ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉංග්‍රීසි ලිපි 75,000 සීමාවට ලඟා වෙයි

The World Socialist Web Site reaches 75,000 English articles

2019 සැප්තැම්බර් 3

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, එය 1998 පෙබරවාරි 14දා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කිරීමෙන් පසු, ඉංග්‍රීසි භාෂා පිටු මත ලිපි 75,000ක් පලකිරීමේ සැතපුම් කනුවට පසුගිය සතියේ ලඟා විය. ජර්මානු, ප්‍රන්ස, ස්පාඤ්ඤ, ඉතාලියානු, සිංහල, දෙමල, නෝර්වීජියානු, මැන්ඩරින්, තුර්කි, ග්‍රීක, අරාබි, රුසියානු හා පෘතුගීසි ඇතුලු තවත් භාෂා 21කින් පලකල තවත් ලිපි දහස් ගනනක් ගත් කල, ලෝසවෙඅ මත සමස්ත ලිපි ගනන දැනට මත් 100,000 සීමාව පසුකර තිබේ.

ලේඛකයන් සිය ගනනක් සම්බන්ධ වෙමින්, වසර 21කට වැඩි කාලයක් පුරා අඛන්ඩ ව දේශපාලන විශ්ලේෂනයේ හා ධනපති ක්‍රමය හෙලිදරවු කිරීමේ අසමාන කර්තව්‍යයක් මෙම සංඛ්‍යාවන් මගින් පෙන්නුම් කරයි. ලෝසවෙඅ 1998 සතියකට දින පහක් ලිපි පලකිරීම ආරම්භ කලේ ය. 1999 අප්‍රේල් මාසයේ දී ලෝසවෙඅ එහි කාර්ය සටහන සතියකට දින හයක් ලිපි පලකිරීම දක්වා විස්තීර්න කලේ ය.

උතුරු ඇමරිකාවේ, යුරෝපයේ, ආසියාවේ හා ඕස්ට්‍රේලියාවේ සිට ක්‍රියාත්මක වන සමාජවාදී කර්තෘ මන්ඩල දිනකට පැය 24ක් ඒකාබද්ධ කරගැනීම මත පදනම් වන ලෝක සමාජවාදී වෙබ් අඩවියට කාර්යගත ප්‍රකාශනයේ එක් දිනක් වත් මගහැරී නැත. ජාතික දේශසීමා හරහා පවත්වා ගන්නා මෙම සමීප දෛනික දේශපාලන ඒකාබද්ධතාව, ලෝසවෙඅ ගොඩනගන ලද ඉදිරිදර්ශනය වන විප්ලවීය මාක්ස්වාදී මූලධර්ම මත ජාත්‍යන්තර කම්කරු පන්තිය එකමුතු කිරීමේ ප්‍රායෝගික සාක්ෂාත්කරනයක් නියෝජනය කරයි.

ලෝසවෙඅ වනාහි මාක්ස්වාදී ව්‍යාපාරයෙහි ඉතිහාසයේ අත්‍යසාමාන්‍ය ජයග්‍රහනයකි. එය ප්‍රථම හා මේ දක්වා එකම දෛනික ජාත්‍යන්තර සමාජවාදී ප්‍රකාශනය යි. අද දින විප්ලවීය මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදයේ මූලධර්ම සංගතික ව ආරක්ෂා කර ඇති ලෝසවෙඅ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සටන් වැද ඇත.

ලෝසවෙඅ 20වන සංවත්සර අවස්ථාවේ පලකල ප්‍රකාශයේ අප විස්තර කල පරිදි:

මාක්ස්වාදී න්‍යාය ද සමස්ත විසිවන ශතවර්ෂය පුරා දිගහැරෙන ජාත්‍යන්තර පන්ති අරගලයේ සාරභූත මූලෝපායික අත්දැකීම් සමීකරනය කරගැනීම හා අනවරත යලි හැඩගැස්වීම ද මත සවිඥානික ව පදනම් වන්නා වූ එහි ඉදිරිදර්ශනයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සුවිශේෂී ස්වභාවය තද්භව කරගැනේ. ධනේශ්වර මාධ්‍ය ද ඊටත් වැඩි ග්‍රාම්‍ය රූපයකින් සුලු-ධනේශ්වර වාමාංශයේ ප්‍රකාශන හා ව්‍යාජ-වමේ වෙබ් අඩවි මත ද ආධිපත්‍යය දරන්නා වූ තත්කාර්යවාදී ධාරනාවාදයට විපරීත ව, ලෝසවෙඅ දෛනික සිද්ධීන් ඒවායේ යෝග්‍ය ඓතිහාසික සන්දර්භය තුල තබයි.

1998 පෙබරවාරියේ ලෝසවෙඅ පිහිටුවීම, 1985-86 කම්කරු විප්ලවවාදී පක්ෂය සමග භේදයෙන් ඉක්බිති ව, මාක්ස්වාදී ව්‍යාපාරයේ පූර්ව ඓතිහාසික අත්දැකීම් මත සවිඥානික ව පදනම් වන දේශපාලනික ව ඒකාබද්ධිත ලෝක පක්ෂයක් බවට, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) වර්ධනය වීමෙහි ප්‍රතිඵලය යි.

1988 තරම් ඈත දී, හජාජාක ධනේශ්වර නිෂ්පාදනයේ ගෝලීයකරනයේ ද එය සමග ආබද්ධ වූ විදුලි සංදේශනයන්ගේ විප්ලවීය වෙනස්කම් තුල ද අන්තර්ගත අර්ථභාරයට අවධානය යොමු කර තිබිනි. එහි ප්‍රතිඵලයක් ලෙස, පාලක පන්තිය විසින් අන්තර්ජාලයේ අර්ථභාරය පලල් ව අවබෝධ කරගැනීමට පෙර ම එහි විභවයට ජාත්‍යන්තර කමිටුව ඉහලින් ම හැඩගැසී සිටියේ ය. විප්ලවවාදී අදහස් ප්‍රචලිත කිරීමට ද ජාත්‍යන්තර ඒකාග්‍රතාවක මට්ටම හා පූර්වයෙන් සිතා ගැනීමට පවා නො හැකි වූ මට්ටමකින් කම්කරු පන්ති ව්‍යාපාරය සම්බන්ධීකරනය කිරීමේ ද ක්‍රම සෙවීම කෙරෙහි ජාත්‍යන්තර කමිටුව ක්‍රියාකාරී ව යොමු වී සිටියේ ය.

තව ද 1991 දී සෝවියට් සංගමය බිඳ විසුරුවීම, පාලක පන්තියේ දෘෂ්ටිවාදීන් ප්‍රකාශයට පත්කල පරිදි, “ඉතිහාසයේ අවසානය” සලකුනු නො කල බව ජාත්‍යන්තර කමිටුව අවබෝධ කරගත්තේ ය. ඒ වෙනුවට සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ (සෝසසසං) අවසානය, ස්ටැලින්වාදය යනු පලමු කම්කරු රාජ්‍යය තුල අධිරාජ්‍යවාදයේ උපකරනයක් බවත්, ලෝක සමාජවාදී විප්ලවයේ අශමනීය විරුද්ධවාදියෙකු බවත් යන ට්‍රොට්ස්කිගේ ගුනාංගීකරනයෙහි නිරවද්‍යතාව සනාථ කලේ ය. සෝසසසං විසුරුවීම මත්, ස්ටැලින්වාදී “තනි රටේ සමාජවාදය” පිලිබඳ ඉදිරිදර්ශනය ඇතුලු සියලු ජාතික ක්‍රියාමාර්ගවලට මාරාන්තික ව වලකැපූ, නිෂ්පාදනයෙහි ගෝලීයකරනයේ වර්ධනය විසින් ගෙන ආ ලෝක ධනවාදයේ අර්බුදයෙහි ප්‍රකාශ වීමක් විය.

නව ප්‍රකාශනය නිවේදනය කරමින්, ලෝසවෙඅ 1998 දී ලියූ ආරම්භක ප්‍රකාශනය මෙසේ ලිවී ය: “ඓතිහාසික ඥානයේ, සංස්කෘතික විවේචනයේ, විද්‍යාත්මක බුද්ධි ප්‍රබෝධයේ හා විප්ලවවාදී මූලෝපායේ විශ්ව කෝෂීය ගැඹුරක් සඳහා ලෝසවෙඅ වෙරදරනු ඇත. එහි අරමුන වන්නේ, නවීන සමාජවාදී කම්කරු ව්‍යාපාරයක පුනර්භවය සඳහා නැතිව ම බැරි දේශපාලනික හා සංස්කෘතික කථිකාවේ මට්ටම ඉහල දැමීම යි.”

දශක දෙකකට අධික ප්‍රකාශන කාලය පුරා ලෝසවෙඅහි විස්තාරනය වන බලපෑම හා ඉන් ප්‍රතිඵල වූ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂවල වර්ධනය, ප්‍රකාශනයේ පලමු වසර වූ 1998 දී ලිපි 1,500කට යන්තම් වැඩියෙන් පටන්ගෙන ගෝලීය මූල්‍ය අර්බුදයේ වසර වූ 2008 දී ලිපි 3,000කට ආසන්න සංඛ්‍යාවක සිට 2014 සිට ඉන් ඔබ්බට වසරකට ලිපි 5,000කට අධික වේගයක් දක්වා පලකරන ලිපි සංඛ්‍යාවේ අනවරත වර්ධනයකට මග පාදා ඇත.

එක්සත් ජනපදයේ හා කැනඩාවේ දේශපාලන හා සමාජ අර්බුදය සහ කම්කරු පන්ති අරගල පිලිබඳ ව ලිපි 22,000ක ප්‍රමානයක් තිබේ. බ්‍රිතාන්‍යයේ, ප්‍රන්සයේ හා ජර්මනියේ සිට ග්‍රීසිය හා රුසියාව දක්වා, යුරෝපයේ දේශපාලන හා සමාජ වර්ධනය විශ්ලේෂනය කර ඇති 15,000ක් පමන තිබේ. ඕස්ට්‍රේලියාව, නව සීලන්තය හා පැසිෆික් කලාපය පිලිබඳ ලිපි 6,000ක්, ආසියාව හා ඉන්දු උප-මහාද්වීපය පිලිබඳ ලිපි 7,500ක් සහ ඇෆ්ගනිස්තානය, ඉරාකය, සිරියාව හා යේමනය තුල එක්සත් ජනපදය විසින් ආරම්භ කල යුද්ධ ඇතුලු මැද පෙරදිග පිලිබඳ ලිපි 6,500ක් තිබේ. ලතින් ඇමරිකාව හා අප්‍රිකාව පිලිබඳ ලිපි දහස් ගනනක් ලියනු ලැබ ඇත.

චිත්‍රපට පිලිබඳ ලිපි 2,000කට අධික ප්‍රමානයක් ඇතුලු ව කලාව, සංස්කෘතිය හා විද්‍යාව ගැන ලිපි 4,000කට වැඩියෙන් ලෝසවෙඅ පලකර තිබෙන අතර, ඒවා අතරට පලල් පරාසයක ලිපි අඩංගු වේ. එනම්, කලා හා කෞතුකාගාර ප්‍රදර්ශන, ඡායාරූපකරනය, රූපවාහිනී හා නාට්‍ය විචාර, වාස්තු විද්‍යාව හා නර්තනය සහ සම්භාව්‍ය ඔපෙරාවන්හි සිට රැප් සංගීතය දක්වා වන සියලු සංගීත රූපාකාර පිලිබඳ ලිපි ය. කම්කරුවන් හා බුද්ධිමතුන් යන දෙගොල්ලන්ගේ ම දේශපාලන අධ්‍යාපනයට අත්‍යවශ්‍ය වන්නා වූ ද පශ්චාත්-නූතනවාදයේ ප්‍රතිගාමී විද්‍යා-විරෝධී පලකිරීම් කෙරෙහි අශමනීය සතුරුකම විසින් ප්‍රේරනය කරන ලද්දා වූ ද ඓතිහාසික මාතෘකාවන්ට කැපකෙරුනු ලිපි 1,500ක් ද තිබේ.

ලෝසවෙඅ මත මාක්ස්වාදී විශ්ලේෂනයට භාජනය නො වූ ලෝක දේශපාලනයේ ප්‍රධාන දේශපාලන සිද්ධියක් හෝ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අර්ථභාරී අරගලයක් නැති අතර, හජජාක නව ශාඛාවන් ගොඩනැගීම ඇතුලු ජාත්‍යන්තර කමිටු ශාඛාවන්වල දේශපාලනික මැදිහත්වීමේ පදනම වී ඇත්තේ එම විශ්ලේෂනය යි.

ලෝසවෙඅ දෛනික ප්‍රකාශනය ආරම්භ කලේ, ජනාධිපති බිල් ක්ලින්ටන්ට එරෙහි ව දෝෂාභියෝගයක් සඳහා මගපෑදූ දේශපාලන අර්බුදයේ ආරම්භයත් සමගිනි. දෙවතාවක් තේරී පත්වූ ජනාධිපතිවරයෙකු ඉවත් කිරීම සඳහා වූ අන්ත-දක්ෂිනාංශික උද්ඝෝෂනය විශ්ලේෂනය කරමින් හා එයට විරෝධය පලකරමින් එම වසර තුල ලෝසවෙඅ ලිපි 100කට වඩා පලකලේ ය. ක්ලින්ටන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රධාන අනදෙන්නා ලෙස ඉරාකයට බෝම්බ දැමීමටත්, සූඩානයට හා ඇෆ්ගනිස්තානයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමටත් නියෝග කරද්දී, ඔහුට එරෙහි අශමනීය විරුද්ධත්වය පවත්වා ගන්නා අතර ම, එම උද්ඝෝෂනය මගින් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙරෙහි නියෝජනය කරන අන්තරාය අපි පැහැදිලි කලෙමු.

ධනපති පාලක ප්‍රභූවේ සියලු කන්ඩායම්වලට ද වෘත්තීය සමිති, ලේබර් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ හා ව්‍යාජ-වමේ සංවිධාන යන එම කන්ඩායම්වල උපකරනවලට ද එරෙහි ව, ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා ස්වාධීන දේශපාලන ක්‍රියාමාර්ගය වර්ධනය කිරීමට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට පවත්නා හැකියාව, මෙම අත්දැකීම විසින් ප්‍රදර්ශනය කලේ ය.

ඉන්පසුව ගත වූ වසර 21 පුරා, ලෝක අධිරාජ්‍යවාදයේ අපරාධ කෙරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ වඩාත් ම සවිඥානික කොටස්වල විරෝධයට ලෝසවෙඅ නායකත්වය දුන්නේ ය. සර්බියාව හා ලිබියාව මත එක්සත් ජනපද-නැටෝ බෝම්බ හෙලීමට, එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්තානය හා ඉරාකය ආක්‍රමනය කිරීමට, බටහිර අප්‍රිකාව තුල ප්‍රන්ස අධිරාජ්‍යවාදයේ පුනර්ජීවනයට හා යුරෝපයේ වඩාත් ම බලගතු හා ප්‍රතිගාමී ජර්මානු අධිරාජ්‍යවාදයේ යලි ඉස්මතු වීමට විරුද්ධ ව අපි සටන් වැදුනෙමු. විකිලීක්ස් වෙබ් අඩවිය විසින් එක්සත් ජනපද යුද අපරාධ හෙලිදරවු කිරීම හේතුවෙන්, ජීවිතාන්තය දක්වා සිරගත කිරීමේ හැකියාවට මුහුන දෙන ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමේ රූපය දැන් අත් කරගන්නා ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ උද්ඝෝෂනයක්, ලෝසවෙඅ හරහා ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කර ඇත.

ලෝසවෙඅට පාඨකයන් හා ආධාරකරුවන් සිටින සෑම රටක් තුල ම, කම්කරුවන්ගේ අරගල ආරක්ෂා කොට විස්තාරනය කිරීමටත්, එම අරගලවල ඓන්ද්‍රීය ජාත්‍යන්තර ස්වභාවය ප්‍රදර්ශනය කරමින් කම්කරු පන්තියේ දේශපාලන විඥානය වර්ධනය කිරීමටත් අප සටන් වැදී ඇත. කම්කරුවන්ගේ අවශ්‍යතා සඳහා කිසිදු අරගලයක් කිරීම බොහෝ කලකට පෙර අත්හැර දමා ඇති පැරනි, බංකොලොත් සංවිධානවලට එරෙහි ව අශමනීය ලෙස සටන් වැදී ඇති අපි, මෙම ඓතිහාසික යුගයේ කම්කරු පන්තිය මුහුන දෙන කේන්ද්‍රීය කර්තව්‍යය මුනගස්වා ඇත. එනම්, ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය මත පදනම් වන නව මහජන සංවිධාන ගොඩනැගීම යි.

2008 වෝල් වීදියේ කඩාවැටීමෙන් දසවසරකට පසු, පසුගිය වසරේ ඇමරිකානු රජයේ පාසල්වල ගුරුවරුන්ගේ ප්‍රධාන අරගල ද ප්‍රන්සයේ “කහ කබා” ව්‍යාපාරය ද අනෙකුත් බලගතු වැඩ වර්ජන ද මගින් සංඥා කල පරිදි ප්‍රධාන සමාජ හා දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තිය ඉස්මතු වී ඇත. පුවතෝ රිකෝ සිට හොං කොං දක්වා වන මහජන අරගල ද ඇල්ජීරියාවේ හා සූඩානයේ ආඥාදායකත්වයන් සොලවාලූ සමාජ නැගිටීම් ද දියුනු කාර්මික රටවල ඉහල යන වර්ජන රැල්ල ද සමගින් මෙම ව්‍යාපාරය මේ වසර තුල ඝාතීය ලෙස වර්ධනය වී ඇත.

කම්කරු පන්තියේ මෙම ඉස්මතු වීමෙහි වඩාත් ම සවිඥානික ප්‍රකාශනය වන්නේ, ලෝක පරිමානයක් මත කම්කරු පන්තිය අධ්‍යාපනගත කිරීම හා සංවිධානය කිරීම තුල වඩ වඩා ඍජු භූමිකාවක් ඉටුකරමින් සිටින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයේ වර්ධනය යි.

2017 දී ගූගල්, මුහුනුපොත හා අනෙකුත් සමාජ මාධ්‍ය යෝධයන් විසින් අරඹන ලද ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස, ලෝසවෙඅ වෙත ප්‍රවේශය සීමා කිරීමේ උත්සාහයන් නො තකා, ලෝසවෙඅ පාඨකත්වය මසකට මිලියනයක ඉහල අගයකට ලඟා වී ඇති අතර, අගෝස්තු මාසයේ පාඨකත්වය මිලියන 1.58ක් වූයේ පෙබරවාරියේ මට්ටමට වඩා තුන්ගුනයකට ආසන්න වෙමිනි.

විශේෂයෙන් ම අවධානයට ගත යුතු වන්නේ, ජීවන කොන්දේසි හා කාර්මික කම්කරුවන්ගේ අරගල පිලිබඳ ලිපි සමාජ මාධ්‍ය මත පලල් ලෙස සංසරනය වීම වන අතර, එමගින් ඉඟිකරන්නේ ලෝක කම්කරු පන්තියේ වඩාත් ම බලගතු හා තීරනාත්මක බලඇනිය නව නායකත්වයක් අපේක්ෂා කරන බව යි.

වර්ධනය වන පාඨකත්වය සමග වේගය පවත්වා ගැනීම පිනිස, වීඩියෝ, සජීවී ප්‍රචාරනය හා බහුමාධ්‍යවල අනෙකුත් රූපයන් උපයෝගී කරගනිමින් වෙබ් අඩවියේ තාක්ෂනික පදනම් අපි අඛන්ඩ ව ප්‍රසාරනය කරන්නෙමු.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහා සටන සියතට ගන්නා ලෙස අපි අපේ සියලු පාඨකයන්ගෙන් ඉල්ලමු. ලෝසවෙඅ ලිපි බෙදාහරිමින්, ඒවා මුද්‍රනය කොට ඔබගේ මිතුරන්, පන්ති මිතුරන් හා සම-කම්කරුවන් අතර බෙදමින් අන්තර්ජාල වාරනය බිඳීමට උදවු වන්න. ඔබගේ වැඩපොලේ හා ප්‍රදේශයේ වර්ධනයන් පිලිබඳ වාර්තා එවමින් ලෝසවෙඅ වාර්තාකරුවෙකු බවට පත්වන්න.

ලෝක කම්කරු පන්තියේ අරගල දේශපාලනික ව සූදානම් කිරීමේ හා සංවිධානය කිරීමේ ලෝසවෙඅ තීරනාත්මක කර්තව්‍යය විස්තාරනය කිරීම හැකියාවක් බවට පත්කරමින් එයට නිත්‍ය මූල්‍ය ආධාරකරුවෙකු වන්න.

පැට්‍රික් මාටින්

Share this article: