සිසුන්, දෙමාපියන් හා අවශේෂ මහජනයා පාසල් ගුරුවරුන්ගේ අරගලයට සහයෝගය පල කරති

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 සැප්තැම්බර් 30

වැටුප් වැඩි කිරීම, අධ්‍යාපනයට ඉහල ප්‍රතිපාදන වෙන් කිරීම ඇතුලු ඉල්ලීම් 06 ක් මුල් කර ගනිමින් දෙලක්ෂයකට අධික පාසල් ගුරුවරු සහ විදුහල්පතිවරු පසුගිය 26/27 දෙදින වර්ජනයක නිරත වූහ.

වර්ජනයේ පලමු දිනයේ හාරදහසකට අධික ගුරුවරු කොලඹ කොටුවේ පැවති උද්ඝෝෂනයකට සම්බන්ධ වූහ. වර්ජනය හේතුවෙන් රටපුරා බහුතරයක් පාසල්වල දෛනික වැඩකටයුතු මුලුමනින්ම පාහේ ඇනහිටි අතර, වර්ජනයට සහාය දක්වමින්, දෙමාපියෝ තම දරුවන් පාසලට එවීමෙන් වැලකී සිටියහ.

“ගුරු අරගලය ජයගන්නේ කෙසේ ද?“ යන හිසින්, ගුරුවරු ඇතුලු කම්කරු පන්තිය මුහුන දී ඇති දේශපාලන ප්‍රශ්න පැහැදිලි කෙරෙන බලගතු ප්‍රකාශයක් නිකුත් කල සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ගුරු කන්ඩායම, එම ප්‍රකාශයේ පිටපත් ගුරුවරුන් අතර බෙදාහරිමින්, කොලඹ උද්ඝෝෂනයට සහ අනෙකුත් ස්ථාන වලට මැදිහත් විය. එසේම රටපුරා ප්‍රදේශ කිහිපයක දෙමාපියන්, සිසුන් සහ අවශේෂ මහජනයා අතර ගුරු වර්ජනය සහ අධ්‍යාපන කප්පාදුව පිලිබඳව සාකච්ඡාවක ද සසප සාමාජිකයෝ නිරතවූහ.

ගම්බද පාසල් වැසීයෑම, නගරයේ ‘ජනප්‍රිය‘ පාසැල්වල පන්ති කාමර සිසුන්ගෙන් පිරීතිරීයෑම, පාසල් තුල මුදල් අය කිරීම සහ ගුරු හිඟය ඇතුලු සිසුන් සහ දෙමාපියන් මුහුන දෙන ප්‍රශ්න මෙන්ම, ගුරුවරුන්ගේ වැටුප් කප්පාදුව සහ ඔවුන් මත පටවා ඇති ඉසිලිය නොහැකි වැඩ කන්දරාව පිලිබඳව මෙහිදී සාකච්ඡා විය.

සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල මුහුනදෙන මෙම බැරෑරුම් ප්‍රශ්න, බලයට පත් සෑම ආන්ඩුවක් විසින් ම නිදහස් අධ්‍යාපනයට එල්ල කරන ලද අඛන්ඩ ප්‍රහාරයේ ප්‍රතිඵලයන් බවත්, තමා මුහුන දී සිටින්නේ එකම ප්‍රහාරයකට බවත් ඔවුන් බොහෝ දෙනෙක් අනුමත කලහ. ගුරුවරුන්ගේ වැටුප් අරගලයට මහජනතාව අතර පවතින පලල් සහයෝගය පමනක් නොව, නිදහස් අධ්‍යාපනයේ කප්පාදුවට එරෙහිව ගුරුවරුන් සමග ඒකාබද්ධව සටන් වැදීමට ඔවුන් තුල පවත්නා සූදානම ද මෙම සාකච්ඡාවන්හි දී ප්‍රකාශයට පත්විය.

කොලඹ ප්‍රදේශයේ පාසලක උසස් පෙල ගනිත අංශයේ සිසුවියක්: “ගුරුවරුන්ගේ වර්ජනය මුලුමනින්ම සාධරනයි. මම එක වීඩියෝවක දැක්කා ගුරුවරයෙකුගේ දිනක වැටුප ගනනය කරල පෙන්වනවා. ඒක ඇහුවම මම එකපාර පුදුමයටත් පත්වුනා, කොහොමද එහෙම වැටුපක් අරන් ජීවත් වෙන්නෙ කියලා. මම රූපවාහිනියෙන් ගුරුවරු කොලඹ පැවත්වූ විරෝධතාවය දැක්කා. අපිත් ශිෂ්‍යයො හැටියට එවැනි උද්ඝෝෂනවලට සම්බන්ධ වෙන්න අවශ්‍යයි කියලයි මම හිතන්නේ.”

නව පත්වීම ලබන ගුරුවරයෙකුගේ මුලු මාසික වැටුප රුපියල් 35,000 ක් තරම් සොච්චමකි. වසර විස්සක් පමන සේවා කාලයක් ඇති පලමු ශ්‍රේනියේ ගුරුවරයෙකුගේ වැටුපද රුපියල් 60,000 ක් පමනි.

කොලඹ ජාතික රෝහලේ හෙදියක් : “මගේ සහෝදරිය ගුරුවරියක්. ඇගේ සැමියා රජයේ ආයතනයක කාර්යාල සහයකයෙක්. ඔවුන් ජීවත් වෙන්න පුදුම සටනක් දෙන්නේ. මගේ නංගිගේ අත්දැකීම් වලින් මම දන්නවා ගුරුවරු කියන්නෙ ගන්න පුලුවන් හැම නයක්ම අරන් ජීවිතේ ගැටගහගන්න හදන පිරිසක් කියලා. එහෙම නය අරගෙනත් තාම ඔවුන්ට බැරිවෙලා තියෙනව ඔවුන්ගෙ නිවස හදා නිමකරගන්න. මොකද එන්න එන්නම වියදම් සැර වෙනවා”.

සිය සහෝදරියට මෙන්ම ඇයට ද තම කුඩා දරුවන් රැකබලා ගැනීම සඳහා වෙනත් කාන්තාවන්ට වැටුප් ගෙවීමට සිදු වී ඇති බව පැවසූ ඇය, දරුවන් රැකබලා ගැනීම සඳහා පාසල් හා වැඩබිම් ආශ්‍රිතව ලමා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකල යුතු යයි පැවසුවා ය. “ගුරුවරුන් ඉවසල ඉවසල බැරිම තැන තමයි පාරට ඇවිත් ඉන්නේ” යයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කලාය.

අනුප්‍රාප්තික ආන්ඩු විසින්, “පාසල් සංවර්ධන හා කලමනාකරන” ආදි නම් වලින් පාසල් තුල විවිධ වර්ගයේ “කමිටු” පිහිටුවා එමගින් අධ්‍යාපනයේ සියලු බර දෙමාපියන් මත පටවා තිබේ. එමෙන්ම, වාර්ෂික සැලසුම්, ඇගයීම්, වැනි කටයුතුවලට අමතරව මුදල් අය කිරීම හා බිල්පත් නිකුත් කිරීම ආදි අතිමහත් බාහිර වැඩකටයුතු පන්ති භාර ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මත පටවා ඇත. මුදල් එකතු කර ගත නොහැකි පාසල් බොහමයක් වසා දැමීමේ තැනට ඇද දමා තිබේ.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ මවක් වන නිසංසලා සේනානායක සසප සමාජිකයන්ට මෙසේ ප්‍රකාශ කලා ය: “මගේ දුව ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙන ගන්නේ. ලබන වසරේ උසස් පෙල විභාගයට පෙනී සිටිනවා. බාල පුතා පොල්වත්තේ බුද්ධදත්ත විද්‍යාලයේ තුන්වන ශ්‍රේනියේ ඉගෙනුම ලබනවා. පුතා යන පාසැලේ පන්ති කාමර අලුත්වැඩියා කරන්න කියලා වසර තුනේම මුදල් ගත්තා. අපි මුදල් දුන්නේ කැමැත්තෙන් නොවෙයි. විරුද්ධ අදහස් දක්වන්න ගියාම ලජ්ජාවට පත්වෙන්න වෙනවා. දුව ධර්මාශෝක ඇතුල් වුන වසරේ පන්ති කාමර සායම් කරන්න කියලා සල්ලි ඉල්ලුවා”.

දරුවන්ගේ අධ්‍යාපනය බිඳවැටෙන්නේ ගුරුවරුන්ගේ වර්ජනය නිසා නොවන බව පැවසූ ඇය ගුරුවරුන්ට ඉහල වැටුප් ගෙවා සෑම අතින්ම අධ්‍යාපනය සංවර්ධනය කල යුතු යයි ඇය පැවසුවා ය.

හලාවත ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පිරිමි පාසලකින් මෙවර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින නුවන් නමැති ශිෂ්‍යයා ගුරු වර්ජනය පිලිබඳව මෙසේ අදහස් දැක්වී ය. “ගුරුවරුන්ට ටියුෂන් කරන්න වෙලා තියෙන්නේ දැන් ලැබෙන වැටුප ප්‍රමානවත් නැති නිසා. ඒ නිසා වැටුප් වැඩි වෙන්නම ඕනා. අපිට පාසලේ ගුරුවරුන්ට ගනිතය, විද්‍යාව වගේ අමාරු විෂයන් සෑම ලමයෙකුටම හොඳට තේරුම් යන විදිහට පැහැදිලි කරන්න බැරි වෙලා තියෙන්නේ පන්ති කාමරයේ ලමයි වැඩි නිසා. මගේ පන්තියේ ලමයි 47 ක් ඉන්නවා. ඒ නිසා අපි ටියුෂන් යනවා. කොහොම හරි මටයි මල්ලිටයි ටියුෂන්වලට විතරක් රුපියල් විසිදාහක් විතර වැය වෙනවා.”

දෙමාපියන් තම අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදු කරන කැපකිරීම ගැන කම්පා වූ නුවන්, “ගම්බද පාසල් සංවර්ධනය කරන්න සල්ලි වෙන් කරන්න ඕනා. එතකොට අපිට ටියුෂන්වලට වියදම් කරන්න වෙන්නේ නෑ. යයි පැවසීය.

හලාවත කලාපයේ ප්‍රධාන ජාතික පාසල්වල හා තවත් උසස් පෙල පන්ති සහිත නගරයේ පාසල් වල සිසුන් බොහොමයක් පාසැලට පැමිනෙන්නේ දුරබැහැර සිටයි. ඔවුන් සඳහන් කලේ, තම නිවස්නා ප්‍රදේශයන්හි පාසැල්වල ගුරු හිඟය හා පහසුකම් ඌනතාව හේතුවෙන් විශාල ගමන් වියදමක් දරමින් නගරයේ පාසල්වලට යෑමට සිදු වී ඇති බවයි.

ලංකාවේ ගුරුවරුන්ගේ අරගලය ට අමතරව, 17,000 කට අධික විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් අඛන්ඩ වැඩ වර්ජනයක නිරතව සිටින අතර මේ වන විට එය දින විස්සක් පසු කර තිබේ. එමෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, තම අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට අවශ්‍ය මූලික භෞතික හා මානව සම්පත් ඌනතාවයට හා අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට එරෙහිව, අඛන්ඩව විරෝධතාවන් හි යෙදී සිටිති. දුම්රිය සේවකයන් දියත් කර ඇති වර්ජනයට දින හතරක් ගතව තිබේ. සෞඛ්‍යය ඇතුලු තවත් අංශ ගනනාවක වර්ජනයන් පැනනැගීමට නියමිතව ඇත.

ලොවපුරා අනෙකුත් සහචර ආන්ඩුසේම ලංකාවේ ආන්ඩුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් පනවා ඇති කප්පාදු පිලිවෙත් ක්්‍රියාවට දැමීමේ නිරතව සිටී. 2020 දී අය-වැය හිඟය දල ජාතික නිශ්පාදනයෙන් සියයට 3.5 දක්වා කප්පාදු කිරීමට යන ආන්ඩුවේ ප්‍රමුඛ ඉලක්කයක් වන්නේ තවදුරටත් අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුලු සුභසාධන වියදම් කප්පාදු කිරීමයි. ඉදිරි මැතිවරනයෙන් බලයට පත්වන කවර ආන්ඩුවක වූව වැඩපිලිවෙල වන්නේ මෙම කප්පාදුව තවදුරටත් ඉදිරියට ගෙන යෑමත් කම්කරු පන්තියේ අරගල තලා දැමීම සඳහා ආඥාදායක පාලනයකට ගමන් කිරීමත් ය.

ඒ තත්වය යටතේ වෘත්තීය සමිති නිලධරය විසින් තොරොම්බල් කරන ආන්ඩුවලට බලපෑම් දැමීම මගින් නිදහස් අධ්‍යාපනය ඇතුලු අයිතීන් දිනාගත හැකිය යන වැඩපිලිවෙල මුලුමනින්ම බංකොලොත් ය. වෘත්තීය සමිති විසින් කැඳවන ඒ ඒ අංශවලට හුදකලා වූ වර්ජන කම්කරු පන්තියේ ශක්තිය දුර්වල කොට ධනේශ්වර ප්‍රහාරවලට ඉඩ සලසා දී තිබේ.

ගුරුවරුන්ගේ වැටුප් අරගලය ඉදිරියට ගෙන යෑම සඳහා, ධනපති ප්‍රහාරයන්ගෙන් බැටකන අවශේෂ කම්කරු පන්තිය සමග ඒකාබද්ධව සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවත්, එහි කොටසක් ලෙස ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු බවත් සසප අවධාරනය කර සිටී. කියවන්න: ගුරු අරගලය ජය ගන්නේ කෙසේ ද ?

Share this article: