ශ්‍රී ලංකාවේ සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම: ඉන්දියානු ආන්ඩුව විසින් කාෂ්මීරය දඬුගැසීමෙන් පරදුවට ලක්ව ඇති දේශපාලන ප්‍රශ්න

Sri Lankan SEP/IYSSE public meeting: The political issues at stake in the Indian government’s savage Kashmir lockdown

සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (ශ්‍රී ලංකාව) විසිනි, 2019 සැප්තැම්බර් 25

කාෂ්මීරය තුල ඉන්දියාවේ මෝදි ආන්ඩුවේ රුදුරු කඩාපැනීමෙහි ගැඹුරු දේශපාලන ගම්‍යයන් සාකච්ඡා කිරීමට, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ඔක්තෝබර් 11දා කොලඹ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වති.

ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් වෙසෙන එකම ප්‍රාන්තය වන ජම්මු කාෂ්මීරය, අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව විසින් අගෝස්තු 5දා සිට පනවා ඇති මිලිටරි දඬුගැසීමක් හා සන්නිවේදන තහනමක් යටතේ පවතී. සියලු ජංගම දුරකථන හා අන්තර්ජාල සබඳතා වසා දමනු ලැබ තිබේ. මිලිටරි වාඩිලෑමක් යටතේ පවතින ජම්මු කාෂ්මීරයේ සිටින මිලියන බාගයකට අධික හමුදා භටයන්ට අමතර ව තවත් සොල්දාදුවන් දසදහස් ගනනක් එම ප්‍රාන්තයට යවා ඇත. චෝදනා රහිත ව දහස් ගනනක් අත්අඩංගුවට ගෙන තිබේ.

ජම්මු කාෂ්මීරයේ අර්ධ-ස්වතන්ත්‍ර තත්ත්වය ප්‍රජාතන්ත්‍ර-විරෝධී හා ව්‍යවස්ථා-විරෝධී ලෙස අවලංගු කිරීමටත්, එය දෙකට බෙදා මධ්‍යම ආන්ඩුවෙන් පාලිත භූමි ප්‍රදේශ දෙකක් බවට ලඝු කිරීමටත් තමන් ගත් පියවරයන්ට එරෙහි ඕනෑම මහජන විරෝධයක් තලා දැමීම සඳහා මෝදි ආන්ඩුව විසින් මෙම රුදුරු මර්දන පියවරයන් ක්‍රියාවට දමා ඇත. මධ්‍යම ආන්ඩුව එම ප්‍රදේශ සිය ඍජු පාලනය යටතේ තබා තිබේ.

කාෂ්මීරය තුල මෝදි ආන්ඩුවේ පියවරයන්ගේ ඉලක්කය වන්නේ, පකිස්තානය හා චීනය යන එහි ප්‍රතිමල්ලවයන්ට එරෙහි ව කලාපය තුල ඉන්දියාවේ භූ-දේශපාලනික තත්ත්වය වඩා ශක්තිමක් කර ගැනීම සහ කම්කරු පන්තිය බෙදීමට හින්දු ස්වෝත්තමවාදය ඇවිලවීම යි. කාෂ්මීරය තුල මෙම මර්දනීය ක්‍රියාවන් පෙර නුවූ විරූ ඒවා වුවත්, ඒවාට පාලක හා විපාර්ශ්වීය යන ප්‍රධාන පක්ෂ, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හා උසාවි ඇතුලු සමස්ත ඉන්දීය දේශපාලන සංස්ථාපිතයේ ම සහයෝගය ලැබේ.

වඩාත් අර්ථභාරී වන්නේ, සියල්ලටමත් ඉහලින් එක්සත් ජනපදය ඇතුලු සියලු බටහිර බලයන් කාෂ්මීරය තුල ආන්ඩුවේ කඩා පැනීමට පිටුබලය දී තිබීම යි. චීනයට එරෙහි ප්‍රධාන මිලිටරි-මූලෝපායික සහකරුවෙකු ලෙස ඉන්දියාව සලකන ඔවුහු සියල්ලෝම, ඔවුන්ගේ ම රටවල වැඩෙන කම්කරු පන්තික ප්‍රතිරෝධයට එරෙහි ව ඒ හා සමාන මර්දනීය පියවරයන් සූදානම් කරමින් සිටිති. ශ්‍රී ලංකාවේ පාලක හා විරුද්ධ පක්ෂ ද මෝදි ආන්ඩුව කාෂ්මීරයෙහි ගෙන යන පියවරයන්ට ඔවුන්ගේ පිටුබලය ප්‍රකාශයට පත්කොට ඇත.

කොලඹ රැස්වීම, කාෂ්මීරය අරබයා ඉන්දියාව හා පකිස්තානය අතර පවතින මතභේදයෙහි ඓතිහාසික මූලයන්, එනම් 1947 දී එවකට පැවති බි්‍රතාන්‍ය ඉන්දියාව මුස්ලිම් පකිස්තානයක් හා හින්දූන් ආධිපත්‍යය දරන ඉන්දියාවක් බවට වාර්ගික ලෙස බෙදීම සාකච්ඡාවට ගනු ඇත. එම බෙදීමෙන් පසුව ඉන්දියාව හා පකිස්තානය අතර බෙදනු ලැබූ කාෂ්මීරයේ සමස්ත භූමි ප්‍රදේශයට ම රාජ්‍යයන් දෙක ම එතැන් පටන් අයිසිවාසිකම් කියා පා ඇත. කාෂ්මීරය තුල මෝදි ආන්ඩුවේ වර්තමාන පියවරයන් ඉන්දියාව හා පකිස්තානය අතර භූ-දේශපාලනික ආතතීන් තීව්‍ර කර ඇත්තේ, දකුනු ආසියාවේ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර යුද්ධයේ අන්තරාය ඉස්මතු කරමිනි.

1947 වාර්ගික බෙදීමේ අත්‍යන්ත ප්‍රතිගාමී ස්වභාවයත් දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ස්ථාපිත කිරීම සහ එහි ඓතිහාසික ව අශඛ්‍ය රාජ්‍ය පද්ධතිය පෙරලා දැමීම පිනිස කලාපයේ කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් සඳහා සටන් වැදීමේ අවශ්‍යතාවත්, මෙම වර්ධනයන් විසින් බලගතු ලෙස හෙලිදරවු කර ඇත.

අපගේ කොලඹ රැස්වීමට පැමින, කාෂ්මීරය තුල මෝදිගේ රුදුරු කඩාපැනීම විසින් ඉස්මතු කෙරෙන, කම්කරු පන්තියට අවශ්‍ය දේශපාලන ඉදිරිදර්ශනය පිලිබඳ මෙම වැදගත් සාකච්ඡාවට සහභාගි වන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, වෘත්තිකයන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ගෙන් අපි ඉල්ලමු.

දිනය හා වේලාව: ඔක්තෝබර් 11 සිකුරාදා සවස 4

ස්ථානය: කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය

Share this article: