කොරෝනා වෛරසය පාදක කර ගනිමින් ලංකාවේ සේවයේ නියුතු චීන කම්කරුවන්ට එරෙහි හිරිහැර මාලාවක්

සමන් ගුනදාස විසිනි, 2020 පෙබරවාරි 7

චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරය ආශ්‍රිත කලාපයේ පැන නැගී ඇති බවට සොයාගෙන ඇති, දැන් ලංකාවද ඇතුලු‍ ලෝකයේ රටවල් 21කට වැඩි ගනනක මහජනයා අතර පැතිර පවතින, කොරෝනා වෛරසයය නිසා හට ගෙන ඇති උන රෝගය පාදක කර ගනිමින් ලංකාවේ වෙසෙන චීන කම්කරුවන්ට එරෙහි වර්ගවාදී සහ ජාතිකවාදී හිරිහැර කිරීම් මාලාවක් දියත් කෙරී ඇත.

මෙම හිරිහැර මාලාවේ කොටසක් ලෙස, ලංකාවේ රැකියා සදහා වීසා ලබාදී ඇති චීන කම්කරුවන් වැඩ පලට හා නවාතැනට පමනක් සීමා විය යුතු බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කොට ඇත. ජනවාරි 31 වන දා මේ පුවත වාර්තා කල සිරස නිව්ස් ෆස්ට් කියා සිටියේ, එය කඩ කරන කම්කරුවන්ට එරෙහිව වීසා වලට අදාලව රෙගුලාසි ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව පවසා ඇති බවයි.

ලංකාවේ ආන්ඩුවේ එම රුදුරු ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරට සමාන්තරව, චීන කම්කරුවන්ට තමා ජීවත්වන ප්‍රදේශයන්හි වෙලඳ සැල්, ආපන ශාලා ඇතුලු‍ ව්‍යාපාරික ස්ථානයන්ට ඇතුලුවීමට ඉඩ නොදීමෙන්ද මෙම හිරිහැර කිරීම් තවදුරටත් ගැඹුරු කෙරී ඇත.

චීනය විසින් නිල නොවන නිවේදනයක් මගින්, සිය රට වැසියන්ට සිදුවන මෙම අසාධාරනය පිලිබඳව ලංකාවේ ආන්ඩුවට දැනුම් දී ඇති බව වාර්තා වී තිබේ. තමන්ට මේ පිලිබඳ පැමිනිලි ලැබී නැති බව පවසමින් ලංකාවේ පොලිසිය අත සෝදා ගෙන ඇත.

චීන සමාගම් වල සාමාන්‍ය වැඩ කටයුතු දිගටම කෙරී ගෙන යන්නේ කම්කරුවන්හට මුඛ ආවරන හා අත්වැසුම් සැමවිටම පැලැඳ සිටීමට බල කෙරෙන රෙගුලාසි සමගිනි. එමෙන්ම රෝගය පැතිරයාම ගෝලීය පරිමානව සීමා කෙරෙන තුරු, නිවාඩු ගෙන චීනයට ගොස් සිටින කම්කරුවන් හට යලි නොපැමිනෙන ලෙස දන්වා ඇත. එම කාලය සඳහා වැටුප් නොලැබීමේ අන්තරායකට ද ඔවුහු මුහුන දී සිටිති. දැනට ලංකාවේ සිටින චීන කම්කරුවන්ට විදේශගත වීමද නැවත දන්වන තුරු අත්හිටුවා තිබේ. කන්ඩායම් ලෙස ආහාර ගැනීම ආදී කටයුතුද ඔවුනට තහනම් කර ඇත.

වුහාන් කලාපයට පිවිසීමට හෝ ඉන් පිටතට යාමට නොහැකි වන ලෙස එම කලාපය තාවකාලිකව වසා ඇති තත්වය තුල, එම වැසියන්ට කවර රටකට හෝ ගමන් කල නොහැකි බැවින්, අවුරුදු නිවාඩුවෙන් පසු ලංකාවට පැමිනෙන චීන ජාතිකයින් පිලිබඳව බිය වීමට හේතුවක් නැතැයි, ලංකාවේ චීන තානාපති කාර්යාලය, ජනවාරි 30 දා නිකුත් කල නිවේදනයක සඳහන් වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දියත් කර ඇති වැඩ පිලිවෙලකට අනුව, වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය නිලධාරීන්ගේ කන්ඩායම් චීන කම්කරුවන් සේවයේ යොදවා ඇති විශාල ව්‍යාපෘති තුලට ගොස් රෝග ලක්ෂන පෙන්වන කම්කරුවන් සොයා ගැනීමට නියමිතය.

කොරෝනා වෛරසය පාදක කර ගනිමින්, චීන-වීරෝධී උද්ඝෝෂනයක් ව්‍යාප්ත කිරීමට ලොවපුරා විවිධ ආන්ඩු සහ ජන මාධ්‍ය ක්‍රියාත්මක වෙමින් පවතී. පෙබරවාරි 2 වන දින නවසීලන්ත රජය නිවේදනය කලේ “චීනයෙන් පිටත්ව එන හෝ ඒ හරහා සංක්‍රමනය වන ඕනෑම විදේශීය සංචාරකයෙකුට” තම රටට ඇතුලුවීම ප්‍රතික්ෂේප කරන බවයි. එක්සත් ජනපදය විසින් ද එවැනිම සීමාවන් පනවා ඇත.

එක්තරා ප්‍රන්ස පුවත්පතක් කොරෝනා උවදුර පිලිබඳව අනතුරු ඇඟවූයේ, ආසියාතිකයන්ට එරෙහි වර්ගවාදී යෙදුමක් වන “කහ උවදුර” (yellow peril) යන්නට සමගාමීව, “කහ අනතුරු ඇඟවීම” {yellow warning) යන්න යොදා ගනිමිනි. කැනඩාවේ ටොරොන්ටෝහි පාසැල්වල චීන-කැනේඩියානු සිසුන්ට සිදු කෙරෙන අසාධාරනකම් පිලිබඳව ද වාර්තා පලවෙයි.

ඩෙන්මාර්කයේ ජයිලන්ඞ්-පෝස්ටන් නමැති පුවත්පත චීන ධජයේ කහ පැහැති තරු වෙනුවට කොරෝනා වෛරසය යොදා කාටූනයක් පල කිරීම පිලිබඳව සමාව ගන්නා ලෙස එරට චීන තානාපති කාර්යාලය ඉල්ලා ඇත. වියට්නාමයේ ඩනාන් රිවර්සයිඞ් නම් හෝටලය ඉදිරිපස එල්ලා තිබූ පුවරුවක සඳහන් කෙරුනේ “ඔබගේ රට රෝගය පැතිරවීම ආරම්භ කල බැවින් චීන අමුත්තන්හට සේවය සැලසීම අපි භාර නොගන්නෙමු” යනුවෙනි. බලධාරීන් ගේ නියෝග මත පසුව එම පුවරුව ඉවත් කෙරී ඇත.

ලංකාවේත් ලොව අන්රටවලදීත්, කොරෝනා වෛරසය පදනම් කරගෙන චීන ජාතිකයන්ට හිරිහැර කෙරෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මුලු‍මනින්ම නොතකමිනි. එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පෙබරවාරි 3 වන දින යලිත් කියා සිටියේ, වෛරසයෙන් ආරක්ෂාවීමට “ජාත්‍යන්තර සංචාර සහ වෙලඳාමට අනවශ්‍ය ලෙස මැදිහත් වන ක්‍රියාමාර්ගවලට අවතීර්නවීමේ කිසිදු හේතුවක් නැත” යනුවෙනි. එවැනි පියවර මගින් අවිශ්වාසය ඇවිලී යනු ඇති බවත්, වෛරසය පාලනය කිරීම සඳහා තාර්කික, ඒකාබද්ධ ගෝලීය උත්සාහයකට බාධා ඇතිවන බවත් ගෙබ්‍රෙයිසස් කියා සිටියේ ය.

චීන ජාතිකයන් සඳහා නවසීලන්තයේ පනවා ඇති සංචාරක තහනම, සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරනය සඳහා ජාතිකවාදී තානයක් තබන අතිශය දේශපාලන පියවරකි. පාලක ලේබර් සන්ධානයේ පාර්ශ්වකරුවෙකු වන “‍නවසීලන්තය පලමුව”‍ නම් සංවිධානය සහ සහ එහි ආධාරකරුවන් දිගු කලෙක සිට චීන-විරෝධී උද්ඝෝෂනයක යෙදී සිටිති. එහි අරමුන වනුයේ, අගමැතිනි ජසින්ඩා ආර්ඩන් ගේ ආන්ඩුවේ කප්පාදු වලට එරෙහිව වැඩෙන පන්ති අරගල වාර්ගික සහ ජාතිකවාදී රේඛා ඔස්සේ අපසරනය කිරීමයි.

වැඩෙන පන්ති අරගල අපසරනය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ද, රුදුරුම ආකාරයේ දෙමල සහ මුස්ලිම් විරෝධී උද්ඝෝෂනයක යෙදී සිටිය ද, චීනය මත ආර්ථික වශයෙන් වඩවඩාත් යැපීමට සිදුව ඇති බැවින්, මේ මොහොතේ චීන-විරෝධී උද්ඝෝෂනයක් ලංකාව තුල පැතිරයාම සම්බන්ධයෙන් ප්‍රවේසම් සහගතය.

කොරෝනා වෛරසය ලංකාව තුල පැතිරී යාම පිලිබඳ “‍අසත්‍ය කතා වලින් කලබල නොවන”‍ ලෙස අගමැති මහින්ද රාජපක්ෂ ජනවාරි 29දා අනුරාධපුරයේ පැවති උත්සවයකදී පැවසීය.

පාලක පන්තියේ මෙම උත්සුකය, ලංකාවේ ධනපති මාධ්‍ය ගනනාවක කතුවැකි හරහා ප්‍රකාශයට පත්විය.

“‍කොරෝනා වෛරසය ශ්‍රී ලංකා-චීන සබඳකම් පලු‍දු කරයිද? යනුවෙන් කතුවැකියක් ලියන, ජනවාරි 31 ඬේලි මිරර් පුවත්පත “මෙම මොහොතේදී ශ්‍රී ලංකාවට චීනය සමග සබඳතා පලු‍දු කර ගැනීමට හැකියාවක් නැත...ශ්‍රී ලංකාව දැවැන්ත නය කන්දරාවකින් ගොඩ ඒමට යත්න දරන අතර, චීනය යනු ව්‍යාපාර කරමින් නය ලබාදීමට කැමැත්ත පල කරන රටකි ... බොහෝ කතා බහට ලක්වී ඇති වෛරසය සමඟ සෘජුව හැප්පෙමින් රටේ සංචාරක ව්‍යාපාරය හා චීනය සමඟ සමීප සබඳතාව රැක ගැනීමට කාලය පැමින ඇත, කොරෝනා වෛරසය තිබුනාවේ හෝ නොතිබුනාවේ!”

චීනයේ හෝ ලංකාවේ දුගී කම්කරුවන්ගේ ජීවිත වලට කුමක් වුවත්, ප්‍රමුඛතාව වන්නේ අර්බුදයෙන් වෙලු‍නු ධනපති රාජ්‍යය රැක ගැනීම බව පවසමින් මෙම කතුවැකිය කුනුවූ ධනපති ක්‍රමයේ යතාර්ථය හෙලි කරයි.

කෙසේ නමුත්, කොරෝනා වෛරසය පැතිරයාම පාදක කර ගනිමින් චීන ජාතිකයන්ට හිරිහැර කිරීමට යම් දක්ෂිනාංශික කොටස් ඉස්මත්තට පැමිනීම සම්බන්ධයෙන්, රාජපක්ෂ දෙබෑයන් ද ඇතුලත් කොලඹ ධනපති පාලක පන්තිය සහ සිංහල ස්වෝත්තමවාදී මාධ්‍යයන් පරිපූර්නව වගකිව යුතුය. මෙම හිරිහැර කිරීම් වනාහි, ධනපති සංස්ථාපිතයේ ඉහත කොටස් විසින් දශක ගනනාවක් පුරා ගෙනගිය සහ තීව්‍ර කරමින් සිටින වර්ගභේදවාදී සහ ජාතිකවාදී දේශපාලනික පිලිවෙත්වල සෘජු ප්‍රතිඵලයකි.

Share this article: