ලංගම වෘත්තීය සමිති අඛන්ඩ වර්ජනය නතර කරයි

නන්දන නන්නෙත්ති විසිනි, 2019 සැප්තැම්බර් 23

වැටුප් වැඩි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සැප්තැම්බර් 16 වෙනිදා ශ්‍රී ලංකා ප්‍රවාහන මංඩලයේ (ශ්‍රීලංප්‍රම) කම්කරුවන් ආරම්භ කල ද්වීපව්‍යාප්ත අඛන්ඩ වර්ජනය දින තුනකට පසු වෘත්තීය සමිති විසින් අත්හිටුවනු ලැබීය. වර්ජනය නතර කෙරුනේ සේවක වැටුප් වැඩි කරන බවට ලංගම සභාපති දුන් තවත් පොරොන්දුවක් පිලි ගැනීමෙනි.

රජයේ සේවකයන්ට 2019 අයවැයෙන් ලබාදුන් රුපියල් 2500 වැටුප් වැඩිවීම ශ්‍රීලංප්‍රම කම්කරුවන්ට ද ලබාදීම වර්ජනයේ යෙදුන කම්කරුවන්ගේ මුලික ඉල්ලීම විය. පසුගිය වසරේ වර්ජනයේ දී එය ලබාදෙන බවට ආන්ඩුව පොරොන්දු වූ නමුත් ඔවුන්ට එය මෙතෙක් ගෙවා නැති බව කම්කරුවෝ කීහ. එමෙන් ම 2015 රජයේ සේවකයන්ට වැඩිකල රුපියල් 10,000 දීමනාව මුලික වැටුපට එකතු කිරීමේ දී ශ්‍රීලංප්‍රම කම්කරුවන්ගේ වැටුපට මෙතෙක් එකතු කර තිබෙන්නේ රුපියල් 6,000 ක් පමනකි. ඉන් 2019 ජනවාරි මාසයට එකතු විය යුතු රුපියල් 2000 වාරිකය හිඟ මුදල් සහිතව ලබාදීම ඔවුන්ගේ තවත් ඉල්ලීමකි

වෘත්තීය සමිති සමග සැප්තැම්බර් 18 දා පැවති සාකච්ඡාවකින් අනතුරුව “ශ්‍රීලප්‍රම සියලුම සේවකයන්ගේ වැටුප් වැඩිකරන” බවට සභාපති උපාලි මාරසිංහ පොරොන්දු වූ බවත් ඒ අනුව වර්ජනය නතර කිරීමට තීරනය කල බවත් ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ (ශ්‍රීලංනිජාප්‍රස) සභාපති සමන්කුමාර මාධ්‍යට ප්‍රකාශ කලේ ය.

එය හුදු පොරොන්දුවක් මිස කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම පිබඳ කිසිදු සහතිකයක් නැත.

වර්ජනයට සහභාගී වූ ඇල්පිටිය ඩිපෝ කම්කරුවන්

ආන්ඩුව වර්ජනය බිඳීම සඳහා ආරම්භයේ සිටම ක්‍රියාත්මක විය, වර්ජනයට සහභාගී නොවූ සමිතිවල සාමාජිකයන් සහ කොන්ත්‍රාත් කම්කරුවන් යොදා බස් ධාවනය කිරීමට ඔවුහු සැලසුම් කලහ. ඇල්පිටිය ඩිපෝවට 18 වෙනිදා පැමිනි ශ්‍රීලප්‍රම ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානියෙක් බස් ධාවනයට බාධා කිරීම් ගැන තමන්ට පැමිනිලි ලැබී ඇති බව සඳහන් කරමින් වර්ජිත කම්කරුවන් ඊට බාධා කලොත් ඊට එරෙහිව බරපතල පියවර ගන්නා බවටත් සියලු දෙනා වහාම සේවයට වාර්තා කල යුතු බවටත් කම්කරුවන්ට තර්ජනය කර ඇත. තර්ජනයෙන් කෝපයට පත් කම්කරුවන් ඔහු ඩිපෝවෙන් පලවා හැර ඇත.

වර්ජනය දිගට ගියහෙත් මහා භාන්ඩාගාරයෙන් ලැබෙන මුදල් අහිමි වන බව කම්කරුවන්ට පවසා තිබේ. වැඩ නො කලොත් වැටුප් ලබා ගැනීමට බැරි වන බව ද ඔහු පවසා ඇත. කම්කරුවන් එක හඩින් එය ප්‍රතික්ෂේප කර ඇත.

ඇල්පිටිය ඩිපෝවේ කම්කරුවන්ට තර්ජනය කරන ශ්‍රීලප්‍රම ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානියෙක්

“පාලකයන් වර්ජනයට විරුද්ධයි. බස් කැඩුනත් ඒවා වික්කත් ටයර් ගැලෙව්වත් ටයර් දැම්මත් ඒගොල්ලන්ට සල්ලි හම්බවෙනවා. අපිට තියෙන්නෙ පඩිය විතරයි. ඒ නිසා ඉල්ලීම් ලැබෙන තුරු අපට ඕනේ වර්ජනය ඉස්සරහට ගෙනියන්න. ආපසු වැඩට යන ලෙස කෙරුනු යෝජනාවට කම්කරුවන් ප්‍රතික්‍රියා කලේ එලෙසය. වෘත්තීය සමිති විසින් වර්ජනය නතර කෙරුනේ කම්කරුවන්ගේ මෙම විරුද්ධත්වය නොතකාය.

ශ්‍රීලනිජාප්‍රසේස, ලංකා ගමනාගමන සේවක සමිතිය (ලගසේස) සමස්ථ ලංකා එක්සත් මෝටර් රථ කම්කරු සමිතිය, (සලඑමෝකස) හා සමස්ථ ලංකා මෝටර් සේවක සංගමය (සලඑමෝසේස) විසින් මෙම වර්ජනය කැඳවනු ලැබුනි.

මෙම සමිති වලට වර්ජනය කැඳවීමට බල කෙරුනේ ආන්ඩුව සහ ශ්‍රීලප්‍රම බලධාරීන් විසින් පසු ගිය වසරේ සැප්තැම්බර් මාසයේ වර්ජනය තුල දී පොරොන්දු වූ වැටුප් වැඩිවීම් ලබා නොදීම සහ ජීවන තත්වයන්ට සහ සේවා කොන්දේසිවලට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් එල්ල කරනු ලබන ප්‍රහාර වලට එරෙහිව කම්කරුවන් අතර වර්ධනය වන අසතුට හා නොසසුන්කම නිසාවෙනි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පැවති වර්ජනය ද සමිති විසින් නතර කලේ වැටුප් ඉල්ලීම් ලබා දෙන බවට සභාපතිගේ “ලිඛිත” පොරොන්දුව පිලිගෙන ය. සැප්තැම්බර් 5 වෙනිදා සභාපති වෙත යැවු ලිපියක දී ශ්‍රීලප්‍රම බලධාරීන් විසින් එය “ඒකපාර්ශවීයව” කඩ කිරීම ගැන කනිපින්දම් ගසා ඇති සමිති නායකයන් එය හේතුකොටගෙන සේවකයින් “දැඩි අපහසුතාවකට හා අසාධාරනයකට ලක් වී ඇති” බව අවධාරනය කර ඇත. එය තමන්ට පාලනය කරගත නොහැකි මට්ටමේ නොසන්සුන්කමක් ශ්‍රීලප්‍රම සේවකයන් අතරින් වර්ධනය වෙමින් පවතින බවට ආන්ඩුවට කරන අනතුරු ඇඟවීමකි.

ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය, (සලප්‍රසේස), එක්සත් ජාතික පක්ෂය විසින් පාලනය කරන (එජාප) ජාතික සේවක සංගමය (ජාසේස) සහ ශ්‍රී ලංකා පොදු සේවක සංගමය (ශ්‍රීලපොසේස) වර්ජනයට සම්බන්ධ නොවී හොරිකඩකමේ යෙදුනි.

මෙම සියලුම වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ ශ්‍රම විභජනයක යෙදෙමින් තම අයිතීන් සඳහා ශ්‍රීලප්‍රම සේවකයන්ගේ ඒකාබද්ධ අරගලයක් ඇතිවීම වලකාලීමට ය.

වර්ජනයට දිවයින පුරා ඩිපෝ 80 කම්කරුවෝ දහස් ගනනක් සහභාගී වු අතර සමිති වල සීමා කිරීම් තිබිය දී සඳුදා වර්ජකයන් කිහිප සියයක් කොලඹ දී විරෝධාතා පා ගමනක හා උද්ඝෝෂනයක නිරත වූහ. ඔවුන්ගේ අරගලය ජීවන තත්වයන්ට හා සේවා කොන්දෙසිවලට එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව වැඩකරන ජනයා අතර පලල්ව වර්ධනය වෙමින් පවත්නා අරගල වල කොටසකි. කම්කරු පන්තියේ සෙසු කොටස් ද අරගලවලට ඇදී එමින් පවතින තත්වය ගැන බියට පත්ව සිටින වෘත්තීය සමිති සහ ආන්ඩුව ප්‍රවාහන කම්කරු වර්ජනය නතර කිරීමට යුහුසුලු වූහ.

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්, රාජ්‍ය පරිපාලන නිලධාරීන්, මහවැලි අධිකාරියේ නිලධාරීන්, දුම්රිය ඉංජිනේරුවන් ඇතුලු වැඩකරන ජනයාගේ විවිධ කොටස් මෙම ප්‍රහාරවලට එරෙහිව දැනටමත් අරගලයට පිවිස සිටින අතර 200,000 අධික රජයේ පාසල් ගුරුවරු බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දෙදින වර්ජනයක නිරත වන බව නිවේදනය කර ඇත.

ශ්‍රීලප්‍රම කම්කරුවන්ගේ වැටුප් හා සේවා කොන්දේසිවලට එල්ල කෙරෙන ප්‍රහාර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියෝග කර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරනවල කොටසකි.

තමන් මුහුන දී දුෂ්කර සමාජ හා සේවා කොන්දේසි පිලිබඳව කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ අඩවියේ වාර්තාකරුවන්ට විස්තර කලහ.

ගාමිනී වසන්ත

රියැදුරෙකු වන ගාමිනී වසන්ත ගේ සේවා කාලය වසර 20 “අපට විශ්‍රාම වැටුප් නැහැ. ගිය අවුරුද්දෙ වර්ජනයෙදි පොරොන්දු වුනු වැඩි වීම සිද්ධ වෙලා නැහැ. මට වැඩි වුනේ රුපියල් 2000 යි. මගේ මුලු වැටුප 35,000 යි. ලමයි තුන්දෙනෙක් ඉස්කෝලේ යනවා. හැම මාසෙකම කඬේට රුපියල් 5000ක් 6000ක් නය වෙනව. මම වැඩ කරන්නෙ මාපලගම කොලඹ බස් එකේ. මාසෙකට දඩ කොලවලටම සෑහෙන මුදලක් වැය වෙනවා. ගිය මාසෙ දවස් 14 ඇතුලත රුපියල් 5500ක් මට දඩ ගෙවන්න සිදු උනා. දුවට සපත්තු අරන් දෙන්න වෙන් කරපු සල්ලිවලිනුත් දඩ ගෙව්වා.” ඔහු පැවසීය.

“අපට හරි නින්දක් නැහැ. නයිට් පාර්ක් කරන්නෙ මාපලගම. නිදා ගන්නේ බස් එකේ. වැසිකිලි යන්නේ අහලපහල ගෙදරක තියෙන එකකට. නාන්න නැහැ. තරුන ජීවිතයම රැකියාවට දිය වෙලා ගිය” බව ද ඔහු සඳහන් කලේ ය.

ඩී.එම් සුරංග

ඉජිනේරු අංශයේ ඩී.එම් සුරංග “මට වැටුප් වැඩි කිරීමට කලින් ලැබුන මූලික පඩිය රුපියල් 14,500යි. ඒකාබද්ධ වැටුප රුපියල් 35,000යි. නමුත් පඩි වැඩි කිරීමෙන් පස්සෙ සිදු වුනේ වැටුප් කප්පාදුවක්. දැන් මගේ ඒකාබද්ධ වැටුප පඩිය 32,000 යි. බැංකු නයක් ගන්න අපේ කෙනෙකුගෙ අත්සන පිලිගන්නෙ නැහැ. රජයේ සේවකයො දෙන්නෙක් එක්ක එන්න කියනවා. අපි අඩු පඩි ගන්න අඩුම පහසුකම් ලබන සේවකයො. ගිය අවුරුද්දෙ ස්ට්‍රයික් එක කරන්න වෘත්තීය සමිති එක්ක සටන් කරන්න සිද්ධ වුනා. නමුත් පලක් වුනේ නැහැ” ඔහු පැවසුවේ ය.

කොලඹ ප්‍රධාන කාර්යාලයෙන් ලැබෙන්නේ වැටුපෙන් අඩක් එනම් 15,000 ක් පමනක් බව යාපනය ඩිපෝවේ කම්කරුවෝ කීහ. ඉතිරි මුදල ප්‍රාදේශීය ඩිපෝ වලින් එකතු කල යුතුයි. එකතු නොකලොත් සම්පූර්න වැටුප ලැබෙන්නේ නැහැ. අතිකාල ගෙවීම් කප්පාදු කරලා. බස් ධාවනය කරන කාලයට පමනයි අතිකාල ගෙවන්නේ. ඊලඟ ධාවන වාරය දක්වා රැදී සිටින කාලයට ගෙවන්නේ නැහැ. විශේෂ සේවාවන් සඳහා රියදුරුට සහ කොන්දොස්තරට කලින් ගෙවූ විශේෂ දීමනාවත් දැන් නතර කරලා.

ස්ථීර නොකල අනියම් කම්කරුවන් 300 ක් පමන එහි සිටිති. “අපට කිසිම විවේකයක් නැහැ. සුදුසු විවේකාගාරයකුත් නැහැ. නියමිත වෙලාවකට කෑම කන්න නහැ. සමහර වෙලාවට නිවසට එන්නේ දින දෙකකට පසුව. ඒ නිසයි අපට ප්‍රමානවත් වැටුපක් සහ හොඳ පහසුකම් අවශ්‍ය වෙන්නේ.

“නිසි විවේකයක්, නින්දක් නැති නිසාත් බස් හොඳින් නඩත්තු නොකෙරන නිසාත් අනතුරු බහුලයි. අනතුරක දී පාලනාධිකාරයේ කිසි කෙනෙක් පොලීසියට හෝ උසාවියට එන්නේ නැහැ. අපි හුදකලා වෙනවා. උතුරේ ඩිපෝවල බස් වලින් වැඩි කොටසක් ධාවනය කරන්න සුදුසු නැහැ.ඒවා ප්‍රතිසංස්කරනය කරන්න අවශ්‍ය ප්‍රතිපාදන දෙන්නේ නැහැ.

යාපනය ඩිපෝවේ කම්කරුවෝ ලෝසවෙඅ නියෝජිතයන් සමග සාකච්ඡා කරයි

”අපේ භාෂා අයිතිය උල්ලංඝනය කරලා. භාෂාවට සමතැන දෙන බව කිව්වට අපට ලැබෙන සියලුම ලියුම් සිංහල භාෂාවෙන්. ඒ නිසා අපි හැමවිටම බරපතල අපහසුතාවලට මුහුන දෙනවා.

කොන්ත්‍රාත් කම්කරුවෙක්: “මම අවුරුද්දකට වැඩි කාලයක් වැඩ කරලා තියෙනවා. එහෙම අය බොහොම දෙනෙක් මෙතන ඉන්නවා. වෘත්තීය සමිති අරගලය නතර නොකල යුතුයි. ස්ථීර සේවකයන්ගේ ඉල්ලීම් ලැබුනත් අපේ රැකියා ස්ථීර කරන තුරු සටන ඉදිරියට ගෙන යායුතුයි.

“වෘත්තීය සමිති බොහොමයක් වැඩ කරන්නේ කොලඹ ඉඳගන. අපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නැහැ. සමිති හිතනවා චන්ද කාලෙට අපේ ඉල්ලීම් දිනා ගන්න පුලුවන් කියල. එහෙම වෙයි කියලා මට නම් කිසිම විශ්වාසයක් නැහැ.

“අපේ වර්ජනය පටන් ගත්ත දවසෙම “එලුහ තමිල්” උද්ඝෝශනයක් තිබුන නිසා සමහරු හිතනවා වැඩ නතර කලේ ඒ සඳහා කියල. ඒ අදහස වැරදියි. අපි එලුහ තමිල් ව්‍යාපාරයට සහයෝගය දෙන්නේ නැහැ. ඔවුන් ඒක කරන්නේ දේශපාලන වාසි සඳහා. අපි සටන් කරන්නේ අපේ ඉල්ලීම් වෙනුවෙන්.

”ක්‍රියා කමිටු ගැන ඔබේ යෝජනාව හොඳයි. අපි ඔබේ පත්‍රිකාව කියවනවා. ඔබ නිතරම මෙහෙට එනවා නම් අපට දිගටම සාකච්චා කරන්න පුලුවන්. වෘත්තීය සමිති කම්කරුවන්ව බෙදනවා. කම්කරුවන්ගේ උවමනාවන් මත සියලුම කම්කරුවන් එකතු විය යුතුයි.”

Share this article: