වැටුප් හා දීමනා සඳහා අඛන්ඩ වර්ජනයක් දියත් කරන බවට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නිවේදනය කරයි

Sri Lankan university unions threaten indefinite national strike over wages and benefits
Sri Lankan university unions threaten indefinite national strike over wages and benefits

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 සැප්තැම්බර් 4

දීර්ඝ-කාලයක් තිස්සේ නො විසඳී පවතින වැටුප්, විශ්‍රාම වැටුප් හා දිරිදීමනා අරබයා වූ ඉල්ලීම් මුල්කරගෙන, විශ්ව විද්‍යාල ඇදුරන්, අනධ්‍යයන කම්කරුවන් හා පරිපාලන නිලධාරීන් සම්බන්ධ වන අඛන්ඩ වැඩ වර්ජනයක් සැප්තැම්බර් 10දා සිට දියත් කරන බවට සියලු විශ්ව විද්‍යාල සේවකයන් සම්බන්ධ කරන වෘත්තීය සමිති සැප්තැම්බර් 3දා නිවේදනය කල හ.

විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව (විවිවෘසඒක), විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය හා පරිපාලන නිලධාරීන්ගේ සමිතිය, තම සාමාජිකයන් අතර වැඩෙන කෝපයට මධ්‍යයේ මෙම තර්ජනය නිකුත් කල හ. රාජ්‍ය විශ්ව විද්‍යාල 15ක අනධ්‍යයන කම්කරුවන් 16,000කට වැඩිදෙනෙක් අගෝස්තු 28දා ඇරඹූ දෙදින ජාතික වර්ජනයෙන් පසු එම නිවේදනය නිකුත් කෙරුනි

.

පසුගිය සතියේ පැවති වර්ජනයෙහි දෙවන දිනයේ 2,000කට අධික අනධ්‍යයන කම්කරුවෝ කොලඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (යූජීසී) ඉදිරිපිට විරෝධතා පැවැත්වූ හ. සිංහලෙන් හා දෙමලෙන් ලියන ලද සටන් පාඨ හඬනගමින් හා පුවරු ප්‍රදර්ශනය කරමින් රාජ්‍ය විශ්ව විද්‍යාල කිහිපයක අනධ්‍යයන කම්කරුවෝ විරෝධතාවට සහභාගි වූ හ.

කොලඹ විරෝධතාවේ යෙදෙන කම්කරුවන්

අනෙකුත් රජයේ සේවකයන්ට ලබාදෙන වැටුප් හා සම මට්ටමට විශ්ව විද්‍යාල සේවකයන්ගේ වැටුප් ගෙන එමින් 2015 පටන් රජයේ සේවකයන්ට ලබා දී ඇති වැටුප් වැඩිකිරීම් ඔවුන්ට ලබාදීම විවිවෘසඒක ඉල්ලා සිටියි. අනධ්‍යයන කම්කරුවන්ට යෝග්‍ය විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීම හා දිරිදීමනා ඉහල දැමීම අනෙකුත් ඉල්ලීම් අතර වෙයි. විවිවෘසඒක ඉල්ලීම් ගැන සාකච්ඡා කිරීම විශ්ව විද්‍යාල බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පාමින් අනධ්‍යයන කම්කරුවෝ ජූලි 30දා වර්ජනය කලහ

පාලක එක්සත් ජාතික පක්ෂය (එජාප), ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන සමග සම්බන්ධ සමිති හා ඊනියා ස්වාධීන සමිති වලින් විවිවෘසඒක සෑදී ඇත. එය දිගටම අවධාරනය කර ඇත්තේ, සීමිත කාර්මික ක්‍රියා හා විරෝධතා මගින් සිය ඉල්ලීම් දීමට ආන්ඩුවට බලකෙරෙනු ඇති බව යි.

2018 මුල දී අනධ්‍යයන කම්කරුවෝ මාස එකහමාරක වැඩ වර්ජනයක් දියත් කලේ සියයට 20ක වැටුප් වැඩිකිරීමක්, රක්ෂන හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හා අනෙකුත් ඉල්ලීම් මුල් කරගනිමිනි. බලධාරීන් විසින් දුන් ව්‍යාජ පොරොන්දු පිලිගත් වෘත්තීය සමිති නිලධරය එම වර්ජනය පාවාදුන්නේ ය.

ඉහල වැටුප් හා කොන්දේසි ඉල්ලා විශ්ව විද්‍යාල කම්කරුවන් කරන සටන, ශ්‍රී ලංකාවේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ ද හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ මූලික කොටස්වල ද වර්ධනයවන සටන්කාමීත්වයේ කොටසකි. වැටුප්, ජීවන කොන්දේසි හා සමාජ අයිතීන් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) නියෝග අනුව ආන්ඩුව පටවන කප්පාදු ප්‍රහාරවලට එරෙහි ව ශ්‍රී ලංකාවේ කම්කරුවන් අතර කෝපය වැඩෙමින් තිබේ.

පසුගිය වසර තුල ශ්‍රී ලංකාවේ තැපැල්, දුම්රිය, සෞඛ්‍යය හා අධ්‍යාපන සේවාවන්ගේ සහ වතුවල දසදහස් ගනන් කම්කරුවෝ අරගලවලට පිලිපන්හ. වඩා හොඳ පහසුකම් ඉල්ලමින් හා තෘතීයික අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහි ව විශ්ව විද්‍යාල සිසුහු අඛන්ඩ විරෝධතා දියත් කරති.

අගෝස්තු 29දා කොලඹ පැවති විරෝධතාවක් ඇමතූ විවිවෘසඒක සම-සභාපතිවරයෙක් වන මංගල දාබරේරා, ආන්ඩුවේ ප්‍රහාර පිලිබඳ ව වචනයක් වත් කතාකලේ නැත. එවෙනුවට, ඔහු කම්කරුවන්ගේ ඉල්ලීම් නොදීම ගැන වැටුප් කොමිසමේ හා යූජීසියේ රාජ්‍ය නිලධරයන්ට දොස් පැවරී ය. “අනධ්‍යයන කම්කරුවන්ගේ බලය අවතක්සේරු නො කරන ලෙස අපි සියලු වගකිව යුතු නිලධාරීන්ට අනතුරු අඟවනවා” යි ඔහු බිරුසන් දුන්නේ ය.

එජාප වෘත්තීය සමිති නිලධාරියෙක් මෙසේ කිවේය: “පරිපාලන නිලධාරීන් මෙම ගැටලු විසඳන්නේ නැතිනම් අපි දේශපාලනික ව මැදිහත් වෙනවා.” වෙනත් වචනවලින් කියතොත්, ආන්ඩුවට විරුද්ධ ව සටන් කිරීම සඳහා දේශපාලන බලමුලුගැන්වීම වලක්වමින් වෘත්තීය සමිති නිලධාරීන් කරනු ඇත්තේ ආන්ඩුවේ ඇමතිවරුන් ඉදිරියේ බඩගාමින් පාවාදීමේ ගනුදෙනුවක් සඳහා ආයාචනා කිරීමයි.

විවිවෘසඒක කුමක් ප්‍රකාශ කලත්, රාජ්‍ය නිලධරයන් ක්‍රියාවට දමමින් සිටින්නේ ජාමූඅ නියෝග කරන ලද ආන්ඩුවේ වැඩපිලිවෙල යි. පසුගිය මාසයේ මුදල් අමාත්‍යාංශය සියලු දෙපාර්තමේන්තුවලට උපදෙස් දුන්නේ, මාර්තු මාසයේ අයවැය තුල නිවේදනය කල පරිදි වියදම් සියයට 15කින් කප්පාදු කිරීම අරඹන ලෙස යි.

ආන්ඩුවට හා එහි ධනපති වැඩපිලිවෙලට අභියෝග කිරීමෙන් කම්කරුවන් ව වැලැක්වීමට වෘත්තීය සමිති අධිෂ්ටානවත් ව සිටිති. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයන්ට හා එහි තරුන අංශයට විවිවෘසඒක නිලධරයන් පෙන්වූ සතුරුභාවයෙන් මෙය පැහැදිලි ව ප්‍රදර්ශනය විය.

වයඹ විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිති මැරයෝ, ලෝසවෙඅ වාර්තාකරුවන්ට හා සසප සාමාජිකයන්ට කායිකව පහරදීමට තර්ජනය කල හ. සසප සාමාජිකයන් ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවට එරෙහි ව්‍යාජ චෝදනා එල්ල කරන බවට කියාපාමින්, කොලඹ විරෝධතාවේ දී ද සමිති නිලධාරීහු ඔවුන් වර්ජකයන් සමග කතාකිරීමෙන් වැලැක්වීමට උත්සාහ කල හ. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දී සමිති නිලධාරීහු, ඔවුන්ගේ ක්‍රියාවන් ලෝසවෙඅ විසින් විවේචනය කිරීම, වෘත්තීය සමිති ක්‍රියා “දුර්වල” කරනු ඇති බවට කිහ.

සසප සාමාජිකයන් කම්කරුවන් සමග කතාකරමින්

වෘසඒක නිලධාරීන් ලෝසවෙඅට හා සසපට විරුද්ධ වන්නේ, කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා ජීවන කොන්දේසි මත ප්‍රහාර එල්ලවන්නේ ධනේශ්වර පද්ධතියේ ගෝලීය අර්බුදයත් කොලඹ ආන්ඩුව ක්‍රියාවට දමන ජාමූඅ පිලිවෙත් හා වෘත්තීය සමිතිවල ආන්ඩු-ගැති ක්‍රියාමාර්ග නිසා බව සිය විශ්ලේෂන මගින් පැහැදිලි කරන හෙයිනි. ලෝසවෙඅ ලිපි කම්කරුවන් ව උනන්දු කර ඇත්තේ, වෘත්තීය සමිතිවලින් බිඳී සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක පදනම මත ඔවුන්ගේ අයිතීන් සඳහා සටන් කිරීමට, සාමාන්‍ය කම්කරුවන් විසින් පාලනය කරනු ලබන ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස යි.

ගෝලීය ධනවාදය පෙර නුවූ විරූ අර්බුදයක කිඳී ඇති තතු තුල, සෑම තැනක ම ආන්ඩු උත්සාහ දරමින් සිටින්නේ, වැටුප් හා ජීවන තත්ත්වයන් මත මෙන් ම රජයේ අරමුදල්වලින් යැපෙන අධ්‍යාපනය මත බරපතල ප්‍රහාර එල්ල කරමින් ආර්ථික අර්බුදයේ සමස්ත බර කම්කරු පන්තිය හා පීඩිත ජනයා මත පැටවීමට යි.

ජනාධිපති සිරිසේන හා ශ්‍රී ලංකාවේ ආන්ඩුව අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාර හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ඩැහැගත්හ. සති දෙකකට පෙර සිරිසේන මෙම පියවරයන් ඉවත් කරගත්ත ද මහජන ආරක්ෂක පනත යටතේ මිලිටරියට දුරදිග යන මර්දනීය බලතල ප්‍රදානය කල අතර සියලු කාර්මික ක්‍රියා තහනම් කරමින් රාජ්‍ය ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශ කර ඇත.

විශ්ව විද්‍යාල කිහිපයක පාලනය සඳහා පසුගිය සතියේ ආන්ඩුව “නිසි බලධාරීන්” පත්කලේ ය. මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ තාක්ෂනික ආයතනය (එන්ඩීටී) හා ගම්පහ දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය පාලනය කිරීමට යුද හමුදා මේජර් ජනරාල්වරු දෙදෙනෙක් හා යාපනය විශ්ව විද්‍යාලය පාලනය කරන තවත් නිලධාරියෙක් පත්කර ඇත.

කොලඹ විරෝධතාවේ දී ලෝසවෙඅ සමග කතාකල වැඩවර්ජනයේ යෙදුනු බොහෝ කම්කරුවන්ගේ අදහස් වෘත්තීය සමිති නායකත්වයේ අදහස්වලට වඩා ඉඳුරා ම වෙනස් විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කාර්යාල ලිපිකරුවෙක් වන මහින්ද මෙසේ කීවේ ය: “අපේ අරගලය කරගෙන ආකාරය ඵල රහිතයි කියල මට හැඟෙනවා. කම්කරුවන්ට කිසිම සාර්ථක ප්‍රතිඵලයකින් තොර ව වෘත්තීය සමිති වර්ජන නවතා තිබෙනවා, මේ වර්ජනයෙන් පස්සෙ සිද්ද වෙන්නෙත් ඒක යි. අඛන්ඩ වැඩ වර්ජනයකට සහභාගි වීමට අපි සූදානම්, ඒත් විශ්වාස කරන්න පුලුවන් කිසිදු සංවිධානයක් අපට නැහැ.”

මොරටුව විශ්ව විද්‍යාලයේ කම්කරුවෙක් වන මනෝජ්, අතීත අරගලවල දී වෘත්තීය සමිති ඉටුකල භූමිකාව විවේචනය කලේ ය: “(ආන්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක වන) එජාපයේ හා ශ්‍රීලනිපයේ සමිති නිසා අපේ ඉල්ලීම් දිනාගැනීම පහසුයි කියල නායකයෝ කිවුවා. ඒත් ආන්ඩුව අපේ ප්‍රශ්න විසඳුවේ නැති හින්ද එකම ඉල්ලීමක් වත් දිනා නො ගෙන අපිට ආපහු වැඩට යන්න සිද්ද වුනා.”

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කම්කරුවෝ

යාපනය විශ්ව විද්‍යාලයේ ටී. උදයරාසා වෘත්තීය සමිති හෙලාදැක්කේ ඒවා ආන්ඩුව නියෝජනය කරමින් එය ආරක්ෂා කරන නිසා ය: “අපේ ප්‍රශ්න ගැන වෘත්තීය සමිති අතර එකඟතාවක් නැහැ. කම්කරුවන් බෙදා ඇති ඔවුන් ඔවුන්ගේ අධිකාරය පවත්වාගෙන යාමට උත්සාහ දරන නිසා කම්කරුවන් නිතර ම පීඩා විඳිනවා.”

රුහුනු විශ්ව විද්‍යාලයේ පාලිත මෙසේ කීවේ ය: “අවුරුදු ගනනාවක් තිස්සේ මම මේ වගේ විරෝධතාවලට සහභාගි වෙලා තියෙනවා. බලධාරීන් සමහර ප්‍රගතිශීලී විසඳුම් දුන් බව කියා වෘත්තීය සමිති වැඩ වර්ජන ආපසු කැඳවුවත්, ඉක්මනින් ම අපට අවබෝධ වුනේ කිසිදෙයක් දිනා නො ගත් බව යි. සියලුම අනුප්‍රාප්තික ආන්ඩු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමා තිබෙනවා.

“මට සමාජවාදී සමානතා පක්ෂ සාමාජිකයින් මුනගැසී තිබෙනවා. අපි මුහුන දෙන ප්‍රශ්නවලට හේතුව ධනවාදයේ අර්බුදයයි කියන එහි පැහැදිලි කිරීම මට තේරුම් ගත හැකියි. ධනපති ආන්ඩු තවදුරටත් කිසිම දෙයක් කම්කරුවන්ට දෙන එකක් නැහැ. ධනවාදයට විරුද්ධ ව සටන් කිරීමට කම්කරු පන්තිය එක්සත් කිරීම අත්‍යවශ්‍ය යි.”

Share this article: