මානව ඛේදවාචකය දිගහැරෙද්දී ට්‍රම්ප් බහමාස් වෙතින් සරනාගතයන් පැමිනීම වලක්වයි

Trump blocks refugees from Bahamas as humanitarian catastrophe unfolds

2019 සැප්තැම්බර් 10

ඩොරියන් කුනාටුව සැප්තැම්බර් 1දා පටන් බහමාස් දූපත මත එහි විනාශය මුදාහලේ ය. සතියකටත් අධික කාලයකට පසුව ඉස්මතු වන පින්තූරය සිතීමට වත් නො හැකි විනාශකාරී එකකි. සැප්තැම්බර් 9දා වන විට නිල මරන සංඛ්‍යාව 44ක් වුව ද ආන්ඩුවේ නිලධාරීන් මෙම සංඛ්‍යාව නාටකාකාර ව ඉහල යනු ඇතැයි අනතුරු අඟවා ඇත. ඇසින් දුටු සාක්ෂිකරුවෝ මරන සංඛ්‍යාව සිය ගනනකට හෝ දහස් ගනනකට පවා නගිනු ඇතැයි සැක පලකරති.

එවැනි ව්‍යසනයන් සමගින් සෑම විට ම වන පරිදි, (ගෝලීය උෂ්නත්වය විසින් තෙල් වක්කරන ලද විශාලතම වාර්තාගත සුලිකුනාටුවලින් එකක් වන) ස්වාභාවික සංරචකය, පාලක ප්‍රභූවේ දේශපාලනික නො තැකීම සහ සමාජ අසමානතාව සමග අන්තර්ඡේදනය විය.

ධවල මන්දිරයෙන් පිටත දී සැප්තැම්බර් 9දා කතා කල ජනාධිපති ට්‍රම්ප්, මධ්‍යම ඇමරිකානු සරනාගතයන් හා මෙක්සිකෝවේ සිට පැමිනෙන සංක්‍රමනිකයන් කෙරෙහි ඔහුගේ ආකල්පයෙන් යන්තමින් වෙනස් වන අවඥාවක්, එක්සත් ජනපදයේ රැකවරන සොයන බහමාස් ජනයා වෙත ඔහු අනාවරනය කලේ ය.

“සමහර ඉතා නරක පුද්ගලයන්, සමහර ඉතා නරක රංචු සාමාජිකයන් හා සමහර ඉතාමත් නරක මත්ද්‍රව්‍ය වෙලෙන්දන් ඇතුලු බහමාස් දූපතේ නො සිටිය යුතු යයි උපකල්පිත පුද්ගලයන්ට එක්සත් ජනපදයට පැමිනීමට මා අවසර දෙන්නේ නැහැ. අපි ඒ පිලිබඳ ව ඉතා ම දැඩි ලෙස සිටිනවා” යි ඔහු කීවේ ය.

ෆ්ලොරිඩා වෙරලේ සිට යන්තම් සැතපුම් 50ක් දුරින් සිදු වූ විනාශයට ඇමරිකානු පාලක පන්තියේ ප්‍රතිචාරය එබඳු ය.

ට්‍රම්ප්ගේ දෙඩවිල්ල සිදු වූයේ සුලිකුනාටුවෙන් ඉරිතැලී ගිය ෆ්‍රීපෝට්හි සිට ලවුඩර්ඬේල් බලකොටුව දක්වා ගමන් කිරීමට නියමිත ව තිබූ වානිජ බෝට්ටුවක් සම්බන්ධ සැප්තැම්බර් 8දා සවස් භාගයේ සිදු වූ සිද්ධියකින් පසුව ය. අභ්‍යන්තර නිවේදක හඬක් “එක්සත් ජනපද වීසා නැති සියලු මගීන් සියලු දෙනා කරුනාකර බසින්න” යි නිවේදනය කලේ ය. ලමුන් ද ඇතුලු සියයකට අධික මගීන් පිරිසක්, ව්‍යාකූලත්වයෙන් හා කෝපයෙන් යුතු ව බෝට්ටුවෙන් ඉවත් වූ හ. බොහෝ අවස්ථාවල දී, අනතුරින් මිදීම පිනිස සතියක් තරම් ඔවුන් බලා සිට තිබුනු අතර, වීසා අනවශ්‍ය බව ඔවුන්ට කියා තිබුනි.

මගීන්ට බසින්නට නියෝග කොට තිබුනේ, බෝට්ටු මෙහෙයවන්නා මිස එක්සත් ජනපද ආන්ඩුවේ ඒජන්සියක් නො වූ බව එක්සත් ජනපද රේගු හා දේශසීමා සංචාරක ඒකකය අවධාරනය කලේ ය. ව්‍යාකූලත්වයේ මූලාශ්‍රය කුමක් වුවත්, මෙම සිද්ධිය, ඩොරියන් කුනාටුවෙන් බේරුනු අය මුහුන දෙන නො තකා හැරීම පිලිබඳ ලාක්ෂනික එකකි.

දූපත් පද්ධතියට අයත් ජාතිකයින් වාසය කරන 390,000 දෙනාගෙන් හැත්තෑ දහසකට නිවාස අහිමි වී තිබේ. දූපත හරහා අවම වසයෙන් දින දෙකක් වත් හමා ගිය පැයට සැතපුම් 220ක වේගයකින් යුත් හුලඟෙන් හා අඩි 30 දක්වා වැඩුනු 5 ගනයේ කුනාටුවෙන් වඩාත් ම පීඩාවට පත්වූයේ ග්‍රෑන්ඞ් බහාමා හා ඇබාකෝ දූපත් ය.

මල සිරුරු සොයන බල්ලන් ද සමග පිරික්සන හා මුදාගන්නා කන්ඩායම් ඇබකෝස්හි සුන්බුන් අතරින් පෙරලා බැලීමට උත්සාහ දරමින් සිටින්නේ, ඔවුන්ට හමුවන ඕනෑම මානව කොටසක් ශරීර එකතු කරන කවර හා ශීතකරනයන්ට දමමිනි. ඇබකෝස්මි විශාලතම නගරය හා දරුනු ලෙසින් ම කුනාටුවේ බලපෑමට ලක්වූ ප්‍රදේශයක් වන මාෂ් හාබර්හි දී තාවකාලික මෘත ශරීරාගාරයක අධ්‍යක්ෂවරු සීඑන්එන් වෙත කීවේ ශරීර කරා ලඟාවීමේ දුෂ්කරතාව ඔවුන්ගේ කටයුතු පමා කරන බව යි.

මාෂ් හාබර්හි පැල්පත් නගර, ඇබකෝස් දූපතේ වඩාත් ම බලපෑමට ලක්වූ ඒවායින් සමහරකි. බොහෝ බහමාස් වැසියෝ, වැඩි ම මරන සංඛ්‍යාව එම ප්‍රදේශවලින් හමුවෙතැයි සැකකරති. කැරීබියන් දූපත්වල වඩාත් ම දෘඪතර ගොඩනැගිලි කේත තිබීම ගැන බහමාස් දූපත් කයිවාරු ගසයි. එහෙත් මෙම ප්‍රජාවන් බොහෝ සෙයින් හයිටි රාජ්‍යයෙන් පැමිනි සංක්‍රමනිකයන්ගෙන් සමන්විත වන අතර, තුනීලෑලි හා දෙකේ හතරේ ලී යොදාගෙන අතින් තම නිවාස තනාගෙන ඇති ඔවුන් ව ලේඛනගත කොට නැත.

විෂ මිශ්‍ර ජලය මුදුනට ලඟා වී ඇති ඇබකෝහි මාෂ් හාබර් නිවහන් ප්‍රදේශයක සෞඛ්‍ය අර්බුදයක් පුපුරා යා හැකි යයි වෛද්‍යවරු අනතුරු අඟවමින් සිටිති. දුර්වල ලෙස තනා ඇති නිවෙස් පිටස්තර නිවාස වැසිකිලි ලෙස භාවිතා කල අතර, ප්‍රජාවේ ඉතිරි කොටසුත් සමග ගසාගෙන ගොස් ඇත.

සුන්බුන් අතර යට වී ඇති, විවෘත ව කුනුවන හෝ ජල පොකුනුවල ඉදිමෙමින් පවතින ශරීර වාර්තාකරුවන්ට පෙන්වනු ලැබ ඇත. එහෙත් බොහෝ අයගේ ආදරනීයයන් තවමත් සොයාගෙන හෝ ගනන් කරනු ලැබ නැත. මාෂ් හාබර්හි බටහිර මර්ෆි නගරයේ මැක්ආඩ්‍රියන් ෆැරින්ටන්, පසුගිය සතියේ රූපවාහිනී විකාශනයක පෙනී සිට, තම පස් හැවිරිදි පුත්‍රයා ආරක්ෂා වනු අපේක්ෂාවෙන් නිවසේ වහල මත තැබුව ද ගංවතුරට ගසාගෙන ගියේ කෙසේදැයි විස්තර කලේ ය. ඔහුගේ පුත්‍රයා තවමත් හමු වී නැත.

නරක ම ලෙසින් බලපෑමට ලක්වූ ප්‍රදේශවල සිට මුදාගන්නන් නිවාස වලට යැවීමට කුනාටු රැකවරන සොයන්නන් රොක් වෙමින් සිටින නාසාවු අගනුවරට දහස් ගනන් ජනයා දිගට ම පැමිනෙති. “ජලයේ මියගිය සතුන් හා ඉන්ධන වර්ග තිබෙනවා” යි නාසාවු වෙත පැමිනි කාන්තාවක් සීඑන්එන්ට කීවා ය. “වැසිකිලි බඳුන් උතුරා යද්දී සායනය ඉතා නරක තත්තවයක පවතිනවා. අසූචි උඩට පැමිනෙනවා...ශරීර වරායේ තිබෙනවා” යි ඇය කීවා ය.

සති අන්තය පුරා, කුනාටුවෙන් බේරුනු පුද්ගලයන් 1,500ක් පමන ෆ්ලොරිඩාහි පාම් බීච් වෙත ලඟා වූ අතර, එහි දී ඔවුන්ට සංක්‍රමන බලධාරීන් විසින් ප්‍රතිකාර කරනු ලැබී ය. මුදල්, ගමන් බලපත්‍ර හෝ වෙනත් ලේඛන නොමැති නාසාවු වෙත බේරී ආ අයට, මෙම ස්ථානයෙන් එක්සත් ජනපදයට පැමිනීමට හැකියාවක් නැත.

“අපි දැන් සිටින්නේ අපේ රටෙහි ඉතිහාසයේ විශාලතම ජාතික අර්බුදයක් මැද” යි බහමාස් අගමැති හියුබට් මිනිස් පසුගිය සතියේ මාධ්‍ය හමුවක දී කීවේ ය. “උත්සාහය හෝ සම්පත් යෙදීම නතර කරන්නේ නැහැ” යි ඔහු කීවේ ය. එහෙත් යථා තත්ත්වයට පත්වීමේ හා මුදාගැනීමේ මෙහෙයුම්වල මන්දගාමී වේගය ගැන මහජනයා වඩ වඩා කෝපයට පත්වෙමින් සිටිති.

මෙවැනි සියලු ව්‍යසනයන්හි දී මෙන් ම, අහිමිවීම්වලට මුහුන දෙන්නේ හා වැඩියෙන් ම විපාක විඳින්නේ සමාජයේ දුප්පත් ම හා වඩාත් ම දුර්වල කොටස් ය. 2017 වන විට බහමාස් ජනගහනයෙන් සියයට 15ක් පමන දරිද්‍රතා රේඛාවට පහලින් ජීවත් වූයේ 2014 පටන් සියයට 2ක ඉහල යාමක් වාර්තා කරමිනි. හයිටි ජාතිකයන් ඉහල ම දරිද්‍රතා අනුපාතය දරන අතර, එය සියයට 37කට අධික ය.

ඩොලර් 5,000 දරිද්‍රතා රේඛාවට පහලින් ජීවත් වන බහමාස් පවුල් සංඛ්‍යාව, 2007 සිට 2011 දක්වා අවපාතය හේතුවෙන් සියයට 83කින් ඉහල ගියේ ය. වයස 14ට අඩු දරුවන් ඉහල ම දරිද්‍රතා අනුපාතයෙන් පීඩි විඳින්නේ, සාමාජිකයන් හතක් හෝ ඊට වැඩි නිවාස පරිදි ම ය.

බහමාස් දූපතේ ආදායම් බදු, සංගත බදු, ප්‍රාග්ධන වෘද්ධි බදු හෝ ධනවතුන් මත බද්දක් නැත්තේ, ජාතිය ව්‍යාපාර හා සූරාකෑම සඳහා අනර්ඝ තැනක් බවට පත්කරමිනි. 1955 ගිවිසුමක්, ෆ්‍රීපෝට්හි බදු-මුක්ත කලාපයක් හා ඒ අසල විදේශීය කාර්මික ආයෝජනය දිරිමත් කිරීම සඳහා කර්මාන්ත පුරයක් ස්ථාපනය කලේ ය. 1993 පැනවූ නීතියක් ෆ්‍රීපෝට්හි බොහෝ බදු හා තීරු බදු සහන 2054 දක්වා දීර්ඝ කලේ ය.

සංචාරක කර්මාන්තයට පසු, බහමාස් ආර්ථිකයේ වඩාත් ම වැදගත් අංශය ලෙස මූල්‍ය සේවාවන් පවතින්නේ, මූල්‍යාරක්ෂක ස්ථානයක් ලෙස රටට පවතින තත්ත්වය නිසා ය. බැංකු හා භාරකාර සමාගම් සිය ගනනක් එහි බලපත්‍ර ලබාගෙන ඇත.

බැංකුකරුවන් හා ආයෝජකයන් ආර්ථිකය කොල්ලකද්දී, 2015 දී පැනවූ සියයට 7.5ක සමාජීය ලෙස ප්‍රතිගාමී එකතු කල අගය මත බද්දක් (වැට්), 2018 ජූලියේ පටන් සියයට 12ක් දක්වා වැඩිකරන ලද්දේ, ඩොරියන් කුනාටුව හේතුවෙන් වඩාත් ම බලපෑමට ලක්වූවන් ඇතුලු කම්කරුවන් හා දුගීන් ඉලක්ක කරගනිමිනි.

පසුගිය දශකයේ හටගත් ස්වාභාවික විපත්, විශේෂයෙන් ම එවැනි ව්‍යසනයන් කෙරෙහි එක්සත් ජනපද ආන්ඩුව හිතාමතා ම කරන නො තකා හැරීමේ රටාවක් වෙත අවධානය කැඳවයි:

2005 අගෝස්තු 29: ලුෂියානාවේ නිව් ඕලියන්හි නාය යාමක් 3වන ගනයේ සුලි කුනාටුවක් වූ කත්‍රීනා කුනාටුව විසින් ජනනය කලේ දහස් ගනනක් ඝාතනය කරමින් හා තවත් දහස් ගනනක් අවතැන් කරමිනි.

2010 ජනවාරි 12: විශාලත්වය 7ක් වූ භූචලනයක් හයිටි රාජ්‍යයේ ඇති වී තක්සේරු කරන ලද මිලියන 3ක ජනයාට බලපෑ අතර, තක්සේරු නො කල ලක්ෂ ගනනක් මරා දැමී ය.

2017 සැප්තැම්බර් 20: 4වන ගනයේ සුලි කුනාටුවක් වූ මාරියා කුනාටුව පුවර්තෝ රිකෝ වෙත බලපෑවේ ය. එය ජීවිත 3,000කට වැඩි ගනනක් බිලිගත්ත ද එම මරන ගනන පිලිගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් දිගින් දිගට ම නො තකා හැර ඇත.

අද දින දක්වා, හයිටි රාජ්‍යයේ හා පුවර්තෝ රිකෝ දිවයිනේ ගනන් නැති දහස් සංඛ්‍යාත ජනයා තවමත් කූඩාරම් තුල නින්දිත කොන්දේසි යටතේ ජීවත් වන අතර, තවත් වසර 10කින් පසු බහමාස්හි තත්ත්වයත් එය ම නො වේ යයි විශ්වාස කිරීමට හේතුවක් නැත. වඩාත් ම බලගතු කාලගුනික සිද්ධි සඳහා කොන්දේසි ගෝලීය උනුසුම විසින් නිර්මානය කර ඇති බවට ප්‍රශ්නයක් නැතැයි දේශගුන විද්‍යාඥයන් එකඟ වන නමුත්, ඒවාට සූදානම් වීම් සඳහා කිසිවක් කරනු නො ලැබේ.

සියල්ලට ඉහලින් මෙය වනාහි, ජනගහනයේ යහපතෙහි සිට ග්‍රහලෝකයේ සෞඛ්‍ය ආරක්ෂාව හා ස්වාභාවික විපත්වල දී මානුෂීය ආධාර යැවීම දක්වා වන සමාජ ජීවිතයෙහි සෑම අංශයක් ම ධනේශ්වර ලාබ පද්ධතියට යටත් කිරීමේ ප්‍රතිඵලයකි.

කේට් රැන්ඩෝල්

Share this article: