ජීඑම්, ෆෝඞ් සහ ක්‍රයිස්ලර් සමාගම්වලට එරෙහිව මෝටර් රථ කම්කරුවන්ගේ අරගලයට ගෝලීය මූලෝපායක් අවශ්‍ය ය

The struggle of autoworkers against GM" Ford" and Chrysler requires a global strategy

2019 සැප්තැම්බර් 11

එක්සත් ජනපදයේ ජෙනරල් මෝටර්ස් (ජීඑම්), ෆෝඞ් සහ ෆියට් ක්‍රයිස්ලර් සමාගම්වල කම්කරුවන් 158,000 ක් සඳහා වන සිව් අවුරුදු කම්කරු ගිවිසුම් සැප්තැම්බර් 14 වන දිනෙන් අවසන් වීමට පෙර ඇත්තේ දින කීපයක් පමනකි.

මූර්ත වැටුප් පහත වැටීම, අඩු වැටුප් හා තාවකාලික වැඩ ව්‍යාප්ත කිරීම සහ රැකියා සහ ප්‍රතිලාභ වලට පහර දීම්වලට එරෙහිව සටන් කිරීමට මෝටර් රථ කම්කරුවෝ අධිෂ්ඨාන සහගත ව සිටිති. මෙම මාසය මුල දී කම්කරුවන් සියයට 96 කින් ඡන්දය ප්‍රකාශ කලේ, 1976 න් පසු පලමු ප්‍රධාන එක විය හැකි ජාතික මෝටර් රථ වැඩ වර්ජනය දියත් කිරීමට ය.

කොන්ත්‍රාත්තුවල කල් ඉකුත් වීමත් සමග කම්කරුවෝ අසාමාන්‍ය තත්වයකට මුහුන දෙති. ඔවුන් නියෝජනය කරනවා යැයි කියනු ලබන සංවිධානය වන එක්සත් මෝටර් රථ කම්කරුවන්ගේ වෘත්තීය සමිතිය (යූඒඩබ්ලිව්) සංගත කලමනාකරනයේ අල්ලස් ලබා ගත් මෙවලමක් ලෙස හෙලිදරව් වී ඇති අතර, එම සංවිධානයේ සභාපති ඇතුලු එහි ඉහල විධායකයෝ අපරාධ චෝදනාවලට ලක්ව සිටිති.

එක්සත් ජනපද කම්කරුවන් මෙම සටනට සූදානම් වෙද්දී, දකුනු කොරියාවේ ජීඇම් කම්කරුවෝ 10,000 ක් වසර 22 ක් තුල එරට පලමු පූර්න පරිමානයේ වැඩ වර්ජනයේ නිරතව සිටිති. තෙදින වැඩවර්ජනය සෝල් නුවරට බටහිරින් පිහිටි ඉන්චියොන් හා අගනුවරට ගිනිකොන දෙසින් සැතපුම් 250 ක් දුරින් පිහිටි චැංවොන් හි ජීඑම් එකලස් කිරීමේ කම්හල්වලට මෙන්ම ජීඇම් තාක්ෂනික මධ්‍යස්ථානයට ද බලපෑවේය. ශ්‍රම පිරිවැය අධික බැවින් මෙහෙයුම් වසා දමන බවට ජීඇම් නැවත නැවතත් තර්ජනය කරයි.

සිය ගෝලීය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස, ජීඇම් සිය ගුන්සාන් එකලස් කිරීමේ කම්හල 2018 මැයි මාසයේ දී වසා දැමූවේ නිෂ්පාදන රැකියා 2,000 ක් සහ ඊට සම්බන්ධ කර්මාන්තවල තවත් දහස් ගනනක් රැකියා අතුගා දමමිනි. කොරියානු ලෝහ කම්කරු සංගමයේ (කේඑම්ඩබ්ලිව්යූ) ජීඑම් කොරියා ශාඛාවේ සහාය ඇතිව ජීඑම්, ඉතිරි කම්කරුවන්ට වැටුප් හා ප්‍රසාද දීමනා කැටිකිරීම් හා ලාභදායිතාව ඉහල නැංවීම සඳහා නිෂ්පාදන කෝටාව වැඩි කිරීම භාර ගන්නා ලෙස බලපෑම් කලේ ය.

වර්තමාන සාකච්ඡා වලදී, ජීඑම් ඉල්ලා සිටින්නේ වැටුප් කැටි කිරීම දීර්ග කරන ලෙසයි. පසුගිය මාසයේ කොරියාවේ කල සංචාරයකදී, ජීඑම් හි ජාත්‍යන්තර මෙහෙයුම් පිලිබඳ උප සභාපති කියා සිටියේ සැලසුම් සහගත වැඩ වර්ජනය පිලිබඳව සමාගම “අතිශයින් කලකිරී සිටින” බවත් නැති වූ නිෂ්පාදනය සඳහා වෙනත් රටවල කර්මාන්තශාලා වෙත නිෂ්පාදනය මාරු කරන බවත් ය. කොරියානු කම්හල්වලට අනාගත මාදිලි වෙන් කිරීම පිලිබඳව ජීඑම් නැවත සලකා බලන බවට ඔහු තර්ජනය කලේ ය.

උතුරු ඇමරිකාවේ, මධ්‍යම මෙක්සිකෝවේ යෝධ සිලාවෝ නිෂ්පාදන සංකීර්නයේ ජීඑම් කම්කරුවන් සඳුදා වාර්තා කලේ ප්‍රාදේශීය කලමනාකරනය නිෂ්පාදනය වේගවත් කරමින් සිටින අතර එයට එරෙහි වන සටන්කාමී කම්කරුවන් දඩයම් කරමින් සිටින බව යි. වැඩ වේගවත් කිරීම එක්සත් ජනපදයේ සිදුවිය හැකි වැඩ වර්ජනයකට පෙර සමාගමේ ඉහල ලාභදායී පිකප් ට්‍රක් රථ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා වන ජීඇම් ජාත්‍යන්තර මූලෝපායේ කොටසක් බව කම්කරුවෝ පවසති.

මෙක්සිකානු කම්කරුවන් දඩයම් කෙරෙන්නේ ඔවුන් ජීඑම් වෙනුවෙන් වැඩවර්ජන කඩාකප්පල්කරුවන් වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දක්වමින්, සේවයෙන් පහ කල කම්කරුවෙකු වන ඊස්රායල් සර්වන්ටෙස්, “අපි බලාපොරොත්තු වන්නේ එක්සත් ජනපදයේ ජනතාවට සහය දැක්වීමට වගේම එහෙන් සහාය ලබා ගැනීමටයි” පැවසී ය. එක්සත් ජනපද කම්කරුවන් සමඟ ඒකාබද්ධ අරගලයක් “හොඳ උපාය මාර්ගයක් වනු ඇත” යි ඔහුගේ සගයෙක් පැවසී ය.

මෝටර් රථ කම්කරුවන්ගේ අරගල සිදුවෙමින් පවතීන්නේ, පෝටෝ රිකෝ සහ හොංකොං හි දැවන්ත විරෝධතාවල සිට බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ගුවන් නියමුවන් 4,000 ක් විසින් මේ සතියේ අරඹන ලද වැඩ වර්ජනය දක්වා වන, ලොව පුරා සමාජ ගැටුම් හා පන්ති අරගලයේ සැලකිය යුතු වර්ධනයක් මධ්‍යයේ ය.

සීමිත ජාතික පදනමක් මත ගෝලීය සංගතවලට එරෙහිව සටන් කල නොහැකි බව කම්කරුවෝ හඳුනා ගනිමින් සිටිති. මේ වසර මුලදී මෙක්සිකෝවේ මැටමොරොස් හි මැකිලඩෝරා කර්මාන්තශාලාවල වාහන අමතර කොටස් සහ ඉලෙක්ට්‍රොනික උපකරන නිපදවන කම්කරුවෝ 70,000 ක් සමාගම් ගැති වෘත්තීය සමිතිවලට එරෙහිව කැරලි ගැසා, වැඩ වර්ජන කමිටු පිහිටුවා, හදිසි වැඩවර්ජන දියත් කලහ. ඇමරිකානු කම්කරුවන්ගෙන් සහයෝගීතාවය ඉල්ලා ආයාචනා කරමින් වැඩ වර්ජිත කම්කරුවෝ “ඇමරිකානුවනි, අවදි වන්න!” යනුවෙන් ගයමින් ටෙක්සාස් ජනපදයේ බ්‍රවුන්ස්විල් අසල එක්සත් ජනපද දේශ සීමාවට පාගමනින් ගියහ.

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය සහ යුරෝපයේ එහි අන්ත දක්ෂිනාංශික සහචරයන්ගේ සිට ඉන්දියාවේ මෝදි ආන්ඩුව හා දකුනු අප්‍රිකාවේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය දක්වා ධනේශ්වර ආන්ඩු විසින් ප්‍රචාරය කරනු ලබන හානිකර ජාතිකවාදයට සහ විදේශික භීතිකාවට වඩාත් ම ප්‍රබල ඖෂධය වන්නේ ජාතික දේශසීමා හරහා කම්කරුවන් එක්සත් කිරීම හා සම්බන්ධීකරනය කිරීම ය.

කම්කරුවන්ගේ කෝපය ඇවිස්සෙමින් තිබේ. එහෙත් එලඹෙන අරගලය සවිඥානික ජාත්‍යන්තර හා සමාජවාදී මූලෝපාකින් මෙහෙයවිය යුතු ය.

මෝටර් රථ නිෂ්පාදකයින් සහ ධනවත් ආයෝජකයින්ට නිසැකව ම ගෝලීය මූලෝපායක් ඇත. වෘත්තීය සමිති විසින් ලාභදායී ශ්‍රම ප්‍රභවයන් සපයන ස්ථානය මත පදනම් ව නිෂ්පාදනය ස්ථාන ගත කල යුත්තේ කොතැන ද යන්න තීරනය කරන ඔවුහු, ඕනෑ ම තනි රටක වැඩ වර්ජනයක බලපෑම අඩපන කිරීම සඳහා ඔවුන්ගේ ගෝලීය මෙහෙයුම් භාවිතා කරති. කම්හල් වසා දමමින් හා දස දහස් ගනනක් සේවයෙන් දොට්ට දමමින්, ජීඑම්, ෆෝඞ්, වීඩබ්ලිව් සහ නිසාන් යන සමාගම් සිය මෙහෙයුම් නිර්දය ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමවල නියුක්ත වන්නේ, හැකිලෙන වෙලඳපලවල් සහ විදුලි හා ස්වයං-රිය පැදවීමේ වාහන වැනි නව තාක්ෂනයන්හි ආධිපත්‍යය දැරීමේ කුරිරු තරඟය සඳහා තෙමේ ම ස්ථාපනය වනු පිනිස ය.

චීනය, ඉන්දියාව හා අනෙකුත් “නැගී එන වෙලඳපලවල” මෝටර් රථ නිෂ්පාදකයින්ගේ ව්‍යාප්තිය දැනටමත් වියලී යමින් තිබෙන්නේ, වර්ධනය වෙමින් පවතින වෙලඳ ගැටුම් සහ ගෝලීය අවපාතයට ඇද වැටීම හේතුවෙනි. චීනය හා ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත මෝටර් රථ කම්කරුවන්ට මේ වන විටත් තම රැකියා අහිමි වී තිබේ.

2018 දී ජීඇම් ඩොලර් බිලියන 11.8 ක ලාභයක් වාර්තා කර ඇති අතර පසුගිය වසර හය තුල කොටස් මිල දී ගැනීම් සහ ලාභාංශ ගෙවීම් ලෙස කොටස් හිමියන්ට ඩොලර් බිලියන 25 කට වඩා වැඩි මුදලක් ලබා දී ඇත. නමුත් මෙය ප්‍රමානවත් නොවේ. සඳුදා මූඩිසී ආයෝජන සේවාව විසින් ෆෝඞ් හි නය ශ්‍රේනිගත කිරීම “අවලංගු” තත්වයට පහත හෙලනු ලැබුවේ, මෝටර් රථ සමාගම් තාවකාලික ශ්‍රමය පුලුල් කිරීම හා “වසර 100 ක් තිස්සේ එක්සත් ජනපද මෝටර් රථ කර්මාන්තයේ ආධිපත්‍යය දැරූ අර්ධ සමාජවාදයේ අන්තිම අවශිෂ්ටය”යැ යි මෑත දී ෆෝබස් සඟරාව විසින් හෙලා දුටු, මෝටර් රථ කම්කරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂන ප්‍රතිලාභ අත්හිටුවීම ඇතුලු ශ්‍රම පිරිවැය අඛන්ඩව කප්පාදු කිරීම වෝල් වීදියට අවශ්‍ය බව පැහදිලි කරමිනි.

ලොව පුරා මෝටර් රථ කම්කරුවෝ ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලියක් මගින් සම්බන්ධ කෙරෙති. මෙක්සිකානු හෝ චීන වාහනයක් හෝ “ඇමරිකානු නිෂ්පාදිත” වාහනයක් කියා දෙයක් නැත. මිචිගන් ප්‍රාන්තයේ ෆ්ලැට් රොක් හි දී මූර්තිමය ෆෝඞ් මස්ටෑන්ග් රථය නිපදවෙන්නේ චීනය, ප්‍රන්සය, එක්සත් රාජධානිය හා මෙක්සිකෝවේ සම්ප්‍රේෂන කොටස් සමගිනි. අවම වශයෙන් රටවල් 62 ක් පුරා පැතිරී ඇති ඉතා සංකීර්න ගෝලීය සැපයුම් හා නිෂ්පාදන දාමයක කම්කරුවන් මිලියන 8 ත් 9 ත් අතර සංඛ්‍යාවක් එකට බැඳී ඇත. ඔවුන් එය උපයෝගී කරගන්නේ කෙසේ දැ යි අවබෝධ කර ගන්නේ නම්, ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ ශ්‍රමය ජාත්‍යන්තරව ඒකාබද්ධ කිරීම කම්කරුවන්ට ඉමහත් වාසියක් ලබා දෙයි.

මෙම සටන බාර ගැනීමට, කම්කරුවන් විසින් ම ප්‍රජාතන්ත්‍රීයව පාලනය කරනු ලබන, අරගලයේ නව සංවිධාන, එනම් සාමාජිකයන්ගේ කම්හල් කමිටු ගොඩනැගීම මගින් සංගතවාදී හා ජාතිකවාදී වෘත්තීය සමිතිවල ග්‍රහනය බිඳ දැමිය යුතු ය.

යූඒඩබ්ලිව් වෘත්තීය සමිතියේ දැවැන්ත දූෂනය හුදෙක් තනි තනි විධායකයින්ගේ ක්‍රියාවල ප්‍රතිඵලයක් නො වේ. එය වෘත්තීය සමිති සංගත කලමනාකරනයේ මෙවලම් බවට පරිවර්තනය කිරීමේ වඩාත්ම විකෘතරූපී ප්‍රකාශනය යි. ජාතිකවාදී හා ධනවාදී ගැති ඉදිරිදර්ශනයක මුල් බැස ගත් වෘත්තීය සමිති, නිෂ්පාදන ගෝලීයකරනයට ප්‍රතිචාර දැකවන්නේ කම්කරු පන්තියේ ජීවන තත්ත්වය පහත හෙලීමට සමාගම් සමඟ හවුල් වෙමිනි.

ශ්‍රම පිරිවැය කප්පාදු කිරීමට සහ ඇමරිකානු කම්කරුවන් වියදම් අඩු , අවශ්‍ය ලෙසට, ඉවත දැමිය හැකි ශ්‍රම බලකායක් බවට පත් කිරීම සඳහා සංස්ථා සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතරම දශක ගනනාවක් තිස්සේ යූඒඩබ්ලිව් විදේශ ශ්‍රමිකයෝ “ඇමරිකානු රැකියා සොරකම් කරති” යි යන බොරුව පතුරුවා හැර තිබේ. ඊට ප්‍රතිචාර ලෙස සමාගම් හිතවාදී කම්කරු ගිවිසුම් අත්සන් කර බලාත්මක කිරීම සඳහා යූඒඩබ්ලිව් නිලධාරීන්ට සමාගම් මිලියන ගනනක අල්ලස් ලබා දී ඇත.

යල්පැනගිය ජාතික ඉදිරිදර්ශනය සහ ධනේශ්වර ලාභ ක්‍රමය ආරක්ෂා කිරීම මත පදනම් වූ වෘත්තීය සමිතිවල කඩාකප්පල් කිරීම්වලට සෑම රටකම මෝටර් රථ කම්කරුවෝ මුහුන දෙති. අන්තර්ජාතික සංගතවලට එරෙහිව සටන් කරමින් සිටන කම්කරුවන් දේශසීමා හරහා එක්සත් කිරීම වෙනුවට, යූඒඩබ්ලිව්, කැනඩාවේ යුනිෆෝර්, ජර්මනියේ අයිජී මෙටල්, කේඑම්ඩබ්ලිව් යූ සහ සෙසු වෘත්තීය සමිති ජාතික රේඛා ඔස්සේ කම්කරුවන් බෙදීමට හැකි සෑම දෙයක්ම කරති.

සංගතවල වැටුප් ලබන නියෝජිතයින්ගෙන් තමන් ම නිදහස් වීමෙන් පමනක් ඇමරිකානු මෝටර් රථ කම්කරුවන්ට කැනඩාව, මෙක්සිකෝව, කොරියාව සහ ලොව පුරා සිටින ඔවුන්ගේ සහෝදර සේවකයින් සමඟ අන්තර්ජාතික සංගතවලට එරෙහිව සටන් කිරීම සඳහා බලවත් බැඳීම් ඇති කර ගත හැකි ය. මෙම අරගලයේ දී, ඔවුන්ගේ අරගල සම්බන්ධීකරනය හා ධනේශ්වර සූරාකෑම සදහට ම අහෝසි කිරීමට අවශ්‍ය දේශපාලනික ඉදිරිදර්ශනය හා විප්ලවවාදී නායකත්වය සමග ඔවුන් සන්නද්ධ කිරීමේ දී සහාය දීමට හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තම උපරිම ශක්තිය යොදනු ඇත.

ජෙරී වයිට්

Share this article: