‘වියත්මග’ සමුලුවේදී ගෝඨාභය රාජපක්ෂ පොලිස් පාලනයක සැලසුම් ගැන ඉඟි කරයි

ප්‍රදීප් රාමනායක විසිනි, 2019 සැප්තැම්බර් 30

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය මැතිවරන උද්ඝෝෂනයට සහයෝගය ගොනු කරගැනීමට ‘වියත්මග’ සංවිධානයේ තුන්වන වාර්ෂික සම්මේලනය යොදා ගත්තේය. සැප්තැම්බර් 8 වනදා අධි සුඛෝපභෝගී, ෂැංග්‍රිලා හෝටලයේදී පැවත්වූ රැස්වීමට ගෝඨාභය රාජපක්ෂගේ සහෝදර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විශ්‍රාමික මිලිටරි ප්‍රධානීන්, ඉහල වැටුප් ලබන වෘත්තිකයන්, බෞද්ධ භික්ෂූන් සහ සිංහල අන්තවාදීන් ඇතුලු 2500 කට අධික පිරිසක් සහභාගී වූ බව වාර්තාවේ.

හැරී ජයවර්ධන සහ මෙරිල් ජේ. ප්‍රනාන්දු ඇතුලු ලංකාවේ මහ ව්‍යාපාරිකයන් කන්ඩායමක් රැස්වීමට සහභාගිවීමෙන් පෙන්නුම් කෙරුනේ ”බලවත් පාලනයක්” හෙවත් ඒකාධිපති පාලනයක් බලාපොරොත්තුවන ධනපති පන්තියේ සැලකියයුතු කොටසක සහයෝගයක් ගෝඨාභය රාජපක්ෂ වටා ගොනුවෙමින් පවතින බවයි.

ගෝඨාභය 2016 වසරේ වියත්මග සංවිධානය කලේ රටේ රාජ්‍ය නායක වීම සඳහා ඔට්ටු ඇල්ලීමටයි. වියත්මග සංවිධානයේ සභාපති ඔහු ය. විශේෂයෙන් බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි කොලඹ ආන්ඩු දියත් කල ලේවැකි යුද්ධයේ අවසන් අවුරුදුවල මහින්ද රාජපක්ෂ විසින් ආරක්ෂක ලේකම් ලෙස පත්කෙරුනු ගෝඨාභයගේ චරිත සහතිකය ලෙස ඇත්තේ උතුරු නැගෙනහිර මිලිටරි මෙහෙයුම් මුදාහැරීම සහ රටපුරා මර්දනය රුදුරු ලෙස ගෙනයාමයි. මෙම ක්‍රියාවන්හිදී ඔහු පිරිවරාගත් මිලිටරි ප්‍රධානීන් වියත්මග සංවිධානය කරගැනීමේ මූලිකයින් වූහ.

වසරකටත් වැඩි කලක් මේ කන්ඩායම සහ සිංහල-බෞද්ධ අන්තවාදීන් පිරිසක් මීලඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය විය යුතුයයි උද්ඝෝෂනයක් උත්සන්න කලහ. අවසානයේ ඔහුගේ සහෝදරයින් වන බැසිල් රාජපක්ෂ විසින් සංවිධානය කෙරුනු පසුව මහින්ද රාජපක්ෂ නායකත්වයට පත්කරගත් ශ්‍රී ලංපොපෙ ඔහුට අපේක්ෂකත්වය ලබාදුන්නේය.

ලෝකය පුරා දක්ෂිනාංශික ආන්ඩුවල හා ව්‍යාපාරවල ප්‍රතිගාමී මන්ත්‍රයවන ”ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම” ගෝඨාභය රාජපක්ෂගේ ද මන්ත්‍රය යි. එම උද්ඝෝෂනය සඳහා ඔහු ආසන්න වසයෙන් අල්ලා ගෙන ඇත්තේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා දින, ඉස්ලාමීය අන්තවාදී අයිඑස් සමග එක්ව ජාතික තවුහීත් ජමාත් සංවිධානය විසින් පුද්ගලයන් 300ක් පමන ඝාතනය කරමින් හා 500කට පමන තුවාල සිදුකරමින් එල්ල කල මුර්ග ප්‍රහාරයයි.

වියත්මග රැස්වීමේදී පැවැත්වූ කතාවේදී ජාතික ආරක්ෂාව තහවුරු වී තිබීමේ මොඩලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ හුවා දැක්වූයේ සිය සහෝදර මහින්ද රාජපක්ෂගේ පාලන කාලයයි. 2005 සිට 2014 දක්වා පැවති එම ආන්ඩුව “ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ජාතික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගෙන” අවුරුදු 30 ක ත්‍රස්තවාදය පරාජය කොට දිගටම එය පවත්වාගෙන යාම නිසා ”දස වසරක් ත්‍රස්තවාදය යලි ක්‍රියාත්මක වුනේ නැහැ.” යි ඔහු කිවේය.

තමන් යටතේ බුද්ධි සේවා යාන්ත්‍රනයන් සහ පොලිස්-මිලිටරි අංශ ශක්තිමත් කල බවත් වත්මන් ආන්ඩුව යටතේ ඒවා දුර්වල වී ඇති බවත් “එදා තිබුනු ජාතික බුද්ධි යාන්ත්‍රනය නැවතත් ස්ථාපිත කරන්නට අවශ්‍ය බවත් කී ඔහු ඉන් නොනැවතුනි. එය අලුත් තලයකට ගෙන ඒම සඳහා ”ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සතු බුද්ධි සේවා අංශ සියල්ල ජාතික ආරක්ෂාව පිලිබඳව වගකියන, බලතල සහිත බුද්ධි අංශ ප්‍රධානියෙකු යටතට ගෙන, ඒ අංශ අතර මනා සම්බන්ධිකරනයක් ඇතිකල යුතුබව” ඔහු කීවේය.

ඔත්තු සේවා තරකිරීම වනාහි කම්කරුවන්, දුගීන්, තරුනයන් හා දේශපාලන විරුද්ධවාදීන් වෙසෙසින්ම සමාජවාදීන් පිලිබඳව ඔත්තු බලමින් ඔවුන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා තලා දැමීමට එල්ල කෙරුනු පාලනයක අංගයකි.

ඔහු ඔජවඩවන මහින්ද රාජපක්ෂගේ “ජාතික ආරක්ෂාව තහවුරු කෙරුනු” පාලනය ගැන සියලුදෙනා යලි සිහිපත් කරගැනීම වටී. කම්කරු පන්තිය භේදකිරීම සඳහා 1948 පටන් යොදාගත් දෙමල-විරෝධී ස්වොත්තමවාදී වෙනස්කම් කිරීම කොලඹ පාලකයින් විසින් යුද්ධයක් මට්ටමට 1983 ඔසවා ගත්තේ ප්‍රකෝපකිරීම මාලාවක් මගිනි.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය නමින් ගෝඨාභය රාජපක්ෂ පමනක් නොව ලංකාවේ පාලක පන්තියේ සියලු කොටස් ව්‍යාජ හංවඩුවක් ගසා ඇතත් යුද්ධයට මූලිකවම වගකිව යුත්තේ කොලඹ ආන්ඩු ය. එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානයක් නොව ත්‍රස්ත විධික්‍රම දේශපාලන අරමුනු ඉටුකරගැනීමට යොදාගත් සංවිධානයකි. කොලඹ අනුප්‍රාප්තික ආන්ඩු උතුරු නැගෙනහිරත් දකුනු පලාත්වලත් රාජ්‍ය ත්‍රස්තවාදය එකසේ යොදාගත්තේ ය.

එක්සත් ජනපදය, ඉන්දියාව ඇතුලු මහා බලවතුන්ගේ සහයෝගය ඇතිව මහින්ද රාජපක්ෂ ආන්ඩුව යුද්ධය යලි ඇරඹුවේ ඉවබව නැති ප්‍රහාරවලට මිලිටරිය මෙහෙයවා දෙමල සිවිල් වැසියන් ඝාතනයට හා වධහිංසා වලට ලක්කිරීම උත්සන්න කරමිනි. යුද්ධය යොදා ගත්තේ කම්කරු පන්තිය භේදකර ජීවන කොන්දේසි, සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තලා දැමීමට ය. සුදුවෑන් මගින් පුද්ගලයින් පැහැරගැනීම පිලිබඳ චෝදනා හා ඊට සම්බන්ධ කල්ලි මිලිටරිය තුල පවත්වා ගැනීම ගැන ඔහුට චෝදනා එල්ලවී ඇත.

යුද්ධයෙන් පසු ගෙවුනු ගෝඨාභයගේ සාමකාමී දසවසරින් පහක් රාජපක්ෂ ආන්ඩුව යටතේ ගෙවුනේ මෙලෙස ය: යුද්ධයෙන් පසුව ත්‍රස්තවාදයට නැගීමට ඉඩනොදීමේ වේසයෙන් උතුරු-නැගෙනහිර පලාත්වල මර්දනකාරී හමුදා පාලනය තද කිරීම; කම්කරුවන් හා දුගීන් මැඩීම සඳහා කඩු අමෝරා ඇතිබව පෙන්වීම සඳහා “විශ්‍රාම අරමුදල රැක ගැනීමට 2011 කටුනායක අරගලයට වන් දසදහස් සංඛ්‍යාත” කම්කරුවන්ගේ අරගලයට වෙඩිතබා එක් කම්කරුවෙකු ඝාතනය කිරීමෙන්; 2012 දී උද්ඝෝෂනයක යෙදුනු ධීවරයන් මැඩීමේ දී හලාවත ධීවර කම්කරුවෙකු මරාදැමීමෙන්; හා 2013 රතුපස්වල බීමට පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂනයක යෙදුනු ජනයා මර්දනයේ දී තරුනයින් තිදෙනෙකු ඝාතනය කිරීමෙන් මෙන්ම කොලඹ අලංකරනය සඳහා ව්‍යාපෘතියේ දී දහස් ගනනක් දුගී ජනයා පොලිසිය යොදා පලවා හැරීම ආදියෙනි. යුද්ධය දිනවල හා පසුව මාධ්‍යවේදීන් ඝාතනය හා පැහැරගෙන ගොස් පහරදීම ඔහුගේ ජාතික ආරක්ෂාවට ඇතුලත්විය. ලැයිස්තුව දිග නිසා සියල්ල මෙහි සඳහන් කල නො හැකි ය.

ඉතිරි අවුරුදු පහ සිරිසේන-වික්‍රමසිංහ පාලනය යටතේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී මවාපෑම් මධ්‍යයේ, උතුරු-නැගෙනහිර මිලිටරි පාලනය ද කම්කරු, සිසු ගොවි අරගල මර්දනය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදුව උත්සන්න කිරීමද සිදුවෙයි.

ගෝඨාභය මෙසේ කීවේය: “ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂාකිරීමේදී නීතියේ ආධිපත්‍යය රටකට ඉතා වැදගත් වෙනවා.” ඒ යටතේ “ව්‍යවස්ථා සංශෝධනය, යල්පැනගිය නීති රීති යාවත්කාලීන කිරීම, මැතිවරන නීතිවල වෙනස්කම් වැනි වැඩකටයුතු රාශියක්” ඇතිබවද “එක රටක් තුල ක්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමනක්” බවද හේ තවදුරත් සඳහන් කලේය.

“ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂාකිරීම” පිලිබඳ කතාව ධනපති නියෝජිතයින් යොදාගන්නේ පාලකයන්ගේ පරම අධිපතිත්වය පිහිටුවා ගැනීමට තවත් නමක් ලෙස ය. “ව්‍යවස්ථා සංශෝධනය, යල්පැනගිය නීති රීති යාවත්කාලීන කිරීම, මැතිවරන නීතිවල වෙනස්කම්” සහ “එක රටක් තුල එක නීතියක්” පිලිබඳ ප්‍රකාශ දෙපැත්ත කැපෙන කතා ය.

ධනපති “ජාතික ආරක්ෂාව” හා “නීතියේ ආධිපත්‍යය” අවශ්‍ය වන්නේ කුමක් සඳහාද? දේශීය හා විදේශීය ආයෝජකයින්ට කොන්දේසි සකස් කිරීම සඳහාය. ගෝඨාභය රාජපක්ෂ මෙසේ කිවේය: “සාමකාමී පරිසරයක් රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක්. රට සාමකාමී නැත්නම් දේශීය හෝ විදේශීය ආයෝජන සිදු වන්නේ නැහැ. මිනිසුන්ට නිදහසේ රැකියා කරන්න බැහැ. සමස්ත ආර්ථික ක්‍රියාවලියම දුර්වල වෙනවා.” විසි එක්වන සියවසේ සංවර්ධනයට අවශ්‍යවන ඍජු විදේශ ආයෝජකයින්ගේ සහාය අවශ්‍ය බව ඔහු අවධාරනය කලේය.

කොලඹ පලවන ව්‍යාපාරික සඟරාවක් වන LMD [ලංකා මන්ත්ලි ඩයිජෙස්ට්] සැප්තැම්බර් කලාපයේ පලකල කතුවැකියක මහ ව්‍යාපාරිකයන්ගේ පන්ති උත්සුකයන් අවධාරනය විය. කතුවැකිය මෙසේ පවසයි. “අගමැති සහ ජනාධිපති පක්ෂ දෙකක සිටිමින් එකිනෙකා අතර අන්තර් සහයෝගීතාවකින් තොරව කටයුතු කිරීම නිසා වර්තමානයේ උද්ගතවී පවතින ගැටලු වලට ප්‍රතිචාර ලෙස ශක්තිමත් නායකයෙකු ගැන අභිලාෂයක් පවතී”

ඔහු සිය කතාවෙන්, මහ ව්‍යාපාරිකය සහ වරප්‍රසාදිත ඉහල මධ්‍යම පන්තියේ නියෝජිතයන්ගේ ඉදිරියේ ඔවුන්ගේ පන්ති අවශ්‍යතාවය ලෙස පවතින “ශක්තිමත් පාලනයකට මාරුවීම” සඳහා එම කැඳවීමට සෘජුවම ආමන්ත්‍රනය කලේය.

රාජපක්ෂගේ කතාව තුල නොඉවසියහැකි මට්ටමට උග්‍රවී ඇති කම්කරුවන්ගේ, පීඩිතයන් සහ දුගීන්ගේ සමාජ හා ජිවන අයිතීන් පිලිබඳ කිසිදු සඳහනක් නොවීම අහම්බයක් නොවේ. ඒ වෙනුවට ඔහු කතාකලේ අධ්‍යාපනය තාක්ෂනික ඥානයද සහිතව වැඩිදියුනු කිරීම මගින් සූරාකෑමට හොඳම කොන්දේසි හදා ගැනීම පිලිබඳවයි; ශ්‍රමිකයින් ලෙස එවැනි ඉහල තාක්ෂන ඥානය ඇත්තන් ලෙස පුහුනු කර ගැනීම විදේශ ආයෝජකයින් ආකර්ශනයටත්, ශ්‍රමය භාන්ඩ ලෙස පිටරට පටවා යවා විදේශ විනිමය උපයා ගැනීමටත් ඇති හැකියාව ගැනයි. ඒ සඳහා ටෙක්නොක්‍රැට්ස් හෙවත් ශිල්පාධිපත්‍යධාරීන් පිරිවරාගෙන ගෙනයන මර්දනකාරී රාජ්‍ය පරිපාලනයක් ඇති කරගැනීමේ අවශ්‍යතාවය ඔහු අවධාරනය කලේය.

ගෝඨාභය සිය කතාව මුලදී පරාග් ඛන්නා විසින් ලියූ Future is Asian ගැනද අගදී ඛන්නා විසින් හුවා දැක්වෙන ටෙක්නොක්‍රසි පාලනයක් ගැන ද සඳහන් කිරීම ද සැලකියයුතු කරුනකි. Technocracy in America කෘතියේ ටෙක්නොක්‍රැට්ස් පාලනයක් ගැන ඔහුගේ ප්‍රවාදය ඇමසෝන් පොත් ප්‍රකාශකයින් උපුටා දකවා ඇත්තේ මෙසේය:

“හුදෙක් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ප්‍රමානවත් නැත. වියදම් අධික චන්දය ඇමරිකානු සමාජය එක්සත් කිරීමට වඩා භේද කිරීමට තුඩු දී ඇතුවා පමනක් නොව ආන්ඩුව ගැන පමනක් නොව ප්‍රජාතන්ත්‍රවාදය ගැනද විශ්වාසය නැතිකරමින් තිබේ.” වෙනත් හොඳ පාලන ක්‍රම තිබෙන බව කියන ඛන්නා ඒවායින් උගෙන ගන්නා ලෙස ඇමරිකානු පාලක පන්තියට කියා ඇත.

ගෝඨාභය රාජපක්ෂ “වියදම් අධික චන්දය” නැති මිලිටරිය මත වාරුවූ ශිල්පාධිපත්‍යධාරීන් පිරිවරාගත් රුදුරු නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාවට දමන ඒකාධිපති පාලනයක් ගැන ගනන් බලයි. ඒ සම්බන්ධයෙන් ගත්කල ඔහු ශ්‍රීලංපොපෙ සාමාජිකත්වය ගෙන නො තිබීම අර්ථභාරී ය. කලකට පෙර ඔහු ලංකාවේ මහජනයා සම්ප්‍රදායික දේශපාලනඥයින් ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරමින් උදාහරන ලෙස ඇමරිකාව හා ප්‍රන්සය දැක්වූයේ ඩොනල්ඞ් ට්‍රම්ප් හා එමානුවෙල් මැක්රෝන් යටතේ ගොඩනැගෙන මර්දනකාරී පාලනයන් බලයට ඒම හුවා දැක්වීමටයි.

මෙවර ලංකාවේ ජනාධිපති මැතිවරනය පැවැත්වෙන්නේ එක්සත් ජනපදය විසින් ඉන්දියානු සාගර කලාපය තුල චීනයට එරෙහි සිය භූ මූලෝපායික වැඩකටයුතු තීව්‍ර කරමින් සිටින තත්වයක් තුලයි. මෙම කලාපය තුල ලංකාවේ භූගෝලීය පිහිටීම එම වැඩකටයුතු වලදී එක්සත් ජනපදයට අතිශයින් තීරනාත්මකය. පැවති රාජපක්ෂ ආන්ඩුවේ මර්දනකාරී පාලනයට විරුද්ධ නොවුනත් ඔහු ආර්ථික සම්බන්ධතා හරහා චීනයට සමීප වී සිටීම තම මූලෝපායන් ක්‍රියාවට දැමීමේදී බාධකයක් ලෙස සැලකු එක්සත් ජනපදය 2015දී ඔහු බලයෙන් ඉවත්කිරීමේ තන්ත්‍රය මාරු මෙහෙයුමකින් ජනාධිපති සිරිසේන බලයට ගෙනවුත් ලංකාවේ විදෙස් පිලිවෙත තමන්ට පක්ෂපාති ලෙස වෙනස්කර ගත්තේය.

එනිසා තමන් බලයට පත්වීමකදී ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග වඩා සමීප සම්බන්ධතාවයකට ඉඩතබා ගැනීම තීරනාත්මක බව ගෝඨාභය දනියි. සිය කතාවේදී ලංකාවේ භූගෝලීය පිහිටීම නිසා විදේශ රටවල අවධානයට ලක්ව ඇති බව කියූ ඔහු තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය චීනය හෝ එක්සත් ජනපදය අතර සමබරවීමේ පිලිවෙතක් නොව සියලු රටවල් සමග “මිතුරුදම්” පවත්වා ගන්නා එකකැයි කයිවාරු ගැසුවේය.

රටේ ස්වෛරීත්වය ගැන මැත දෙඩවූ නමුත් ඔහු එක්සත් ජනපදයේ යුද ධාවනයට දිවයින ගැට ගසා ඇති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ මිලිටරි සම්බන්ධතා ගැන කිසිවක් නොකීමට ප්‍රවේශම් විය. කෙසේවෙතත්, චීනය සිය ආධිපත්‍යයට යටත් කරගැනීමේ මිලිටරි-යුද ධාවනය ඇමරිකාව විසින් තියුනු කෙරෙන කල, ඔහුගේ ආන්ඩුවක් කොලඹ බලයට ආවොත් හා වොෂින්ටනයෙන් දුරස්ථ වීමට තැත් කලහොත් ඊනියා “මිතුරුදම්” පිලිවෙත කීතුකර තමන් පිටුපස කොලඹ පාලනය සෘජුව පෙලගස්වා ගැනීමට ඇමරිකාව හා එහි කලාපීය සගයා වන ඉන්දියාව නිර්දයව මැදිහත්වනු ඇත.

ජනාධිපතිවරනයෙන් පසු කුමන ආන්ඩුවක් කොලඹ පෙලගැසුනත්, එය අධිරාජ්‍යවාදී යුද්ධයට හා ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ රුදුරු සූරාකෑමේ කොන්දේසිවලට යටකෙරෙන පොලිස් පාලනයකට වහවහාම පැනගනු ඇත. දරුනු ආර්ථික අර්බුදය හා එහි බර පැටවීමට එරෙහිව ජාත්‍යන්තරව මෙන්ම ලංකාවේ කම්කරු පන්තියේ විප්ලවවාදී පෙරගමන ඉදිරියේ වෙනත් විකල්ප පාලක පන්තියේ කිසිම කොටසකටවත් නැත.

ගෝඨාභය රාජපක්ෂ මිලිටරි- වර්ගවාදී ෆැසිස්ට් පන්නයේ මුගුරක් තරකරමින් ඒ සඳහා ඔට්ටු අල්ලයි. කම්කරුවන් හා තරුනයින් තමන් ඉදිරියේ ඇති අන්තරාය තේරුම් ගනිමින් ජාත්‍යන්තරවාදය මත පදනම්වූ විප්ලවවාදී සමාජවාදී බලවේගයක් ගොඩනැගීමට සමාජවාදී සමානතා පක්ෂය සමග එක්වීම තීරනාත්මක ය.

Share this article: