කහටගහ පතල් කම්කරුවෝ සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් කල යුතු ය

Kahatagaha miners in Sri Lanka must fight for socialist policies

නවීන් දේවගේ විසිනි, 2020 පෙබරවාරි 07

පසු ගිය මාසයේ දී, රජය සතු සමාගමක් වන කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඞ්හි කම්කරුවන් 130 දෙනෙක් යහපත් වැටුප් සහ සේවා කොන්දේසි උදෙසා වර්ජනයක නිරත වූහ. කර්මාන්ත අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන් සහ සමාගම් පරිපාලනය සමඟ කුරුනෑගල කම්කරු කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරු ව, මාසයක් ඇතුලත කම්කරුවන්ගේ ඉල්ලීම් විසඳන බවට රාජ්‍ය නිලධාරීන් සහ සමාගම දුන් පොරොන්දු ගැන සැක මුසු ආකල්පයකින් තම අරගලය නවතා දැමීමට කම්කරුවෝ තීරනය කලහ.

පතලේ වෘත්තීය සමිති නායකත්වයට පිටු පා යමින් පවත්වන ලද තෙදින වැඩවර්ජනයත්, පතල තුල උපවාසයත් ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිනීමෙන් අනතුරු ව මේ වසරේ දී දියත් කෙරුනු ප්‍රථම පන්ති අරගල ක්‍රියා මාර්ගයයි. මෙය පුපුරා යාමට නියමිත අරගලවල ස්වභාවයත්, කම්කරු පන්තියේ වැඩෙන රැඩිකලීකරනයත්, අලු‍ත් ආන්ඩුව ගැන ඇති මුලාවන් වේගයෙන් පහ ව යාමත් පැහැදිලි ව පෙන්නුම් කරන්නකි.

කහටගහ පතල වාඩි ලා ගත් කම්කරුවෝ

පතලේ ක්‍රියාත්මක වෘත්තීය සමිති දෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ නිදහස් සේවක සංගමයත්, එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයත් වෙයි. නිදහස් සේවක සංගමය දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනට සහයෝගය ලබා දෙයි.

මෙම වෘත්තීය සමිතිවල මවු ශාඛාවල නායකයෝ තම ඉල්ලීම් නොතකා හරින බවට කම්කරුවෝ චෝදනා කරති. ඇත්තෙන් ම, ඒවා කම්කරු ඉල්ලීම්වලට එරෙහි වෙමින් හොරිකඩකම් කිරීමේ අපකීර්තිමත් වාර්තාවක් ඇති සමිති ය. කම්කරුවන් පෙරදීත් තමන් මුහුන දෙන රුදුරු වැඩ කොන්දේසිවලටත් හොඳ වැටුපුත් අපේක්ෂාවෙන් ක්‍රියා මාර්ගවලට එලඹ ඇතත්, අනුප්‍රාප්තික ආන්ඩු තම වෘත්තීය සමිතිවල සහයෙන් එම අරගල නොතකා හැරීමට සමත් ව ඇත.

පෞද්ගලක සමාගමක පරිපාලනය යටතේ පැවත වසා දමනු ලැබූ පතල 2006 වසරේ දී නැවත ආන්ඩුව විසින් විවෘත කරනු ලැබුවේ වෘත්තීය සමිති පිහිටු විය නොහැකි බවට ලියවිල්ලකට කම්කරුවන්ගෙන් අත්සන් ලබා ගනිමිනි. මීටර 600ක් ගැඹුරට යන, ලංකාවේ විශාලත ම සහ ගැඹුරු ම පතලේ වැඩ කරනවාට ගෙවන දෛනික අවදානම් දීමනාව තවමත් රුපියල් 20ක සොච්චමකි.

2016 වසරේ දී කහටගහ පතලේ කම්කරුවෝ රුපියල් 400ක අවදානම් දීමනාවක් ඉල්ලා සිටියහ. රාජ්‍ය සමාගම මෙම ඉල්ලීම ලබා දීම ප්‍රතික්ෂේප කලේ ය. ඒ වෙනුවට මෙට්‍රික් ටොන් 70ක නිෂ්පාදන ඉලක්කයක් සපුරන්නේ නම් ගෙවනු ලබන රුපියල් 400ක දිරි දීමනාවක් හඳුන්වා දෙනු ලැබුනි.

වැටුප් වැඩි වීමක්, සෙනසුරාදා වැඩ දිනය කෙටි කිරීමක්, දින 21ක වාර්ෂික නිවාඩු සහ සියලු‍ දීමනාවන් නිසි පරිදි ගෙවීම ඉල්ලා සිටි පසු ගිය මාසයේ වර්ජනයේ දී, රාජ්‍ය නිලධාරීන් පොරොන්දු වූයේ සියලු‍ ඉල්ලීිම් පෙබරවාරි 28 වෙද්දී විසඳා දෙන බව ය. එතෙක්, “තාවකාලික” විසඳුමක් වශයෙන් රුපියල් 50ක දෛනික වැටුප් වෘද්ධියක් ලබා දී ඇත.

2012 සිට වැටුප් වැඩි වීමක් නොලද කම්කරුවන්ට තාවකාලික විසඳුමක් වශයෙන් වැඩි කෙරුනු රුපියල් 50 ඔවුන්ට කෙරුනු අපහාසයකි. එය මාසික වැටුපට කම්කරුවන්ගේ ජීවන මට්ටම් ඉහල නැංවීමට කොහෙත් ම අසමත් සොච්චම් රුපියල් 1200ක් වැනි ගනනක් එකතු කරනු ඇත.

කම්කරුවන්ගේ සීමිත ඉල්ලීමුත්, දින තුනක වැඩ වර්ජනය සහ උපවාසයත් ආන්ඩුව දැඩි කම්පනයකට ලක් කලේ ය. කර්මාන්ත ඇමති විමල් වීරවංශ අනතුරු ඇඟවීමක තානයන් සහිත ව කම්කරුවන්ට දැනුම් දුන්නේ “රජය අපහසුතාවට පත් නොකල යුතු” බවයි. පතල් කම්කරුවන්ගේ වර්ජනය කම්කරු පන්තියේ සෙසු කොටස් ද එක තැන පල්වෙන තම ඉල්ලීම් දිනා ගැනීමට අරගලයට පොලඹවනු ඇතැයි තැති ගැන්වුනු අමාත්‍යාංශය වර්ජනය ගැන පුවත පැතිර යාම වැලැක්වීමට මාධ්‍ය වාරනයක් ද පැනවී ය.

පතල් කම්කරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වන්නේ දැනට ඔවුන්ගේ වැටුප් නිර්නය කෙරෙන පඩි පාලක සභා ආඥා පනතින් තමන් ඉවත් කොට කාර්යාල සහ සාප්පු පනතට අන්තර්ග්‍රහනය කර ගත යුතු බවයි. පවතින ධනපති කම්කරු නීති මාර්ගයෙන් ජීවත් වීමට සෑහෙන වැටුප්, වැඩ කරන පැය සහ වැඩ කොන්දේසි සඳහා විසඳුමක් සෙවීමට දරන වෑයම නිෂ්ඵල ය.

කවර කම්කරු නීතිය වුව, අවසාන වශයෙන් කම්කරුවන් නියෝජනය නොකරන බවට පසක් ව ඇති වෘත්තීය සමිතිත් පතල් පරිපාලනයත් අතර කම්කරුවන්ගේ ශ්‍රම ශක්තිය සූරාකෑම සම්බන්ධයෙන් එලඹෙන එකඟතාවකි. එ මෙන් ම, අලු‍ත් රාජපක්ෂ ආන්ඩුවත් පෙර පැවති ආන්ඩු මෙන් ම පවතින කම්කරු නීති විදේශ ආයෝජන අවුරාලන්නේ යැයි කියමින් නව කම්කරු නීති ගෙන ඒමට සූදානම්වෙයි.

ආයෝජකයන් ගෙන්වා ගැනීමට ව්‍යාපාරික බදු කපා දමන ගමන් රාජපක්ෂ වතු කම්කරුවන්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ලබා දෙන බවටත් ශිෂ්‍යයන්ට ඔවුන්ගේ සියලු‍ ම සුබ සාධන ගැටලු‍ විසඳන බවටත් පොරොන්දු දෙයි. ඔහු මේ ව්‍යාජ පොරොන්දු දෙසා බාන්නේ නොබෝ කලකින් පවත්වනු ඇති, නියමිත දිනට පෙර පවත්වනු ලබන මහමැතිවරනයේ දී මහජනතාව රැවටීමටයි.

කඩා වැටෙන ආර්ථික වර්ධනයක කොන්දේසි යටතේ රාජපක්ෂ තන්ත්‍රය මුහුන දෙන්නේ ගෝලීය ආර්ථික පසුගාමීත්වයෙන් නිපන් ප්‍රධාන මූල්‍ය අර්බුදයකට සහ දැවැන්ත විදේශීය සහ දේශීය නය ගෙවා ගන්නේ කෙසේ ද යන ගැටලු‍වටයි.

එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධානය කරන්නේ රාජ්‍ය අය වැය පරතරය දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 3.5 දක්වා අඩු කර ගත යුතු බවටයි; එනම්, සහනාධාර කපා දමමින්, අත්‍යාවශ්‍ය දේවල මිල ඉහල නංවමින් සහ රාජ්‍යය සතු සංස්ථා සහ දෙපාර්තමේන්තු පෞද්ගලීකරනය කරමින් හෝ වානිජකරනය කරමින් හෝ රාජ්‍ය වියදම් කපා දැමිය යුතු ය යන්නයි.

ජනාධිපති රාජපක්ෂ තම සෝයුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ හඳුන්වා දෙනු ලැබූ මූලෝපායික සංවර්ධන ව්‍යාපෘති පනත යලි බලාත්මක කලේ ය. මෙම පනත විදේශ ආයෝජකයන්ට වසර 25ක බදු විරාම සහ ලාභ ඉහල නංවන තවත් දීමනා ලබා දෙනු ඇත.

ලෝකයේ සමහරක් සංශුද්ධ ම මිනිරන් නිධි ශ්‍රී ලංකාවේ පිහිටා ඇත. එ නිසා මෙම සම්පත විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට ගසා කෑමට ආන්ඩුව විශේෂිත ව ම මාන අල්ලයි.

ටොරොන්ටෝ කොටස් වෙලඳපොලේ ලියාපදිංචි පොදු සමාගමක් වන සිලෝන් ග්‍රැෆයිට් කෝපරේෂන් දෙසැම්බර් 13 වැනි දා ගම්පහ දිස්ත්‍රික්කයේ කරස්නාගල දී තම කැනීම් සහ මිනිරන් නිධි ගවේෂන කටයුතු ඇරඹුවේ රජයේ ආශිර්වාද මැද ය. මෙම සමාගම මෙම වසර තුල දී ලංකාව තුල ඇති තම පතල් සංඛ්‍යාව තුනේ සිට පහ දක්වා ඉහල නංවා ගැනීමට අපේක්ෂා කරයි.

ඕස්ට්‍රේලියානු සමාගමක් වන බෝරා බෝරා රිසෝසර්ස් සහ පෞද්ගලීකරනය කරන ලද බෝගල ග්‍රැෆයිට් ලංකා හිමිකාරිත්වය දරන, ආසියාවේත් අප්‍රිකාවේත් නොයෙක් අංශවල පතල් කර්මාන්තයේ යෙදෙන ජර්මන් සංගතයක් වන ග්‍රාෆිටෙ ක්‍රොප්ෆ්මූල් සමාගම ලංකාවේ පතල් කැනීම්වල යෙදෙන තවත් විදේශ සමාගම් දෙකකි.

විදේශ ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීමට ආන්ඩුව ගන්නා ප්‍රයත්නයන්ගේ කොටසක් වශයෙන් කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගම ද පෞද්ගලීකරනයට පියවර සැකසෙනු ඇත. 2016 දී ද එබඳු උත්සහයක් විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය හෝ වානිජකරනය හෝ කල යුතු යැයි නියෝග කරන්නේ කාර්යක්ෂමතාව ඉහල නංවා, රැකියා කප්පාදු කර, ලාභ ඉහල දමා ගැනීමටයි.

මීට පෙර සිටි ජනාධිපතිවරුන් මෙන් නොව, ජනාධිපති රාජපක්ෂ, විරෝධතාවේ යෙදෙන කම්කරුවන් ශිෂ්‍යයන් සමඟ සංවාදයට විවෘත අයෙකු වශයෙන් ඔහුගේ දේශපාලන හෙංචයියන්, ව්‍යාපාරික මාධ්‍ය සහ ව්‍යාජ වම මේ දිනවල දී මහ ඉහලින් ඔජ වඩවති. මේ කපටි ප්‍රයෝගයෙන් මුලා නොවිය යුතු ය.

රාජපක්ෂ විරෝධතාකරුවන් ඉදිරියේ දක්වන කපටිකම් තම ජනාධිපති පුටුව පමනක් නොව සමස්ත ධනපති ක්‍රමය ම අනතුරේ හෙලීමට සමත් වනු ඇති, රැකියා, ජීවන කොන්දේසි සහ මූලික අයිතිවාසිකම් අරබයා පැන නගින්නා වූ මහජන ව්‍යාපාරයක පුපුරා යාම වලක්වා ගැනීමට තාවකාලික ව සහ මංමුලා සහගත ව දරන උපමාරුවකි. කොලඹ ආන්ඩුව විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවෙන් පසු වන ක්ෂේත්‍රයක් වන මිනිරන් පතල් කර්මාන්තයේ කම්කරුවන් පෙරලිකාරී වීම හැකි සෑම ආකාරයකින් ම මග හැර ගැනීම එහි අපේක්ෂාවයි.

හැබෑවට ම රාජපක්ෂ කරන්නේ කම්කරුවන්, ශිෂ්‍යයන් සහ ග්‍රාමීය දුප්පතුන්ගේ වැඩෙන සමාජ විරෝධය තලා දැමීමට බලවේග ගොනු කර ගනිමින් ලක ලෑස්ති වීමයි. මේ නිසයි ඔහු අන්ත දක්ෂිනාංශික කොටස් ඔජ වඩමින් ආන්ඩුවේ ප්‍රධාන තනතුරුවලට මිලිටරිකාරයන් පත් කරන්නේ. ඔහුගේ අවසන් ඉලක්කය ව්‍යවස්ථා සංශෝධනයකින් මිලිටරිය මත වාරු වූ ආඥාදායක පාලනයක් පිහිටුවා ගැනීමයි.

සිරිසේන වික්‍රමසිංහ ආන්ඩුවත් සමස්ත ධනපති පන්ති පාලනයමත් අර්බුදයට යැවූ වර්ජන සටන් සහ කම්කරු පන්ති විරෝධයෙන් තැති ගැන්මට පත් ලංකාවේ පාලක ප්‍රභූව එය තලා දැමීමට රාජපක්ෂගේ ජනාධිපතිවරන සටනට සහය දුන්නේ ය.

“රටක් සාර්ථක ව පාලනය කරන්න නම් ස්ථාවරත්වය අවශ්‍යයි. .. ස්ථාවරත්වයක් නැති තැනකට ආයෝජකයන් පැමිනෙන්නේ නැත” යැයි පසු ගිය වසරේ ඉන්දියානු සංචාරය අතරතුර දී ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කලේ ය.

තම සමාජ අයිතීන් රැක ගැනීිමට පෙරට එන සෙසු කම්කරුවන් මෙන් ම කහටගහ පතල් කම්කරුවන් ද මුහුනට මුහුන ලා සටනට පිවිස ඇත්තේ හුදෙක් තම ආයතන පරිපාලනයට එරෙහි ව පමනක් නොව, කොලඹ ආන්ඩුවේ ආයෝජක ගැති ප්‍රතිපත්ති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධානය කල කප්පාදු වැඩසටහන්, ආඥාදායක තන්ත්‍රයක් දෙසට වන ධාවනය යනාදියට එරෙහි ව ය. වඩා වැදගත් ම කාරනාව, ඔවුන් ගේ සටන ගැටෙන්නේ යල් පිනූ ලාභ පද්ධතියට එරෙහි ව වීමයි. ධනවාදයට අභියෝග කරන්නේ නැතිව කම්කරුවන්ට තම රැකියා රැක ගැනීම, සමාජ කොන්දේසි උසස් කර ගැනීම සහ මූලික අයිතිවාසිකම් රැක ගැනීම කල නොහැකි ය.

ඉදිරි පියවර තැබීමට නම් කම්කරුවන් නව දේශපාලන මූලෝපායකින් සන්නද්ධ විය යුතු ය. ධනවත් අතලොස්සකගේ ප්‍රතිලාභයට කැප ව ඇති නිෂ්පාදනය සහ බෙදා හැරීම බහුතර සමාජයට භුක්ති විඳිය හැකි පරිදි ප්‍රතිසංවිධානය කල යුතු ය. එය කල හැක්කේ මහා පරිමාන වතු, පතල් සංගත සහ බැංකු වැනි ප්‍රධාන පෙලේ කර්මාන්ත සහ ව්‍යවසායන් කම්කරු පන්තියේ ප්‍රජාතාන්ත්‍රීය පාලනය යටතේ ජනතා සන්තක කිරීමෙන් පමනි. මේ සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට නැගිය හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයක කොටසක් වශයෙන් කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි.

අනෙක් වැඩපොලවල දී මෙන් ම, කහටගහ පතල් කම්කරුවන්ගේ අත්දැකීම ද මනා ව පෙන්වා දෙන්නේ රාජ්‍යයේත් හාම්පුතුන්ගේත් මෙවලමක් බවට වෘත්තීය සමිති පත් ව ඇති ආකාරයයි.

පතල් කම්කරුවන් ඇතුලු‍ ව සියලු‍ ම කම්කරුවෝ වෘත්තීය සමිති නිලධරයේ බලපෑමෙන් තොර ව, සියලු‍ ම තීරන ගැනීමේ අයිතිය තමන් අතට පවරා ගැනීමට ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගත යුතු ය. මේ කමිටු ගොඩ නැගීම හරහා කම්කරුවන්ට තම අරගල ලංකාවේත් ලෝකයේත් කම්කරු පන්තියේ පුලු‍ල් කොටස් සමඟින් ඒකාබද්ධ කර ගැනීමට අවස්ථාව සැලසෙයි. ලංකාවේ පතල් කම්කරුවෝ ද එක ම ජාත්‍යන්තර සංගත විසින් සූරා කනු ලැබෙන ලෝක කම්කරු සහෝදරයන්ගේ ම කොටසකි.

සමාජවාදී සමානතා පක්ෂය මේ දේශපාලන අභියෝගය භාර ගන්නැයි කහටගහ පතලේ කම්කරුවන්ගෙන් පන්ති සහෝදරත්වයෙන් යුතු ව ඉල්ලා සිටී.

Share this article: