයේ පුනස්ථාපනය තහවුරු කිරීමට සියලු දෙය කරන්න. ...මහජනයාට සෞඛ්‍යාරක්ෂනය වෙත ප්‍රවේශය තිබිය යුතු අතර පාසල් හා උසස් පාඨශාලා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක විය යුතු ය” යි අගවිනිසුරු රන්ජන් ගොගෝයි ප්‍රධානත්වය දැරූ ශ්‍රෙෂ්ඨාධිකරන විනිසුරුවන් තිදෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ආන්ඩුවට “නියෝග” කලේ ය.

එහෙත් ඒ අතර ම එය නියෝග කලේ, මෙම පුනස්ථාපනය “ජාතික ආරක්ෂාව” හා “ජාතික අවශ්‍යතාව” සිත්හි තබාගෙන “තෝරාගත් පදනමකින්” සිදු කලයුතු බව යි- ආන්ඩුව තමන් කරමින් සිටින බව කියන්නේ ද මෙය ම ය.

“ජාතික ආරක්ෂාවේ අවශ්‍යතා සිත්හි තබාගෙන සෑම දෙයක් ම කල යුතු ය” යි අධිකරනය ප්‍රකාශ කලේ, වටලෑම සාධාරනීකරනය කිරීම සඳහා බීජේපී ආන්ඩුව කියන දෙය ප්‍රතිරාවය කරමිනි.

ජම්මු කාෂ්මීරයේ මර්දනය අවිනිශ්චිත කාලයකට කරගෙන යාම සඳහා ආන්ඩුවට හා මිලිටරි-ඔත්තු සේවා යාන්ත්‍රනයට කොල එලිය දල්වමින්, ආරක්ෂක කඩාපැනීම අවසන් කල යුත්තේ කවදාදැයි නිශ්චිත ව සඳහන් නො කල අධිකරනය, ජංගම දුරකථන හා අන්තර්ජාල සේවය විස්තීර්න ලෙස තහනම් කිරීම අවසන් කරන ලෙස බලධාරීන්ට නියෝග කිරීම විශේෂයෙන් ම ප්‍රතික්ෂේප කලේ ය.

එහි නියෝගයේ දී, ආන්ඩුවට එහි ක්‍රියාකාරකම් සඳහා “බැරෑරුම් හේතු” තිබුනු බව කියා සිටි ශ්‍රේෂ්ඨාධිකරනය, 1989 සිට ජම්මු කාෂ්මීරය කලඹා ඇති ඉන්දීය රාජ්‍යයට එරෙහි කැරැල්ලේ දී 40,000කට අධික ජනයා මරා දැමීම ඒ සඳහා සාක්ෂිය ලෙස ගෙනහැර දැක්වී ය.

මෙම කැරලිකාරීත්වය පුපුරා ගියේ මන්දැයි යන්න ගැන විනිසුරුවරුන් කිසිවක් නො කී බව කීම පවා අවශ්‍ය නැත. කාෂ්මීර වැසියන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් හා ජම්මු කාෂ්මීරයේ ව්‍යවස්ථාමය සුවිශේෂී තත්ත්වය උල්ලංඝනය කිරීම, මධ්‍යම ආන්ඩුව සිදුකල 1987 ප්‍රාන්ත මැතිවරන දූෂනත් සමඟ උච්ඡස්ථානයට පැමිනි අතර ඊට එරෙහිව පැනනැඟි විරෝධතා ප්‍රචන්ඩලෙස මැඩලීය.

සැප්තැම්බර් 16දා දුන් නියෝගය, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරනය ප්‍රතිගාමීත්වයේ ප්‍රාකාරයක් ලෙසට පවතින්නේය යන වාර්තාව සමග මොනවට ගැලපේ. සංස්ථාපිතයේ දේශපාලනඥයින් විසින් අවුලුවාලන වාර්ගික අපරාධවලට සුදු හුනු ගාන අතර ම, මරුති සුසුකි කම්කරුවන් 13 දෙනෙකුට එරෙහි ගොතන ලද මිනීමැරුම් චෝදනාවන්ට අනුදැනුම පලකිරීම ඇතුලු කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් මත රාජ්‍යය විසින් එල්ල කරන දුරදිග යන ප්‍රහාරයන්ට එය යලි යලිත් අනුමැතිය දී තිබේ.

ජම්මු කාෂ්මීරයේ සිදු කරගෙන යන මර්දනයට අධිකරනය සහයෝගය දීම -ඒ පිලිබඳ කිසියම් හෝ සැකයක් පැවතුනි නම් - සංඥා කරන්නේ, දැනට ක්‍රියාත්මක නො වන ප්‍රාන්තයේ සුවිශේෂී තත්ත්වය ආන්ඩුව විසින් අවලංගු කිරීමෙහි ව්‍යවස්ථානුකූල භාවය අභියෝග කිරීම විමසා බලන විට, උසාවිය අනුමැතියේ මුද්‍රාව එයට දෙන බව යි.

මෝදි ආන්ඩුවේ ආඥාදායක මනෝගතිය පෙන්නුම් කරමින් එය තර්ක කලේ, එහි ව්‍යවස්ථාමය කුමන්ත්‍රනය අභියෝගයට ලක්කරන නඩු ඇසීමට බලයක් වත් උසාවියට නැති බව යි. බ්‍රිතාන්‍ය ඉන්දියාවේ පැරනි ජම්මු කාෂ්මීර කුමාර රාජ්‍යයේ පාලනය අරබයා ඉන්දියාවේ ප්‍රධාන ප්‍රතිමල්ලවයා වන පකිස්තානය සමග පවතින අර්බුදය පිලිබඳ ව සඳහන් කරමින් මෝදි ආන්ඩුව ප්‍රකාශ කලේ, උසාවිය එලෙස නඩු ඇසීම ජාත්‍යන්තර “ප්‍රතිවිපාක” ගෙන දෙනු ඇති බව යි.

ජම්මු කාෂ්මීරය අවිනිශ්චිත කාලයකට වටලෑම දිගට ම පවත්වාගෙන යාමට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරනය කොල එලිය දැල්වූ දිනයේ ම හෙලිදරවු වූයේ, අගෝස්තු 5දා සිට නිවාස අඩස්සියේ තබනු ලැබ සිටි ජම්මු කාෂ්මීර ජාතික සම්මේලනයේ වැඩිහිටි රාජ්‍යතාන්ත්‍රික ෆාරුක් අබ්දුල්ලා, කුප්‍රකට මහජන ආරක්ෂක පනත (පීඑස්ඒ) යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව යි. මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී නීතිය, පුද්ගලයන් චෝදනා නොමැති ව වසර දෙකක් දක්වා රඳවා ගැනීමට අවසර ලබා දෙයි.

පීඑස්ඒ යටතේ අබ්දුල්ලා නිල වශයෙන් රඳවා ගැනීම සිදු වූයේ, 83 හැවිරිදි ඔහු හිටපු ජම්මු කාෂ්මීර මහ ඇමතිවරයෙක් වනවාට අමතර ව, වර්තමානයේ ඉන්දියානු පාර්ලිමේන්තුවේ උත්තර සභාවේ මන්ත්‍රීවරයෙක් වන නිසා ඔහු ඉදිරිපත් කරන ලෙස ආන්ඩුවට නියෝග කරන්නැයි ඉල්ලා, තමිල්නාඩු විපක්ෂ දේශපාලනඥයෙක් ශ්‍රේෂ්ඨාධිකරනයේ නඩුවක් පැවරීමට ප්‍රතිචාර වසයෙනි.

අබ්දුල්ලා රඳවා ගනු ලැබ නැතැයි කියාපෑමට ස්වදේශ ඇමති අමිත් ෂා උත්සාහ දරා තිබුනි. එහෙත් උසාවි නඩුව ආන්ඩුවේ අත ඇඹරවී ය.

ඉන්දීය දේශපාලන සංස්ථාපිතයේ දීර්ඝ-කාලීන සාමාජිකයෙක් වන අබ්දුල්ලා, අතීතයේ දී බීජේපීය සමග සමීප ව ක්‍රියාකර ඇත. එහෙත්, මෝදි ආන්ඩුව මහජන විරෝධය කෙරෙහි කොතරම් බියට පත් ව ඇද්දැයි හා කාෂ්මීර මුස්ලිම් ජනයා අතර ආන්ඩුවට තිබෙන සහයෝගය කොතරම් අල්පදැයි කියතොත්, ඉන්දියානු ආන්ඩුවට හිතවාදී මුස්ලිම් ප්‍රභූවේ ජ්‍යෙෂ්ඨ නායකයන් මෙන් ම ජාතික සම්මේලනයේ හා මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයන් සිය ගනනක් රඳවා ගැනීමට එයට සිදු වී ඇත.

සංගත මාධ්‍යවල උදවුව ද සහිත ව ඉන්දීය බලධාරීන් ජම්මු කාෂ්මීරය “සාමාන්‍ය තත්ත්වයට” පැමිනෙමින් පවතී යයි අනලස් ව පවසතත්, මර්දනයේ පරිමානයෙන් එය බොරුවක් බවට පත්කරනු ලැබේ.

තව ද සමූහ අත්අඩංගුවට ගැනීම් හා දැනට මත් ලෝකයේ ඉහලින් ම මිලිටරීකරනයවූ මෙම ප්‍රදේශයට අමතර ආරක්ෂක හමුදා දසදහස් ගනනින් දිගේලි කිරීම නො තකා, කාෂ්මීර වැසියෝ දිනපතා ම ගිනිය නො හැකි කුඩා පරිමාන විරෝධතාවන් පවත්වති.

අගෝස්තු 5දා පටන් ගතවූ පලමු සති හය තුල කාෂ්මීරය තුල විරෝධතා 722ක් නොහොත් සාමාන්‍යයෙන් දිනකට 17කට වැඩි ප්‍රමානයක් සිදුව තිබුනු බව කියන ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ මූලාශ්‍රයක්, මෑත ඒඑෆ්පී වාර්තාවක් තුල උපුටා දක්වනු ලැබී ය.

ජම්මු කාෂ්මීරයට මෑත දී තෙදින සංචාරයක් කල බීබීසී ඉන්දීය වාර්තාකාර සවුතික් බිස්වාස් මතුපිටට යටින් පවතින කැකෑරෙන කෝපය දැක ගත්තේ ය. “කාෂ්මීරය: එහි ‘සාමාන්‍ය තත්ත්වය’ පිටුපස පවතින සංකීර්න සත්‍යය” නමැති ලිපියක් තුල බිස්වාස් ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙකු උපුටා දැක්වී ය: “මහජනයා පසුවන්නේ කෝපයෙන්, අවමානයට පාත්‍ර වෙලා පිලිසරනක් නැති ව. නියෝග හා මාර්ගෝපදේශ ලබාගැනීමට ඔවුන්ට නායකයන් නැහැ. ...මට මේ නිශ්චලත්වය පේන්නෙ කුනාටුවට කලින් එන තාවකාලික නිසල බව වගේ. ඒත් මේ වාරයෙ ඊලඟ විරෝධය නැගෙන්නෙ කොහෙන් ද කියල අපි දන්නෙවත් නැහැ.”

වෙලඳසැල් හිමියෙක් වන ශිරාස් අහමඞ් ඔහුට කීවේ: “විරෝධතා සුනාමියක් ලඟා වෙනවා. අපේ හිතේ කෝපය පුපුරද්දි අපේ හදවත් ලෝදියෙන් පිලිස්සෙමින් පවතිනවා. ඉන්දියාව අප ව පාවල දීල පීඩාවට පත්කරල තියෙන්නෙ.”

බටහිර අධිරාජ්‍යවාදී බලවත්තු, හොංකොංහි සුවිශේෂී ව්‍යවස්ථාමය තත්ත්වයට වල කැපීමට උත්සාහ දරමින් එහි විරෝධතා ව්‍යාපාරය තලා දැමීමට භටයන් යැවීමට බෙයිජිනය කරන තර්ජන හෙලා දුටුව ද ඉන්දියාවේ මිලිටරිය හා පැරාමිලිටරි බලකායන් ජම්මු කාෂ්මීරය මත පටවමින් සිටින රුදුරු මර්දනය පිලිබඳ ව කැපී පෙනෙන නිශ්ශබ්දතාවක් පවත්වාගෙන යති.

“නැගී එන” චීනයට එරෙහි මිලිටරි-මූලෝපායික ප්‍රතිබලයක් ලෙස ඉන්දියාව පෙරට ගැනීමට උත්සාහ දරන එක්සත් ජනපදය, ජපානය, ප්‍රන්සය හා සියලු බටහිර බලවත්තු එයට ආකර්ශනය වෙමින් සිටිති. මෙම මූලෝපාය සමග එකපෙලට සිටිමින් පෙන්ටගනය එහි පැසිෆික් බලකාය ඉන්දු-පැසිෆික් බලකාය ලෙස යලි නම් කර ඇත.

කොංග්‍රස් පක්ෂය නායකත්වය දුන් එහි පූර්ව ආන්ඩුව විසින් වාත්තු කල ඉන්දු-එක්සත් ජනපද “ගෝලීය-මූලෝපායික හවුල්කාරීත්වය” මත රැඳී සිටින මෝදි ආන්ඩුව, වඩා සම්පූර්න ලෙස ඉන්දියාව චීනයට එරෙහි එක්සත් ජනපදයේ මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට ඒකාග්‍ර කොට, කලාපය තුල වොෂින්ටනයේ ප්‍රධාන සගයන් වන ජපානය හා ඕස්ට්‍රේලියාව සමග ද්වි-පාර්ශවික හා ත්‍රෛපාර්ශවික සබඳතා වර්ධනය කරගෙන ඇත.

මෝදි හා ඔහුගේ ආන්ඩුව කාෂ්මීරය මත එල්ල කරන ප්‍රහාරයට වොෂින්ටනයේ සහයෝගය ප්‍රදර්ශනය කරමින්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සැප්තැම්බර් 22දා පැවැත්වීමට නියමිත ඉන්දියානු-ඇමරිකානුවන්ගේ “හවු ද මෝදි” (මෝදි කොහොම ද?) රැලියේ දී ඉන්දීය අගමැතිවරයා සමග පෙනී සිටිනු ඇත. ප්‍රමුඛ පෙලේ ඩිමොක්‍රටික් පක්ෂ දේශපාලනඥයන් ද එයට සහභාගි වනු ඇත.

කලාපය තුල යුද ආතතීන් තවදුර අවුලුවමින් පකිස්තානය සමග ගැටුමේ “නීති වෙනස් කිරීමට” ඉන්දීය ප්‍රභූව දරන ප්‍රයත්නයේ දී වොෂින්ටනයෙන් එයට ලැබෙන සහයෝගය හමුවේ එය දිරිමත් කරයි. ජම්මු කාෂ්මීරය මත ප්‍රහාරය දියත් කල තැන් පටන් බීජේපී ආන්ඩුව සපථ කොට ඇත්තේ, පකිස්තානය පාලනය කරන කාෂ්මීරය හෙවත් පකිස්තාන ව්‍යවහාරයෙන් අසාද් කාෂ්මීරය මත ඉන්දියාවේ ස්වෛරීත්වය පිලිබඳ උත්සුකයන් ගැන හැරුනු විට, කාෂ්මීරය පිලිබඳ ව පකිස්තානය සමග වැඩිදුර සාකච්ඡා නො කරන බව යි.

ගනන් බලන ලද ප්‍රකෝපකරනයක යෙදෙමින් ඉන්දීය ආන්ඩුවේ නිලධාරීහු දැන් පුරුද්දක් ලෙස අසාද් කාෂ්මීරය “ආපසු ගැනීමේ” අභිප්‍රාය ඉෂ්ට කරගැනීම පිලිබඳ ව කතා කරති.

ඉන්දීය හමුදාපති බිපින් රාවත් පකිස්තාන-පාලිත කාෂ්මීරය තුල ක්‍රියාත්මක වීමට තමන්ගේ හමුදා “සෑමවිට ම සූදානම්” යි මේ මස මුල දී ප්‍රකාශ කල අතර, “මෙය සිදුකල යුත්තේ ආන්ඩුව විසින්. මේ සම්බන්ධයෙන් අනෙකුත් ආයතන ක්‍රියාත්මක වනු ඇත්තේ ආන්ඩුව නිර්දේශ කරන ආකාරයට” යි වැඩිදුරටත් කීවේ ය.

Share this article: