ක්‍රියාකාරී කමිටු ගොඩනගනු! වර්ජනය ව්‍යාප්ත කරනු!
විශ්ව විද්‍යාල සේවක අරගලයට සමාජවාදී ක්‍රියාමාර්ගයක්

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය, 2019 සැප්තැම්බර් 09

රජයේ විශ්ව විද්‍යාලයන් හි 17,000ක් පමන අනධ්‍යයන සේවකයන්, පරිපාලන නිලධාරීන් හා අවශේෂ සහායක සේවකයින්, වැටුප් විෂමතා, දිරි දීමනා සහ විශ්‍රාම වැටුප් ආශ්‍රිත ඉල්ලීම් කීපයක් මත සැප්තැම්බර් 10 සිට දියත් කරන අඛන්ඩ වර්ජනයට, සියලු කම්කරුවන්ගේ සහාය ලබාදෙන ලෙස සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටි. අනධ්‍යයන සේවකයින් මෙවර වර්ජනයට එලැඹෙන්නේ සති පහක් ඇතුලත තෙවන වතාවටයි.

විශ්ව විද්‍යාල සේවකයන් මූලික වසයෙන් ඉල්ලා සිටින්නේ, 2015 සිට අන්‍ය රාජ්‍ය සේවකයන්ට ලබාදුන් වැටුප් වැඩිවීම් තමන්ට ද ලබාදෙන ලෙසයි. එයද ඇතුලු, දිගු කාලයක් පුරා නොවිසඳුනු දැවෙන ප්‍රශ්න වෙනුවෙන් සටන් කිරීම සඳහා විශ්ව විද්‍යාල සේවකයන් නැවත නැවතත් අරගලවලට එලැඹී ඇත.

සේවකයන් අතර වැඩෙන සටන්කාමිත්වය මධ්‍යයේ මෙවර වර්ජනයන් කැඳවා ඇත්තේ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සහ වෘත්තීය සමිති මධ්‍යම කමිටුව විසිනි. කම්කරුවන්ට තම ඉල්ලීම් දිනාගැනීම සඳහා සමාජවාදී පිලිවෙත් මත පාදකවූ දේශපාලන වැඩපිලිවෙලක් අවශ්‍ය ය. වෘත්තීය සමිති එවන් වැඩපිලිවෙලකට සපුරා විරුද්ධ ය.

වර්ජනය දියත්වී ඇත්තේ වැටුප් හා සේවා කොන්දේසිවලට සීමාවී නමුත් ඉන් ප්‍රකාශයට පත්වන්නේ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයටම එල්ලවන ප්‍රහාරවලට එරෙහිව, කම්කරුවන්, ආචාර්යවරුන් හා සිසුන් අතර නැගෙමින් පවතින දැවැන්ත විරෝධයයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතර වර්ජනයට සහභාගිවීමේ සූදානමක් තිබුන ද ඔවුන්ගේ සමිති එයින් කරඇර ආන්ඩුව සමග ගනුදෙනුවකට මානබැලීමක යෙදෙමින් සිටින බව වාර්තාවේ. දසදහස් සංඛ්‍යාත විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ඌන අධ්‍යාපන පහසුකම් වලට හා පුද්ගලිකරනයට එරෙහිව අඛන්ඩ විරෝධතාවල යෙදෙති.

සැප්තැම්බර් 26, 27 දිනවල 200,000කට අධික පාසැල් ගුරුවරුන් “ලෙඩ නිවාඩු” දමා වැඩ වර්ජනය කිරීමට නියමිත ය. ඔවුන් අරගලයට එන්නේ මේ වසරේ තෙවන වතාවටයි. ඔවුහු ශීලාචාර වැටුපක් හා සිසුන්ට අධ්‍යාපනය ලබාදීමට සුදුසු කොන්දේසි සකස්කරන ලෙස ද මව්පියන් මත බර පැටවීම නතර කරන ලෙසද ඉල්ලති.

අතීත ආන්ඩු මෙන්ම, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන-අගමැති රනිල් වික්‍රමසිංහ පාලනය ඔවුන‘තර මොන තරම් කුලල්කාගැනීම් තිබුන ද විශ්ව විද්‍යාල සේවක ඉල්ලීම් දීමට මුදල් නැතැයි තර්ජනය කරනු ඇත. මහා ව්‍යාපාරිකයන්ට හා විදේශ ආයෝජකයින්ට බදු සහන හා ලාභ සූරා ගැනීමට සියලු කොන්දේසි හදන ආන්ඩුව වැඩකරන ජනතාවගේ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවය ඇතුලු සමාජ අයිතීන් කපා හරිමින් බඩුමිල පිම්මේ ඉහල දමා ජීවන කොන්දෙසි තලා දමමින් සිටියි. 2017 හා 2018 වසර දෙකේ රාජ්‍ය අංශයේ මූර්ත වැටුප සියයට 7.2කින් හා සීයයට 2කින් වැටුනි. පුද්ගලික අංශයේ කම්කරු වැටුප්වල මූර්ත අගය වැටීම සියයට 6ක් හා 3.5ක් විය.

මේ ප්‍රහාර එල්ල කෙරෙන්නේ 2015 දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7ක් පමන වූ අයවැය හිඟය 2020 වනවිට හරි අඩකින් සියයට 3.5 දක්වා කපා හැරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කර ඇති නියෝග යටතේ ය. ආන්ඩුව ක්‍රියාවට දමන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ධනපති අර්බුදයේ බර වැඩකරන ජනතාව මත එල්ල කරමින් දෙස්විදෙස් ධනපතියන්ගේ ලාභ පොදි ආරක්ෂා කිරීමට සකස් කෙරුනු ඒවාය.

ගෙවාගත නොහැකි තරමට නය භරිතකමේ කරවටක් එරී බංකොලොත්කමේ අද්දර සිටින ලංකාවේ ධනපති පන්තිය ආර්ථික වර්ධනයේ එක දිගට යන පල්ලම් බැසීමකට මුහුනදෙයි. ලංකාවේ තියුනු ලෙස ප්‍රකාශයට පත්වී ඇත්තේ ගෝලීය ධනවාදයේ අර්බුදයයි.

මෙම ප්‍රහාරවලට විරුද්ධව වැඩකරන ජනතාවගේ අරගල අධ්‍යාපන අංශයේ පමනක් නොව අවශේෂ රාජ්‍ය හා පුද්ගලික සෑම අංශයකම පැනනංවා ඇත. වතු, දුම්රිය, තැපැල්, සෞඛ්‍ය, ජල, විදුලිය, තෙල්, ටෙලිකොම් ආදී සෑම තැනකම පසුගිය අවුරුදු කිහිපයේ අරගල නැගී ආවේය. විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය මෙම සටන් රැල්ලේ කොටසකි.

ලෝක ධනවාදී පද්ධතිය මුහුන දී සිටින ගැඹුරුතර අර්බුදයට සෑම රටකම පාලක පන්තියේ ප්‍රතිචාරය වී ඇත්තේ, විසිවන සියවසේ කම්කරු පන්තිය විසින් දිනාගත්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය ය වැනි සමාජ අයිතීන් හා ජීවන කොන්දේසි තලාදමමින් සූරාකෑම උග්‍ර කිරීමයි.

රටක් රටක් පාසා කම්කරුවන්ගේ අරගල ඇවිලී තිබෙන්නේ මේ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙනි. ඉන්දියාවේ කෝටි 17 ක් කම්කරුවෝ ජනවාරි මාසයේ දෙදිනක වර්ජනයක් කල අතර, ගුරුවරුන්ගේ, මෝටර් රථ හා අනෙකුත් අංශවල කම්කරුවන්ගේ විරෝධතා පසුගිය මාසවල සිට ඉහල යමින් පවතී.

ඇමරිකාවේ ලක්ෂගනන් ගුරුවරුන් අධ්‍යාපන අයිතීන් දිනාගැනීමට අරගල කරමින් සිටින අතර රැකියා විනාශයට එරෙහිව 155,000 මෝටර් රථ කම්කරුවන් අරගලයට ඒමට පසුගිය සතියේ චන්දය දුන්හ. ප්‍රන්සයේ මැක්‍රෝන් ආන්ඩුව ලක්ෂ සංඛ්‍යාත මහජනතාව දිගු කාලීනව යෙදී සිටින කහ බැනියම් විරෝධතා ව්‍යාපාරයට මුහුන දී සිටියි. මේ වාර්තාව ලෝක පන්ති අරගල රැල්ලෙන් කොටසකි.

ලංකාවේ හා ජාත්‍යන්තර අරගල රැල්ලෙන් අනෙක් අතට ප්‍රකාශයට පත්වී ඇත්තේ, බලපෑම් දමා ඉල්ලීම් දිනාගත හැකිබව පවසමින් වෘත්තීය සමිති ගෙන යන වැඩපිලිවෙල ධනපති පන්තියට හා එහි ආන්ඩුවල ප්‍රහාරවලට කම්කරුවන් යටත්කර දීමේ උගුලක් බවයි. ලංකාවේ අනෙකුත් කම්කරුවන්ගේ මෙන්ම අනධ්‍යයන සේවක අත්දැකීම ද එයයි. ආන්ඩුවෙන් සාකච්චා ලැබීම, ඉල්ලීම් ඉටුකිරීම ගැන පොරොන්දු ලබීම ආදී දහසක් හේතු දක්වා අරගල නතරකර ඒවා පරාජයෙන් කෙලවර කිරීම කම්කරුවන් ඇත්දැක ඇත.

ජාත්‍යන්තරව වැඩෙන මෙම පන්ති අරගලයන් රුදුරුම ආකාරයෙන් මැඩීම සඳහා ෆැසිස්ට් හා ආඥාදායක පාලනයන් වෙතට හැරීම සෑම රටකම පාලක පන්තියේ පිලිවෙත බවට පත්ව ඇත. ඇමරිකාවේ ට්‍රම්ප් ආන්ඩුව ෆැසිස්ට් පන්නයේ පියවර වර්ධනය කරමින් සිටියි. පාලක ආන්ඩුවේ සහාය ලබමින් ජර්මනියේ ෆැසිස්ට් ව්‍යාපාරයක් වැඩෙයි. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ආන්ඩුව කාශ්මීරය හමුදා වාඩිලා ගත් සිපිරිගෙයක් බවට පත්කර හින්දු ස්වෝත්තමවාදය අදිමින් ක්‍රිගයා කරයි.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය ඩැහැ ගනිමින් හමුදාව සහ පොලීසියට රුදුරු බලතල පැවරීම එම පිලිවෙතේම කොටසකි. හදිසි නීතිය ඉවත් කලද මහජන ආරක්ෂක පනත යටතේ එම බලතල දිගටම ක්‍රියාත්මක වන අතර එය සාමාන්‍යය බවට පත් කෙරී ඇත. දුම්රිය ඇතුලු මහජන ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරුනි.

ජනාධිපතිවරනයට සූදානම් වෙමින් සියලු ධනේශ්වර පක්ෂ එජාප, ශ්‍රීලනිප, ශ්‍රීලංපොප හා ජවිපෙ පොලිස් රාජ්‍යයකට මාරුවීමේ වැඩපිලිවෙලවල් ක්‍රියාවට දැමීමට ගනන් බලමින් සිටින්නේ කම්කරුවන්ගේ අරගල තලා දමා ධනපති අර්බුදයේ බර ඔවුන් මත පැටවීම සඳහා ය.

හෙට දින අරගලයක් අරඹන අනධ්‍යන සේවකයන්ට හා අරගලයක උවමනාවෙන් පෙලෙන සියලු කම්කරුවන්ට තම අයිතීන් සඳහා සටන්කිරීමට ධනපති පන්තියෙන් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ ක්‍රියාමාර්ගයක් අවශ්‍ය ය. වෘත්තීය සමිති වසන් කලත් කම්කරුවන්ගේ අරගලය ආන්ඩුවට හා එහි ප්‍රතිපත්තිවලට එරෙහි දේශපාලන අරගලයකි.

ආන්ඩුවට බලපෑම් දමා නම්මා ගත හැකියයි වෘත්තීය සමිති එක දිගට කියයි. එහෙත් කම්කරුවන් තමන්ගේ අරගලවල අත්දැකීම උකහා ගතයුතුය. එවන් බලපෑම් දැමීමේ වංකගිරිය අවසන් වී ඇත්තේ අරගල පාවාදීමෙන් පමනකි. අගෝස්තු 29දා දෙදින වර්ජනය අවසන් කරමින් යූටීයූජේසී යේ සම-සභාපතිවරයෙකු වන මංගල දාබරේරා, ආන්ඩුවේ ප්‍රහාර පිලිබඳ ව කිසිවක් නො කියමින්, කම්කරුවන්ගේ ඉල්ලීම් ඉටු නොකිරීම ගැන වැටුප් කොමිසමේ හා යූජීසීයේ රාජ්‍ය නිලධරයන්ට දොස් පැවරී ය. “අනධ්‍යයන කම්කරුවන්ගේ බලය අවතක්සේරු නො කරන ලෙස අපි සියලු වගකිව යුතු නිලධාරීන්ට අනතුරු අඟවනවා” යි ඔහු බිරුසන් දුන්නේ ආන්ඩුව වගකීමෙන් නිදහස් කරමිනි. “පරිපාලන නිලධාරීන් මෙම ගැටලු විසඳන්නේ නැතිනම් අපි මෙම කාරනයට දේශපාලනික ව මැදිහත් වෙනවා” යැයි එජාප වෘත්තීය සමිති නිලධරයෙකු පැවසීය. මෙම ”මැදිහත්වීම්” වනාහි ඇමතිවරුන්ට කන්නලව් කිරීමේ තවත් වටයක කම්කරුවන් දැක්කීමේ උගුලකි.

සිකුරාදා මොරටු විශ්ව විද්‍යාලයේ පැවති අනධ්‍යයන සේවක රැස්වීමකදී සමිති නායකයෙක් වර්ජනය අනිවාර්යයෙන්ම දියත්කරන බව කියා සිටි අතර ඒ හුස්මටම කියා සිටියේ වර්ජනය යද්දී ජනාධිපතිවරනය කැඳවුවහොත් සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමට සිදුවනු ඇතිබවයි. මැතිවරන නීතිවල එවැනි රෙගුලාසි නැත. එහෙත්, ආන්ඩුවට, ධනපති පක්ෂවලට හා රාජ්‍යයට ගැති සමිති ඒවායේ ඉල්ලීම් මත කම්කරුවන් යට කිරීමට සූදානම්ය. කම්කරුවන් සමිතිවලට හා නිලධරයට ඉඩ නොදී අරගලය තමන් අතට ගතයුත්තේ මේ නිසයි.

* අනධ්‍යයන සේවකයන් සිය අරගලය සඳහා තම ක්ෂේත්‍රය තුල හා අනෙකුත් අංශවල කම්කරුවන්ගේ සහාය ඉල්ලමින් එය පුලුල් කල යුතුව ඇත. අධ්‍යාපන අයිතීන් රැක ගැනීමේ පොදු අරගලයක් වර්ධනය කිරීමට, අනධ්‍යයන සේවක සටන වටා එක්වන ලෙස, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් හා සිසුන්ගෙන් මෙන්ම දැන් වර්ජනයකට සූදානම් වන ගුරුවරුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

*වෘත්තිය සමිතිවලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම, සමිතිවල හිර කිරීම් හා පාවාදීම් කපාගෙන සිය අයිතීන් දිනා ගැනීමට බලවත් අරගලයක් දියත් කිරීමේ තීරනාත්මක ඉදිරි පියවරකි. විශ්ව විද්‍යාල තුල හා ආශ්‍රිත ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනධ්‍යයන සේවකයන්ගෙන් ඉල්ලා සිටී.

ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අරගලය අන් ක්ෂේත්‍ර කරා ද පුලුල් කල යුතුය.

එවන් ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට කම්කරුවන්ට මූලිකත්වය ගත හැකිබව පෙන්වමින් වැඩි වැටුප් සඳහා වතුකරයේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සහභාගිවූ වර්ජනය මධ්‍යයේ හැටන් අබෝට්ස්ලී වත්තේ කම්කරුවන් සසප ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගත්හ. දැන්, කලාකරුවන් පිරිසක් විසින්, සසප ඉල්ලීමට ඇහුම්කන් දෙමින්, කලාවේ, කලාකරුවන්ගේ හා ප්‍රකාශනයේ නිදහස රැකීම මුල්කරගත් ක්‍රියාකාරී කමිටුවක් අරඹා ඇත.

මෙම සටන ආන්ඩුවේ හා ධනපති පන්තියේ ප්‍රහාරවලට එරෙහි අරගලයක් දක්වා වර්ධය කලයුතුය. කම්කරුවන්ගේ හා දුගීන්ගේ අයිතීන් ආරක්ෂා කල හැක්කේ අතලොස්සකගේ ලාභ අවශ්යමතා මත කෙරෙන නිෂ්පාදනය වෙනුවට මහා පරිමාන බැංකු, දැවැන්ත කම්හල් සහ සුවිසල් වතු, කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කරමින්, සමස්ත සමාජ-ආර්ථික ජීවිතය මානව අවශ්‍යතා සපුරාලන පරිදි ප්‍රතිසංවිධානය කිරීමෙනි.

මෙම අරගලය ජාත්‍යන්තර අරගලයක කොටසකි. මෙම ක්‍රියාමාර්ගය සාක්ෂාත් කල හැක්කේ, ඉන්දියානු උප-මහාද්වීපීය සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙනි. මෙම අරගලයට එක්වන ලෙස විශ්ව විද්‍යාල සේවකයන් ඇතුලු සියලු කම්කරුවන්ගෙන් හා සිසුන් ඇතුලු තරුන ජනයාගෙන් අපි ඉල්ලමු.

Share this article: