දෙමල ජනතා කවුන්සිලයේ විරෝධතාවට සහභාගි වන ලෙස
යාපනය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවක සමිතිය කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු

පහත පලවන්නේ සමාජවාදී සමානතා පක්ෂයේ යාපනය ශාඛාව අනධ්‍යයන කම්කරුවන් වෙත සැප්තැම්බර් 15 දින නිකුත්කල ප්‍රකාශයකි. 2019 සැප්තැම්බර් 18

අද දින දෙමල ජනතා කවුන්සිලය (ටීපීසී) විසින් සංවිධානය කර ඇති විරෝධතාවට සහභාගි වන ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කම්කරු වෘත්තීය සමිතිය කර ඇති ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස අපි එම විශ්ව විද්‍යාලයේ සියලු කම්කරුවන්ගෙන් ඉල්ලමු.

ටීපීසීය හා එහි දෙමල ජාතිකවාදී විරෝධතාව විශ්ව විද්‍යාලයේ සේවකයින් හා සියලු කම්කරුවන් ඇතුලු පලල් මහජනයාගේ අවශ්‍යතාවන්ට මුලුමනින්ම හානිකර ය. මෑතක් වනතුරු දෙමල ජාතික සන්ධානයේ (දෙජාස) නායකයෙකු වූ හිටපු මහ ඇමති සී. වී. විග්නේස්වරන් නායකත්වය දෙන දෙමල ධනපති පන්තියේ කන්ඩායමක් විසින් ටීපීසීය සංවිධානය කර ඇත. දෙමල කම්කරුවන්, දුගීන් හා තරුනයන් අතර දෙජාස අපකීර්තියට පත්වෙද්දී, ඔහු දෙමල ජනතා පක්ෂය නම් වෙනත් දේශපාලන පක්ෂයක් ද සංවිධානය කර ඇත. මේ සංවිධාන දෙකම අනුගමනය කරන්නේ දෙජාස පිලිවෙත් ම ය.

වැටුප් වැඩිකිරීම් හා සමාජ කොන්දේසි ඉහලදමා ගැනීම සඳහා සැප්තැම්බර් 11දා ආරම්භ කරන ලද විශ්ව විද්‍යාල කම්කරුවන්ගේ වැඩ වර්ජනය ඉතා වැදගත් ඉදිරි පියවරකි. මෙම අරගලය සඳහා කම්කරුවෝ දෙමල, සිංහල හා මුස්ලිම් වාර්ගික භේද ඉවතලා පන්ති එකමුතුව ගොඩනගාගෙන ඇත. පසුගිය මාසවල කම්කරුවන්ගේ එවන් අරගල ලංකාව තුල පැනනැගුනු අතර එලඹීමට නියමිත අරගල ද එම පන්ති පිලිවෙත ඔස්සේ වර්ධනය කල යුතු ය. ඇත්ත වසයෙන් ම, ලෝක ධනවාදයේ ජාත්‍යන්තර ප්‍රාග්ධනය විසින් එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධ ව කම්කරු පන්තික අරගල ජාත්‍යන්තර පරිමාන ව වැඩෙමින් තිබේ.

කොලඹ ආන්ඩුවේ දශක තුනකට ආසන්න යුද්ධයෙන් බැටකෑවා වූ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නියෝග කරන ලදුව දියත් කරන ප්‍රහාරයන්ට සහ සමාජ හා ප්‍රජාතාන්ත්‍රික ගැටලුවලට මුහුන දෙන්නා වූ ද උතුරේ ජනතාවට, දෙමල ධනේශ්වරය යටතේ උතුරට හා නැගෙනහිරට ස්වාධීනත්වය ලබාගැනීමෙන් ඔවුන්ගේ ප්‍රශ්න විසඳාගත හැකි ය යන ටීපීසී වැඩපිලිවෙල ව්‍යාජ හා ප්‍රතිගාමී වේ. ඉන්දියාවට හා ජාත්‍යන්තර බලයන්ට ආයාචනා කර ඇති මෙම සංවිධානය, එම බලයන්ට පිටුබලය දෙන බව ප්‍රකාශ කර ඇත. එල්ටීටීඊය හා එහි හොරනෑව වූ දෙජාස අතීතයේ දේශනා කලේ ද දෙජාස අද ගෙන යන්නේද මෙම වැඩපිලිවෙලයි.

දකුනේ ද උතුරේ හා නැගෙනහිර ජනයාට එක් ව්‍යසනයකට පසු තවෙකක් ගෙන ආ ධනපති පන්තියේ ක්‍රියාමාර්ගවලින් දෙමල ජනයා මෙන්ම, සිංහල හා මුස්ලිම් වැසියන් ලේවැකි පාඩම් උගෙන තිබේ.

කිසිම තැනක කම්කරුවන් ධනපති පක්ෂවල වලිගයක් නොවිය යුතුය. ”ජාතික විසඳුමක්” සඳහා මොරදෙන ජාතිකවාදය කම්කරුවන් බෙදන හලාහල වසක් වන අතර, ඔවුන් ව ධනපති පක්ෂ පිටුපස ගාල් කරයි.

ජාත්‍යන්තර බලයක සහතිකයක් ඇතිව දෙමල ජනයාගේ දුක්ගැනවිලිවලට විසඳුම් දෙනබවට පොරොන්දුවන ජනාධිපති අපේක්ෂකයෙකුට සිය සංවිධානය ඇතුලු දෙමල පක්ෂවල සහයෝගය ලබා දිය හැකි බව විග්නේස්වරන් මෑතක දී කීවේ ය. සඳහන් නො කල ද විග්නේස්වරන් අපේක්ෂා කරන්නේ නව දිල්ලියේ හෝ වොෂින්ටනයේ පොරොන්දුව යි. කොතරම් ප්‍රතිගාමී මිථ්‍යාවක් ද. ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය කරන්නන් වන එක්සත් ජනපදය හා ඉන්දියාව ඇතුලු මෙම මහා බලයන් කොලඹ ආන්ඩුවේ ලේවැකි යුද්ධයට සහ උතුර හා නැගෙනහිර වාඩිලාගැනීමටත්, දකුන තුල මර්දනීය පාලනයටත් උදවු කලේ ය.

දකුනේ, ඉන්දියාවේ හා ජාත්‍යන්තර තම පන්ති සහෝදර සහෝදරියන් වෙත හැරෙමින් ඔවුන් සමග එකමුතු විය යුතු දෙමල කතා කරන කම්කරුවන් ඔවුන්ගේ අයිතීන් මතට එල්ල කරන ප්‍රහාරයන්ට විරුද්ධ ව සටන් වැදිය යුතු ය. සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් මතත් ජීවන කොන්දේසි මතත් එල්ලවන ප්‍රහාරයන්ගේ මූලය වන්නේ, ලෝක ධනවාදයේ කොටසක් වන ශ්‍රී ලංකාවේ ධනවාදය යි.

වෘත්තීය සමිති හා ධනපති පක්ෂ මෙම එකමුතුවට හරහට හිටින බාධකයන් ය. දෙමල ධනේශ්වරයේ කන්ඩායමක් විසින් අද දින සිදුකරන උදඝෝෂනයට සහභාගී වනලෙස යාපනය අනධ්‍යයන කම්කරුවන්ගේ වෘත්තීය සමිති ශාඛාව කරන කැඳවුම මෙම බාධකය මනාව හෙලිදරවු කර ඇත. දකුනේ වෘත්තීය සමිතිවල භූමිකාව ද එය ම වන අතර, එම වෘත්තීය සමිති ද ධනපති පක්ෂවලට ආයාචනා කරමින් අවසානයේ අරගල පාවා දෙති.

කම්කරුවන්ගේ හා දුගීන්ගේ අයිතීන් සඳහා සටන් කිරීමට වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව වැඩපොලවල හා කම්කරු නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කැඳවුම් කරන්නේ මේ නිසයි. එවැනි ක්‍රියාකාරී කමිටු ශිෂ්‍යයන් ඇතුලු තරුනයන්ගේ ද අනෙකුත් පීඩිතයන්ගේ ද සහයෝගය ඉල්ලා සිටිය යුතු ය.

ධනවාදය පෙරලා දැමීම හා සමාජවාදය සඳහා අරගලය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් බව ද සසප ඔබේ අවධානයට යොමු කරයි. විකල්පය වන්නේ කිසිදු ධනපති පක්ෂයකට සහයෝගය දීම නො ව ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලංකාවේ හා ඊලමේ සමාජවාදී සමූහාන්ඩුවක ස්වරූපය ගන්නා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආනඩුවක් ස්ථාපනය කිරීම යි. එය දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසකි.

මේ අරගලයට එක් වන්න.

Share this article: