ට්‍රම්ප් චීනය සමඟ ආර්ථික ගැටුම් උත්සන්න කරයි

Trump escalates economic confrontation with China

2019 අගෝස්තු 24

මෙම සති අන්තයේ ජී 7 සමුලුව සඳහා ලෝක නායකයන් ප්‍රන්සයට එක්රැස් වූ අවස්ථාවේ සිකුරාදා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චීනයට එරෙහි ආර්ථික යුද්ධය ප්‍රකාශ කිරීම නොකලත් ඊට අදාල අන් සියලුම අවලාද නැගීම් දෝරේ ගලා යැව්වේය.

ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින් පිං ව “සතුරෙකු” ලෙස හැඳින්වූ අතර චීනයෙන් එක්සත් ජනපදයට කෙරෙන සියලුම ආනයන සඳහා දැවැන්ත තීරුබදු වැඩිවීමක් ප්‍රකාශයට පත් කර එරටේ ව්‍යාපාර කටයුතු නතර කරන ලෙස ඇමරිකානු සමාගම්වලට “මෙයින් නියෝග කරමි” යයි පැවසීය.

ඇමරිකානු අපනයන චීනයට සහ අනෙකුත් රටවලට එරෙහිව තරඟකාරී කිරීමට ෆෙඩරල් සංචිතය විසින් එක්සත් ජනපද මුදල් අවප්‍රමානය කිරීම සඳහා ප්‍රමානවත් ක්‍රියාමාර්ග නොගැනීම දහවල් වීමට ටිකකට පෙර ට්‍රම්ප් හෙලා දුටුවේය.

මගේ එකම ප්‍රශ්නය “අපගේ විශාල සතුරා කවුද යන්නයි [ෆෙඩරල් සංචිත ප්‍රධානී] ජේ පවෙල්ද නැතිනම් ජනාධිපති ෂී ජින් පිං ද, ” ට්‍රම්ප් ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් ඇමරිකානු රාජ්‍ය නිලධාරියෙකු සහ ස්වෛරී රාජ්‍යයක ප්‍රධානියා යන දෙදෙනාම අභූත ලෙස හෙලා දැක්කේය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, දකුනේ, සහ චීන ජනාධිපති ෂී ජින් පිං, 2017 නොවැම්බර් 9 වන බ්‍රහස්පතින්දා බීජිං හි මහා ශාලාවේ පැවති පිලිගැනීමේ උත්සවයකට සහභාගී වෙමින් . (ඒපී ඡායාරූපය / ඇන්ඩි වොං)

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය, පෙර ප්‍රකාශයන් සමඟ එක්ව ගත් කල, ලෝකය පුරාවට ආර්ථික හා දේශපාලන ජීවිතයේ සෑම ආයතනයක ම අත්තිවාරමට තර්ජනයක් වන මුල්‍ය යුද්ධයක කොටසක් ලෙස එක්සත් ජනපදය, ගෝලීය ආර්ථිකයේ ප්‍රාථමික සංචිත මුදල වන ඩොලරයට ආයුධ සන්නද්ධ වන ලෙස කරන ඉල්ලීමකට සමාන වන්නේය.

ඇමරිකානු ජනාධිපතිවරයා තවදුරටත් මෙසේ පැවසීය: “අපට චීනය අවශ්‍ය නොවන අතර, අවංකව ම ඔවුන් නොමැතිවීම වඩා හොඳ වනු ඇත... අපගේ ශ්‍රේෂ්ඨ ඇමරිකානු සමාගම්වලට මෙයින් නියෝග කර සිටින්නේ චීනයට විකල්පයක් සෙවීම වහාම ආරම්භ කරන ලෙසයි. ඔබේ සමාගම් සිය රටට ගෙන ඒම සහ ඔබේ නිෂ්පාදන ඇමරිකා එක්සත් ජනපදය තුල කරන ලෙසයි.”

නැගී එන වෙලඳ යුද්ධය පැමින තිබෙන්නේ එක්සත් ජනපදය විසින් චීනයට එරෙහිව වේගයෙන් ඉහල යන මිලිටරි තර්ජන සහ ප්‍රකෝප කිරීම් මධ්‍යයේය. ට්‍රම්ප්ගේ ට්විටර් ඝෝෂාවට පැය කිහිපයකට පෙර එක්සත් ජනපදය තායිවානයට කල විශාල නව අවි ආයුධ අලෙවියෙන් පසුව තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යුද නැවක් යැව්වේය. දකුනු චීන මුහුදේ මතභේදාත්මක භූමි ප්‍රදේශය සම්බන්ධයෙන් බීජිනය සමඟ තීව්‍ර වන ගැටුමේ දී වියට්නාමය සමග එකට සිටීමට ද වොෂිංටනය පොරොන්දු වී තිබේ.

මෙම මාසය මුල දී, එක්සත් ජනපදය සමහර න්‍යෂ්ටික මිසයිල නිෂ්පාදනය සීමා කල අයිඑන්එෆ් ගිවිසුමෙන් නිල වශයෙන් ඉවත් වූ පසු, ආරක්ෂක ලේකම් මාක් එස්පර් පැවසුවේ “මාස කිහිපයක්” ඇතුලත චීනය අසල මධ්‍යම ප්‍රමානයේ මිසයිල යෙදවීම ආරම්භ කිරීමට තමන් කැමති බවයි.

මේ සතියේ එස්පර් කියා සිටියේ පෙන්ටගනය “රුසියාව සහ චීනය වැනි තරඟකරුවන්ට එරෙහිව ඉහල තීව්‍රතාවයකින් යුත් ගැටුම් සඳහා සූදානම් වීම කෙරෙහි අවධානය යොමු කල යුතු” බවයි. අයිඑන්එෆ් ගිවිසුම මගින් තහනම් කරන ලද ආයුධ එක්සත් ජනපදය විසින් නිෂ්පාදනය කිරීම “චීනයේ නරක හැසිරීම වැලැක්වීමට” අවශ්‍ය බවද ඔහු ප්‍රකාශ කළේය.

ඇමරිකානු සමාගම් වලට චීනයෙන් ඉවත් වන ලෙස ට්‍රම්ප් කල “නියෝගය” ආර්ථික ජාතිකවාදය, ආරක්ෂනවාදය සහ මිලිටරි ගැටුම් සඳහා වන සූදානම ගෝලීය වශයෙන් පුපුරා යාමේ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම ක්‍රියාවලිය ලොව විශාලතම ආර්ථිකයන් දෙක: දල දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 20 ක් වන එක්සත් ජනපදය සහ දල දේශීය නිෂ්පාදිතය ඩොලර් ටි්‍රලියන 13 ක් වන චීනය අතර ගැටුම තුලින් වඩාත් සෘජුව ප්‍රකාශනය කරනු ලබයි.

1989 දී තියානන්මෙන් චතුරස්‍රයේ විරෝධතා තලා දැමූ දා සිට, ඇමරිකානු ආයතනික කතිපයාධිකාරය චීනය යෝධ සූරා කෑම් තිප්පලක් ලෙස යොදාගෙන ඇති අතර, එහි දැවැන්ත කම්කරු පන්තියෙන් ලාභ ලබා ගනිමින් එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව වැටුප් පහත හෙලීම සඳහා “කම්හල් එහි ගෙන යාමේ” තර්ජනය භාවිතා කරයි.

නමුත් අර්ධ සන්නායක සැලසුම් කිරීම සහ නිෂ්පාදනය, ජංගම දුරකථන, ඉහල මට්ටමේ යන්ත්‍රෝපකරන, වෛද්‍ය උපකරන සහ ප්‍රකාශ විද්‍යා වැනි ඉහල අගය එකතු කල කර්මාන්තවලට චීනය පදනම් කරගත් සමාගම් ඇතුලු වීම එක්සත් ජනපදය පදනම් කරගත් සමාගම් සමඟ සෘජු තරඟකාරීත්වයකට පත්වීම නිසා අන්තර්ජාතික කම්කරු පන්තියෙන් ගසාකන ලාභ සංචිතය මත පවතින ඔවුන්ගේ පාලනයට තර්ජනය කරයි.

එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ වාචාල කතා අවසානයේ දී පිලිබිඹු කරන්නේ තර්ජන හරහා සහ අවශ්‍ය විටක මිලිටරි බලය යෙදවීමෙන් ඇමරිකානු ධනවාදයේ හීන වෙමින් යන ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීමට ඇති අභිප්‍රායයි.

ට්‍රම්ප්, බලය, තර්ජන සහ ප්‍රචන්ඩත්වය පිලිබඳ ඔහුගේ කුරිරු වූ හා මැරවර වන්දනාමානය ඇමරිකානු පාලක ප්‍රභූවේ ඉඳුරාම වන ගති ලක්ෂන නියෝජනය කරයි: එනම් එහි නිමක් නැති කෑදරකම, ම්ලේච්ඡත්වය සහ “බලහත්කාරය සාර්ථක ය” යන විශ්වාසය යි.

මේ මස මුල දී රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අතිශයින් ම අනාවරනමය වූ ප්‍රකාශයක් කලේය. “ජාතික ආරක්ෂාවෙන් වෙන්ව වෙලඳ හා ආර්ථික ගැටලු ගැන මිනිසුන් කතා කරන බව මට ඇසෙනු ඇත,” පොම්පියෝ පැවසීය. “ඒ ගැන කිසිම වැරදීමක් කර නොගනිමු, චීනයේ ධාරිතාව, මහජන විමුක්ති හමුදාවේ ධාරිතාව... ඔවුන් ගොඩනඟා ගත් වෙලඳ සබඳතාවල සෘජු ප්‍රතිඵලයකි.”

වෙනත් වචන වලින් කිවහොත්, චීනයේ ආර්ථික වර්ධනය වොෂින්ටනය දකින්නේ වෙලඳ ගැටුමේ සිට පූර්න පරිමාන යුද්ධය දක්වා වන ඕනෑම ආකාරයකින් මුහුන දිය යුතු වන මිලිටරි තර්ජනයක් ලෙස ය.

පොම්පියෝගේ වචන පසුගිය වසරේ පෙන්ටගනය විසින් බදාගත් රුසියාවට හා චීනයට එරෙහි මහා බල එදිරිවාදිකම් මූලධර්මයට අනුකූල වන අතර ඔවුන් ප්‍රකාශ කලේ “දැන් එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවේ මූලික අවධානය මහා බල තරඟය මිස ත්‍රස්තවාදය නොවේ” කියා ය.

එවැනි “මහා බල” ගැටුම්වල යෙදීමට සම්ප්‍රදායිකව පූර්න යුද්ධය ලෙස හැඳින් වන, “සමස්ත සමාජයේ” ප්‍රවේශයක් අවශ්‍ය වනු ඇතැයි පෙන්ටගනය ප්‍රකාශ කලේය.

ඇමරිකානු සමාගම්වලට චීනයෙන් ඉවත්ව යන ලෙස ට්‍රම්ප් දුන් “නියෝගයේ” අර්ථාන්විත බව මෙයින් පැහැදිලිව පෙනේ. සාමාන්‍ය තත්වයන් යටතේ ඇමරිකානු ජනාධිපතිවරුන්ට එවැනි බලයක් නොමැත. නමුත් යුද සමයේ දී ජනාධිපතිවරු ආර්ථිකය බලමුලු ගැන්වීම සඳහා විශාල බලයක් අත් කරගෙන ඇති අතර ට්‍රම්ප්ගේ ප්‍රකාශවලට එවැනි ආඥාදායක උපරිතානයන් ඇත. මෙම සන්දර්භය තුල, ව්‍යවස්ථානුකූලව නියම කර ඇති කාලීන සීමාවන් ඉක්මවා තම ජනාධිපති ධුරය දීර්ඝ කරගැනීම පිලිබඳව ඔහු නැවත නැවතත් සඳහන් කිරීම සහ 2020 මැතිවරනය අවලංගු කිරීම පිලිබඳ ඔහුගේ “විහිලු” සිදුවිය හැකි වාතාවරනයක පවතී.

ට්‍රම්ප්ගේ කෝපාෂ්විට කියුම් සහ වෙලඳ යුද්ධය උත්සන්න වීම පැහැදිලිව ම මූල්‍ය වෙලඳපොලවල් අවුල් කල අතර ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය 600 කටත් වඩා පහතට වැටුනි. ෆෙඩරල් සංචිත සභාපතිවරයාව ඔහු විසින් පරුෂ ලෙස හෙලා දැකීම මගින් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති ව්‍යසනයකට තුඩු දෙන බවට පාලක ප්‍රභූවේ සැලකිය යුතු කොටස් තුල, ඒ එක්සත් ජනපදයේ ම පමනක් නොව, වන හැඟීම තීව්‍ර කල හැකිය.

කෙසේ වෙතත්, ඇමරිකානු පාලක පන්තිය තුල ගැඹුරු බෙදීම් පැවතිය ද ඔහු වෙනුවට වෙන අයකු පත් වුවත් චීනය සමඟ ගැටුම අවසන් නොවනු ඇත. ට්‍රම්ප්ගේ ක්‍රමවේදයන් සමඟ වෙනස්කම් තිබිය හැකි නමුත් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය අවශ්‍යතා මත පදනම්ව පුලුල් චීන විරෝධී පොදු එකඟත්වයක් පවතී.

කෙසේවෙතත්, තත්වය අතිශයින් භයානක වන්නේ එක්සත් ජනපදය ලෝකයේ වඩාත් ම ජනාකීර්න රට සමඟ ගැටීමේ මාවතකට ගෙන එන ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට දේශපාලනිකව ප්‍රකාශිත විරුද්ධ පාර්ශ්වයක් නොමැති වීමයි.

වසර තුනක් තිස්සේ අඛන්ඩව ඩිමොක්‍රටිකයින් ට්‍රම්ප්ගේ වාර්තාගත මිලිටරි වියදම් වැඩිකිරීම් සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ආරක්ෂක වියදම් 2016 දී ඩොලර් බිලියන 619 සිට 2020 දී ඩොලර් බිලියන 738 දක්වා ඉහල නැංවීය.

ඩිමොක්‍රටික් පක්ෂයේ නිල නොවන ගෙදර හොරනෑව වන නිව්යෝර්ක් ටයිම්ස්, චීන තාක්ෂන සමාගම් වන හුආවේ සහ ඉසෙඞ්ඊට එරෙහිව දැඩි පියවරක් ගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලා සිටී. මෙම වසරේ කතු වැකිය ඉදිරිපිට තීරුවේ “අපට ඇමරිකාව චීනයෙන් ගලවා ගැනීමට අවශ්‍යය” යනු වෙන් ගෝරනාඩු දුන්නේය. ටයිම්ස් තීරු රචක බ්‍රෙට් ස්ටීවන්ස් “එක්සත් ජනපදයට තවත් න්‍යෂ්ටික අවි අවශ්‍යයි” යන මාතෘකාව යටතේ කතු වැකිය ඉදිරිපිට තීරුවක් ලියමින් ධවල මන්දිරය අයිඑන්එෆ් ගිවිසුම උල්ලංඝනය කිරීමට සහ චීනයට එරෙහිව න්‍යෂ්ටික අවි ගොඩගැසීමට සිය පූර්න අනුග්‍රහය දැක්වීය.

ට්‍රම්ප්ගේ 2016 ජයග්‍රහනයේ මහ මොලකරු ලෙස නම්බුව ගත් අන්ත දක්ෂිනාංශික දෘෂ්ටිවාදියා වන ස්ටීව් බැනන් මෙසේ අදහස් දැක්වීය: “ඩිමොක්‍රටිකයෝ රිපබ්ලිකානුවන් මෙන්ම [චීනය] කෙරෙහි දැඩි මතදාරී ය.” නැතහොත්, කිසිංගර් ආයතනයේ රොබට් ඩාලි පවසන පරිදි, “චීනය ඇමරිකාවේ විශාලතම දිගුකාලීන උපායමාර්ගික අභියෝගය බවට ද්විපාර්ශ්වික එකඟතාවයක් තිබේ. ”

20 වන සියවසේ ෆැසිස්ට්වාදය සංලක්ෂිත කල සියලු දහජරාව වන විශඝෝර ජාතිකවාදය, විදේශිකයන් නොරිස්සීම, ආරක්ෂනවාදය, ආඥාදායකත්වය ඇමරිකානු ධනවාදයේ සෑම විවරයකින් ම ඉවතට දෝරේ යයි.

කිසිවෙකු මිත්‍යාවක් තබාගත යුතු නැත. පෙන්ටගනය “රුසියාව සහ චීනය වැනි තරඟකරුවන්ට එරෙහිව ඉහල තීව්‍රතාවයකින් යුත් ගැටුම් සඳහා සූදානම් වෙමින් සිටින” බව ආරක්ෂක ලේකම් එස්පර් ප්‍රකාශ කල විට ඒවා හිස් වාචාල කතා නොවීය. න්‍යෂ්ටික අවිවලින් අන්තයට සන්නද්ධ ඇමරිකානු අධිරාජ්‍යවාදය යුද මාවතේ ය.

එහෙත් සිය දූ පුතුන්ට විදේශයන්හි සටන් කිරීමට පිටත්ව යාමට සිදුවන, න්‍යෂ්ටික සමූල ඝාතනයක් තුල ඇමරිකාවේ නගරවල දුමාරයේ නටබුන් අතර මිය යාමට සිදුවන යුද්ධයක් ඇමරිකානු කම්කරු පන්තියට අවශ්‍ය නැත. චීනයේ, රුසියාවේ සහ ජාත්‍යන්තරවත් කම්කරුවන් සමඟ එය නැවැත්විය හැකි එකම සමාජ බලවේගය ඔවුන්ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය 2016 ප්‍රකාශයේ සමාජවාදය සහ යුද්ධයට එරෙහි අරගලය හි ලියා ඇති පරිදි,:

■ යුද්ධයට එරෙහි අරගලය පදනම් විය යුත්තේ ජනගහනයේ සියලු ප්‍රගතිශීලී කොටස් තමන් පිටුපස එක්සත් කරගත් සමාජයේ ශ්‍රේෂ්ඨ විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත ය.

■ මූල්‍ය ප්‍රාග්ධනයේ ආඥාදායකත්වය අවසන් කොට මිලිටරිවාදයේ මූලික හේතුව වන ආර්ථික ක්‍රමය අවසන් කිරීමේ සටන හැර යුද්ධයට එරෙහිව බරපතල අරගලයක් තිබිය නොහැකි බැවින් නව යුද විරෝධී ව්‍යාපාරය ධනවාදී විරෝධී හා සමාජවාදී විය යුතුය.

■ එබැවින් නව යුද විරෝධී ව්‍යාපාරය, අවශ්‍යයෙන් ම, ධනේශ්වර පන්තියේ සියලුම දේශපාලන පක්ෂ හා සංවිධානවලින් සම්පූර්නයෙන් ම හා නිසැකවම ස්වාධීන විය යුතුය.

■ නව යුද විරෝධී ව්‍යාපාරය, සියල්ලටමත් වඩා අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයක් තුල කම්කරු පන්තියේ අතිමහත් බලය බලමුලු ගන්වාගත් ජාත්‍යන්තර ව්‍යාපාරයක් විය යුතුය.

එම ප්‍රකාශය ප්‍රකාශයට පත් කල දා සිට කම්කරු පන්තිය ලොව පුරා අරගලයට අවතීර්න වී ඇත: චීනයෙන් සහ ඉන්දියාවේ සිට ප්‍රන්සයේ “කහ කබා” විරෝධතා දක්වා, හොංකොං සහ පුවර්ටෝ රිකෝ හි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන අරගලය, මෙක්සිකෝවේ වාහන අමතර කොටස් කම්කරුවන්ගේ වැඩ වර්ජනය දක්වා සහ හුදු සති කිහිපයක් ඇතුලත ඇමරිකානු මෝටර් රථ කම්කරුවන් යහපත් රැකියා, වැටුප් සහ කොන්දේසි සඳහා පිපිරීයන සුලු සටනක් වශයෙන්ය.

ධනේශ්වර පාලක ප්‍රභූන්ගේ යුද සැලසුම් සහ ආඥාදායක කූටෝපායයන් නැවැත්වීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අතිමහත් හා දැවැන්ත සමාජ බලවේගය බලමුලු ගැන්විය යුත්තේය.

ඇන්ඩ්‍රේ ඬේමන්

Share this article: