ශ්‍රී ලංකාව: දෙමල ජනතා කවුන්සිලය දෙමල ජාතිකවාදය ඇවිස්සීම සඳහා රැලියක් කැඳවුම් කරයි

Sri Lanka: Tamil People’s Council calls rally to stir up Tamil nationalism

එම්. දේවරාජා විසිනි, 2019 සැප්තැම්බර් 14

උතුරු පලාතේ හිටපු මහ ඇමති සී. වී. විග්නේස්වරන් නායකත්වය දෙන දෙමල ජනතා කවුන්සිලය (ටීපීසී), සැප්තැම්බර් 16දා යාපනයේ දී “එලුහ තමිල්” හෙවත් “දෙමලුනි නැගිටිවු” යන සටන්පාඨය මුල්කරගෙන රැලියක් සංවිධානය කර ඇත. 2015 අවසානයේ ආරම්භ කරන ලද මෙම ප්‍රතිගාමී ජාතිකවාදී උද්ඝෝෂනය යලි ඇරඹීමේ ඉලක්කය වන්නේ, අරගලයට ඇදෙන ශ්‍රී ලංකාවේ කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ බෙදීම යි.

ටීපීසී යනු, දේශපාලන පක්ෂ කිහිපයක්, සිවිල් සමාජ කන්ඩායම්, වෘත්තීය සමිති, විශ්ව විද්‍යාල සිසුන් හා බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි කොලඹ ආන්ඩුවේ ලේවැකි 30-අවුරුදු යුද්ධයේ දී අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතීන්ගේ සංවිධාන ආදිය ඇතුලත් කරගත් පෙරමුනකි.

රැලිය නිවේදනය කරමින් ටීපීසීය නිකුත් කල පත්‍රිකාවේ ඉල්ලීම් හයක් අඩංගු විය: දෙමල “නිජ බිම සිංහල ජනපදකරනය” නැවැත්වීම, ශ්‍රී ලංකාවේ යුද අපරාධකරුවන් ජාත්‍යන්තර නීතිය ඉදිරියට ගෙන ඒම, දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, “අතුරුදන් වූවන්” පිලිබඳ ව ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරීම, දෙමල ප්‍රදේශ මිලිටරීකරනය නැවැත්වීම හා යුද්ධය සමයේ අවතැන් වූ සියල්ලන් යලි පදිංචි කිරීම එම ඉල්ලීම්ය. යාපනයේ රැලියට සමගාමී ව නිව් යෝක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය හා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට විරෝධතා පැවැත්වෙන බව නිවේදනය වී ඇත.

ටීපීසී උද්ඝෝෂනය සංවිධානය කර ඇත්තේ, යුද්ධය හේතුවෙන් උතුරේ හා නැගෙනහිර දෙමල ජනයා පීඩාවට පත්කරමින් පලාත් දෙක මත පවත්වාගෙන යන මිලිටරි පාලනයට ප්‍රතිචාර වසයෙනි. එහෙත් එහි ඉල්ලීම්, “ජාත්‍යන්තර ප්‍රජාවේ” සහයෝගය සුරක්ෂිත කරගත හොත් දෙමල ජනයාට ජාතික විසඳුම්ක් තිබේ ය යන මාරක මිථ්‍යාව පතුරුවයි.

“ජාත්‍යන්තර ප්‍රජාව” යන්න, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා කලාපය තුල එහි මූලෝපායික සහකරුවා වන ඉන්දියාව සහ අනෙකුත් ප්‍රධාන බලයන් හැඳින්වීමට යොදාගෙන ඇති නාමයකි. මානව හිමිකම් රුදුරු ලෙස උල්ලංඝනය කරන්නන් වන මෙම බලයන්, තමන්ගේ භූ-දේශපාලනික අවශ්‍යතා ඉදිරියට දැමීම සඳහා කුහක ලෙස තමන් තෝරාගත් සමහර සුලුතරයන් පිලිබඳ ව ව්‍යාජ උත්සුකයන් පලකරයි. උතුරින් හා නැගෙනහිරින් ශ්‍රී ලංකාවේ මිලිටරිය කොන්දේසි විරහිත ව ඉවත් කරගැනීම ඉල්ලා නො සිටින ටීපීසීය, පලාත් දෙක “මිලිටරීකරනය” නවත්වන ලෙස කොලඹ ආන්ඩුවෙන් ඉල්ලයි.

ටීපීසීයේ ජාතිකවාදී උද්ඝෝෂනය යලි පනගැන්වීම අර්ථභාරී ය. වර්තමාන ආන්ඩුව හා එහි මූලික සහකරුවා වන දෙමල ජාතික සන්ධානය (දෙජාස) ඇතුලු ශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලන සංස්ථාපිතය, රට පුරා කම්කරුවන් හා දුගීන් අතර බෙහෙවින් ම අපකීර්තියට පත්ව ඇත. දෙජාස දෙමල මහජනයා අතර අවිශ්වාසයට බඳුන් වෙද්දී, 2015 අවසානයේ විග්නේස්වරන් හා ඔහුගේ සගයෝ ටීපීසීය අටවා ගත්හ.

ජාත්‍යන්තර පන්ති අරගලයේ පුනර්ජීවයත් සමග, වැටුප්, ජීවන කොන්දේසි හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කරන කප්පාදු ප්‍රහාර ආන්ඩුව විසින් ක්‍රියාවට දමද්දී, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ මූලික කොටස් ජාතික පරිමාන වැඩ වර්ජන හා කාර්මික ක්‍රියාවන්හි නිරත වූහ. විශ්ව විද්‍යාල අනධ්‍යයන කම්කරුවෝ වැටුප් හා සේවා කොන්දේසි අරබයා පසුගිය සතියේ ජාතික වර්ජනයක් ඇරඹූ හ. සැප්තැම්බර් 26 හා 27, 200,000කට අධික ගුරුවරු ඒ හා සමාන වර්ජනයක් දියත් කරනු ඇත.

කොලඹ දේශපාලන ප්‍රභූව හා දෙමල ධනපති සගයෝ, සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් පිලිබඳ ව මාරාන්තික බියෙන් පසුවෙති. එය පවත්නා පර්යායට අන්තරායක් ලෙස ඔවුහු හඳුනාගනිති.

2015 ජනවාරියේ දී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත් කිරීමේ එක්සත් ජනපදය නායකත්වය දුන් තන්ත්‍ර-මාරු මෙහෙයුම අනුමත කල දෙජාස හා අනෙකුත් ධනේශ්වර පක්ෂ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට ඔසවා තැබීමට උදවු කල හ. රාජපක්ෂ බෙයිජිනය සමග පවත්වාගෙන ගිය දේශපාලන හා ආර්ථික සබඳතා හේතුවෙන් ඔහු ව ඉවත් කිරීම වොෂින්ටනයට අවශ්‍ය විය.

සිරිසේන හා එක්සත් ජාතික පක්ෂය (එජාප) නායකත්වය දුන් පෙරමුන, ප්‍රජාතන්ත්‍ර අයිතීන්, වැඩිදියුනු ජීවන කොන්දේසි හා යුද්ධයට ගොදුරු වූවන් මුහුන දෙන ගැටලු විසඳීමට පොරොන්දු වූ හ. ඉටුකිරීමේ කිසිදු අභිප්‍රායක් නො තිබූ සිරිසේනගේ ව්‍යාජ පොරොන්දුවලට දෙජාස සහතික වුයේය.

වොෂින්ටනයේ නියෝග මත, චීනයෙන් ශ්‍රී ලංකාව දුරස්ථ කොට එක්සත් ජනපදය හා ඉන්දියාව දෙසට ශ්‍රී ලංකාවේ විදෙස් පිලිවෙත යලි දිශාගත කල සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, ශ්‍රී ලංකාවේ මිලිටරිය එක්සත් ජනපද හමුදා සමග ඒකාග්‍ර කලේ ය. දෙජාස මෙම වෙනස්කම්වලට පූර්න අනුමැතිය දුන්නේ ය.

ඉහල යන කම්කරු පන්තික විරෝධය ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්ථාපිතය ඇතුලත ගැඹුරු බෙදීම් නිෂ්පන්න කර ඇතත්, පාලක ප්‍රභූවේ සියලු කන්ඩාම් ආඥාදායක පාලන රූපවලට හැරීමේ පියවරයන්හිදී එකාවන්ව එක්සත් ය. ඉස්ලාමීය ත්‍රස්තවාදී කන්ඩායමක් විසින් දේවස්ථාන හා හෝටල් ඉලක්ක කරගෙන අප්‍රේල් 21දා බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව සිරිසේන විසින් හදිසි නීති පාලනය පැනවීමට හා මිලිටරිය ජාතික පරිමාන ව දිගේලි කිරීමට දෙජාස ඇතුලු සෑම පාර්ලිමේන්තු පක්ෂයක් ම පිටුබලය දුන්නේ ය.

පසුගිය ඔක්තෝබරයේ විග්නේස්වරන් නව දෙමල දේශපාලන පක්ෂයක් වන දෙමල ජනතා සන්ධානය (දෙජස) ස්ථාපිත කලේ ය. ඔහුගේ පක්ෂය ආන්ඩුව සමග සාකච්ඡා යලි අරඹන බව හා කොලඹ ආන්ඩුව මතට “ජාත්‍යන්තර පීඩනය ගෙන එන” බවට ප්‍රකාශ කරන අතරම, තමන් “ජනතා දේශපාලනයක්” අනුගමනය කරන බව ඔහු කියා සිටියේ ය.

දෙජාස සමග මූලික වෙනස්කම් නැති ටීපීසී හා විග්නේස්වරන්ගේ දෙජාස, එක්සත් ජනපද හා ඉන්දියානු ගැති වැඩපිලිවෙලක් අනුමත කරයි. ජුනි 3දා යාපනයේ මාධ්‍ය හමුවක් ඇමතූ විග්නේස්වරන්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු අධිපතිවාදී ආන්ඩුව යලි බලයට පත්වීම උත්කර්ෂයට නැංවී ය.

“ඉන්දියාවේ බලයට පත්වූ ශක්තිමත් ආන්ඩුව අපි සාදරයෙන් පිලිගත යුතු යි” යි ඔහු ප්‍රකාශ කලේ ය. බංග්ලාදේශය හා පකිස්තානය වැනි මුස්ලිම් රටවලින් ඉන්දියාව වට වී තිබෙන බවත් “ඉස්ලාමීය අන්තවාදීන්ගේ අන්තරායන්ට මුහුන දෙන” බවත් අවධාරනය කරමින් ඔහු මෝදිගේ ස්වෝත්තමවාදී, මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයට සහයෝගය පලකලේ ය.

බෙයිජිනයට එරෙහි වොෂින්ටනයේ භූ-දේශපාලනික න්‍යාය පත්‍රය සමග පෙලගැසෙමින්, චීනයේ සමුද්‍රීය සේද මාවත් ව්‍යාපෘතියට හා එය පකිස්තානය සමග පවත්වාගෙන යන සමීප සබඳතාවට පහර දුන් විග්නේස්වරන්, ශ්‍රී ලංකාවේ සහභාගිත්වයක් “ඉන්දියාව බියවැද්දීම, බාධනය කිරීම හා උගුලට හසුකර ගැනීම” සඳහා යොදාගනු ඇතැයි අනතුරු ඇඟවී ය.

ශ්‍රී ලංකාව තුල දෙමල ස්වාධීනත්වය ප්‍රදානය කලහොත්, එය එවන් තර්ජනයන්ට මුහුන දීමේ දී නව දිල්ලියට උපකාරක වනු ඇතැයි විග්නේස්වරන් කියා සිටියේ ය. “අපේ ස්වාධීනත්වය ස්ථාපිත කල විට, අරාබි මුහුදේ සිට බෙංගාල බොක්ක දක්වා ඉන්දියාවේ ආරක්ෂාව සඳහා අත්වැල් බැඳගැනීමට එමගින් ඉඩ ලබාදෙනු ඇත.”

විග්නේස්වරන් හා ඔහුගේ ටීපීසීය පැහැදිලි ව ම නව දිල්ලියට හා වොෂින්ටනය සංඥා කරමින් සිටින්නේ, දෙමල ධනේශ්වරය ඔවුන්ගේ භූ-දේශපාලනික අවශ්‍යතාවන්ට සේවය කිරීමට හා චීනයට එරෙහි යුද සූදානමට උපකාර කිරීමට සූදානම් බව යි.

“එලුහ තමිල්” උද්ඝෝෂනය අනුමත කරමින් ලිපි පලකර ඇති කොලඹ පලවන වීරකේසරී හා යාපනයේ පදනම් වන තිනක්කුරල් ඇතුලු දෙමල මාධ්‍ය කන්ඩායම් කිහිපයක් ටීපීසීයට සහයෝගය දෙති.

ටීපීසී උපදේශක එම්. තිරුනාවුකරසු වීරකේසරී හි පලකල ලිපියක මෙසේ ප්‍රකාශ කලේය: “විකල්ප නායකත්වයක් ගොඩනැගීම අවශ්‍ය කරන ජනතාව හා පක්ෂ ඉදිරියට පැමින තමන්ගේ එකමුතු කම පෙන්විය යුත්තේ දැන් ය. අනෙකුත් පක්ෂ සාමාජිකයන් බාධක බිඳ දෙමල ජාතිකවාදයේ මෙම ප්‍රදර්ශනයට ශක්තිය ලබාදිය යුතු ය.”

දෙමල කම්කරුවන් හා තරුනයන් ටීපීසීයේ උද්ඝෝෂනය හා එහි ප්‍රතිගාමී ජාතිකවාදී දේශපාලනය එකහෙලා ප්‍රතික්ෂේප කල යුතු ය. ටීපීසීය හා අනෙකුත් දෙමල පක්ෂ අතර පවතින උපායික භේද නො තකා, ඔවුන් සියල්ලෝ අධිරාජ්‍යවාදයට සේවය කරමින් ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය කිසිදු අයුරකින් ඒකාබද්ධ වීම වැලැක්වීමට මංමුලා සහගත ලෙස ක්‍රියාකරමින් සිටිති.

එම කාරනය නිසා ම, කොලඹ පදනම් වන ධනපති පක්ෂ හා ඒවායේ සිංහල ස්වෝත්තමවාදී සගයෝ ඔවුන්ගේ දෙමල-විරෝධී හා මුස්ලිම්-විරෝධී හඬ තැලීම් උග්‍ර කරමින් සිටිති. මෙය අනෙක් අතට, දෙමල ධනේශ්වර පක්ෂ හා ඔවුන්ගේ ජාතිකවාදී උද්ඝෝෂනයන්ගේ ප්‍රතිගාමී ආකල්පයන්ට සේවය කරයි. කම්කරු පන්තියට හා දුගීන්ට එරෙහි ව සිංහල හා දෙමල පාලක ප්‍රභූන්ගේ “පන්ති එක්සත් කම” එබඳු ය.

ශ්‍රී ලංකා මිලිටරිය විසින් එල්ටීටීඊය පරාජය කිරීමත්, 2009 මැයි අවසන් ලේවැකි ප්‍රහාරවල දී දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් සංහාරයට ලක්කිරීමත්, හුදෙක් මිලිටරිමය කාරනයක් නො ව දෙමල ජාතිකවාදීන්ගේ දේශපාලන ඉදිරිදර්ශනයේ බංකොලොත්භාවය තහවුරු කරන හෙලිදරවුවකි.

ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන ඒකාබද්ධතාව තමන්ගේ පන්ති අවශ්‍යතාවන්ට තර්ජනක් වන නිසා, ටීපීසීය ද එල්ටීටීඊය හා අනෙකුත් දෙමල ධනේශ්වර පක්ෂ මෙන් ම එවන් එකමුතුවකට අත්‍යන්තයෙන් හතුරු වෙයි.

දෙමල වැසියන් මර්දනය කිරීමේ මූලාශ්‍රය ධනපති පද්ධතිය යි. 1948 ඊනියා නිදහසේ පටන්, කොලඹ පාලක පන්තිය හා එහි අනුප්‍රාප්තික ආන්ඩු ශ්‍රී ලංකාවේ ධනවාදය හා ලාබ පද්ධතිය ආරක්ෂා කරගැනීමට දෙමල-විරෝධී වෙනස්කම් කිරීම් යොදාගෙන ඇත.

මෙම මර්දනය අවසන් කිරීමට සහ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් සඳහා සටන් කිරීමට, දෙමල කතා කරන කම්කරුවන් ඔවුන්ගේ සිංහල සහෝදරයන් සමග එකමුතු වී සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත ඉන්දීය හා ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙතට හැරිය යුතු ය.

ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ, ධනවාදය අවසන් කොට දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක හා ජාත්‍යන්තර සමාජවාදයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව තුල කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපනය කිරීමෙන් පමනි. මෙම ඉදිරිදර්ශනයට සටන් වදින එකම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය යි.

Share this article: