ආන්ඩුවේ තර්ජනය නොතකා දුම්රිය සේවකයන්ගේ අඛන්ඩ වර්ජනය ඉදිරියට

ඩබ්ලිව්.ඒ.සුනිල් විසිනි, 2019 සැප්තැම්බර් 28

වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය සේවකයන් බදාදා මධ්‍යම රාත්‍රියේ සිට අඛන්ඩ වර්ජනයක් දියත්කර ඇත. දුම්රිය එන්ජින් රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, අධීක්ෂන නිලධාරීන් හා ගමන් පාලකවරුන් ඇතුලු‍ 2000 කට අධික දුම්රිය සේවකයෝ වර්ජනයට සම්බන්ධ වී සිටිති. එහි ප්‍රතිපලයක් ලෙස දුම්රිය සේවය මුලුමනින් ම පාහේ අඩාල වී ඇත. දිස්ත්‍රික් යාන්ත්‍රික පරීක්ෂකවරුන්, ප්‍රවාහන පරීක්ෂකවරුන් සහ විශ්‍රාමිකයන් යොදවාගෙන වර්ජනය බිඳීමේ අරමුන ඇතිව දුම්රිය ධාවනය කිරීමට ආන්ඩුව උත්සාහ කලත් බලධාරීන් සමත් වී ඇත්තේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පිලිවෙලින් කාර්යාල දුම්රිය 6 ක් සහ 12 ක් ධාවනය කරවීමට පමනි. දිනකට ධාවනය කෙරෙන කාර්යාල දුම්රිය සංඛ්‍යව 40 ක් වන අතර මුලු සංඛ්‍යාව 350-360 ක් පමන වේ.

ජනයාගෙන් තොර මරදාන දුම්රිය ස්ථානය

වැටුප් විෂමතාවය ඉවත් කිරීමට අමතරව, දුම්රිය එන්ජින් හා සංඥා පද්ධති වල පවතින දෝෂ ඉවත් කිරීම, දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරනය කිරීම හා එම අඩුපාඩු නිසා සිදුවන දුම්රිය අනතුරු වල දී ඒ සම්බන්ධ අලාභ දුම්රිය රියදුරන්ගෙන් අයකිරීම වහාම නතර කිරීම ඔවුන්ගේ මූලික ඉල්ලීම්වලට ඇතුලත් වේ.

මෙය මෙම මාසය තුල ඉහත ශ්‍රේනි වලට අයත් දුම්රිය සේවකයන් දියත් කල දෙවන පන්ති ක්‍රියාවයි. මෙම මාසයේ 18 වෙනිදා ඔවුහු අකුරට වැඩ කිරීමේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කල අතර ගැටලු විසඳන බවට දුම්රිය සාමාන්‍යාධිකාරී දුන් “පොරොන්දුවක්” පිලිගෙන වෘත්තීය සමිති විසින් පසුදින විරෝධතා ව්‍යාපාරය නතර කරන ලදී. අඛන්ඩ වර්ජනයකට යාමට වෘත්තීය සමිති වලට බල කෙරුනේ දුම්රිය බලධාරීන් විසින් එම පොරොන්දුව කඩ කල තතු තුලය. මෙම වසරේ ජුනි මාසයේ 21-22 සහ 27 දිනවල පැවති වර්ජන දෙකක් ද පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවති දින 6 ක අඛන්ඩ වර්ජනය ද වෘත්තීය සමිති විසින් නතර කලේ ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දු වලට යටත් කරමිනි.

ආන්ඩුව හා දුම්රිය බලධාරීන් විසින් තම ගැටලු විසඳීම මග හැරීම කෙරෙහි දුම්රිය කම්කරුවන් අතර පැසවන වෛරය හා නොසන්සුන්කම නිසාවෙන් වර්ජනය කැඳවීමට සමිති නායකයන්ට බල කෙරී ඇතත්, ඔවුන් විසින්, ලද ඕනෑම මොහොතක ආන්ඩුවේ පොරොන්දු වලට යටත් කොට හෝ එහි තර්ජන ඉදිරියේ දන ගසා වර්ජනය පාවා දෙනු ඇත.

ආන්ඩුව දැනටමත් දුම්රිය සේවකයන්ගේ මෙන් ම, රාජ්‍ය අංශයේ සෙසු කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති අතර වර්ජකයන් ට එරෙහිව මර්දනය මුදාහරින බවට තර්ජනය කර තිබේ.

ජනවාරි මාසයේ සිට රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට කැබිනට් මන්ඩලය එකඟ වී ඇති තත්වය තුල දුම්රිය සේවකයන්ගේ වර්ජනය ”‍අසාධාරන”‍ බවත් සඳුදා වන විට එය නතර නොකලහොත් “‍දැඩි ක්‍රියාමාර්ග වලට යොමුවීමට සිදුවන” බවට බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය සාකච්ඡවක දී ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමති අශෝක් අබේසිංහ දුම්රිය කම්කරුවන්ට තර්ජනය කලේ ය.

දුම්රිය සේවක වර්ජනයට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා ගමනාගමන මංඩලයේ බස් රථ කම්කරුවන්ගේ නිවාඩු අවලංගු කල ආන්ඩුව ආරක්ෂාවේ මුවාවෙන් දිවයිනේ ප්‍රධාන දුම්රිය ස්ථාන වලට පොලීසිය සහ හමුදාව යොදවා ඇත. ඒ සමගම වර්ජනයෙන් මහජනයාට සිදුවන “අපහසුතාවය”‍ ගැන කිඹුල් කඳුලු හෙලමින් හා වර්ජනයේ යෙදී සිටින දුම්රිය සේවකයන් ලක්ෂ ගනනින් වැටුප් ලබන බවට ආන්ඩුව සහ ධනපති මාධ්‍ය විසින් දුෂ්ට ප්‍රචාරක ව්‍යාපාරයක් ද මුදා හැර තිබේ.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් මන්ඩලය තීන්දුකර ඇති බවට රාජ්‍ය ඇමති අබේසිංහ ප්‍රකාශ කර ඇතත් මුදල් ඇමති මංගල සමරවීර එයට විරුද්ධ වී ඇත. රාජ්‍ය අංශයේ වැටුප් විෂමතාවය අහෝසි කිරීම සඳහා රුපියල් කෝටි 11,500 ක් වැය කල යුතු බවත් මේ අවස්ථාවේ එය කල නොහැකි බවත් මුදල් ඇමති එහි දී සඳහන් කර ඇත. වැටුප් කොමිසමේ “නිර්දේශ” පරිදි ජනවාරි මාසයේ පඩි වැඩිවීමක් දීමට හැකි බව ද ඔහු කියා ඇති බව වාර්තා වේ. යෝජිත වැටුප් වැඩිවීම රාජ්‍ය සේවකයන් විසින් දැනටමත් ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ නමුත් වර්තමාන සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව හෝ ජනාධිපතිවරනයෙන් පසු බලයට පත්වන වෙනත් ආන්ඩුවක් හෝ ක්‍රියාවට දමනු ඇත්තේ කම්කරුවන්ගේ ඉල්ලීම් වලට විසඳුම් දීමේ වැඩ පිලිවෙලක් නොව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) විසින් නියෝග කරනු ලැබ ඇති ආර්ථික ප්‍රතිසංස්කරනයන් ය.

එම ප්‍රතිසංස්කරනයන් ක්‍රියාවට දැමීමේ පදනම මත ශ්‍රී ලංකාවට දීමට එකඟ වී ඇති ඩොලර් බිලියන 1.5 ක නය මුදලේ හයවෙනි වාරිකය මුදා හැරීමට ජාමුඅ සැප්තැම්බර් 25 අනුමත කල බව සඳහන් කර ඇති නමුත් “‍දුර්වල ගෝලීය ආර්ථික දැක්ම සහ ශ්‍රී ලංකාවේ විශාල රාජ්‍ය නය නිසා කල්පවත්නා දුරදර්ශී පිලිවෙත් සහ ආයතනික ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීම තීරන්නත්මකව පවතින”‍ බව අවධාරනය කර ඇත. එහි අර්ථය වනුයේ, රාජ්‍ය වියදම් කප්පාදුව හා රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කඩිනම් කල යුතු බවය.

දුම්රිය, විශ්ව විද්‍යාල අනධ්‍යයන, රජයේ විධායක හා පරිපාලන නිලධාරීන් හා ගුරුවරුන් ඇතුලු ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ වැටුප් සහ සෙසු ඉල්ලීම් ඍජු ව ම ගැටෙන්නේ ජාමුඅ නිර්දේශ වලට අනුව ධනපති ආන්ඩුව විසින් ක්‍රියාවට දැමිය යුතු ආර්ථික ප්‍රතිසංස්කරන පිලිවෙත් සමගය. එම නිසා ඔවුන් අතර කවර උපායාත්මක මතභේද පැවතියේ වුව ද පාලක පන්තියේ සෑම කොටසක් ම, ඒකායන න්‍යාය පත්‍රය වන්නේ මෙම කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම සහ ඊට එරෙහිව මතුවන කම්කරු පන්ති අරගල මැඩලීමට අවශ්‍ය ආඥාදායක පාලනයකට මාරුවීමය.

එහෙයින් ආන්ඩුවට බලපෑම් දැමීම මගින් කිසිදු අයිතියක් කම්කරු පන්තියට දිනා ගත නොහැකිය.

දුම්රිය සමිති මෙන් ම සමස්තයක් ලෙස වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ පාලක පන්තියේ මෙම ප්‍රතිගාමී සැලසුම් වලට කම්කරු පන්තිය කුදලා දෙන දුෂ්ට කාර්මික පොලීසියක් ලෙසය. ශ්‍රේනිවාදී බෙදීම් මගින් ඔව්හු කම්කරු පන්තිය තව දුරටත් දුර්වල කරති.

කම්කරු පන්තියේ අයිතීන් සඳහා දැනුවත් සහ සාර්ථක අරගලයක් සංවිධානය කල හැක්කේ වෘත්තීය සමිතිවල මෙම ද්‍රෝහී ක්‍රියාකලාපයට එරෙහිව කම්කරු පන්තිය විසින් තම සටන සියතට ගැනීමෙන් පමනි. ධනපති ආන්ඩුවේ විනාශකාරී ප්‍රහාරයන්ට එරෙහිව තම අයිතීන් රැක ගැනීම සඳහා කම්කරු පන්තියේ අවශේෂ කොටස් සමග පොදු අරගලයක් සංවිධානය කිරීමට දුම්රිය කම්කරුවන් මූලිකත්වය ගත යුතුය. එය ඔවුන්ට කල හැක්කේ වෘත්තීය සමිති වලින් ස්වාධීනව ගොඩ නගා ගන්නා ක්‍රියාකාරී කමිටු මගින් කම්කරු පන්තියේ අරගල ඒකාබද්ධ කර මෙහෙයවීමට සටන් කිරීම තුලිනි.

Share this article: