දෙවැනි ලෝක යුද්ධ අනුස්මරනයේ දී හොලෝකෝස්ටය ගැන ජර්මානු ජනාධිපති නිහඬය

German president silent on the Holocaust at WWII memorial

2019 සැප්තැම්බර් 04

ජර්මානු නාසි තන්ත්‍රය විසින් යුදෙව්වන් සමූලඝාතනය කිරීම වෙනුවෙන් වන්දි ගෙවීමක් ලෙස, 1970 දෙසැම්බර් 7 වන දින ජර්මානු චාන්සලර් විලී බ්‍රාන්ඩ්ට් වෝර්සෝ ගෙටෝ ස්මාරකය ඉදිරියේ දනින් වැටුනේ ය. මෙම “වෝර්සෝ දනනමස්කාරයට” ස්වයං-උත්සුකයක් නොමැති වුව ද එය දේශපාලන සන්ධිස්ථානයක් සනිටුහන් කලේ ය. බ්‍රාන්ඩ්ට්ගේ ඊනියා “ඔස්ටෝපොලිටික්” (නව නැගෙනහිර ප්‍රතිපත්තිය)නැගෙනහිර යුරෝපයේ වෙලඳපල හා අමුද්‍රව්‍ය සඳහා ජර්මානු මහා ව්‍යාපාරික ප්‍රවේශය ලබා ගත්තේ ය. ජර්මානු රජය සිය ඓතිහාසික අපරාධ ක්‍රමානුකූලව වසන් කොට සුලු කොට තැකූ වසර ගනනාවකට පසු ජර්මනිය අවසානයේ සිය වගකීමට මුහුන දෙමින් සිටියේ ය.

ආසන්න වශයෙන් අවුරුදු පනහකට පමන පසු, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටේන්මීයර් (සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙකු වූ බ්‍රාන්ඩ්ට් මෙන්) වෝර්සෝ හි දී,දෙවන ලෝක යුද්ධය පුපුරා යාමේ 80 වන සංවත්සරය සැමරීමේ උත්සවයක දී කතා කලේ ය. යුදෙව්වන් හෝ හොලෝකෝස්ටය ගැන එක වචනයක්වත් කීමට ඔහු අසමත් විය. මෙම නිශ්ශබ්දතාව බ්‍රාන්ඩ්ට්ගේ දනනමස්කාරයට වඩා සංකේතාත්මක ව අඩු නො වේ. නාසීන්ගේ අපරාධ ඉතා නිශ්චිත දේශපාලන අරමුනු සඳහා අවතක්සේරු කෙරෙමින් තිබෙන බවට එය ඉතා පැහදිලි සංඥාවකි.

පලමුව, හොලෝකෝස්ටය පිලිබඳ ස්ටේන්මීයර්ගේ නිශ්ශබ්දතාවය කතෝලික පල්ලියේ යුදෙව්-විරෝධී සම්ප්‍රදායන් තුල ගැඹුරින් මුල්බැසගැනුනු හා පෝලන්ත අඥාදායක ජොසෙෆ් පිල්සුඩ්ස්කි උත්කර්ෂයට නැංවූ අන්ත-ජාතිකවාදී පෝලන්ත නීතිය හා සාධාරන පක්ෂ (පීඅයිඑස්) ආන්ඩුවට හා පක්ෂ නායක ජරොස්ලාව් කැක්සිංස්කිට සහනයක් විය. පීඅයිඑස් මෑත වසරවල ඉතිහාසය නැවත ලිවීමට ක්‍රමානුකූලව උත්සාහ කර ඇති අතර පෝලන්තයේ යුදෙව් විරෝධය පිලිබඳව පර්යේෂන කරන හෝ ලියන ඕනෑම විශාරදයකු හෝ ප්‍රචාරකයෙකු අපරාධකාරයෙකු කිරීමට තර්ජනය කරන නීති සම්මත කර තිබේ.

2019 සැප්තැම්බර් 1වෙනිදා , ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටේන්මීයර්, දකුනේ, පෝලන්ත ජනාධිපති ඇන්ඩ්‍රෙජ් ඩූඩා සමඟ කුඩා නගරයක් වූ වීලුන් හි දී දෙවන ලෝක යුද්ධය පුපුරා යාමේ 80 වන සංවත්සරය සැමරීමට සහභාගී විය (AP Photo/Czarek Sokolowski)

එහෙත්, සියල්ලටත් වඩා, හොලෝකෝස්ටය ගැන ස්ටේන්මීයර්ගේ නිශ්ශබ්දතාව, තම රටේ දක්ෂිනාංශික අන්තවාදී ජර්මනිය සඳහා විකල්පය (ඒඇෆ්ඩී) සඳහා සහනයක් විය. ආක්‍රමනශීලී අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තියක් වෙත ජර්මනිය නැවත හැරවීමේ රාමුව තුල පාලක පන්තිය ක්‍රමානුකූලව මෙම ෆැසිස්ට් පක්ෂය ගොඩනගා ප්‍රවර්ධනය කරමින් සිටී. ස්ටේන්මියර් වෝර්සෝ හි සිය දේශනය කල දිනයේ ම, ප්‍රාන්ත මැතිවරන දෙකකින්, එනම් සැක්සනි සහ බ්‍රැන්ඩන්බර්ග් හි දී, ඒඇෆ්ඩීය දෙවන විශාලත ම පක්ෂය ලෙස ඉස්මතු විය. ස්ටේන්මීයර්ගේ කතාව වැරැදීමක් නො වේ. ඔහු තමන් කරන්නේ කුමක් දැ යි දන්නා පලපුරුදු දේශපාලනඥයෙකි. සමූහාන්ඩු ජනාධිපති කාර්යාලයේ 180 දෙනෙකුගෙන් යුත් කාර්ය මන්ඩලයක් සිටින අතර, ඔවුහු ඔහුගේ සෑම කථාවක්ම හොඳින් සූදානම් කර ඒවා රජයේ සංවිධාන තුල සාකච්ඡා කරති.

සැප්තැම්බර් 1වෙනිදා උදේ, ස්ටේන්මියර් පෝලන්ත ජනාධිපති ඇන්ඩ්‍රෙජ් ඩූඩා සමඟ කුඩා නගරයක් වූ වීලුන් වෙත ගියේ ය. මීට වසර අසූවකට පෙර ජර්මනිය පෝලන්තය ආක්‍රමනය කල විට මෙම නගරයේ පදිංචිකරුවන් මත මුලින්ම ගුවනින් බෝම්බ හෙලන ලදී. මෙහි දී ඔහු හුදෙක් යුදෙව්වන් හා හොලෝකෝස්ටය ගැන සඳහන් කලේ එක් වගන්තියකින් පමනක් වන අතර ඔහු පැහැදිලිවම සමාව අයැද සිටියේ “ජර්මානු ත්‍රස්තවාදී පාලනයේ පෝලන්ත වින්දිතයින්ගෙන්” පමනී. මෙය 16,000 ක ජනගහනයෙන් තුනෙන් එකක් පමන යුදෙව්වන් වූ අතර, දස දහස් ගනනක් යුදෙව්වන් පසුව නගරයේ ගෙටෝවෙන් කුල්ම්හෝෆ් රැදවුම් කඳවුරට පිටුවහල් කරනු ලද යි යන කාරනය නො සලකා හැරීමකි.

ඉන්පසුව, ස්ටේන්මීයර් රටවල් 40 ක රාජ්‍ය අමුත්තන් 250 කට අධික සංඛ්‍යාවක් සමඟ පස්වරුවේ කතා කල අවස්ථාවේ, ඔහු හොලෝකෝස්ටය ගැන සඳහන් කිරීමට අසමත් විය. නමුත් නාසීහූ වාර්ගික පෝලන්ත පුද්ගලයන් මිලියන 1.6 ක් සහ පෝලන්තයේ යුදෙව් ජනගහනයෙන් සියයට 90 කට සමාන වූ, යුදෙව්වන් මිලියන 3 ක් පමන ඝාතනය කලහ. ස්ටේන්මියර් සඳහන් කල ජර්මානු යුද අපරාධවලින් විපතට පත්වූවෝ “පෝලන්ත පිරිමි හා ගැහනු” මෙන්ම “පෝලන්තය, එහි සංස්කෘතිය, නගර සහ එහි ජනතාව” පමනක් වූහ.

පෝලන්තයේ යුදෙව් ප්‍රජා ලීගයේ ප්‍රධානී මොනිකා ක්‍රව්සික් තම කෝපය පිට කලේ, “ඔහු යුදෙව් යන වචනය ප්‍රකාශ කිරීමට තෙමේ ම ඉදිරිපත් නො වූයේ කෙසේ ද? හොලෝකෝස්ටය හා යුදෙව් ප්‍රතිරෝධය ගැන කතා කිරීමෙන් ඔහු වලක්වන්නේ කුමක් විසින් ද? පෝලන්තයේ වාඩිලෑමේ ඉතිහාසය දැනගත යුතු වෘත්තිකයෙක්, විපතට පත් කොටසකට පමනක් පාපොච්චාරනය කර අනෙක් අයව අමතක කරයි. මට කතා කර ගත නොහැකි විය” යනුවෙන් පවසමිනි

ස්ටේන්මියර්ගේ නිශ්ශබ්දතාව ගැන වාර්තා කල එකම ජර්මානු පුවත්පත වන ටාගෙස්සේයිතුං අවිශ්වාසය ප්‍රකාශ කලේ ය. ඔහු පෝලන්ත යුදෙව්වන්ගෙන් සමාව ඉල්ලා නො සිටියේ මන්දැ යි යන්න “සම්පූර්නයෙන්ම තේරුම්ගත නො හැකි” යැයි පුවත්පත විස්තර කලේ ය.

යථාර්ථයේ දී එය තේරුම්ගත නො හැකි දෙයක් නො ව. සිය වෝර්සෝ කතාවෙන් ස්ටේන්මියර් ඒඑෆ්ඩීයට ප්‍රදර්ශනය කරමින් සිටියේ එහි නායකයන් හොලෝකෝස්ටය “කුරුලු බෙට්ටක්” ලෙසත් බර්ලිනයේ හොලෝකෝස්ට් ස්මාරකය ය “ලැජ්ජාවේ ස්මාරකයක්” ලෙසත් විස්තර කරන විට, ඔහු එය සමග මූලික වශයෙන් එකඟ වන බව යි. නාසීන් ගැන කුහක ලෙස තම භීතිය ප්‍රකාශ කිරීමේ දී ඔහු කිසිවිටකත් වෙහෙසට පත් නො වන අතර, හොලෝකෝස්ටය ගැන ස්ටේන්මීයර්ගේ නිශ්ශබ්දාතාව හා අන්ත දක්ෂිනාංශික පීඅයිඑස් සමඟ මුසුවීමේ ඔහුගේ උත්සාහය, සැබවින් ම ඔහු දේශපාලනිකව සිටින්නේ කොතැන ද යන්න පෙන්නුම් කරයි.

අන්ත දක්ෂිනාංශයේ නැගීම ජාත්‍යන්තර සංසිද්ධියකි. මහා බලවතුන් අතර ගැටුම් හා සමාජ ආතතීන් ඉහල යන තතු යටතේ, රාජ්‍ය මර්දන සංවිධාන ශක්තිමත් කිරීම, මිලිටරිවාදී ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාම සහ සියලු ආකාරයේ සමාජ විරුද්ධත්වය මැඩපැවැත්වීම සඳහා පාලක ප්‍රභූවට මෙම බලවේග අවශ්‍ය වේ.

ජර්මනියේ අන්ත දක්ෂිනාංශය ප්‍රවර්ධනය කිරීමේදී ස්ටේන්මීයර් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. චාන්සලර් ජෙරාඩ් ෂ්‍රෝඩර් (එස්පීඩී) යටතේ චාන්සලර් කාර්යාලයේ ප්‍රධානියා ලෙස ස්ටේන්මීයර් ජර්මානු බුද්ධි අංශ සඳහා වසර හතක් වගකිව යුතු වූ අතර එය ක්‍රමානුකූලව ගොඩනංවා දක්ෂිනාංශික අන්තවාදී ජාලයන් වෙනුවෙන් වැඩ කලේ ය.

විදේශ ඇමති වශයෙන්, ස්ටේන්මීයර් 2014 යුක්රේනයේ ෆැසිස්ට් නායකත්වයෙන් යුත් කුමන්ත්‍රනයට සහාය දුන් අතර, ඔහු පෞද්ගලිකව මුනගැසුනු, ඔලේ ටියානිබොක්ගේ ස්වොබෝදා පක්ෂය වැනි දක්ෂිනාශික අන්තවාදී බලවේග සමඟ සහයෝගයෙන් කටයුතු කලේ ය. එම වසරේ දී ම, ඔහු මියුනිච් ආරක්ෂක සමුලුවේදී මිලිටරි බලවතෙකු ලෙස නැවත සන්නද්ධ වන ලෙස ජර්මනියෙන් ඉල්ලා සිටියේය. ජර්මනිය “ලෝක දේශපාලනය ගැන පැත්තකින් සිට අදහස් දැක්වීමට තරම් විශාල වැඩි” බව ඔහු පැවසීය.

2017 සමූහාන්ඩු මැතිවරනයෙන් පසු ව, මහා සභාග ආන්ඩුව ඉදිරියට ගෙන යාමේ එස්පීඩී තීරනයේ දී ස්ටේන්මීයර් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කලේ ය. මෙය ඒඑෆ්ඩීය පාර්ලිමේන්තුවේ නිල විරුද්ධ පක්ෂය බවට පත් කලේ ය. 2017 නොවැම්බරයේ දී ඔහු ජනපති නිල නිවස වන බෙලීව් කාසල් හි පෞද්ගලික උපදේශනයකට ඒඑෆ්ඩී නායකයින් වන ඇලෙක්සැන්ඩර් ගෝලන්ඩ් සහ ඇලිස් වීඩෙල්ට පවා ආරාධනා කලේය.

පෝලන්තයේ ස්ටේන්මීයර්ගේ කථාව මෙම දේශපාලන සම්ප්‍රදායට හොඳින් ගැලපේ. දෙවන ලෝක සංග්‍රාමයේදී ජර්මනියේ අපරාධ සම්බන්ධයෙන් කිඹුල් කඳුලු සලමින් සිටිය දී, ඔහු යුරෝපයේ ජර්මානු ආධිපත්‍යය සහ මිලිටරිය යලි සන්නද්ධ කිරීමේ ප්‍රධාන වැඩපිලිවෙලක් ඉල්ලා සිටියේ ය. “මෙම යුරෝපය සඳහා මගේ රටට විශේෂ වගකීමක් ඇති බව මම හොඳින් දනිමි,” ඔහු පැවසීය. “ජර්මනියට තම ඉතිහාසය නො සලකා යුරෝපයේ නව ශක්තියක් කරා වර්ධනය වීමට ඉඩ හැරීම යන්නෙන් අදහස් වන්නේ ජර්මානුවන් වන අප යුරෝපයට වැඩි යමක් කල යුතු බව යි. යුරෝපීය ආරක්ෂාවට අපි වැඩි දායකත්වයක් ලබා දිය යුතු යි. ”

ආර්ථිකමය හා මිලිටරිමය යන දෙකෙන් ම පෝලන්තය බර්ලිනයට මූලෝපයිකාව වැදගත් ය. ඩොලර් බිලියන 120 ක (2018) වාර්ෂික සමස්ත වෙලඳාම සමඟ පෝලන්තය ජර්මනියේ හයවන විශාලත ම වෙලඳ හවුල්කරුවා ලෙස බ්‍රිතාන්‍යය අභිබවා ගොස් ඇත. එය රුසියාවට එරෙහිව හමුදා රැඳවීමට හා මිලිටරි සහචරයෙකු සඳහා වැදගත් කලාපයකි.

මෙම උත්සවයට එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොඩොමියර් සෙලෙන්ස්කි සහභාගී වූ අතර පෝලන්ත රජය රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට ආරාධනා නො කිරීමට වග බලා ගත්තේය. මෙය සිදු වූයේ නාසි ජර්මනියට එරෙහි යුද්ධයේ පීඩනය දැරුවේ සෝවියට් සංගමය විසින් ය යන කාරනය නො සලකා ය.

පෝලන්ත ජාතිකවාදීන් සමඟ සන්ධානයක් ගොඩනැඟීමේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ස්ටේන්මීයර් මෙම ඉතිහාසය ලැජ්ජා සහගත ලෙස මුසාකරනය කලේ ය. ඔහු වක්‍රව පමනක් රතු හමුදාව ගැන සඳහන් කල නමුත් නාසීන්ට එරෙහි ජයග්‍රහනයේ දී එහි තීරනාත්මක කාර්යභාරය ප්‍රතික්ෂේප කලේ ය. “මෙම සංවත්සරයේදී අපි සියලු දෙනාම කෘතඥතාවයෙන් එක්සත් ජනපදය දෙස බලා සිටිමු,” යැයි පවසමින් ඔහු ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටි එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස්ට ප්‍රශංසා කලේ ය. "එහි හමුදාවන්ගේ ශක්තිය, එහි බටහිර හා නැගෙනහිර මිතුරන් සමග එක්ව, ජාතික සමාජවාදය පරාජය කලේ ය.”

වෝර්සෝ හි ස්ටේයින්මීයර්ගේ කථාව අවධාරනය කරන්නේ එස්පීඩී සහ අනෙකුත් සියලුම ස්ථාපිත පක්ෂ සියලු අත්‍යවශ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් ෆැසිස්ට්තාලයේ ඒඑෆ්ඩී සමඟ එකඟ වන බව යි. අන්තවාදී දක්ෂිනාංශය විසින් ඇති කර ඇති අන්තරායට මුහුන දිය හැක්කේ, මිලිටරිවාදය, මර්දනකාරී රාජ්‍ය සංවිධාන ශක්තිමත් කිරීම හා සමාජ අසමානතාවයට එරෙහි අරගලය, ඒවායේ මූලාශ්‍රය වන ධනේශ්වර ලාභ ක්‍රමයට එරෙහි සටන සමග එක්සත් කරන ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයකට පමනකි.

පීටර් ස්වාෂ්

Share this article: