ලේඛක සත්තික සත්කුමාර නිදහස් කරගැනීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය දියත් කර තිබෙන අරගලයට සහය පලකරමින්, අගහස් ප්‍රකාශකයෝ ආයතනයේ අධ්‍යක්ෂ රංජිත් දිසානායක පහත ප්‍රකාශය ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙත ලබා දුන්නේ ය.

සත්කුමාර නිදහස් කර ගැනීමේ සසප අරගලයට ග්‍රන්ථ ප්‍රකාශකයෙකු සහාය පල කරයි

2019 සැප්තැම්බර් 11

රංජිත් දිසානායක, අධ්‍යක්ෂ, අගහස් ප්‍රකාශකයෝ

“ලේඛක ශක්තික සත්කුමාරට නඩු පවරා රිමාන්ඞ් කිරීම ගැන බොහෝ ලේඛකයින් මෙන් ම ප්‍රකාශකයින් අතර ද විරුද්ධත්වයක් පවතිනවා. අපි කවුරුවත් මෙවැනි සිද්ධියක් බලාපොරොත්තු වුනේ නැහැ. කිසිම කෙනෙක් නොදන්න නීතියක් මත ඔහු සිරගත කිරීමෙන් පසු නීතිපතිගේ අවසරය ලැබෙන තුරුම දවස් 130ක් ම රිමාන්ඞ් භාරයේ තිබ්බා. තවත් ලේඛකයින් කීප දෙනෙකුටම මෙවැනි චෝදනා මතම පරීක්ෂන පැවැත් වෙනවා. පනත සම්මත කල 2007 සිට අද වන තුරු ආගමික සහ වාර්ගික භේද අවුස්සන කිසි කෙනෙකුට එම පනත යටතේ පියවර ගෙන නැහැ.

විශේෂයෙන් ම ප්‍රකාශකයින් ලෙස අපට මෙය බරපතල ව බලපානවා. පල කිරීමට පෙර අපට දැන් සෑම වාක්‍යයක් ම පරීක්ෂා කිරීමට සිදු වෙනවා. මම සමාජවාදය සම්බන්ධ පොත් මුද්‍රනය කරන්න කැමතියි. මේ නීතියෙන් එවැනි පොත් නීති විරෝධී කල හැකියි. විසම්මුතික සහ පෙරටුගාමී ලේඛකයින්ට සහ ඒවා පල කරන ප්‍රකාශකයින්ට මේ නීතිය විශාල තර්ජනයක්. ඕනෑම අවස්ථාවක ප්‍රකාශකයෙක් මේ නීතිය මත අත් අඩංගුවට ගත හැකියි. සාමාන්‍ය ප්‍රකාශකයින්ට මේ අවදානම ගන්න බැහැ. මේ නීතිය වහාම ඉවත් කල යුතුයි. ප්‍රකාශකයින් ද සිරගත වීමේ තත්ත්වය ඈත නැහැ. ශ්‍රී ලංකා ප්‍රකාශකයින්ගේ සංගමය මේ ගැන සාකච්ඡා කර වහාම පියවර ගත යුතුයි. මේ පනත අහෝසි කල යුතුයි.

ඔවුන් දැනටමත් අර්බුදයක ඉන්නේ කඩදාසි සහ අන් නිෂ්පාදන වියදම් වැඩි වීම නිසා පොත් ප්‍රකාශනයේ ලාභ අඩු වී තිබෙනවා. පොත් විකිනීමට මේ තත්ත්වය බලපානවා. නඩුවකට පැටලූනහොත් ව්‍යාපාරයත් බංකොලොත් විය හැකියි.

මා හිතන්නේ මෙය ලේඛන කලාවටම එල්ල වූ පහරක් කලාව ඉදිරියට යෑමට නම් කලාවට නිදහස තිබිය යුතුයි. මේ පනත දේශපාලන විරුද්ධකරුවන්ටත් එල්ල වීමට පුලුවන්.

ප්‍රකාශනයේ නිදහසට එල්ල කෙරෙන්නේ ජාත්‍යන්තර ප්‍රහාරයක්. අසාන්ජ් සහ චෙල්සී මෑනිංට එරෙහිව ඇමරිකානු ආන්ඩුව ගෙනයන රුදුරු දඩයම මෙහි කොටසක්. මාධ්‍යවේදීන් කරන හෙලිදරව්කිරීම් අපරාධ බවට පත්කරලා. ඒ රටේ නීති පොතේ පවතින නීති උල්ලංඝනය කරන ආන්ඩුවයි උසාවියයි එම නීති වලට ප්‍රතිවිරුද්ධව තීන්දු දෙනවා. අසාන්ජ් සහ මැනිං නිදහස් කර ගැනීම සදහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිහිටුවා ඇති ජාත්‍යන්තර ආරත්ෂක කමිටුවට මම සම්පූර්නයෙන් සහාය දෙනවා.

ඒ සමගම සමාජවාදී සමානතා පක්ෂයේ මූලිකත්වයෙන් කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව පිහිටුවීම වැදගත් පියවරක්. එමගින් මෙම මර්දනය ඉවත් කර ගැනීම සඳහා නොනවත්වා සටන් කිරීමට පදනමක් දැමෙනවා. එයට සම්බන්ධ වෙමින් සැවොම මෙම සටනට එක් විය යුතුයි.”

Share this article: