සවුදි ප්‍රහාර අරබයා ඉරානයට වරද පැටවීමට වොෂින්ටනයේ හදිසිය

Washington’s rush to indict Iran over Saudi attacks

2019 සැප්තැම්බර් 17

ලෝකයේ විනිසුරුවා, ජූරිය හා ගහලයා ලෙස යලි වතාවක් තමන් ව ම වාත්තු කරගන්නා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, විනාශකාරී ගම්‍යයන් සහිත ව මැද පෙරදිග තුල දියත් කරන තවත් යුද්ධයක් දෙසට ඉව බව නැති ලෙස ඇදී යමින් සිටී. මෙවර වොෂින්ටනය ඉරානයට එරෙහි යුද්ධය සඳහා කඩතුරාව ලෙස ඩැහැගෙන ඇත්තේ සැප්තැම්බර් 14දා සවුදි පිහිටැවුමට එල්ල වූ ප්‍රහාරයන් ය.

සවුදි රාජධානියේ තෙල් නිෂ්පාදනය අඩකට ආසන්න ප්‍රමානයකින් කපා ගෝලීය දෛනික තෙල් සම්පාදනය සියයට 6කින් අඩුකර ඇති මෙම ප්‍රහාරවලට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ප්‍රතික්‍රියාව, එහි හදිසිය මෙන් ම සුවිශේෂී වචන හේතුවෙන් අවධානයට ලක්වුව මනා විය.

සැප්තැම්බර් 14දා පසුභාගයේ ට්විටර් පනිවුඩයක් නිකුත් කල පොම්පියෝ “ලෝකයේ බලශක්ති සම්පාදනය මත ඉරානය දැන් පෙර නුවූ විරූ ප්‍රහාරයක් දියත් කර ඇතැ” යි සඳහන් කලේ, “ප්‍රහාර එල්ල වූයේ යේමනයෙන් යයි සාක්ෂි නැතැ”යි තවදුරටත් කියමිනි.

එක්සත් ජනපද ආන්ඩුව හා ඩිජිටල්ග්ලෝබ් විසින් 2019 සැප්තැම්බර් 15 ඉරිදා සම්පාදනය කොට විවරනය කරන ලද මෙම ප්‍රතිබිම්බය, සවුදි අරාබියාවේ බුක්‍යැක් තෙල් ක්‍රියාවලි පිරිසැකසුම් මධ්‍යස්ථානයේ යටිතල පහසුකම්වලට සිදු වූ හානිය පෙන්වයි. (එක්සත් ජනපද ආන්ඩුව/ ඒපී හරහා ඩිජිටල් ග්ලෝබ්)

නැගෙනහිර සවුදි අරාබියාවේ තෙල් පිරිසැකසුම් මධ්‍යස්ථාන දෙකක් විනාශ කල ගිනිගැනීම් මාලාවක් ජනනය කල ප්‍රහාර සඳහා ඉරානයට චෝදනා කිරීම, එම ප්‍රහාර එල්ල වූයේ යේමනයෙන් යයි කීමට “සාක්ෂි නැත” යි කරන සරල අවධාරනය කිරීම් හැරුනු විට තහවුරු කිරීම සඳහා සාක්ෂි අංශුමාත්‍රයක් හෝ නොමැතිව කරන ලදී.

යේමනයේ සිවිල් වැසියන්ට එරෙහි ව සවුදි රාජධානිය සිදුකරන ජනසංහාරකාසන්න යුද්ධයේ තතු තුල, එම ප්‍රහාරය සිදුකිරීම සඳහා යේමනයේ බොහෝ කොටස් පාලනය කරන හවුදි කැරලිකරුවන්ට පැහැදිලි හේතුවක් තිබීම හා ඒ පිලිබඳ වගකීම ඔවුන් බාරගෙන තිබීම, රාජ්‍ය ලේකම්වරයාගේ කොල්ලකාරී තර්කනයට අනුව යේමනය නො සලකා හැරීමට හේතු විය. එක්සත් ජනපද ජනමාධ්‍ය පොම්පියෝගේ චෝදනා නිරපේක්ෂ සත්‍යය ලෙස විශාල වසයෙන් ප්‍රතිරාවය කර ඇත. සැප්තැම්බර් 16දා රාත්‍රී රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශ, ප්‍රහාර සඳහා ඉරානයේ වගකීම කියාපාමින් හා සඳහන් නො කල සාක්ෂි ගෙනහැර දක්වමින් නම් සඳහන් නො කල රහස් ඔත්තු මූලාශ්‍ර උපුටා දැක්වී ය. මෙම “සාක්ෂි” වියට්නාමයේ ටොන්කින් බොක්ක හා ඉරාකයේ “මහජන සංහාරක අවි” පිලිබඳ සාක්ෂි මෙන් බලගතු යයි සනාථ වනවාට සැකයක් නැත. මෙම මාධ්‍ය ද්වාර ම යේමනය තුල සවුදි අපරාධ ගැන තථ්‍ය වසයෙන් කිසිදු සඳහනක් කර නැත.

මැද පෙරදිග දුප්පත් ම රට වන යේමනයට එරෙහි ව, පසුගිය අවුරුදු හතරහමාර තිස්සේ සවුදි අරාබිය ජනසංහාරකාසන්න යුද්ධයක් දියත් කර ඇත. සිවිල් වැසියන් ඉලක්ක කරගෙන එල්ල කරන නිර්දය බෝම්බ ප්‍රහාර හරහා මරා දැමූ විශාලතම පංගුව වාර්තා කරමින්, සවුදි ප්‍රචන්ඩත්වය යේමන වැසියන් 100,000කට ආසන්න පිරිසකගේ ජීවිත බිලිගෙන ඇති අතර, තවත් මිලියන 8ක් පමන හාමතට ඇද දමා ඇත.

සවුදි බෝම්බ හෙලන්නන්ට නිර්බාධිත සංහාරයක් සිදුකිරීමට ඉඩ ලබාදෙමින් පසුගිය වසර අවසානය දක්වා ගුවන් ගමන් මැද දී යලි ඉන්ධන ලබාදීම, යුද යානා, බෝම්බ හා මිසයිල සමගින් ප්‍රවර්ධන සහයෝගය සම්පාදනය කරන වොෂින්ටනය, මෙම රුධිරස්නානයේ ඍජු සහායකයෙකි. ඒ අතර ම, යේමනය ආහාර හා ඖෂධ හිඟයන්ගෙන් පෙලන බාධකයන් පැටවීමට එක්සත් ජනපද නාවික හමුදාව උදවු වී ඇත.

සවුදි පිහිටැවුම් වෙත පහර දීමට ආයුධ සහිත ඩ්‍රෝන් යානා 10ක සමූහයක් යැවූ බවට යේමනයේ හවුදිවරු පවසන දෙය සත්‍යයක් නම්, එම ක්‍රියාව වනාහි සවුදි තන්ත්‍රය විසින් යේමනයට එරෙහි ව පතිත කරන සංහාරයට වඩා අනුපාතයෙන් බොහෝ අඩු ස්වයං-ආරක්ෂක ක්‍රියාවකි.

ඒ අතර ම, එක්සත් ජාතීන්ගේ නව වොෂින්ටන තානාපතිනි කෙලී ක්‍රාෆ්ට්, සැප්තැම්බර් 16දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පැවැත්වූ යේමනය පිලිබඳ රැස්වීමක් ඉදිරියේ ඉරානයට එරෙහි චෝදනා පුනරුච්ඡාරනය කලා ය. දෙදිනකට පෙර පොම්පියෝ කල දෙයට වඩා වැඩි කිසිදු සාක්ෂියක් සම්පාදනය නො කරමින්, “ප්‍රහාරය පැමිනියේ යේමනයේ සිට යන්නට සාක්ෂි නැත” පුනරුච්ඡාරනය කල ඇය, සවුදි තෙල් පහසුකම්වලට සිදු වූ විනාශය “ගැඹුරින් ම විපත්තිදායක” යයි විස්තර කලා ය.

කෙන්ටකි ප්‍රාන්තයේ බිලියනපති ගල් අඟුරු සිටුවරයෙක්ගේ බිරිඳ හා ඉහල පෙලේ රිපබ්ලිකන් ආධාරකාරියක් වන එක්සත් ජාතීන්ගේ තානාපතිනිය, ඇය නියෝජනය කරන ආන්ඩුව මෙන් ම සවුදි රාජාන්ඩුවට අයත් තෙල් පිටාර ගැලීම දසදහස් ගනන් යේමන මිනිසුන්, ගැහැනුන් හා ලමුන්ගෙන් පිටාර ගලන ලේවලට වඩා සිත් තැවුලට කාරනයක් ලෙස පැහැදිලි ව ම දැකගනී.

රාජධානියේ සැබෑ පාලකයා වන ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් වෙත සැප්තැම්බර් 14දා රාත්‍රීයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුරකථනයෙන් අමතා, කෲර ඝාතකයෙක් ලෙස හෙලිදරවු වී ඇති මිනිසාට ශෝකය පලකරමින් කොන්දේසි විරහිත සහයෝගය පලකලේ ය. වසරකට ආසන්න කාලයකට පෙර ඉස්තාන්බුල්හි සවුදි තානාපති කාර්යාලයේ දී වොෂින්ටනයේ පදනම් වූ ජනමාධ්‍යවේදී ජමාල් ඛාෂෝගි ගොරතර ලෙස ඝාතනය කොට අංග ඡේදනය කිරීමට පමනක් නො ව, අප්‍රේල් 23දා සමූහ ලෙස සංහාරයට ලක්කල දේශපාලන ක්‍රියාධරයන් 34 දෙනා ඇතුලු ව පුද්ගලයන් 134ක් මේ වසරේ මුල් මාස හය තුල ගෙල සිඳ මරා දැමීමට බින් සල්මාන් වගකිව යුතු ය.

ඊට පසු ට්‍රම්ප් නිවේදනය කලේ, සවුදි තෙල් වෙනුවෙන් මිලිටරි බලය යොදා පලිගැනීම සඳහා එක්සත් ජනපදය ආයුධ සූදානම් කරගෙන සිටින බව යි. (මෙය වනාහි, ඔහුගේ ම ගනන් බැලීමට අනුව, ජුනි මාසයේ දී ඉරාන භූමියට ඉහලින් පියාසර කල මිනිසුන් රහිත එක්සත් ජනපද ඔත්තු බලන ඩ්‍රෝන් යානයක් එරට විසින් වෙඩි තබා බිම දැමූ විට, පෙන්ටගනය “කොකා ඇද සූදානම් ව” සිට ඉරානය මත විනාශකාරී ප්‍රහාර දියත් කිරීමට තිබුනේ යන්තම් මිනිත්තු 10ක පමනකැයි යන්නේ වෙනත් රූපයකි.)

වොෂින්ටනය කියා සිටින පරිදි ප්‍රහාර එල්ල වූයේ යේමනයේ සිට බවට යයි “සාක්ෂි නැත්නම්”, ඊටත් වැඩි නොහොත් සමාන සාධාරනීකරනයකින් යමෙක්ට නිරීක්ෂනය කල හැක්කේ, එම ප්‍රහාර එක්සත් ජනපදය විසින් ම හෝ එහි ප්‍රධාන කලාපීය සගයා වන ඊස්‍රායලය විසින් බවට නො වන්නේ යයි යන්නට ද “සාක්ෂි නැත.”

යමෙක් යුග ගනන් පැරනි කුයි බෝනෝ? හෝ “වාසි ලබන්නේ කවුද?” යන ආප්තයෙන් පටන්ගත හොත් වඩාත් ම අඩු සැකකරුවා වන්නේ ටෙහ්රානය යි. වොෂින්ටනයට නිගමනය කරා එලඹීමට ඇසට පෙනෙනවාට වැඩි පැහැදිලි හදිසියක් තිබේ.

සවුදි තෙල් පහසුකම් මත ප්‍රහාරය, ඉරානයේ තන්ත්‍ර-මාරු කිරීම සඳහා යුද්ධයක් දියත් කිරීමට අධිෂ්ටානවත් ව සිටින එක්සත් ජනපද පාලක කතිපයාධිකාරයේ ප්‍රධාන කන්ඩායමක් හා එහි මිලිටරි ඔත්තු සේවා යාන්ත්‍රනයට අපේක්ෂා කරන යුද්ධය පිනිස හේතුවක් සම්පාදනය කරයි. විශේෂයෙන් ම ලෝකයේ බලශක්ති මූලාශ්‍ර මත අබාධිත එක්සත් ජනපද පාලනය තහවුරු කිරීම හා එහි ප්‍රතිමල්ලවයන්ගේ බලය නිෂේධ කිරීම මගින්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය ආධිපත්‍යය ඛාදනය වීම මිලිටරි ක්‍රම මගින් ආපසු හැරවීමට වොෂින්ටනය දරන දිග්ගැස්සුනු උත්සාහයේ නවතම වාරිකය වනු ඇත්තේ එවන් යුද්ධයකි.

එක්සත් ජනපද මූල්‍ය ප්‍රාග්ධනයේ හොරනෑව වන වෝල් ස්ට්‍රීට් ජර්නල් පත්‍රයේ සැප්තැම්බර් 16දා පලකල කතුවැකියක් තුල මෙම ස්ථරයන්ගේ චින්තනය ප්‍රකාශ විය. ඉරානය “සවුදිවරුන් මෙන් ම ට්‍රම්ප් මහතා වත් පරීක්ෂා කරමින්” සිටින බවට ජර්නලය අනතුරු ඇඟවී ය. “මෙම ‘උපරිම පීඩන’ උද්ඝෝෂනය කරගෙන යාමට ඔහුට පවතින අධිෂ්ටානය පරීක්ෂා කරමින් සිටින ඔවුන්ට දුර්වලතාවක් දැනේ” යි එය වැඩිදුරටත් කීවේ ය. එක්සත් ජනපද ඩ්‍රෝන් යානය බිම හෙලීමෙන් පසුව ජුනි මාසයේ ගුවන් ප්‍රහාර දියත් කිරීමට ට්‍රම්ප් අසමත් වීමට එය අකමැත්තෙන් අවධානය යොමු කලේ ය.

“තන්ත්‍රයේ කොන්ද කැඩීම” සඳහා ඉරාන තෙල් පිරිපහදු වෙත බෝම්බ හෙලීමට රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් විසින් කරන කැඳවුම අනුමත කරමින් උපුටා දැක්වූ ජර්නලය, “ධවල මන්දිරයේ වටහාගත් දුර්වලතාවේ වාසිය ඉරානය අත් කරගනු ඇතැයි යලි යලිත් අනතුරු ඇඟවූ ජෝන් බෝල්ටන්ගෙන් ට්‍රම්ප් සමාව ගතයුතු” යි යෝජනා කලේ ය. ඉරානය මත බෝම්බ හෙලීම වෙනුවෙන් දීර්ඝ-කාලයක් තිස්සේ පෙනී සිටි බෝල්ටන්, පසුගිය සතියේ ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වූයේ, වාර්තා වන පරිදි ටෙහ්රානය පිලිබඳ පිලිවෙතේ වෙනස්කම් අරබයා ය.

සවුදි තෙල් පහසුකම් මත එල්ල වූ ප්‍රහාරය, එක්සත් රාජධානිය, ප්‍රන්සය හා ජර්මනිය යන බටහිර යුරෝපීය බලයන් ද එක්සත් ජනපදයේ යුද ඉලක්ක පිටුපස ගාල් කරගැනීමට වොෂින්ටනයට ලීවරයක් සම්පාදනය කරයි. ට්‍රම්ප් පරිපාලනය අත්හැර දැමූ ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තැබූ එම රටවල්, ඔවුන්ගේ ම අධිරාජ්‍යවාදී අවශ්‍යතා ඉටු කර ගැනීමේ උත්සාහයක් වශයෙන්, වොෂින්ටනයේ “උපරිම පීඩනය යෙදීමේ” සම්බාධක තන්ත්‍රයකට ප්‍රතිරෝධය දැක්වීමේ බෙලහීන ඉඟියක් පා ඇත. ඉරානියානු වගකීම පිලිබඳ එක්සත් ජනපද චෝදනාවන්ට අනුමැතිය දීමට මෙතෙක් අසමත් වී ඇතත්, සවුදි අරාබිය මත ප්‍රහාරයේ උදවුවෙන් ඔවුන්ට එක්සත් ජනපද යුද ධාවනය දෙසට පැද්දී යා හැක.

ඊස්‍රායලය හා එහි කොටු වූ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද ඉරානය සමග යුද්ධය අවුලුවාගැනීම ඉලක්ක කරගත් මිලිටරි ක්‍රියාවක් සිදුකිරීමට ඇති තරම් අභ්‍රිපායයක් සහිත ව සිටී. සැප්තැම්බර් 17 ඊස්‍රායල මැතිවරනයේ මුව විට, ඉරානය සමග වන ප්‍රධාන යුද්ධයක තර්ජනය නෙතන්යාහුගේ දේශපාලන අවශ්‍යතාවන්ට සේවය කරන අතර, ඔහුගේ දේශපාලන වාසි මැද පෙරදිග තුල මිලිටරි ගැටුමෙහි පුපුරා යාම සමඟ අත්‍යන්තයෙන් බැඳී තිබේ. ඉරානය සමග වන මුනගැටුමක් සඳහා සවුදි අරාබියේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාලක රාජාන්ඩුවලට පවතින අභිප්‍රේරනයෙහි පෙනෙන්නට තිබෙන සිසිලනය වීම කෙරෙහි ඊස්‍රායල රාජ්‍යය වඩ වඩා උත්සුක වී තිබුනි.

මිඩ්ල් ඊස්ට් අයි වෙබ් අඩවියේ වාර්තාවකට අනුව, ඉරාන ආයුධ ලැබ තිබුනේ යයි චෝදිත ඉරාකයේ ෂියා සටන්කාමීන්ට එරෙහි මෑත ඩ්‍රෝන් ප්‍රහාර, සිරියාව තුල එක්සත් ජනපදයේ ප්‍රධාන කුලීකාර බලවේගය වන ඊනියා සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා (එස්ඩීඑෆ්) විසින් පාලනය කරන කඳවුරුවල සිට ක්‍රියාකාරී වන ඊස්‍රායල ඩ්‍රෝන යානා විසින් සිදුකරන ලදී. ඒ හා සමාන එක්සත් ජනපද-ඊස්‍රායල ඒකාබද්ධතාවකට සවුදි තෙල් පහසුකම් මත ප්‍රහාර පහසුවෙන් ම එල්ල කල හැකි ව තිබේ.

සවුදි තෙල් පහසුකම් මත ප්‍රහාරවල නිශ්චිත හේතූන් කවරක් වුවත්, ඒවා සූරාකනු ලබමින් පවත්නේ, ක්ෂනික ව කලාපීය හා ගෝලීය වහ්නි ජාලයක් බවට පවා පුපුරා යා හැකි යුද්ධයක් තුලට ඇමරිකානු ජනතාව හා සමස්ත මානව වර්ගයා ඇදගෙන යාමේ අභිප්‍රාය සඳහා ය.

සවුදි අරාබිය මත ප්‍රහාරවලට එකට එක කිරීමේ කඩතුරාව යටතේ එක්සත් ජනපදය ඉරානයට එරෙහි ව එල්ල කරන ප්‍රහාර, එක්සත් ජනපද යුද නැව් පර්සියානු බොක්කේ පහල ප්‍රදේශයට යවමින් හා කලාපය පුරා ඇමරිකානු මිලිටරි කඳවුරු මත විනාශය ජනනය කරමින් ඉරානය විසින් එල්ල කරන ප්‍රතිප්‍රහාර ජනනය කල හැක.

වොෂින්ටනයේ කුමන්ත්‍රන හා ආක්‍රමනයේ ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපද සොල්දාදුවන් හා නැවියන් දහස් ගනනක් මිය යාමේ හැකියාව, “ජාතික ආරක්ෂාවේ” නාමයෙන් එක්සත් ජනපද ආන්ඩුව හදිසි බලතල අයත් කරගැනීමේ හා එක්සත් ජනපදය තුල ම පොලිස්-රාජ්‍ය පියවරයන් ක්‍රියාවට දැමීමේ තර්ජනය ගෙන එයි.

මෙය කිසිසේත් ම අභිප්‍රාය රහිත විපාකයක් නො වේ. යුද්ධය සඳහා සූදානම් වීම බොහෝ සෙයින් ධාවනය කරනු ලබන්නේ, එක්සත් ජනපදය ඇතුලත ම සමාජ ආතතීන් හා ජෙනරල් මෝටර්ස් සමාගමට එරෙහි ව 46,000ක් වන මෝටර් රථ කම්කරුවන්ගේ වර්ජනය තුල නැවුම් ප්‍රකාශනයක් ලබාගෙන ඇති පන්ති අරගලය පුපුරා යාම විසිනි. මිලිටරි ගැටුම පුපුරා යාම තුල මෙම ආතතීන් පිටතට යොමු කිරීමේ බලගතු පෙලඹවීමක් එක්සත් ජනපද පාලක පන්තියට ඇත්තේ, මහා පරිමාන මර්දනය සඳහා කඩතුරාවක් නිර්මානය කරමිනි.

තුන්වන ලෝක යුද්ධයකට මග පාදමින් එක්සත් ජනපදය ඉරානය මත එල්ල කරන ප්‍රහාරයක තර්ජනයට, අධිරාජ්‍යවාදය අවසන් කොට සමාජය සමාජවාදී පදනම් මත ප්‍රතිසංවිධානය කිරීමට කම්කරු පන්තිය දරන දේශපාලනික ව සවිඥානික හා ස්වාධීන මැදිහත් වීමකින් පිලිතුරු දෙනු ලැබිය යුතු ය.

බිල් වෑන් ඕකන්

Share this article: